Wednesday, April 29, 2009

උන්ට ඕවා හුරුයි. කළේම ඕකනේ.......

ශ‍්‍රී ලංකා ද්වීපය භීතියෙන් ඇලලී ගොස්ය. ඒ වූකලී එක් භීතියක් නොව. භීතීන් සමුදායකි. විවිධ පාර්ශව විවිධ ලෙස භීතීයට පත්ව ඇත. ව්‍යාපාරිකයන් ආර්ථික භීතියට හසුවී ඇත. මහජනතාව උද්ධමන භීතියට හසුවී ඇත. ඡන්ද දායකයන් මැතිවරණ භීතියට හසුවී ඇත. එපමණක් නොව අමාත්‍යවරුන් පවා භීතියට හසුවී ඇත. ඒ අමාත්‍යංශ භීතියටයි. (එනම් කරුණා මෙන් තව කීපදෙනෙකු ආවොත් තම අමාත්‍යංශය තෑගි ඔප්පුවකින් ලියා දීමට වන බැවිනි. සමහරවිට ඒ දයා මාස්ටර්ටද විය හැකිය.) තවද මෙහි දරුණුම භීතිය වන මරණ භීතියටද සැලකිය යුතු පිරිසක් ලක්ව සිටිති.

Reed more>>>

Thursday, April 23, 2009

මහා මහින්ද මහ රජතුමා

දේශපාලන ඉතිහාසය දෙස බලන කල පෙනී යන වැදගත් සංධිස්ථානයන් රැසක් පවතී. ඒ අතර මුල් කාලීනව ලෝක දේශපාලනයේ රජුගේ ඒකාධිපති පාලනයත්, ක‍්‍රමයෙන් රජුගේ බලය පල්ලියට යට වීමත්, ඉන්පසුව ආගමෙන් රාජ්‍යය මුදා ගැනීමත්, අවසානයට රජුගේ කෲර පාලනය ප‍්‍රශ්ණ කළ ජනතාව විප්ලවයන් හරහා රටක් තුළ වූ බල පිරමීඩය උඩු යටිකුරු කර ජනතාව රාජ්‍යත්වයේ තැබීමත් හරහා දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා හමාරය.

ඒ වූකලී ලෝක ඉතිහාසයේ මිනිසා විසින් උගත් පාඩම් හරහා මිනිසා ලද ජයග‍්‍රහණයන්ය. නමුත් මේ ජයග‍්‍රහණ ගැන කීමට යමක් ඇත. මේවා සිදුවුනේ යුරෝපයේය. එනම් සුද්දගේ රටේය. මේ අනුව ෂා රජුගේ කෲර පාලනය දුටුවේ සුද්දන්ය. එමනිසා රජු සතුවූ බලය ජනතාව අතට ගත්තේ ඔවුන්ය. වහල් භාවයේ ඇති හිංසනය දුටුවේ සුද්දන්ය. එමනිසා වහල් භාවය අවසන් කළේ ඔවුන්ය. වැඩවසම් ක‍්‍රමයේ දුර්වලතා දුටුවේද සුද්දන්ය.

Monday, April 20, 2009

ශ‍්‍රී ලංකාවේ රොනල්ඞ් රේගන්ලා.................


දේශපාලනය යනු අන් සියල්ලගෙන්ම ස්වායත්තව සිදුවන ක‍්‍රියාවලියක් නොවන බව නම් හැබෑවකි. එය සමාජය, ආර්ථිකය, සංස්කෘතිය, ආගම, මාධ්‍යය සහ ජාත්‍යන්තරය බඳු වූ විවිධ විෂයන් සමග බද්ධව පවතී. එක් අංශයක චලනයක් එය දේශපාලනයට දක්වන සම්බන්ධතාවයේ තරම මත දේශපාලන ව්‍යුහයටද බලපෑම් කරයි.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය සහ නළුවන් අතර යම් සබඳතාවක් තිබුණද එය ආර්ථිකය හා දේශපාලනය තරම් වූ ඓන්ද්‍රීය බැඳීමක් නොවන්නේය. නමුත් දේශපාලනය සඳහා යම් යම් අවස්ථාවලදී නළුවන් භාවිතා කර ඇත.(ජයන්ත සිල්වා ගැන කියන්නට හැමදා කඬේ ගිය කෝපි කඬේ නඩය භාවිතා කිරීම එබඳු අවස්ථාවකි.) කෙසේ වුවද නළුවන් විසින් ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ හොඳ කියනු ලැබූ සෑම අවස්ථාවකම ‘‘ මෙය මුදල් ගෙවා ප‍්‍රචාරය කරන ලද දැන්වීමකි.’’ යන්න යටින් සඳහන් වේ.
2009ට පස්සේ එන්නේ 2010? 1983?

මම පාලේදී මගේ මිතුරා සමග තරඟයකට එළඹේ. ඒ පන්තියේ විෂයන්ට ළකුණු ගැනීමට හෝ ක‍්‍රිඩා තරඟ වලින් ජයගැනීමටය. නමුත් මමත් මගේ මිතුරාත් නිවාසාන්තර තරඟ වලදී එකට එකතු වී අනෙක් නිවාසයේ අය සමග තරඟ කරයි. එහිදී ඔවුන්ව පෙනෙනුයේ සතුරන් ලෙසය. නමුත් තවත් විටකදී අප පාසලේ සැවොම එකතුවී අනෙක් පාසලේ අය සතුරන් සේ දැක වාර්ෂික ක‍්‍රිකට් තරඟයේදී තරඟ කරනු ඇත. මෙලෙස පලාත් තරඟ වලදී අනෙක් දිස්ත‍්‍රික් සමගද, ජාතික තරඟ වලදී අනෙක් පලාත් සමගද තරඟ කරනු ඇත.

මෙය අප අත්දුටු සත්‍යයකි. මෙය මෙලෙස විග‍්‍රහ කරනුයේ න්‍යායාත්මක තලයේදී බාහිර සතුරා පිළිබඳ සංකල්පය හරහාය. මෙහිදී පැවසෙනුයේ මිනිසා හැම මොහොතේම බාහිර සතුරෙකු නිර්මාණය කරගෙන ඔහුහා තරඟයට පිවිසෙන බවයි. මිනිසා මෙම බාහිර සතුරා හඳුනාගත් පසු ඉතා ආවේගශීලීව ඔහු හා සටන් කරනුයේ තම ජයග‍්‍රහණය ගිලිහී යාමට නොදීය.

මිනිසාගේ මෙම ගුණාංගය විවිධ පාර්ශව විවිධ ලෙස භාවිතා කරති. ඒ අතුරෙන් යුධ හමුදා සෙබලූන් කෙරෙහි මෙය ඉතා දැවැන්ත ලෙස භාවිතා වේ. ඔවුන් විරුද්ධවාදීන් කෙරෙහි කුපිත කරවන තරමට ඔවුන්ගේ ආවේග වැඩිවී යුධ ගැටුම් ජයග‍්‍රහණය කළ හැකිය.

මේ අනුව මෙම සංකල්පය ශ‍්‍රී ලංකා හමුදාවන්ට පමණක් නොව ලොව සෑම හමුදාවක් කෙරෙහිම යොදා ගන්නා බැව් නම් නියතය. තවත් අතකට මෙය සාම්ප‍්‍රදායික හමුදාවන් නොවන LTTE ය වැනි ගරිල්ලා කණ්ඩායම්ද මනාවට යොදා ගනිති. එය කෙතරම් සාර්ථකද යත් 1983ට පසුව ඉපදුන, සිංහල මිනිසුන් කිසිදා ඇස ගැටී නැති දෙමළ තරුණියන් බෝම්භයක් බැඳගෙන විත් දෙමළ ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් තම ජීවිතය පූජා කරනුයේ තමාට මවා දුන් බාහිර සතුරා වන සිංහල මිනිසුන් කීපයක්ම මරාගෙනය.

මෙය සෑම ගැටුම්කාරී තත්මයකදීම පිරිස් බලමුළු ගැන්වීමට භාවිතා කරති. 1948 ට පෙර බි‍්‍රතාන්‍යයන්ට එරෙහිව ශ‍්‍රී ලාංකිකයන් කළ සටන් වලදීද, 1971, 1983, 1988-89 වැනි සෑම අරගලයකදීමත් බාහිර සතුරා ඔවුන්ට ගොඩනගාදී ඔහු කෲර, අමානුෂික, මිනීමරුවෙකු කර පෙන්වයි.

මේ මොහොත වන විට දකුණේ අපටද එවන් සතුරෙකු නිර්මාණය කර දී හමාරය. ඒ වෙනකෙකු නොව දෙමළාය. සිංහලයාගේ භූමිය උදුරා ගැනීමට දෙමලූන් යුද්ධ කරන බැවින් අප සැවොම එකතු වී ඔවුන් පරාජය කළ යුතුයයන්න මේ වන විට සිංහලයාගේ ලේ තුළ පවා ගමන් කරන්නකි.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ LTTE ග‍්‍රහණයෙන් මුදා ගැනීමට මාවිල් ආරුවෙන් මානුෂීය මෙහෙයුම් ඇරඹි මොහොතේ සිට මහින්ද රාජපක්ෂ කතා කළේ සිංහල බෞද්ධ හඬකිනි. මේ අනුව ජනතාවට බාහිර සතුරා කර පෙන්වූයේ දෙමළ හින්දු ජනතාවයි. මේ බාහිර සතුරා පරාජය කිරීමට සිංහල බෞද්ධ තරුණයින් එකතු කළේ ගුණදාස අමරසේකර, නලීන්ද සිල්වා, විමල් වීරවංශ වැනි සිංහල අන්තවාදීන් සහ බුදු බණ අජීර්ණය වූ භික්ෂූන් වහන්සේලා කඬේ යවමින්ය. තවද දිවා ? අප කන වැකෙන්නට සැලැස්වූයේ තුන් හෙළේ කැළෑ තුළ සිංහ පැටව්”, ”යුධ බිම මැරුණේ සිංහලයෙකු නම්”, ”මේ සිංහල අපගෙ රටයි”, ”සිංහල ජය ගීත හ`ඩට සිංහල කොඩි වැල් ලෙල දෙන සිංහල දෙරණේ”, වැනි ගීතයන්ය. මේ අනුව අපගේ බාහිර සතුරා කළේ දෙමළ ජනතාවයි.

යුධ ජයග‍්‍රහණ ක‍්‍රමයෙන් වැඩි විය. ජනතාවට මෙය ඉතා විනොදශීලි දෙයක් වන්නට පටන්ගත්තේය. සන්ධානය විවේචනය කළ ජනතාවද ක‍්‍රමයෙන් රූපවාහිනියේ සමන් කුමාරගේ වික‍්‍රමාන්තය(රාමවික‍්‍රගේ Lap Top වික‍්‍රමාන්විතය ගැන අදහස් නොකළෙම්.) රසවිඳින්නට වාඩිවූහ. යුධ ජයග‍්‍රහණ ටිකෙන් ටික වැඩිවත්ම හමුදා සෙබලූන් ලෙස පිරිස් අවශ්‍ය වූ අතර ඒ සඳහාද දෙමළ බාහිර සතුරා මවා පෙන්නා සිංහල බෞද්ධ තරුණයින් අද්දවා ගත්හ. එබැවින් ඔවුන් යුධ පුහුණූවට ගියේම මූලික මානසික පුහුණුවක් ගෙදරදීම ලබාගෙනය.

ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් 1% හමුදා සොල්දාදුවන්ය. නමුත් ඒ ශ‍්‍රී ලංකා ජනතාවගෙන්ය. තරුණ පරපුරට අනුව නම් එය ඉතා විශාල ප‍්‍රතිශතයක් ගනු ඇත. මේ අනුව අනාගත ශ‍්‍රී ලංකාව භාර ගන්නා තරුණ පරපුර මෙම බාහිර සතුරා තම සිත් තුළට කාවද්දාගෙන හමාරය. එපමණක් නොව අද වන විට කුඩා දරුවන්ටද මේ යුද්ධය භාරදී ඇත. සමහර ගුවන්විදුලි නාලිකා වලට කතාකරන දරුවන්ගෙන් නිවේදිකාව මෙසේ අසන්නීය. පුතා වීරයෙක් වෙන්නේ කොහොමද”?. දරුවාගේ පිළිතුර මෙයයි. මම ලොකු වෙලා හමුදාවට ගිහිං දෙමලූ මරලා වීරයෙක් වෙනවා.මේ අනුව තවත් පරපුරක් මේ බාහිර සතුරා මවාගෙන හමාරය.

දැන් දැන් ජනාධිපතිතුමන්ට ශ‍්‍රී ලාංකීය ජාතියක් මතක්වී ඇත. නමුත් මේවා අපටනම් හිනායන යන වැඩය. මුලින් මහින්ද රාජපක්ෂ දෙමළ සතුරා අපට මවා දුන්නේය. දැන් ඔහුට අනුව දෙමළ අය මිතුරන් වේ. නමුත් ජනතාවට මෙය කීම ලේසි නොවනු ඇත. මන්ද යත් ඔවුන් මේ සතුරාට එරෙහිව සටන් කළහ. තම දරුවන්ගේ, දෙමව්පියන්ගේ, ස්වාමිපුරුෂයන්ගේ, බිරින්දෑවරුන්ගේ ජීවිත පූජාකර සටන් කළහ. දිනකට වේල් දෙකක් පමණක් කා වේලක් බඩගින්නේ සිට සටන් කළහ. කෙසේ හෝ සතුරාගෙන් බාගයක් පරාජය කර ජය ලැබූහ. දැන් ජනතාව දෑස් දල්වාගෙන බලා සිටිනුයේ දෙමලුන්ගෙන් ඉතුරු ටිකද පරාජය කිරීමටය. ඒ වූකලී දෙමලුන් සමූලඝාතන කිරීමක් යැයි නොකියමි. නමුත් එය අවම මට්ටමේදී ඔවුන් වහලුන් සේ පාගාගෙන ජීවත් වීමක් තරම් වන්නේය.

වික්ටර් අයිවන්ට අනූව නම් LTTE ය පරාජය කිිරීම යනු දෙමළ ජනතාවට කළ හැකි හොඳම උදව්වයි. ඊට අමතරව දෙමළ ජනතාවට බලය බෙදීමක් දෙන්නේ නම් එය බොනස් එකක් සේ ගත යුතු වන්නේය. ඒ හරහා මනාවට මේ චින්තනය මවා පෙන්වයි.(වික්ටර් අයිවන් සාමාන්‍ය ජනතාව බඳුයැයි ඇඟවීමට නොසිතුවෙමි. එසේ වුවහෙත් සාමාන්‍ය ජනතාව කුපිත විය හැකිය.) දේශපාලන ප‍්‍රකාශයන් කරන රටේ හමුදාපතිට අනුව ගත් කළද මෙය සිංහල බෞද්ධ රටකි. දෙමළ අයටද සිටිය හැක. නමුත් ඒ අප යටතේය.(මෙහිදී අප යනු සිංහල බෞද්ධ විය යුතු යැයි සිතමි. සමහර විට යුධ හමුදාවද විය හැකිය. මේ අනුව ඔහුගේ ප‍්‍රකාශය දේශපාලන ප‍්‍රකාශයක්ද? මිලිටරි ප‍්‍රකාශයක්ද යන්න නිශ්චය කර ගැනීම මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍යයට වැදගත් වනු ඇත.)

තත්වය මෙතරම්ම දරුණු වී හමාරය. තාමත් දේශපාලනඥයන් දාං ගේම ගෙනයති. ඔවුන් කුමක් කළද අවසානයේ කීමට ඇත්තේ මෙපමණකි. සිංහල ජනතාව දෙමළ ජනතාව පාගාගෙන ජීවත් වී ආතල් එකක් ගැනීමට පුන පුන බලා සිටිති. මේ අනුව නැවතත් ගොඩනැගෙනුයේ 1956, 1972, වැනි ගමන් මගක් හරහා ගොස් 1983 බඳු වූ තත්වයකි.

තත්වය එසේ නම් මහින්ද රාජපක්ෂ ලබනුයේ වසර 26 කට පසුව කවුරුත් නොලැබූ ජයග‍්‍රහණයක්ද?

නැත්නම් වසර 26 කට පසු නැවතත් "JR ලැබූ පරාජයමද?"

Wednesday, April 1, 2009

මල්ලි ඔයා මෙහෙද?..... එහෙද?.....

මල්ලි ඔයා මෙහෙද?..... එහෙද?.....



ශ‍්‍රී ලංකාව මේ මොහොත වන විට දරුණු යුධමය වාතාවරණයක පසුවීම කණගාටුවට කරුණකි. නමුත් මේ යුධමය තත්වය තුළ විවිධ පාර්ශවයන් යුධමය සහ දේශපාලනික වාසි ලබාගනු වස් අදිසි ක‍්‍රියාන්විතයන්ද ආරම්භ කර ඇත. එසේ සඟවා ගැසිය යුතු තුරුම්පුවක් ශ‍්‍රී ලංකා රජය එළිපිටම ගසා ඇත. එ් වූ කලී ‘අපි’ සහ ‘උන්’ ලෙස බෙදා හඳුනා ගැනීමක් ජනිත කරවීමයි. මින් සිදු වනුයේ ඕනෑම අවස්ථාවක, සිද්ධියක, ස්ථානයක සහ තත්වයකදීම තමා අයිති වන කණ්ඩායම ‘අපි’ ලෙසත් අනෙක් අය ‘උන්’ ලෙසත් බෙදාගත් සංජානනයකට හුරුවීමයි.





දැන් මේ තත්වය වත්මන් ශ‍්‍රී ලංකාවේ යුධමය වාතාවරණය සමග සමපාත කර බැලිය හැකිය. මෙහි අපි වනුයේ රජයේ පාර්ශවයයි. උන් වනුයේ එල්.ටී.ටී.ඊ පාර්ශවයයි. මෙලෙස බෙදා සංජානනයට හුරු කරවීම හරහා සිංහල-බෞද්ධ ජනතාවගේ ජාතිකානුරාගී හැඟීම් පුබුදු වන බවත් ත‍්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිය හැකි බවත් පවසමින් ශ‍්‍රී ලංකා රජය මහජනතාව නම් පොඩිඑකාට කොකා පෙන්නා ඇත. මහජනතාවද මේ ඇටිකෙහෙල් ගෙඩිය රස කරමින් ගිලදමනුයේ හවසට වෙන හදිය දැන හෝ නොදැන විය හැකිය.



පළමුවෙන්ම රජය පවසන අපි යනු කවුරුන්දැයි ප‍්‍රත්‍යක්ෂ කරගත යුතුය. ජාතික හෙළ උරුමය, විමල් වීරවංශ සහ ගුණදාස අමරසේකරට අනූව අපි යනු සිංහල-බෞද්ධ ජනතාවයි. විමල් වීරවංශ ඉවත් වීමට පෙර ජ.වි.පෙ.(ජාතික විමල් පෙරමුණ- විමල් වීරවංශ ජ.වි.පෙ. වන් මෑන් ෂෝ කරපු සමය) මතයද මෙයම විය. මොවුන් මෑත කාලීනව පැහැදිලි ස්ථාවරයක සිට අදහස් ප‍්‍රකාශ කළද රටේ රජ්ජුරුවන්ට (කෙරවලපිටිය විවෘත කරන අවස්ථාවේ අමාත්‍යංශ ලේකම් ජනාධිපතිතුමන්ට ආමන්ත‍්‍රණය කළ පරිදි) අනුව නම් උන් විටින් විට වෙනස් වෙයි. යුද්ධය තුළදී එල්.ටී.ටී.ඊ ය උන්ය. මිග් ටෙන්ඩර් ගැන කථා කරන්නන් උන්ය. රජය ප‍්‍රශ්ණ කරන මාධ්‍යවේදීන් උන්ය. සාමය, මානව හිමිකම් ගැන කථා කරන්නන්ද උන්ය. පලාත් සභා මැතිවරණ වලදී විපක්ෂ අපේක්ෂකයන් උන්ය. ඔවුන්ගේ ආධාරකරුවන්ද උන්ය. විපක්ෂයට ඡුන්දය භාවිතා කරන ජනතාවද උන්ය. තෙල් මිල පිළිබඳව ඇඟිල්ල දිගුකරන්නන්ද උන්ය. හාල් මිල අහස උසට යන විට කතා කරන්නන්ද උන්ය. සංවර්ධනය පිළිබඳ හාර අවුස්සන්ද උන්ය. පාර්ලිමේන්තුව තුළ විපක්ෂය උන්ය. මෙලෙස මේ ලැයිස්තුව ඕනෑ තරම් දිගුකළ හැකිය. මේ අනුව බලන කල අපිද කුමන හෝ අවස්්ථාවක උන්ගේ ගොඩට වැටෙයි. මෙලෙස මහින්ද රාජපක්ෂ තුමන් බලයට ගෙනා රටේ ජනතාව එතුමා විසින්ම උන් කර හමාරය.



රාජපක්ෂතුමන් මෑතදී පැනිලි බහුල ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ ඓතිහාසික පැනිල්ලකට අත දුන්නේය. එ් කරුණාරත්න (කරුණා+රත්න - කරුණා රජයට මැණිකක් වූ නිසාය.) මහතාගේ පැනිල්ලය. කරුණා යනු 2008ට පෙර උන්ගෙන් කෙනෙකි. ඔහු උන්ගෙන් කෙනෙකි නොව ඇත්තවශයෙන්ම කිවහොත් උන්ගේ පොරය. අරන්තලා භික්ෂු ඝාතනය ඇතුළුව නැගෙනහිර දහස් ගණන් හමුදා සෙබලූන් ඝාතනය කළ උන්ගේ මෙහෙයුම් වල නිර්මාතෘවරයාය. එ් අනුව එදා ඔහු උන්ගෙන් කෙනෙක් බව අපටද මහින්ද රාජපක්ෂතුමන්ටද ප‍්‍රශ්ණයක් නැත. නමුත් ඔහු දැන් අපේ කෙනෙක් බව මහින්ද රාජපක්ෂ පවසයි. මේ රාජ ආඥව අසන ජනතාව පොඩි කසුකුසුවක් නගති. (කසුකුසුවක් කීවාට කනට නෑසෙන තරම් එකකි.) කමක් නැත. රාජ උදහසට ලක්විය හැකි බැවින් එයද පිළිගත්තා යැයි කියමු. (මක්නිසාදයත් රටේ ජනතාවගේ හැටියට තමයි ජනාධිපති පත්වන්නේ) ප‍්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ.



කරුණාරත්න අපේ නම් අරන්තලාවේදී ඝාතනය කෙරුණු භික්ෂූන්වහන්සේලා කාගේද? උන්වහන්සේලා (සිංහල-බෞද්ධ) අපේද? උන්ගේද?



අලිමංකඩ, මුලතිව් බංකර තුළ අවසන් හුස්ම හෙළු ජාතියේ මුරදේවතාවන් අපේද? උන්ගේද?
Related Posts with Thumbnails