Wednesday, January 27, 2010

අඩව්ව අඩෙවි සංස්කාරකගේ විශේෂ ප‍්‍රකාශය. (මැතිවරණයෙන් පසු තත්වය)

අඩව්ව විසින් මේ මොහොතේ විශේෂ ප‍්‍රකාශයක් කළ යුතුව පවතී. ඒ අනුව සියළුම බ්ලොග් කියවන්නන් සහ ලියන්නන් අමතා ඉතා වගකීමෙන් මේ ප‍්‍රකාශයක කරන්නෙමු.

අඩව්ව යනු පැහැදිලිවම වෙනසක් වෙනුවෙක් පෙනී සිටි සහ තම අදහස් පල කළ අඩවියකි. අප අඩව්ව මේ මග ගෙනයෑමට තීරණය කළේ රටේ සිදුවුණ සිදුවීම් සහ නිශ්චිතවූත්, භයානකවූත් අනාගත සැලසුම් වලින් ජනතාව බේරාගැනීමටය. එසේ සිතීමට ප‍්‍රමාණවත් සිදුවීම් ගණනාවක් සහ අඳුරු සෙවනැලි ගණනාවක් මතුවෙමින් පැවතිණි. එම තත්වයන් ප‍්‍රශ්ණ කළ පුද්ගලයන් අධම ලෙස නිහඬ කරන්නට තරම් මෙම බල හවුල අත්තනෝමතිකව නැගිටිමින් සිටියේය. මේ තත්වයන් ඇසෙන පෙනෙන අඩව්වේ අප තව තවත් (අතිබහුතර ශ‍්‍රී ලාංකීය බුද්ධිමතුන් මෙන්) නිහඬව සිටීම හරහා අප වෙත ඉබේ තල්ලූවන න්‍යායාත්මක හා සදාචාරාත්මක වගකීම පැහැර හැරීමකැයි අපගේ හදවත් පුන පුනා කියා සිටියහ. එබැවින් පටු ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් කාලෝ ෆොන්සේකාගේ සිට මාලනී ෆොන්සේකා දක්වා විවිධ පුද්ගලයන් තම මතවාදයන්, වටිනාකම්, විශ්වාසයන්, බලාපොරොත්තු ආදී සියලූ දේවල් මහින්ද රාජපක්ෂගේ දෙපා මුල තබා වැඳ වැටෙන කල අඩව්වේ අප උඩුගං බලා පිහිනීම ආරම්භ කළෙමු.

අප අපේ පිහිනීම ආරම්භ කළේ කරුණා අම්මාන් දේශපේ‍්‍රමියෙක් වූ දිනයේය. කරුණා අම්මාන් දේශපේ‍්‍රමියෙක් වන්නේ නම් අරංතලාවේදී ඝාතනයට ලක්වූ සිංහලවූද බෞද්ධවූද භික්ෂූන්වහන්සේලා සහ අලිමංකඩ මුලතිව් බංකර් තුළ මියගිය ජාතියේ මුර දේවතාවන් දේශද්‍රෝහීන් වන්නේදැයි අඩව්ව ප‍්‍රශ්ණ කර සිටියේ පාලකයන්ගෙන් සහ පාලිතයන්ගෙනි. එතැන් පටන් යුධ වංචාවන්, ජනතාව මුලා කිරීම්, වැඩවසම් රාජ්‍යත්වය, නීතියේ වල්වැදීම, ඇමතිවරුන්ගේ විගඩම්, රාජපක්ෂ වරුන්ගේ ¥ෂණ හා මාධ්‍යය මර්ධනය ආදී අවස්ථාවලදී අප කටවල් පියාගෙන නොසිටියෙමු. එහිදී අවධිකළ අපේ හඬ පක්ෂපාතීවූවා යැයි යමෙකු තර්ක කළ හොත් අප එයට එකඟ වන්නෙමු. මන්ද යත් එය අපේ අරමුණ කරා යෑමේ අවශ්‍යතාවය මත ගත් තීරණයක් බැවිනි.

ඉන්පසු හදිසියේ ඇති වූ මැතිවරණය තුළදී අප පවත්නා බල හවුලට දැඩිව පහර ගැසූ අතර සාක්ෂි සහිතව කරුණු දක්වා සිටියෙමු. එහිදී අප කිසිවක් හිතේ හිරකරගෙන නොසිටීමට වගබලා ගත්තේ ලසන්ත හෝ පෝද්දල මෙන් අවධානමට ලක්වීමට නොවුනත් 26වෙනි දින හවස ටැබූ වැන්නන් ප‍්‍රසිද්ධියේ නිරුවත් කළ ආකාරයේ අනියත බියගුළුකමක් නැති නිසාවෙනි. එ අනුව අප අඩව්ව අඩෙවියේ කිසිම පළ කිරීමක් ඉවත් කළේ හෝ සඟවා තැබූයේ නැත. අප එදා ලියූ දේ අදටද ඔබට දැකගත හැකිය. ඒ මන්ද යත් අප කළ කී සෑම දෙයකම වගකීම අප පෞද්ගලිකවම දරණ බැවිනි. එය පත්වන පාලකයා දෙස බලා ලිපි සැඟවීමට තරම් ප‍්‍රාථමික දෙයක් නොවන බව අප මේ මොහොතේද ඔබ ඉදිරියේ පවසා සිටිමු.

තවත් අඩවි කීපයක් තමන්ගේ අවසන් ලිපි සටහන් තබා බ්ලොග්කරණයෙන් සමුගන්නා බවක් පවසා ඇත. නමුත් ඔවුන් මෙසේ උත්සාහය අතහැර දමන්නේ ඇයි දැයි අපට නොවැටහේ. ඔවුන්ගේ බ්ලොග්කරණයේ අභිලාෂය ඉටුවූ බවක් පෙනෙන්නට නැති කොට මෙසේ සටන අතහැර දමන්නේ මන්දැයි අප ඉදිරියේ ප‍්‍රශ්ණාර්ථයක් ඉතිරි කරයි. තත්වය කෙසේ වූවද අඩව්ව මේ මොහොතේ වගකීමෙන් කියන්නේ අප ඇරඹූ උඩුගං බලා පිහිනීම කිසිසේත්ම අත්නොහරිමු. මන්ද අප මේ කර්තව්‍යය කරන්නේ සමස්ථ ශ‍්‍රී ලාංකීය ජාතිය වෙනුවෙනි. ඉදින් මෙවර එය සාක්ෂාත් කරගත නොහී අපේ උඩුගං බලා පිහිනීමට බාධා කරමින් සැඩ පහරක් ආ නමුත් ඉන් තරමක් වෙහෙසට පත්වූ හා සිත්තැවුලෙන් වුවද අප නැවතත් අත්පා ගසමින් ගමනට සැරසෙන්නෙමු.

ගැටුමක් ඇති වීම සාමාන්‍ය දෙයකි. මේ මොහොතේ අපේ අභිලාෂයන් සහ යථාර්තය අතර ගැටුමක් ඇති වී ඇත. ඒ හරහා අපේ බලාපොරොත්තු යථාර්තය තුළ බොඳව ඇත. මේ ගැටුම හරහා ඇතිවන සිත්තැවුල හා පශ්චාත්තාපය යනු ගැටුමේ නිශ්පාදනයන් වන්නේය. මේ චෛතසික තත්වයන් වූ කලී අන් කිසිවක් නොව ශක්තියයි. මේ ශක්තිය විවිධ පුද්ගලයන් විවිධ ලෙස භාවිතා කරති. සමහරෙක් මෙය ඍණාත්තමකව ගෙන තමන් කෙරෙහි වෛර්‍යයක් ඇති කරගෙන මේ ශක්තීන් තමන් වෙතට මුදා හරියි. ඔවුන් කරගන්නේ තමන්ට අකටයුත්තකි. තවත් අයෙක් මෙය රටේ ජනතාව කෙරෙහි වෛරී සිතුවිල්ලෙන් ජනතාව වෙත මුදාහරියි. ඒ අරහා ඔවුන් තවදුරටත් මෙහෙම හරක් ටිකකට මොකට දේශනා තියනවාද සිතා මේ සත්කාර්‍යය ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් කරන්නේ ජනතාවට අකටයුත්තකි. අඩව්වේ අප සිතන පරිදි නම් මේ දෙකම සාධනීය නොවේ. මන්ද මේ ගැටුම හරහා උපන් ශක්තිය මේ අවස්ථා දෙකේදීම ඍණාත්මකව භාවිතා වී ඇත. ඒ නිසා අඩව්ව සිතන්නේ මෙම ශක්තිය අප ධනාත්මකව යොදා ගෙන එය ශක්ති ප‍්‍රභවයක් ලෙස භාවිතා කළ යුතුය කියාය. සැබෑ ගැටුම් විපරිවර්ථන ක‍්‍රියාවලිය එයයි. එය නව ගමනකට මග පාදයි. එය අපටත්, ජනතාවටත් අප දෙපාර්ශවයටමත් කළ හැකි හොඳම කාර්‍යය වන්නේය.

මැතිවරණ ප‍්‍රතිපල පිළිබඳව අපගේ ආකල්පය වන්නේ මෙය ඉතාමත් සාමකාමී මැතිවරණයක් යන්නයි. නමුත් අප උපරිම මට්ටමේදී උත්සහ ගත් වෙනස හෝ අවම මට්ටමේදී උත්සහ ගත් ප‍්‍රජාතන්ත‍්‍රීය පාලකයෙක් බිහිකරගැනීම යන කරුණු ද්විත්වයම දෑස් ඉදිරිපිට බොඳවී හමාරය. ඒ අනුව අපේ රටට දැන් වරම් ලද ඒකාධිපතියෙක් පත්වී හමාරය. එහි කරුමය අනාගතයේදී අපට දැකගත හැකි වන්නේය. එය මෙහිදී විස්තර නොකෙරෙන්නේ විග‍්‍රහාත්කව වෙනමම ලිපියක් ලෙස පල කිරීමට අපේක්ෂා කරන බැවිනි.
මේ වූකලී ශෝකාලාපයක් නොවේ. මේ අප හිත් තුළ බුර බුරා නැගෙන වේදනාවයි. එසේම මේ වෙනස වන තුරුම ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට අප මෙහෙයවන ශක්තියයි. එබැවින් අප පරාජයක් ලෙස මෙය කිසිසේත්ම විග‍්‍රහ නොකරන්නෙමු. මන්ද යත් මේ අපේ අනාගත ක‍්‍රියාකාරීත්වගේ ගාමක බලවේගය තනා දෙන ශක්ති ප‍්‍රභවය වන නිසාය. මේ අනුව විවිධ අඩවි විවිධාකාර තීරණයන් ගන්නා මේ තීරණාත්මක මොහොතේ අඩව්ව ගන්නා වෙනස වන්නේ ෆස්ට් එකට දමා ගමන වේගවත් කිරීමයි.ඒ අනුව ඔබට ඊයේ මෙන්ම හෙටටත් අඩව්ව ඉතුරු වන බව සතුටින් ප‍්‍රකාශ කරන්නෙමු. එසේම එදාටත් වඩා හෙට අප මතවාදීමය අතින් තව තවත් ශක්තිමත් වෙමින් මනෝමය නොවූ අපේ (ජනතාව වෙනුවෙන් කරන) අරගලයේ යථාර්තවාදී රූපය දැකීමට ක‍්‍රියාකරන්නෙමු. කාලයේ වැලිතලාවට කිසිදා යට නොවන මැරකම හා අවනීතිය හරහා උදුරාගන්නට තැත් කරන ඔබේත් මගේත් පපුකැනැත්ත තරම් වටිනා ප‍්‍රජාතන්ත‍්‍රීය හෙට දවස වෙනුවෙන් අද දවස කැප කරන්නට සූදානම් බව මෙහිලා සටහන් කර තබන්නේ හද පිරි සන්තෝෂයකින් හා ආඩම්බරයකිනි.





විශේෂ දැනුම් දීමයි.
මැතිවරණය සම්බන්ධ අපගේ අදහස් දැක්වීම් හා ස්ථාවරයන් පිළිබඳව ඔබට ප‍්‍රශ්ණ කිරීමට ඇති අයිතියට අපි අවස්ථාව සලසා දෙමු. ඔබගේ චෝදනා හෝ අදහස් මෙහි පළ කරන්න. ඉදිරි ලිපයේදී අප හැකි ඉක්මනින් ඔබේ ප‍්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නෙමු. අඩව්ව කිසිදා ඔබව මුලා නොකරන බවත් අප කළ කී සියලූ දේ සම්බන්ධව සම්පූර්ණ වගකීම ගන්නා බවත් කරුණාවෙන් සලකන්න.

.

Tuesday, January 26, 2010

විමල්ගේ විනාඩි පහළොවේ බොරුව හා ඡන්ද පොළේ රඟපෑ නාට්‍යය.


ජෙනරාල්ට ඡන්දහිමි නාමලේඛණයේ නම නොතිබීම හරහා ඔහුට රටේ ජනාධිපති වීමට හැකියාවක් නැතැයි විමල් වීරවංශ විසින් අද සැන්දෑවේ මාධ්‍යය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළේය. නමුත් සත්‍යය ඊට සුළු මොහොතකට පසු පහදා දුන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාය. එම පැහැදිලි කිරීමට අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ලබා ගැනීමට සහ ජනාධිපති ලෙස පත්වීමට ඇති මූලිකම සුදුසුකම් දෙකකි.

1. ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
2. වයස අවුරුදු 35 ඉක්මවා තිබීම.

නමුත් විමල් වීරවංශට අයත් වන ව්‍යවස්ථාවේ එය වෙනස් තත්වයක් ගනී. ඔහු ප‍්‍රකාශ කළේ එ් සඳහා ඇති එකම සුදුසු කම වන්නේ ඡන්දහිමියෙක් විසින් සැපිරිය යුතු සියලූ සුදුසුකම් සපුරාතිබිය යුතු බවයි. එහිදී ඔහු කියන්නේ ලියාපදිංචි ඡන්දදායකයෙකු වීම අත්‍යාවශ්‍ය බවයි.

නමුත් ඊට සුළු මොහොතකට පසු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමසාරිස් මේ තත්වය නිරාකරණය කරදෙයි. ඔහුගේ ප‍්‍රකාශයට අනුව ලියාපදිංචි ඡන්දදායකයෙකු වීම අත්‍යාවශ්‍ය නොවන බව කියැවේ. එසේ මැතිවරණ කොමසාරිස් මෙයට ඉක්මනින්ම මැදිහත්වීමට හේතුව වූයේ මේ හරහා එතුමා විසින් භාරගෙන මැතිවරණයට යොමු කළ ජෙනරාල්ගේ අයදුම් පත ගැන මේ හරහා ප‍්‍රශ්ණ කෙරෙන බැවිනි. එ් අනුව අතේ පත්තුවන බොරුව කී විමල් වීරවංශගේ විනාඩි පහළොවේ බොරුව මැතිවරණය සම්බන්ධ සියලූ බලතල සහිත කොමසාරිස් වරයාම අවලංගු කර දමන ලදි.

නමුත් මෙම සිද්ධිය පිටුපස ඇති සිනහ උපදවන කාරණය වන්නේ ජෙනරාල්ගේ ලියාපදිංචි වීම ගැන ප‍්‍රශ්ණ කරන විමල් වීරවංශ යනුද මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවක් නැති පුද්ගලයෙකු වීමයි. විමල් වීරවංශ කී පරිදි ජෙනරාල් විසින් කර ඇත්තේ මෙලොව කිසිම අපේක්ෂකයෙක් නොකළ බොරුවක් බවයි. නමුත් එසේ කී විමල් තවමත් තමන්ගේ ඡන්දදාවයක් නොමැති වීම ගැන හෝ තමන් මාධ්‍යයන්ට පේන්නට බොරුවට ඡන්ද පොළක් වෙත ගොස් පැමිණි බවවත් තාමත් මාධ්‍යය වෙත නොකීම සැබෑ දේශපේ‍්‍රමීත්වයදැයි අපට ප‍්‍රශ්ණයක් මතුවේ.


විමල්ගේ විහිළුව පිළිබඳව ලංකා ටෲත් වෙබ් අඩෙවියේ පහත පරිදි දැක්වා ඇත.

//නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප්‍රකාශ කර නැත. හේතුව ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශටද මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමයි. පසුගිය දිනක පිට්ටුගල ග්‍රාම නිලධාරීවරයා හමුවී ඇති විමල් වීරවංශ තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට මාරු කර ගෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අවස්ථාවේදී අදාල ග්‍රාම නිලධාරීවරයා ඡන්ද නාම ලේඛණය පරීක්ෂා කොට පවසා ඇත්තේ විමල් වීරවංශට මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැති බවයි. අද අචල සුරංග ජාගොඩ සමඟ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විමල් වීරවංශ එහි නිලධාරීන් සමඟ කතාබහේ යෙදී රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද නිකුත් කළේය. නමුත් ඡන්දය භාවිත නොකළේය.


එහෙත් ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවී නැති බව පවසමින්, ඔහුට ලංකාවේ පුරවැසිභාවය නොමැති බව රාජ්‍ය මාධ්‍ය හමුවේ පැවසුවේද තමන්‍ටද ඡන්ද අයිතිය නැති විමල් වීරවංශය. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ නීති විශාරදයෙකු පෙන්වා දුන්නේ අනුන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්නේ තමන්ටත් ඡන්ද අයිතිය නොමැති බවවත් නොදන්නා අයෙකු බවයි.//


නිවුස් වෙබ් හී මෙය දක්වා ඇත්තේ මේ ආකාරයටය.

//ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්දය පාවිච්චි කර නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේදී විමල් වීරවංශට පංචිකාවත්ත ප‍්‍රදේශයේ ඡන්දය ලියාපදිංචිව තිබූ අතර, පසුව කඩුවෙල, තලාහේන, පිට්ටුගල ඡන්දය ලියාපදිංචිව සිටියේය.

නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප‍්‍රකාශ කර නැත. හේතුව ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශටද මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමයි. පසුගිය දිනක පිට්ටුගල ග‍්‍රාම නිලධාරීවරයා හමුවී ඇති විමල් වීරවංශ තමාගේ

ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට මාරු කර ගෙන ලෙස දක්වමිනි.

ඒ අවස්ථාවේදී අදාල ග‍්‍රාම නිලධාරීවරයා ඡන්ද නාම ලේඛණය පරීක්ෂා කොට පවසා ඇත්තේ විමල් වීරවංශට මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැති බවයි. පසුව අද අචල සුරංග ජාගොඩ සමඟ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විමල් වීරවංශ එහි නිලධාරීන් සමඟ කතාබහේ යෙදී රාජ්‍ය මාධ්‍ය වෙත ප‍්‍රකාශයක්ද නිකුත් කළේය.

නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද නාමලේඛණයේ නම ලියාපදිංචි නැති බව ප‍්‍රයෝජනයට ගෙන ඔහුට ලංකාවේ පුරවැසිභාවය නොමැති බව රාජ්‍ය මාධ්‍ය හමුවේ විමල් වීරවංශ පැවසූ අතර, ජනතාව පවසන්නේ අනුන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්නේ තමන්ටත් ඡන්ද අයිතිය නොමැති බව පවා නොදන්නා අයෙකු බවයි.//

ජෙනරාල්ට ජනාධිපතිකම අහිමිද? - කෙටිපණිවුඩ වලට පිළිතුර



අද දහවල් වන තුරුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා ඡන්දය ප‍්‍රකාශ කර නැතැයි යන්න මාධ්‍යය හරහා කියැවුණි. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන් හා මැති ඇමතිවරුන් ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරයන් දැකගත හැකි වුවද සරත් ෆොන්සේකා ඡන්ද පොළට එනතුරු රැකසිටි මාධ්‍ය වේදීන්ට හැරී එන්නට සිදුවිය. ඒ මන්ද යත් එතුමාගේ නම 2008 ඡන්දහිමි නාමලේඛණයේ නොවූ බැවිනි. එනිසා ඡන්ද පොළ වෙත නොගිය ජෙනරාල්වරයා ඡන්ද කටයුතු සාමකාමීව අවසන් වනතුරු සිට තම ප‍්‍රකාශය නිකුත් කළේය. ඒ අනුව තමන්ගේ ඡන්ද අයදුම් පත ඉදිරිපත් කළද ඡන්ද හිමි නාමලේඛණයේ නම නොතිබූ බව එතුමා කියා සිටියේය.

නමුත් මෙම තත්වය මේ වන විට කෙටිපණිඩුට හා රාජ්‍ය මාධ්‍යය යොදාගනිමින් වැරදි විදිහට අර්ථකතනය කරන ආණ්ඩුවේ නින්දිත ක‍්‍රියාව ගැන පළමුවෙන්ම පිළිතුරු දිය යුතුය. ආණ්ඩුව කියන ආකාරයට එතුමාට ජනාධිපති වීමට බැරිය. නමුත් ජනාධිපතිවරණයට ඉල්ලීම සහ ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කිරීම යන්න ක‍්‍රියාවලි දෙකකි. ඒ අනුව එතුමාට මෙවර ඡන්දය නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නොවිණි. ඒ අනුව පසුගිය මාසයේ එතුමා විසින් ඉදිරිපත් කළ අයදුම් පත මැතිවරණ කොමසාරිස් වරයා භාරගනියි. එයින්ම පැහැදිලි වන්නේ ජනාධිපතිවීමට එතුමා සතු නීත්‍යානුකූලභාවයයි. ඒ අනුව මේ වන විට රටපුරා සීඝයෙන් පැතිර යමින් තිබෙන ආණ්ඩුවේ අමනෝඥ පණිවුඩය බොරුවක් බව අඩව්ව කියා සිටියි.

ඒ සමගම පැණ නගින ගැටළුව වන්නේ ජෙනරාල් මේ බව කලින් නොකීවේ ඇයි යන්නයි. එයට සාධාරණ හේතු තිබේ. ආණ්ඩුවේ පාර්ශවයෙන් ඔහු කෙරෙහි ගෙනා අභූත චෝදනා හමුවේ මෙවන් අදහසක් ආරංචි වූයේ නම් ඔවුන් නිසැකවම මෙය හොඳ මඩක් ලෙස භාවිතා කිරීමත් ගම් බද ජනතාව වෙත වැරදි මතයක් පැතිරවීමටද ඉඩ තිබිණ. එනිසා නීත්‍යානුකූලත්වය තුළ කිසිඳු ප‍්‍රශ්ණයක් නැති මේ තත්වය හෙළි නොකිරීම සාධාරණයැයි කිය හැකිය.

නමුත් අඩව්ව ඔබට පොරොන්දු වූ පරිදි කාවවත් සුද්ද නොකර මේ තුළ ඇති වැරැද්දද මෙසේම දකිමු. එනම් රටේ අනාගත නායකයා නායකත්වයට ඒමටත් පෙර ජනතාව රැවටීමට කටයුතු කිරීමේ ඛේදනීය තත්වයයි. (අප ජෙනරාල්ට විරුද්ධ වන පළමු අවස්ථාව මෙය වන අතර ඉදිරියේදී ජනාධිපති පදවි ලදහොත් ඔහුගේ පාර්ශයේ නොඇලී ජනතාව නියෝජනය කරන තැන සිටීමට අඩව්ව කටයුතු කරනු ඇත.) මන්ද ඔහු මෙය නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ප‍්‍රකාශ කර සිටියේ නම් එතැනදී එය විසඳෙන අතර ඒ හරහා ආණ්ඩුව මේ ගෙනයන ප‍්‍රචාරයේ පදනම් බිඳ දමන්නට හැකියාව තිබුණි. නමුත් එය නොකළ නිසා අඩව්ව තම අප‍්‍රසාදය ජෙනරාල් වෙත පළ කරන්නේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගෙන් මෙවැන්නක් වසං කර තැබීම ගැනය.

නමුත් යමෙකුට මෙසේද කිවහැක ‘‘මෙහෙමනේ. ඕක කොහෙදිවත් කියන්න ඕනේ වුණේ නෑනේ. කවුරුත් ඇහුවෙත් නෑනේ. ඇහුවනං කියනවා. ඇහුවේ දැංනේ.’’ එවැන්නන්ට කියන්නට ඇත්තේ අඩව්ව ඔබට වඩා වෙනස් බව පමණි.


පසුව සටහන් කළ දෙයක් බව සිතන්න.
ඡන්ද හිමියෙක් කියන එකයි ඡන්ද හිමි නාමලේඛණේ නම තියෙනවා කියන එකයි දෙකක්. ඡන්ද හිමියෙක් කියන්නේ අවුරුදු 18ට වැඩි ඡන්දයට සුදුසුකම් තියෙන කෙනෙක් කියන එකයි. එ්කනේ 18ට වැඩි අයට විතරක් ඡන්දෙ ඉල්ලන්න පුළුවං. එයාලට ඡන්දෙ එන්න කලිං වුනත් ඡන්දෙ ඉල්ලන්න පුළුවංනේ. දන්නවාද 2009 ඡන්දෙදි එස් බීටත් ඡන්දෙ තිබ්බේ නෑ. එ් එයා 2008 හිරේ හිටපු නිසා ඡන්දහිමි නාමලේඛනේ නම දාගන්න බැරි වෙලා. එ්ත් මහඇමති වෙන්න ප‍්‍රශ්ණයක් වුණේ නෑනේ. එ් නිසා මේ වෙනස තේරුම් ගන්න. බොරු ප‍්‍රචාර යවන්න එපා. මැතිවරණ කොමසාරිස් පවා කියපු ඇත්ත මේකයි. කරුණාකරලා අසත්‍යය දේවලට ඉඩ දෙන්න එපා.

ටැබූ කමෙන්ටුවක් ලෙස දැක්වූ හේතු දැක්වීම පහත දැක්වේ.

මම සරත් ෆොන්සේකා වෙනුවෙන් කිසි විටෙක පෙනී නොසිටියෙමි. නමුත් මේ සිද්ධිය හා සම්බන්ධව ඔහු 100% ක් නිර්දෝෂී බව කිව යුතුය.

හමුදාවේ, පොලීසියේ ඇත්තන් සාමාන්‍යයෙන් තමන්ගේ නිවෙස පිහිටි ප්‍රදේශය අනුව ලියා පදිංචි වන සිරිතක් නැත. හේතුව ඔවුන්ට (අනිවාර්යයෙන්ම මැතිවරණ රාජකාරි වලට සහභාගි විය යුතු නිසා) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම වඩා පහසු නිසාය. ෆොන්සේකා මේ අනුව හමුදාවේ ලැයිස්තුවේ දිගටම ලියා පදිංචිව සිටින්නට ඇත.

ෆොන්සේකා හමුදවෙන් 2009 දෙසැම්බරයේ විශ්‍රාම යයි. එනිසා ඔහුට හමුදාවේ ලියා පදිංචිය නැත. විය යුතුව තිබුණේ එසැණින්ම ඔහුගේ නම පදිංචි ප්‍රදේශයේ ලැයිස්තුවකට මාරුකිරීමය. අපේ යල් පැණ ගිය සිස්ටම් වලට මෙවැන්නක් මාස දෙකකින් කිසිසේත්ම කළ නොහැකිය. අලි මදිවාට කොටි කීවාක් සේ අපේ ඔලමොට්ටල මැතිවරණ කොමසාරිස් පාවිච්චි කරන්නේ 2008 ලැයිස්තුවලු! එය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මිස ෆොන්සේකාගේ වරද නොවේ. (වෙනත් විදියකින් කිව්වොත් ෆොන්සේකාට විතරක් නොව ගිය අවුරුද්දේ 18 පිරුණු තරුණ තරුණියන් දහස් ගණනකට මැතිවරණ කොමසාරිස් තම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා ඡන්ද අයිතිය අහිමි කරයි.)

අවසාන වශයෙන් ෆොන්සේකා මේ කාරණය රටින් වසන් කළේ ඇයිදැයි ඔබ අසයි. ඔහු වැරදීමකින් හෝ එය හෙළි කළේ නම් බොරු ප්‍රචාර මැවීමෙන් ආණ්ඩුව විසින් කොයිතරම් අවාසියක් ඔහුට හිමි කරද්නු ඇත්දැයි සිතා බලන්න. මේ ලංකාවේ ඡන්ද දායකයින් මෝඩයින් වීමේ වරදය. ඊට ෆොන්සේකාට බැණ වැදී ඵලක් නොවේ.

දවල් එක වෙද්දි ඡන්දෙ තත්වය.


මෑත කාලය තුළ කිසිඳු මැතිවරණයකදී වාර්තා නොවූ පරිදි ඉතා විශාල ජනසහභාගීත්යක් හා ඉතා ක‍්‍රියාශීලී ජනතා මැදිහත් වීමක් සහිතව 2010 ජනාධිපතිවරණය මේ වන විටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. යාපනය හා කිලිනොච්චියේ සිදුවූ සිදුවීම් දෙකක් හැරෙන්නට අනෙකුත් සියලූම පලාත් වල ඉතාමත් සාමකාමී මැතිවරණයක් දියත් වෙමින් පවතී.

අද දින දැකගත හැකි වූ සුවිශේෂීම සිදුවීම නම් උදෑසන 7 සිට 10 දක්වා කාලය තුළ ඡන්ද පොළ වල් වල අධික පෝලිම් දැකගත හැකි වීමේ තත්වයයි. සාමාන්‍යයෙන් පැය එක හමාරක පමණ දිගු පෝලිම් මහනුවර මාතලේ හා නුවරඑළිය ප‍්‍රදේශවල දැකගත හැකි වූ අතර අනෙකුත් සමස්ථ ශ‍්‍රී ලංකාවේම උදේ වරුව තුළ ඡන්ද පොළවල් වල පොදුවේ විශාල පෝලිම් තිබූ බව ප‍්‍රකාශ විය.

දහවල් 12 වන විට මාතලේ හා මහනුවර හා රත්නපුර දිස්ත‍්‍රික්ක වල බොහෝ ඡන්ද පොළවල් වල 60% ක ඡන්ද ප‍්‍ර‍්‍රකාශ වී තිබූ බවත්, ගම්පහ දිස්ත‍්‍රික්කයේ 60% ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණයක් ප‍්‍රකාශ වී තිබීමත්, ජා ඇල එක ඡන්ද පොළක 1200ක් පමණ තිබූ ඡන්ද පොළකින් තවත් ඡන්ද 129ක් පමණක් ප‍්‍රකාශ වන්නට තිබීමත් හරහා ජනතාව තිබූ උනන්දුවේ තරම කෙතරම්දැයි පැහැදිලි වනු ඇත.

යාපනයේ නල්ලූර් පිහිටි නගරාධිපති කාර්‍යාලය අසල ඊයේ රාත‍්‍රියේ පෙට්ට‍්‍රල් බෝම්බ පිපිරවීම නිසා 1000කට ආසන්න ඡන්ද සහිත එම ඡන්ද පොළේ මෙතෙක් ඡන්දය ප‍්‍රකාශ වී ඇත්තේ 50 පමණක් බව වාර්ථා වේ. තවද කොළොම්බුතුරෙයි හා පේදුරුතුඩුවේද බෝමබ පුපුරවා ඇත. මීට අමතරව අද උදෑසන වාර්ථා වූ අනෙක් සිද්ධිය වන්නේ ජෙනරාල්ගේ නියෝජිත විජිත හේරත් මන්ත‍්‍රීතුමාව ඉරට්ටකුලම් මාර්ග බාධකයෙන් නවතාගෙන පැයකට පසුව මුදා හැරීමේ සිද්ධියයි. එය ඉහළින් පැමිණි නියෝගයකට අනූව සිදුකරන ලද්දක් බව පොලිස් නිලධාරීන් පවසා ඇත. මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේද සුළු සුළු සිදුවීම් කීපයක් සිදුවී ඇති අතර මේ වන විටත් මේ සියල්ල මැතිවරණ කොමසාරිස් වෙත ලිඛිතව දන්වා ඇත.

කෙසේ වුවද අඩව්වේ අපේක්ෂාව වන්නේ උපරිම ජනසහභාගීත්වයක් සහිත සාමකාමී සාධාරණ මැතිවරණයකි. එ් වෙනුවෙන් අපි සැම කැපවෙමු.

Monday, January 25, 2010

ඇතුගල මහින්දට කෙලියි. ඉඩි අමීන් උඩ පැන පැන සිනාසෙයි.


මහියංගනේ ඉදලා බිබිල බස් එකේ හැතැප්ම දාහතරක් ගොස් ආඳාඋල්පතින් බැස පස්පාරක් දිගේ තවත් හැතැප්මක් විතර ගොස් ගෙට ගොඩවෙන සිරිපාල කරේ තබාගෙන ආ බැටරිය රූපවාහිනියට සවිකර පුතාත් තුරුළු කරගෙන බංකුවට පහත් වෙයි. මුළුතැන්ගෙයි සිට පැමිණි කුසුමාවතීද අසලින් හිඳගන්නීය.

සිරිපාල - ඕං .... දැං බලාගනිං පුතේ ඉඩි අමීන් මාමාගේ කතාන්දරය.

පුතා - ඒ මොකෙක්යෑ තාත්තේ ?

සිරිපාල - පැහිච්ච කං ඕන්නෑ. කටවහගෙන බලාපිය.

තාත්තාගේ තග වෙනකක් නිසා නොව, තාත්තාද නොදන්නා නිසා බව නොවැටහෙන දරුවා වාචාලකමට නොකියවන්නට හිතාගෙන රූපවාහිනිය දෙස බලා සිටියි. නමුත් උපසිරස කියවා ගන්නටවත් නොහැකි දරුවාට කම්මැලිකමක් දැනේ. තාත්තාව කතාවට අසා ගන්නට සිතූ දරුවා

පුතා - තාත්තේ ඇයි අර මාමාට හමුදාවේ අයයි, රටේ අයයි උතුමාණෙනි කියන්නේ.

සිරිපාල - එහෙම තමයි රටේ නායකයට. දැං බලාපංකෝ අපේ ජනාධිපතිතුමාට අපි රජ්ජුරුවෝ කියන්නේ. එහෙත් එහෙම වෙන්ටෑ.

පොට වරද්දා ගත් තාත්තා මීට පෙර රූපවාහිනියට අරහංව තිබූ හිට්ලර්, පොල්පොට්, ඉඩි අමීන් (කරට අත දාගෙන සිටි නිසා නොපෙන්නන ගඩාෆි) වැන්නන් එක වරම වෙන්කර හඳුනාගත නොහැකි වුවත් රූපවාහිනියේ කවදාවත් ජනාධිපතිතුමාගේ කට්ටිය හැර අන් කිසිවෙකු පෙන්නන්නැතැයි යන විශ්වාසය උඩ පුතාට තේරුම් කර දුන්නේය.

පුතා - මොකක්ද තාත්තේ ඒ මාමා කතාවක් පවත්වනවා වගේ කියන්නේ ?

සිරිපාල - අප‍්‍රිකාවේ කළු බලවේගය වෙනවැයි කියන්නේ.

පුතා - ඇයි තාත්තේ ඒ මාමාට කළු මදිලූද ?

සිරිපාල - නෑ යකෝ..... ඔය අපේ ජනාධිපතිතුමා කියන්නේ ආසියාවේ ආශ්චර්‍යය වෙනවාය කියලා. ඒ වගේ තමා බං එහෙත්.

එහෙනං එහෙත් මැතිවරණයක් ළඟ ඇතැයි සිතින් සිතාගත් පුතා නිහඬවම ජනාධිපතිතුමන්ගේ මල්ලී බඳු යැයි තාත්තා පුරසාරම් දොඩන අමීන් මාමාගේ පැටිකිරිය රස කරමින් බලා සිටියි. මිනිසුන් මරන, ලේ ගලන සිදුවීම් දකින සිරියාවතීගේ මුහුණ නොරොක් වී යයි. ටික වෙලාවක් සිට තිත්ත වෙන සිරියාවතී ‘‘නිදිමතයි’’ කියමින් ඇඳ වෙත පියමනියි.

පුතා - ඇයි තාත්තේ අර සුදු මාමා කුදලං යන්නේ ?

(සුද්දෙකු බංකරයක් වෙත පැමිණ මිනිසුන් අතුරුදහන් වීම පිළිබඳ ඇසූ විට ඔහු අල්ලාගෙන යනු දුටු පුතා අසයි.)

සිරිපාල - එහෙම තමයි. මාධ්‍යවේදීන් වුනාම ඒ විදිහට ඉන්න දැනගන්න ඕනේ. තක්කෙටම ඕකා ඔය අනවශ්‍ය ප‍්‍රශ්ණ අහන්න ඇත්තේ අපේ විමල් මහත්තයා වගේ කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. ඒකයි ඔය බඩු හම්බෙන්න යන්නේ.

ටික වේලාවකින් ඒ සුද්දාම නැවත උසාවි පසුබිමක නඩු කාරයෙක් ඉදිරිපිට සිටින ආකාරයක් තිරයේ දිස්වෙයි. ඔහු නිදහස් වී උසාවි භූමියෙන් පිටතට පැමිණෙන අයුරුද පෙන්වයි. (එළියෙන් ඇසෙන කොල්ලන්ගේ කටවල් වල හඬට) ජනේලයෙන් පිටත බලා නැවත තිරය දෙස බලන දරුවාට පෙනෙන්නේ සුද්දා වෙනුවට නඩුකාරයාට වදදී රැගෙන යන බවකි.

පුතා - ඇයි තාත්තේ..... නඩුව අහපු මාමාව අරං යන්නේ. එයා සුද්දව නිදහස් කරලා තමන්වම වැරදිකාරයා කරගත්තද?

සිරිපාල - ඕං බලාපං......
ඒ රටෙයි අපේ රටෙයි වෙනස.
උංගෙ නඩුකාරයෝ රටේ නායකයා කෝල් එකක් දුන්නම පඬේකට ගනන් ගන්නෑ.
ඒකට අපේ උසාවි.....
තීන්දුව ගෙදරදිම ලියාගෙන ඇවිල්ලා අවුරුදු 20කට කිව්වොත් තක්කොටම 20කටම හිරේ දානවා.
ඕකට තමයි පුතේ කියන්නේ ශක්තිමත් නායකත්වයක් තියෙන්න ඕනේ කියලා.
කලාකාරයෝ ඕවා කියන්නේ කට කහනවට නෙමෙයි.

දෙතුන් පාරක් එහා පැත්තට මෙහා පැත්තට පෙරළෙමින් හිඳ නින්ද නොයන කළ සිරියාවතී තම හඬ අවදි කළාය. ‘‘මේ ...... තාත්තලා පුතාලා සද්ද නැතුව ඔය මගුල බලනවද.... නැත්තං මං ඕක පොළවේ ගහන්නද ?’’ නොදැනුවත්වම හඬ පාලනයේ සීමා බිඳී ඇති බව වටහා ගත් සිරිපාල පුතාට හෙමින් කියයි

සිරිපාල - කොහොමද බං අපේ ජනාධිපතිතුමාගේ හොඳම යාලූවා පෙන්නද්දී කට පියාගෙන ඉන්නේ. අනික මේවා අපේ ජනාධිපතිතුමාගෙන් කොපි කරපුවානේ.

පුතා - තාත්තේ.. මේ මාමානං ෂුවර් එකටම අපේ මහින්ද මාමාගෙන් කොපි කරනවා තමයි.
අර බලන්නකෝ ............ අර....... අර......
මගේ යාලූවා කියලා කියන්නේ.

සිරිපාල - අන්න හරි..........
ඔන්න මේ යකාත් අපේ මහින්ද මහත්තයාගෙන් ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කොරනවා.
ලසන්ත කවුදෝ මැරුණමත් එතුමා කිව්වේ ඕකමනේ.

පුතා - හොඳ වෙලාවට නේද තාත්තේ අපි මහින්ද මාමාව අඳුරන්නේ නැත්තේ. ?

සිරිපාල - නෑ බං ඕකට තමයි කියන්නේ නායකයාට අවුරුදු 40ක පළපුරුද්ද ඕනේ කියලා.

වෙළඳ දැන්වීම් සඳහා කාලය වෙන්වන අතර තුර මුළුතැන්ගෙට රිංගා ගත් සිරිපාල නැවත පැමිණෙන්නේ එක් අතකින් කහට කෝප්පයක්ද අනික් අතින් සීනි ඇට දෙක තුනක් ද රැගෙනය. සීනී ඇටෙන් ඇටේ ලෝභ කමට මෙන් හපන තාත්තා දෙසබලා පුතා ප‍්‍රශ්ණයක් අසයි.

පුතා - තාත්තේ තාත්තේ මෙන්න හොඳම හරිය.
අමීන් මාමා සුද්ෙදාන්ට පලූයන්ට බනිනවා.

තානාපතිවරයෙක්ට දරුණු විදිහට බැණ එළවා ගන්නා ආකාරය දකින දරුවා තාත්තා ඉක්මනින් කැඳවාගන්නට උත්සහ ගන්නේ තමන්ට නොතේරෙන දේවල් තාත්තා රසකරමින් කියන අයුරු විඳගන්නටය.

සිරිපාල - ඔය බංකුවෙන් ටිකක් එහාට වෙනිංකෝ. මටත් ඈඳිගන්ට.
ඔය ...... ඔවුන් තමයි පුතේ රටවල් කන්නේ.
උන්ට තමයි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරයෝ කියන්නේ.
ෂුවර් එකටම ඔහොම කරන්ට කියලා එතුමට උපදේස දෙන්ට ඇත්තේ අපේ විමල් මහත්තයා හරි පරිසර ඇමතිතුමා හරි වෙන්ට ඕනේ.

මෙලෙස රූපවාහිනියේ මැවෙන හැම සිදුවීමක්ම ජනාධිපතිතුමාගේ වසර 4ක කාලය සමග උපරිමයෙන්ම සමපාත වෙන බව දකින සිරිපාල ඇසිපිය ගසන්නවත් සිතෙන්නේ නැති තරම්ය.

සිරිපාල - ආ ........ ආං ........ ආං ....... දැක්කද මොකක්ද වුණේ කියලා.

පුතා - ඒ කාර් එකක් පෙරළෙනවානේ.

සිරිපාල - නෑ යකෝ. ඒ නාහෙට අහන්නේ නැති මාධ්‍යවේදීන් කියන එවුන් දෙන්නෙක්ට පාඩමක් උගන්නනවා.

පුතා - කවුද තාත්තේ ඒ පාඩම උගන්නන්නේ.

සිරිපාල - වෙන කවුද බං. ඔය තමයි අමීන් රජතුමා ළඟ ඉන්න ආචාර්‍ය ඇමතිතුමා. එතුමා නං අපේ මර්වින් ඇමතිතුමාගේ පෙනුමමයි තියෙන්නේ. ෂුවර්.... මල්ලි වෙන්න ඇති. ඔය ..... ඔය ඉන්නේ ඒ ආචාර්‍යතුමා තමා.

ඉඩි අමීන් පොඩි කාකි ඇඳුමක් ඇඳගත් පොඩි කොළුවෙකු සමග එනු දැක පුතා මෙසේ අසයි.

පුතා - මරු නේද තාත්තේ අමීන් මාමාටත් මං වගේම පොඩි එකෙක් ඉන්නවා නේද ?

සිරිපාල - ආං ..... බලාපං
අමීන් මහත්තයා පුතාට පදක්කමක් දෙනවා.
හරියට මහින්ද මහත්තයා පුතාට හමුදා සන්දර්ශනේදී තෑගි දුන්නා වගේමයි.
දරු සෙනෙහස උතුරනවා.
මිනිහා කළු හින්දා නපුරුවට පෙනුනට හරි සංවේදී නායකයෙක් වෙන්ටෑ. අපේ මහින්ද මහත්තයා වගේ.

තාත්තගෙයි පුතාගෙයි සද්දේ වැඩි කමට ඇඳෙන් බැස ආ සිරියාවතී ‘‘දෙන්නටම පිස්සු’’ යැයි කියමින් රූපවාහිනිය ක‍්‍රියාවිරහිත කර ගස්සාගෙන ගොස් මිදුලට බැස ඇසිලිංගේ ගෙවල් පැත්තට යන්නට ගියේය. ඒ තගෙන් තරමක් තැතිගත් පිය පුතු දෙදෙනා වැඩි සද්දයකින් තොරව අවසාන හරිය බලා ඉවර කළහ.

පසු දින උදෑසන. කඩමණ්ඩිය අසලදී

සිමියොං - ඈ බං සිරිපාලේ...... උඹ බැලූවද ඊයේ චිත්තරපටිය.

සිරිපාල - ඔව් බං.

සිමියොං - ඔන්න බලහං අර දේශද්‍රේහියා ආවෙත් අපිට වෙන වැඬේ.

සිරිපාල - හිහ් ........ හිහ් ......... හී
අනේ බං සිමියොං.
ඔන්න උඹලගේ මොළේ තරම.
එ් පෙන්නුවේ අපේ ජනාධිපතිතුමාගේ හොඳමා යාලූවා කියන අමීන් මහත්තයා ගැන.
එතුමා අපේ ජනාධිපතිතුමා කරන වැඩ දිහා බලලා ඉගෙන ගෙන තමයි එයාගේ රට හදාගෙන තියෙන්නේ.

ඇයි බං චිත්තරපටිය අන්තිමේට අමීන් මහත්තයා අත මිට මොළවලා කිව්වේ
''අපේ සංවේදී පළපුරුදු ජනනායකයාට ඔබේ ඡන්දයත් දෙන්න.
ඔබේ ඡන්දයෙන් මවුබිම දිනවමු"
කියලා.

සිමියොං - ආ ........ එහෙම කිව්වද ?
එහෙනං ඉඩි අමීන් වුනත් මක්කෙයියෑ.

.

Saturday, January 23, 2010

පර්සිගේ මුදලට යට වුණ මම සරත්ය........


මම,

යුධ හමුදා සෙබළියන් දූෂණය කර නැත.

තම බිරිඳට පිසූ සර්පයෙකුගේ සෙවළ රස කරන්නට බලකර නැත.

කෝකියාට බිත්තර ආප්පයකින් දමා ගැසුවේද නැත.

කරණවෑමියාගේ කණ කැපුවේද නැත.

නමුත් මම සරත්ය.

තිරය පිටුපසින් තටමමින් මෙන් රැව්දෙන හඬට නොගැලපෙමින් බට්ටා පනිමින් ඉදිරියට එන, ප‍්‍රධාන නළුවාගේ යැයි සිතිය හැකි මට්ටමේ රූපයකි. ගැලරියේ පුටුවට බරදී හරි බැරි ගැසී වාඩි වූ පේ‍්‍රක්ෂකයා තොල කට ලෙවකා මේ ‘‘වැඩිහිටියන්ට පමණයි’’ යනුවෙන් දමා තිබූ චිත‍්‍රපටයට වියදම් කළ මුදලින් උපරිම තෘප්තියක් ගන්නට සිතා ගත්තේය. ගිනි දැල් මැදින් කෝට් එකකුත් දමාගත් නීතීඥයෙක් (ධර්මරාජයේදී හෝ ආනන්දයේදී කිසි දිනෙක ආචාර පෙළපාලියේවත් ගියා යැයි සිතිය නොහැකි ගමනකින්) වේදිකාව වෙත පිවිසෙයි. (අදුරු පසුබිම නිසා පේ‍්‍රක්ෂකයා තම මුවඟට ආ සිනහව මුළුමනින්ම පිටකර දැමුවේ කාටත් නොපෙනෙන බව දන්නා නිසාය.)

මේ සරත් පිටුපස ඇවිලෙන ගිනිදැල් අන් කිසිවක් නොව (කොහෙත්ම යුධ ගිනිදැල් නොව) ෆීලික්ස් පෙරේරා හොරෙන් ඉස්සූ හරක් නිසා මිනිසුන් දැමූ නඩු වල ගිනි දැල් බව වම් අත පැත්තේ පුටුවේ සිටින පේ‍්‍රක්ෂකයා තමන්ගේ හිතවතාට/හිතවතියට විස්තර කරනු අප පේ‍්‍රක්ෂකයාගේ කණ වැකෙයි. ෆීලික්ස් පෙරේරා බේරාගත් නීතීඥයාට එම ගිනි දැල්වල අයිතිය ඇති නිසා හිතහදාගන්නා අප පේ‍්‍රක්ෂකයාට එසැනින් මතුවන ගැටළුව වන්නේ හරකෙක්ගේ මුහුණක් වෙනුවට පිටුපසින් සිංහයෙකුගේ මුහුණක් දිස්වීමයි. ඉදිරි අසුනේ සිටි කොලූ රෑනෙන් එකෙක් චිත‍්‍රපට ශාලාව දෙවනත් කරමින් විසිල් එකක් පිම්ඹේය. ‘‘සිංහයෙක් වගේ කේප්ප හරකෙක් නේද අන්කල්’’ ඒ කොලූවාගේ දැනුමේ තරමයැයි අප පේ‍්‍රක්ෂකයා හිත හදාගනී.

තිරය පිටුපසින් බිරිඳ පිළිබඳ යම් දෙයක් කියනු පේ‍්‍රක්ෂකයාට ඇසෙයි. ඔහු තම අසුනට එහා අසුනේ වාඩිවී සිටින තම බිරිඳගේ වූද, දැනටමත් තම අතමත තබාගෙන උණුසුම් කරමින් සිටින්නා වූද සිනිඳු අත ටිකක් තදින් මිරිකයි. ඒ ක්ෂණයෙන්ම මේ අසුනේම හිඳ මීට වසර 4කට පෙර තම පෙම්වතිය සමග ‘‘සළුපට අහසට’’ බැලූ දිනයට දිව ගිය සිත යළි ස්ථානගත කර ගනී. ඌයි අනේ..........ඔයාට මොකක්ද මතක් වුණේ.... (උත්තරය කට කොනටම ගෙන නැවත ගිලින පේ‍්‍රක්ෂකයා අඳුරේම තම නලලට අල්ලෙන් ගසාගෙන ‘‘තව ඩිංගෙන් කට වරදිනවා.’’ කියා හිතින් කියා ගත්තේය.)

මේ ක‍්‍රියාව නිසා තිරයෙන් ඇස් ඉවත් කරගන්නා පේ‍්‍රක්ෂකයාට නොපෙනී සරත්ගේ මුහුණේද පොඩි කොමළ හිනාවක් මැවෙන්නේ කටුගස්තොට රූගත කිරීම් අතරතුර ගඟ පැත්තට උස්සන් ගිය තිස්ස අබේසේකරගේ බිරිඳ වූ සුවිනීතා අබේසේකරගේ (පසුව කෝන්ගහගේ) මිරිකූ තැන් මතක් වීමෙන්ය. නමුත් පේ‍්‍රමයෙන් මුසපත් වී සිටින අප පේ‍්‍රක්ෂකයාට මෙය පෙනෙන්නේ නැත.

තවත් අඩි දෙක තුනක් ඉදිරියට එන අතර මගදී රෙදි ගැලවී යන ඔහු නැවත ශාන්තිනී අතින් මසා දෙන සුදු රෙද්දෙන් විලිවසා ගෙන විත් අපේ පේ‍්‍රක්ෂකයා අභිමුවේ හිටගනී. ස්ත‍්‍රී දූෂණ, බිරිඳගේ කතාන්දර වැනි වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපටයේ දසුන් හරහා ෆෝම් වන අප පේ‍්‍රක්ෂකයා තම අසුනෙන් නැගිට ටිකට් දෙකක් ගත්තේ අපරාදෙ යැයි සිතමින් ඉඩ ලද සැනින් දකුණු පස අසුනේ සිටින තම බිරිඳ සමග සිප වැළඳගෙන ඔවුන්ගේ ලෝකයක ගොස් අතරමං වෙයි. එබැවින් අප පේ‍්‍රක්ෂකයාගේ කන් වලට නෑසෙන මේ සරත්ගේ සැබෑ පාපොච්චාරණය මෙසේ තිරය මත දිග හැරෙයි.

මම,

කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත්තේ නැත.

මගේ ජීවිතෙන් වසර 40ක් රට වෙනුවෙන් කැපකර නැත.

අර සරත් යුද්ධය අවසන් කරන තුරු මම වැඩිය නුවර ටවුමටවත් ගියේ නැත.

රට වෙනුවෙන් මම මැරී ඉපදුනේද නැත.

අර සරත් ඉලක්ක කර බෝම්බ ගැසුවද මම රතිඤ්ඤයක් පුපුරණ තැනකවත් ළඟදී සිට නැත.

අනික මට බෝම්භ ගසන්නට තරම් ප‍්‍රභාකරන්ට ඔල්මාදයක්ද නැත.

එක පාරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය මට නුවර එජාප ඡන්ද කඩන්නට හැකියාවක්
නැත.

එසේම මම කිසිඳු ඡන්දයක් බලාපොරොත්තු වන්නේද නැත.

අඩුම ගානේ මගේ බිරිඳවත් (සුවිනීතා නොව ශාන්තිනීය) මට ඡන්දය දෙන්නේත් නැත.

ඇය පමණක් නොව මමවත් මට ඡන්දය දාගන්නේ නැත.

ඒ මන්ද යත් මාව මිලට ගත් පර්සිට මම ද්‍රෝහි වන්නේ නැත.

ද්‍රෝහි වුනොත් මගේ උපදේශක කම පමණක් නොව ජීවිතයවත් ඉතුරු වන්නේද නැත.

ඒ නිසා මට කරන්නට දෙයක්ද නැත.

එහෙත් මමත් සරත්ය.
.

Thursday, January 21, 2010

මෙන්න සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය.........(මහින්ද පරාජය භාරගත යුත්තේ ඇයි - 3 කොටස)




මහින්දගේ රාජයෝගයට වින කරමින් විපක්ෂව අත්වැල් බැඳගත් පාර්ශව රැසක් තම පොදු අපේක්ෂකයා ලෙස නිර්පාන්ෂික පුද්ගලයෙකු වන ජෙනරාල්ව ඉදිරිපත් කරමින් වත්මන් දේශපාලන කරලියට උණුසුමක් ගෙනෙන්නට සමත් විය. අප මේ ක‍්‍රියාව අනුමත කරන්නේ තරඟයකින් තොරව ජයගත හැකි එක් අපේක්ෂකයෙකුගේ වන්මෑන් ෂෝ එකක් දැකීම වෙනුවට කරට කර සටන් වැදිය හැකි දැවැන්තයින් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක් හරහා පත්වන පාලකයා ජේ ආර් කරණයෙන් මිදුණු පාලනයක් වෙත ගෙන යෑමට ජනතාවට අත්වන හැකියාව නිසයි. කෙසේ වුවද මහින්ද තම ඒකාධිපති සිහිනය අතහැර දමා ජෙනරාල්ව හිට්ලර් ලෙස හඳුන්වා දීමෙන්ම ඔහු බොඳ කරගෙන ඇති සිහිනයේ කතන්දරය මෙහිලා දිගහැර දැක්වීමට අප උත්සහ ගනිමු.

ජවිපෙ පළමු පියවර

ජෙනරාල් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමේ සදාචාරාත්මක අයිතිය හා හැකියාවද තිබුණේ ජවිපෙ සතුවය. ඒ ඇයි දැයි විශ්ලේෂණය කර බැලීමේදී පහත හේතු ඊට මගපෑදුවා යැයි සිතන්නට හැකිය.

1. ජවිපෙ සහය මත පත්වූ ජනාධිපති මහින්ද ජෙනරාල්ව යුද්ධයේ තීරකයා ලෙස තෝරා ගැනීම.
2. ජවිපෙ හා ජෙනරාල් විසඳුම ලෙස දුටු යුද්ධය කරන තැනට මහින්ද ගෙන ඒමට ජවිපෙට හැකිවීම.
3. ආණ්ඩුවෙන් දික්කසාද වුවද යුද්ධය අවසන් වන තුරුම ජවිපෙ තම සහය උපරිමයෙන් ආණ්ඩුවට ලබාදීම.
4. ජවිපෙ එදා සිට අද දක්වා එකලෙසම හමුදා සෙබලූන් වෙනුවෙන් කතා කිරීම.
5. ජවිපෙ හා ජෙනරාල් යන දෙදෙනාම වැඬේ කරගත් පසු මහින්දගේ පිළිගැනීම අඩුවූ අය වීම.

මේ හේතු නිසා ගලවාගැනීමේ හමුදාවටවත් නුසුදුසු යැයි කියූ මංගලට හෝ පාමංකඩ යනවාය කියූ එජාපයටත් වඩා එම කපුකම විලිලැජ්ජා නැතුව කිරීමට හැකි එකම පක්ෂය වී තිබුණේ ජවිපෙ පමණි. ජවිපෙ එලෙස කරලියට ගෙනා ජෙනරාල්ව පොදු අපේක්ෂකයෙකු කර සැමට සහයෝගය දිය හැකි තත්වයක තබන්නට ඔවුන් පෙළඹෙන්නේ තම සුළු ඡන්ද ප‍්‍රමාණයෙන් තනිව එය කළ නොහැකි නිසාය.

එජාපයේ එකඟත්වය

මෙහිදී එම නොහැකියාව වෙනුවට තම පක්ෂය සතු 40% කට ආසන්න ස්ථීර ඡන්ද පදනම නියෝජනය කරන ඡන්ද සියල්ල යෙදවීමට එජාපය තීරණය කරනු ලබයි. ඒ වූකලී ජෙනරාල්ගේ දෑත් ශක්තිමත් වූ ප‍්‍රබලම හා පළමු අවස්ථාවයි. මෙලෙස එජාපය ජෙනරාල් සමග එක්වීම පසුපස ඇති ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් දෙකකි.

1. පවත්නා සන්ධාන ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කරන මහින්දගේ ජයග‍්‍රහණය බිඳ දැමීම.
2. ඒ හරහා මීළඟ පාර්ලිමේන්තුවේ බලය නතුකර ගැනීම.

මේ සඳහා පවත්නා පවත්නා චලනයන් මනාව හඳුනාගත් එජාපය ජවිපෙ සමග එකට සිටගන්නේ න්‍යායාත්මක තත්වයන් වලට එහා ගිය පොළවේ දේශපාලනය මනාව හඳුනාගත් පිරිසක් ලෙසය.

අප මීළඟට විමසා බැලිය යුතු වන්නේ මේ දෙපාර්ශවයේ සහය ජෙනරාල්ට කෙතරම් පහසුකරණයක් සලසනු ඇත්ද යන්නයි. එජාපය යනු ශ‍්‍රී ලංකාවේ වැඩිම ස්ථීර ඡන්ද පදනමක් සහිත පක්ෂයයි. එහි ප‍්‍රමාණය 40% කට ආසන්නය. එනම් ඡන්ද ප‍්‍රමාණය අතින් ලක්ෂ 40 ඉක්මවන ඡන්ද ප‍්‍රමාණයකි. (2005 වන තුරුත් තනිව පක්ෂයක් ලෙස තරඟ කළ හැකි එකම පක්ෂය ලෙස ඔවුන් හඳුනාගත හැක්කේ මේනිසාය.) මෙම සමස්ථ ඡන්ද ප‍්‍රමාණයම නියෝජනය කරන්නේ දකුණේ පාක්ෂිකයන්ගේ ඡන්ද වලින් පමණක් නොව ඔවුන් සතුව උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයන්ගේද විශ්වාසයද විය. ඒ අනුව උතුරේ හා නැගෙනහිරදී ප‍්‍රාදේශීය වැඩි වාසි පක්ෂය හැරුණු විට දෙවැනි හෝ තුන්වැනි තැනට තමන්ගේ ඡන්ද ප‍්‍රමාණය සටහන් කරගන්නට ඔවුන් සමත් වූයේ සන්ධානයේ ඡන්ද ප‍්‍රමාණය මැතිවරණ විකාශනයේදී නොකියවෙන තත්වයක් තුළය.


ජවිපෙ යනු ශ‍්‍රී ලංකාවේ දකුණ නියෝජනය කරන තුන්වන බලවේගයයි. ඔවුන් සතුවද ලක්ෂ 5කට ආසන්න ඡන්ද ප‍්‍රමාණයක් ස්ථීරවම පවතී. එසේම ජවිපෙ යම් ඡන්ද පදනමක් සහිත පක්ෂයක් සමග එකතු වූ කළ නිර්මාණය වන්නේ දෙපාර්ශවයේම ඡන්ද ගණන එකතු වූවාට එහා ගිය තත්වයකි. මන්ද යත් ජවිපෙ සතු තරුණ ජවය සහ සංවිධාන හැකියාව එය දෙගුණ තෙගුණ කරන්නට සමත් වීම අප අත්දැකීමෙන්ම දන්නා දෙයකි. බහුතර විශ්ව විද්‍යාලයන්හී ශීෂ්‍ය සංගම් බලයද, අන්තරේ බලයද, භික්ෂු අන්තරේ බලයද, තමන් සතු කරගෙන සිටින ජවිපෙ විසින් මෙවර අළුතින් එකතු වන ඡන්ද ලක්ෂ 2 කෙරෙහිද යම් ශක්තිමත් බලපෑමක් කරන්නට පැහැදිලි ඉඩක් තිබේ.

මේ අනුව පෙර කී එජාපයේ ශක්තිමත් පදනම හා එක්වූ ජවිපෙ ක‍්‍රියාශීලී තරුණ ජවය විසින් ජෙනරාල්ව මහින්ද පේන මානයට ඔසවා තබන්නට සමත්වූවා යැයි කිව හැකිය.

මංගල - මනෝ - හකීම් එයි.

මින් පසු ජෙනරාල් සමග එක්වූයේ මංගල සමරවීර නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයයි. ආණ්ඩු පාර්ශවයෙන් මෙයට එල්ල කරන චෝදනාව වන්නේ මෙය තනි පුද්ගලයෙකුගේ පක්ෂයක් කියාය. නමුත් මෙතෙක් සිදුවී ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ සහ නියෝජ්‍යය ඇමතිවරුන්ගේ පිල්මාරුවට තිරය පිටුපස සිට සිතියම ඇන්දේත් මේසා සූක්ෂම මැතිවරණ සටනක් නිර්මාණය කළේද කුමන පළපුරුදු කාරයාදැයි අපට වඩා හොඳින් මහින්දම දනී. අනෙක් අතට ඔහුගේ දිස්ත‍්‍රික් නියෝජිතයන්ගේ තරම නොදන්නා ආණ්ඩුවට එක් උදාහරණයක් ලෙස මහනුවර තත්වය පැවසීමට කැමැත්තෙමි. මේ වන විටත් මහනුවර සැබෑ තත්වය නම් එජාප නායකයන් තරුණ ක‍්‍රියාකාරීන්ට කාර්‍යාල කෑල්ලක් ඇරන් දෙන්නට තරම් මුදල් නැති අක‍්‍රීය පිරිසක් ලෙස පෙනුනද මංගලගේ නියෝජිතයා වන නසාර් හාජියාර් මුදල් වියදම් කරමින් (එජාප මන්ත‍්‍රීනියන් පවා මුදල් ඉල්ලා ගන්නට පෝලිමේ සිටින බව වැසීමට අවශ්‍ය නැත.) දැවැන්ත ප‍්‍රචාරණ ව්‍යාපාරයකට උරදී සිටියි. මේ නිසා මංගල පාර්ශවය යන්න ආණ්ඩුව පවසන පරිදි නිශේධනීය සාධකයක් නොවන බව කිව යුතුය.

මින් පසුව ජෙනරාල් වෙත සහය පළ කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ තවත් පක්ෂයක් වන මනෝ ගනේෂන් පාර්ශවයයි. මංගල - රනිල් - මනෝ එකට මුණගැස්සූ ‘‘නිදහසේ වේදිකාව’’ හරහා ඇතිකළ අනාගත පෙරළියට දැවැන්ත සහයෝගයක් දුන් පුද්ගලයෙකි මනෝ ගනේෂන්. මොහු ආණ්ඩුව විසින් හංවඩු ගැසූ ත‍්‍රස්තවාදියෙකු බවට පත්වන්නේද දෙමළ ජනතාවගේ අයිතීන් ගැන විපක්ෂයේ සිට හඬනැගූ නිසා බැවින් මොහු සතුව දෙමළ ජනතාව වෙත පණිවිඩයක් ගෙන යෑමේ ශක්තිමත් මාර්ගයක් විය. මීට අමතරව ඔහු සතුව බස්නාහිර පලාතේ සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක්ද, අනෙකුත් දෙමළ ප‍්‍රදේශ වල මනා පිළිගැනීමක්ද වෙයි. එසේම දෙමළ සන්ධානයේ සහය ප‍්‍රකාශ නොවී තිබූ තත්වයක් තුළ ඔවුන් සමග සාකච්ඡා කළ මනෝ දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළොත් ජෙනරාල්ට සහය දීමටත් ඉදිරිපත් කළොත් තම පාක්ෂිකයන්ගේ දෙවන මනාපය ජෙනරාල්ට ලබාදීමට ප‍්‍රචාරයක් ගෙන යෑමටත් ඔවුන් එකඟ කරගනියි. (මෙහිදී තමන්ගේ අපේක්ෂකයා යැයි කීවේ පක්ෂය කඩාගෙන ගොස් මහින්දගේ ක‍්‍රයශක්තිය මත ඡන්ද කඩන සිවාජිලිංගම් වැන්නෙක් නොවන බව කරුණාවෙන් සලකන්න.)

මේ පිරිස සමග එක්වූ අනෙක් ප‍්‍රධාන පාර්ශවය වන්නේ මුස්ලිම් කොන්ග‍්‍රසයයි. මුස්ලිම් කොන්ග‍්‍රසය යනු ශ‍්‍රී ලංකාවේ තුන්වැනි ජනවර්ගය නියෝජනය කරමින් ඉන් බහුතරයේ සහයෝගය ලබන පක්ෂයයි. ශ‍්‍රී ලංකාවේ හැම ප‍්‍රදේශයකම වෙළඳ ප‍්‍රජාව අතර සුවිශේෂී අනන්‍යතාවයක් සහිත මුස්ලිම් ජනතාව නැගෙනහිර පලාතේ වැඩි කොටසක්ද නියෝජනය කරයි. මේ අනුව ජෙනරාල් සමග අත්වැල් බැඳගත් මේ පිරිස තවත් බොහෝ දුරකට ඔහුව ගෙනයන්නට සමත් විය.

පැනිලි වල වැඩි වාසිය ජෙනරාල්ට

මීට සමගාමීව සිදුවී පැතිමාරු වලින් ආණ්ඩුවට වාසිදායකව සිදුවූයේ එස්.බී නම් පලාත් විපක්ෂ නායකයාව සහ කුරුණෑගල එජාප මන්ත‍්‍රීවරු බාගැනීමට හැකිවීම පමණි. නමුත් ජෙනරාල්ගේ පාර්ශවයට වාසිදායකව සිදුවූ පිල්මාරු අතර ආණ්ඩුවේ ඇමතිවරු හා නියෝජ්‍යය ඇමතිවැර රැසක්ද ජනාධිපති උපදේශකවරුන්ද විය. මේ පිරිසෙන් බහුතරය දෙමළ මන්ත‍්‍රීවරුන් වූ අතර මේ වන විටත් දිගම්බරම් තම සහය ජෙනරාල් වෙත දක්වා තිබුණි. (2005 දී තොන්ඩමන් විපක්ෂව සිටි අතර මහින්දට කඳුකරයෙන් සහය දුන්නේ දිගම්බරම් පමණි.) මේ අනුව කඳුකරය නියෝජනය කරමින් පැමිණි මන්ත‍්‍රීවරු කීප දෙනා සමග දිගම්බරම්ගේ ශක්තිය එක්ව ගෙන බලන කල්හී මෙවර වතුකරයේ ප‍්‍රතිඵලය වෙනස් කිරීමේ ප‍්‍රවණතාවයක් පවතින බව කිව හැකිය. (පසුගිය පලාත් සභා මැතිවරණයේදීත් නුවරඑළිය ආසනයක් එජාපය සතු විය.) එසේම ආණ්ඩුවේ අවාසනාවට චන්ද්‍රසේකරන් ඇමතිතුමාගේ අභාවයද සිදුවූ අතර තවමත් වැනෙමින් සිටින තොන්ඩමන් අවසන් මොහොත වන තුරුම අතීරණයක පසුවන බවක් දක්නට තිබීමද විශේෂත්වයකි. අවසන් අවස්ථාවේදී මේ තත්වයද වෙනස් වීමට ඉඩ නැතුවාම නොවේ.

නැගෙනහිර පලාත නියෝජනය කරමින් මඩකලපුවේ නගරාධිපතිනිය වන ප‍්‍රභාකරන් මහත්මියත් මේවන විට හංසයාට සහය දක්වා ඇති අතර පිල්ලෙයාන්ගේ වැනෙන සුළු ස්වාභාවයද තොන්ඩමන්ගේ තත්වයට පත්වේවිදැයි සැක මතු කරවන තැනට පත්ව තිබේ.

සියල්ල කනපිට පෙරළමින් සම්බන්ධන් සම්බන්ධ වෙයි.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වී මාසයක් ඉක්මයන තුරුත් සද්ද නැතිව සිටි ද්‍රවිඩ සන්ධානය මේ තුලිත දේශපාලන තත්වය කනපිට පෙරළමින් ජෙනරාල් ජයග‍්‍රහණයේ හිනිපෙත්තටම ඔසවා තබන්නට සමත් විය. බැසිල්ගේ කේවල් කිරීමේ ශක්තිය බිඳගෙන පැමිණි ටීඑන්ඒ මන්ත‍්‍රීවරුන් 16 දෙනා තම පක්ෂයේ සහය ලබාදෙන බවට ජෙනරාල්ට පොරොන්දු විය. මේ අනුව උතුරේ දිස්ත‍්‍රික්ක පහේම බහුතර ඡන්ද ප‍්‍රමාණය සහ නැගෙනහිර දිස්ත‍්‍රික්ක තුනක මුස්ලිම් ඡන්ද ප‍්‍රමාණයට අනෙකුත් දෙමළ ඡන්ද ප‍්‍රමාණයද එක්වී ඒ ප‍්‍රදේශ වල අති බහුතර ඡන්ද ප‍්‍රමාණයක් ජෙනරාල් වෙත හිමි විය. එනම් සමස්ථ උතුරු නැගෙනහිර පවතින ඡන්ද ප‍්‍රමාණය වන ලක්ෂ 9.5න් ලක්ෂ 7කට ආසන්න ඡන්ද ප‍්‍රමාණයකි.

මේ ආකාරයට පක්ෂයන්හී සහය සහිතව සිටින ජෙනරාල් වටා සිටින

1. වැඩිම ඡන්ද සහිත එජාපය
2. තුන්වන බලවේගය වන ජවිපෙ
3. සිව්වන බලවේගය වන ද්‍රවිඩ සන්ධානය
4. හය වන බලවේගය වන මුස්ලිම් කොන්ග‍්‍රසය

ඇතුළු ශක්තිමත් දේශපාලන චරිත රැසකි. (මංගල, මනෝ, අර්ජුන හා විජේදාස රාජපක්ෂ වැන්නන් සතුවද සැලකිය යුතු මට්ටමේ ඡන්ද ප‍්‍රමාණයක් පවතී.) මේ අනුව ශ‍්‍රී ලාංකික ඡන්ද ප‍්‍රමාණයෙන් බහුතරය නියෝජනය කරන පක්ෂ වල සහය ලබන ජෙනරාල්ගේ ජයග‍්‍රහණය නියතවම දැකගත හැකි දිස්ත‍්‍රික්ක ලෙස පහත ඒවා දැක්විය හැකිය.

උතුරේ දිස්ත‍්‍රික්ක - වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය
නැගෙනහිර දිස්ත‍්‍රික්ක - ත‍්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර
කොළඹ හා ගම්පහ
නුවර හා මාතලේ
නුවරඑළිය හා බදුල්ල

මීට අමතරව බහුතරය ලබාගැනීමට නොහැකි වුවද විශාල පරතරයකින් තොරව පැවතිය හැකි දිස්ත‍්‍රික්ක ලෙස දැක්විය හැක්කේ පහත දිස්ත‍්‍රික්කයන්නය.

හම්බන්තොට , ගාල්ල හා මාතර
කෑගල්ල හා කුරුණෑගල

මේ අනුව තමන්ට වැඩිවාසි සහිත අඩු ඡන්ද ප‍්‍රමාණයක් පවතින මොණරාගල, පොළොන්නරුව හා අනුරාධපුරය වැනි දිස්ත‍්‍රික්ක වලින් ඉහත දිස්ත‍්‍රික් අභිබවා යන්නට තරම් දැවැන්ත ඡන්ද ප‍්‍රමාණයක බලාපොරොත්තු වීමට මහින්දට සිදුවී තිබේ. එය ඉතා අසාර්ථක තත්වයක් නිසා මෙවර ජනාධිපතිවරණයෙන් මහින්දට හිමිවන්නේ ගියවර මෙන් අනපේක්ෂිත ජයග‍්‍රහණයක් නොව අපේක්ෂිත පරාජයක් බව නම් ස්ථීරය.

මෙන්න සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය

මේ අනුව ඡන්ද ප‍්‍රමාණයන් ගෙන විග‍්‍රහ කර බලන්නේ නම් පහත පරිදි ගණනය කිරීමකට යා හැකි වන්නේය. (මෙහි දක්වන්නේ ලැබිය හැකි අවම ඡන්ද ප‍්‍රමාණ වලිනි.)

එජාපය - ලක්ෂ 40
ජවිපෙ - ලක්ෂ 5
වතුකරය - ලක්ෂ 2
උතුරු නැගෙනහිර - ලක්ෂ 7
මුස්ලිම් කොන්ග‍්‍රසය - ලක්ෂ 1.5
මංගල, මනෝ, අර්ජුන, විජේදාස හා අනෙකුත් - ලක්ෂ 1
එකතුව - ලක්ෂ 56.5කි.
සමස්ථ ඡන්ද සංඛ්‍යාව - 10,800,000
ජෙනරාල්ට හිමිවන ඡන්ද ප‍්‍රතිශතය - 52.31% කි.

Saturday, January 16, 2010

නොකී දේ කළ මහින්දයාණෝ........(මහින්ද පරාජය භාරගත යුත්තේ ඇයි ? (2 කොටස))


පෙර ලිපියේදී අප හඳුනාගත් පරිදි 2005 ජනාධිපතිවරණයෙන් පසු මහින්දට වාසිදායකව වෙනස්වූ තත්වයන් වූයේ ‘‘යුධ ජයග‍්‍රහණය, අපේකම පිළිබඳ වූ තර්කය හා සංවර්ධනය’’ පමණි. නමුත් ඒ තුළද අප හඳුනාගත් පරිදි අංගසම්පූර්ණ වාසියක් ඉතිරිව නැත්තේය. එවන් පසුබිමක් තුළ අප මෙම ලිපිය හරහා උත්සහ ගන්නේ මහින්ද කෙරෙහි අවාසිදායකව පැනනැගී ඇති තත්වයන්ගේ බලපෑම හඳුනාගැනීමටයි. ඒ අනුව පසුගිය වසර 4 දෙස ආපසු හැරී බලන ඕනෑම අයෙකුට පහත කරුණු හරහා ගොනුකර ඇති සිද්ධීන් එකිනෙක සිත්හී මැවී පෙනෙනු ඇත.

1. රාජපක්ෂකරණය කළ රාජ්‍යය

ශ‍්‍රී ලාංකික ජනතාව වන අප 2005දී ඡන්දය දී පත්කළ එක රාජපක්ෂ කෙනෙකු වෙනුවට ක‍්‍රමයෙන් ඒ වටා රොක්වූ රාජපක්ෂවරු රොත්තක් රට පාලනය කරන තත්වයක් අපට දැකගත හැකි වන්නේය. ඒ අනුව 2005 දී අප අසා හෝ දැක නොතිබූ බැසිල් රාජපක්ෂ නැමැත්තෙක් ජනාධිපති උපදේශකවරයෙක් වී, ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙක් වී, ගම්පහ වැනි නිදහස් පක්ෂයේ නිජභූමියක සංවිධායක තනතුරෙන් අනාගතයත් පැහැදිලි කරගෙන නැගෙනහිර නවෝදය හා උතුරු වසන්තය නම් ධන උල්පත් වල භාරකාරයාද වී අප ඡන්දයෙන් පත්කළ ජනතා නියෝජිතයන්ට කනට වුවද ගැසීමට හැකි තරමේ රෙස්පට් එකකින් වැජඹෙන්නේය. 2005 දී අපගේ ඇස්මානයේ නොසිටි ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා ආරක්ෂක ලේකම් වී උතුරේ ත‍්‍රස්තවාදය අතුගා දමන අතරම තම ජනාධිපති අයියාට ගේමක් වන්නට ඉඩ ඇති දකුණේ බොහෝ දෙනෙකුට පිටරටවලට සහ දෙවියන් වහන්සේ වෙත යෑමට වීසා පවා ලබාදී සිවිල් සේවයෙන් ආ අමාත්‍යංශ ලේකම්වරු සියල්ලෝම යට කරගෙන (ජනාධිපති අයියාගේ ආශීර්වාදයෙන්) ඔවුන්ගේ දෙවියන් බවටද පත්ව පිදුම් ලබන්නේය. ශෂීන්ද්‍ර රාජපක්ෂ නම් (අයියාගේ) පුතා කතරගම දේවාලයේ බස්නායකකම දරන ගමන්ම ඌවේ පැරිෂුට් මහඇමති කළේ ජනතා ඡන්දයෙන් පත්වූ හිටපු මහඇමතිගේ අපේක්ෂකත්වයටද ෂොට් එක දෙමිනි. නාමල් රාජපක්ෂ නම් ජනාධිපති පුත‍්‍රයා රට වටේ යමින් ශ‍්‍රී ලාංකික තාරුණ්‍යය උකස් කර හම්බකළ මිලියන ගනන් මුදල් විසිකරමින් ‘‘තාත්තාට හෙටක්’’ හදන්නට උරදී සිටින්නේය. එපමණකුදු නොව ශිරන්ති රාජපක්ෂ නම් ජනාධිපති ආර්‍යාවගේ ඥතීත්වය ආදායම් මාර්ගය කරගත් අසන්තද මෙල් හා ඩිල්හාන් වික‍්‍රමසිංහ වැන්නවුන් වමට බර තනතුරු හා කොන්ත‍්‍රාත් ලබා ගැනීම හරහා තම තම නැණ පමණින් පවුලේ සංවර්ධනයට උරදී සිටිති.

2. දූෂණය - වංචාව හා අකාර්‍යක්ෂමතාවය

2005 ජනාධිපති පදවි ලද සැනින් පැරණි ආණ්ඩුවේ වංචා දූෂණ හොයන්නට පත්කළ කෝප් කමිටුවේ වාර්ථාව හරහා හෙළිවූ රුපියල් බිලියන ගණනක වංචා දූෂණ ගොණුව සාටකෙන් හංගා ගත් ජනාධිපතිතුමා ඒවාට පියවර ගනු වෙනුවට කළේ වංචා කළ ඇමතිවරුන් බිය වද්දා පාර්ලිමේන්තුව තුළ තම ගොඩ වැඩිකර ගැනීම පමණකි. එහි අනිසි ප‍්‍රතිඵලය වූයේ වංචා හෙළිකළ කෝප් කමිටුවේ සභාපතිතුමා වූ විජේදාස රාජපක්ෂ මහතාට තම ඇමතිකමත් දන්දී විපක්ෂයේ වාඩි වීමට සිදුවීමයි. මෙලෙස ආරම්භ වූ දූෂණයට හා වංචාවට උඩගෙඩි දෙන මහින්දගේ සම්ප‍්‍රදාය තුළ අතීත හෙල්පින් හම්බන්තොටට නොදෙවෙනි වූ හෙජිං වංචාව, මිහින් එයාර් පාඩුව, මිග් වංචාව පමණක් නොව උතුරු වසන්තය හා නැගෙනහිර නවෝදය හරහා කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් හූරාගත් 10% බැගින් බැසිල් මල්ලිගේ සරම අස්සේ ගසාගැනීම්ද දක්නට ලැබේ. මහා පරිමාණ සංවර්ධන කටයුතු බැසිල් මල්ලීගේ හා චමල් අයියාගේ භාරයේ තබා පොඩි පොඩි කුට්ටි ගසා ගැනීමට දීම හරහා අන් අයගේත් කටවල් වැසීමට වගබලාගත් ජනාධිපතිතුමන්ගේ ‘‘ඒහි ඇමති භාවයෙන්’’ ඇමතිපදවි ලද සියල්ලෝම ඉඩ ලද සැනින් තම තමන්ගේ අත්වලට අසුවෙන දෑ හකුලා ගන්නට අමතක නොකළහ.

ලොක්කන් උඩ පැන පැන ගසාකනු දුටු රාජ්‍ය සේවකයෝ කාර්‍යක්ෂම සේවයක් වෙනුවට ඇල්මැරුණු විලාසයකින් කටයුතු කළද ඒ ගැන අසන්නට තරම් සුජාතභාවයක් නොමැති ඇමතිවරුද කළේ තම සේවකයන් සමග ඞීල් දමාගෙන එදා වේල ගතකර ගැනීමයි. හිටි හැටියේ මාරුවිය හැකි ඇමති පදවි ගැන වැඩි විශ්වාසයක් නොතැබූ ඇමතිවරුද කළේ ‘‘ඉන්න ටිකේ හොඳින් ඉඳිල්ලා. අපි හෙට යවයිද කියලා දන්නේ නෑ.’’ කියමින් ආතල් ගැනීම පමණක්මය. එහි ප‍්‍රතිඵලය වූයේ විදුලිබල මණ්ඩලය, වරාය, මාර්ග සංවර්ධන අධිකාරිය, ගමනාගමන මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතන සියල්ලම අකාර්‍යක්ෂමතාවය නිසා රුපියල් බිලියන 50කටත් අධික පාඩුවක් පසුගිය වසර තුළ ලැබීමය. (සම්පූර්ණ මහවැලි ව්‍යාපෘතියේම වියදමත් රුපියල් බිලියන 50කි.)

3. මැරකම හා නීතිය බල්ලාට දැමීම

මැච් එකක් දිනන අතරතුර සබන් කෑල්ලේ මිල වැඩි කරන්නා සේම කිලිනොච්චිට අල්ලූ උණුසුමට මුවාවී මාධ්‍යය කරුවන් මරා දමන්නටත් යුධ ජයග‍්‍රහණ වලට මුවාවී තමාට අභියෝගයක් විය හැකි මාධ්‍ය ආයතන ගිනි තබන්නටත් පෝද්දල වැන්නන් රැසකගේ අඬු කඩන්නටත් ජනාධිපතිතුමා වගබලා ගත්තේය. ඒ හරහා ලසන්ත වැන්නවුන්ගේ ඉරණම මහ දවල් අධි ආරක්ෂිත කලාපයක් තුළදී යතුරුපැදි වලින් පැමිණි සූක්ෂම ආයුධ රැගත් මැරයන්ගේ අතින් විසඳුනි. ඒ හරහා සෑම මාධ්‍යය කරුවෙක්ම තැතිගැන්වූයේ තවත් එවැනි ශබ්දය නොනැගෙන (උසාවියේ හා පොලීසියේවත් ශබ්දය නොනැගෙන) උණ්ඩ ඇති බව නොකියා පවසමිනි. ඒ උණ්ඩ වල නෑසෙන බව කෙතරම්ද යත් අද වන විටවත් පොලීසියට එකඳු සැකකරුවෙක්වත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැති තරමිය. ඒ එක මාධ්‍ය කරුවෙකුට හිමිකර දුන් නින්දිත මරණයක් පමණි. මීට අමතරව පෝද්දල ජයන්ත දක්වා පහරදීම් වලට ලක්වූ මාධ්‍යවේදීන්ගේ හා පණ රැකගැනීමට රට හැර ගිය මාධ්‍යවේදීන්ගේත් දේශපාලන ක‍්‍රියාකාරීන්ගේත් ලැයිස්තුව මෙම ලිපිය මෙන් කීප ගුණයක් දීර්ඝය. එපමණකින් නොනැවතුණු සහෝදර ගැන්සිය සිරසට ගිනිතබා කියා සිටියේ ස්වාධීන මාධ්‍යයක පැවැත්මට අත්විය හැක්කේ මීටත් එහාගිය ඉරණමක් බවයි.

ජනාධිපතිතුමන්ගේ කොන්ත‍්‍රාත් කිරීම හරහාම පන්නරය ලැබූ මර්වින් ආචාර්‍යතුමා සිරස කැමරා කුඩුකර ඇරඹූ ප‍්‍රාදේශීය මැර ව්‍යාපාරය නතර වූයේ කැළිණිය විශ්ව විද්‍යාලයටත් පහර දී (පබිලිස් සිල්වා සමග ආචාර්‍යකම ගත්ත මර්වින් විශ්ව විද්‍යාල තියෙන්නේ මොකටදැයි නොදැනීම ගැන කණගාටු නොවෙමු.) කැළණිය පාර දිගේ සාමකාමී පා ගමනක් තියා සැදැහැවතෙකුට කැළණිය පන්සල වඳින්නටවත් ඉඩ නොදීමෙනි. කැළණිය භූමියේ බහිරවයෙකුව ඉපිද සිටින ආචාර්‍යතුමන්ට අද පෙනන බුද්ධ පුත‍්‍රයන් වනුයේ සල්ලාලයෙකු වූ තම පුතා හා කැළණිය නම් පූජනීය භූමියේ සිටින පොලූ මුගුරු රැගත් කුඩුකාරයන් රැලත් පමණි. එහි ප‍්‍රධානම වැරැද්ද ඒ සියල්ල සහිත තමා බුද්ධ පුත‍්‍රයෙකැයි ආචාර්‍යතුමා සිතාගෙන සිටීමයි.) මේ මොහොත වන විටත් ජනාධිපතිවරණයේ පළමු හා එකම මිනිස් බිල්ල බා ගැනීමේ ගෞරවය තමන් සතු කරගෙන සිටින ජනාධිපතිතුමා ඇතුළු පිරිස ගෙනයන අනුකම්පා විරහිතවූත්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීවූත් ජඩ මැතිවරණ ව්‍යාපාරය වසාගෙන පැතිර ඇත්තේ ප‍්‍රචණ්ඩත්වය, මැරකම හා බලලෝභීත්වයයි. මේ බලයට මුවාවී නීතිය කඩන්නන්ගේ කතන්දරයයි.

මෙතරම් සිදුවීම් සිදුවෙද්දී ඇස්පියාගෙන ඇමතිවරුන්ගේ හෙන්චයියන් ගානට වැටී ඇති පොලීසිය මේ කිසිත් නොදැක්කා සේ කටවල් ඇරගෙන බුදියගෙන සිටිති. නීත්‍යානුකූල ප‍්‍රචාරණ වැඩවල නිරතවන එජාප හා ජවිපෙ ආධාරකරුවන් එන මග නවත්තන්නට පෙරට එන පොලීසියට පොලූ මුගුරු රැගෙන කැළණියේ රැක සිටින මැරයන් එලවන්නට තරම් ඔළුවක් නැත. පොළොන්නරු කාර්‍යාලයට බලෙන් ගස්සවා ගෙන සැකකරුවන් ලෙස විපක්ෂයේ ක‍්‍රියාකාරීන් පැය කිහිපයකින් අල්ලා සිරගත කරන්නට හැකි පොලීසියට හම්බන්තොට මිනීමැරුම කළ මැරයන් අල්ලන්නට කොන්ද පණ නැත. ලැජ්ජාවක් නැතිව මහින්දගේ නීති විරෝධී රියන් අසූවේ කටවුට් දෙපැත්තට වී ටී 56 තියාගෙන කටවුට් රකින පොලීසියට හම්බන්තොට විපක්ෂ ආධාරකරුවන්ගේ ගෙවල් වලට වෙඩි තියන විට හෝ කොලොන්නාවේ නාගරික මන්ත‍්‍රීගේ ගෙදරම වනසා ඔහුට බල්ලෙකුට මෙන් පහර දෙන විට රකින්නට තියා පසුව ඒ පැත්තට ගොස් විපරම් කර බලන්නටවත් තරම් පිරිමිකමක් නැත. මේ වෙනකක් නොව පසුගිය වසර 4 තුළ මහින්ද පොලීසියට ඉගැන්වූ නීතිය හා සාමය රැකීමේ කාර්‍යයයි. (මහින්ද සිතාගෙන සිටියේ පොලීසියේ ඉන්නේ පොලිස් බල්ලන් විතරක් දැයි කියා සැක සිතේ.) මේ නීතිය රකින්නන්ගේ කතන්දරයයි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පස්ස පෙන්නූ මහින්ද ‘‘ඒහි භික්ඛු භාවයෙන්’’ පත්කරන අගවිනිසුරු ඇතුළු විනිශ්චයකරුවන් ඉදිරියේ නීතියේ සරණ සොයන්නට ගිය තිස්සනායගම්ට අත්වූ ඉරණම තවත් එක් නිදසුනක්ම පමණකි. අධිකරණයේ උත්තරීතරභාවයද සින්නක්කර ලියාගත් විධායක ජනාධිපති බලතල නීතිය පසිඳලීම උදෙසා අත්‍යාවශ්‍යය වන අධිකරණ ස්වාධීනත්වයද කෙලෙසා දමා හමාරය. ඒ වූකලී නීතිය පසිඳලන්නන්ගේ කතාන්දරයයි. නීතිය හදන්නන්ගේ තත්වය කීමට අවශ්‍ය නැතැයි සිතන්නේ මෙම ලිපිය නවකතාවක් නොවී නවත්වා ගැනීමට අවශ්‍ය නිසා හා ඔබ වැනි ඇස් කන් ඇත්තවුන් ගැන අවතක්සේරුවක් නොකළ යුතු නිසාවෙනි.

මේ අනුව අද වන විට තමාට හතුරුවන්නා පොලීසියට ගෙන ගොස් අතහරිනවාද, අධිකරණයට ඉදිරිපත් කර අවුරුදු කීයකට ඇතුලේ තබනවාද, බන්ධනාගාරය තුළදී මොනවා කරනවාද, අයුධ සොයන්නට ගෙන ගොස් අවසන් කර දමනවාද යන්න පවා තීරණය කරන්නේ එකම පුද්ගලයෙක් පමණි. ඒ අනුව පොලීබියස් රෝමයේ තිබූයේ යැයි උදම් ඇණූ ආයතනික පද්ධතියවත් ඒවා අතර වූ සංවරණ හා තුළන ක‍්‍රියාවලියවත් අද ලංකාවේ නැති බව කිවයුතු වනනේ ලැජ්ජාව අල්ලෙන් වසා ගන්නා ගමන්ය. (ගොඩක් දෙනෙක් එළිපිට වැනුවද එසේ නොවනන්නට තරම් අප සදාචාරාත්මක නිසාය.)

මේ අනුව බලන කළ මැරකම, අසාධාරණය වැනි ගංදියේ කරවටක් ගිලූණු ශ‍්‍රී ලාංකිකයා නීතිය රැකීම හා පසිඳලීම යන අයෝමය අත්දෙකෙන් ඔසවා තබා බේරාගන්නවා වෙනුවට සිදු කරනුයේ තව තවත් ඔහුව දිය තුළටම ඇදගෙන ගොස් මරා දැමීමකි.

4. නොමිලේ සෞඛ්‍යය කොමිස්කරණයට ලක්වීම.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිධූරයට පත් අපේ ඇමතිතුමන් ආරම්භයේ සිටම ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සේවක කඩාකප්පල් කිරීමට මහත් සේවක් ඉටු කළේය. ඩෙංගු හා කුරුළු උණ වැනි රෝගී තත්වයන් නිසා දිනෙන් දින අහිංසක ජීවිත බිලි ගන්නා අතරම පාසල් දැරිවියන්ට රුබෙල්ලා එන්නත් හරහා මරුකැඳවීමටද සෞඛ්‍යය අමාත්‍යංශය වගකිව යුතු වන්නේය. දිවයිනේ සතර අතින් හතු පිපෙන්නා සේ වීදුරු කටු සහිත බෙහෙත් කුප්පිත්, ප්ලාස්ටික් කැබලි සහිත සේලයින් බෝතලූත්, අපද්‍රව්‍ය සහිත ෙඖෂධ වර්ගත් බිහිවෙන්නට පටන් ගත්තේය. (ඇමතිතුමා නම් කීවේ දේශද්‍රෝහීන්ට මේවා කිරීමට වුවද හැකි මැජික් බලයක් පවතින බවයි.) ළමා රෝහල් වල දරුවන්ගේ කන් හා ඇඟිලි නිකරුණේ කපා දමන්නටත දකුණු කනේ රෝගයට වම් කනට ශෙල්‍යකර්ම කරන්නටත් තරම් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ජාත්‍යන්තරකරණය විය. (තත්වයෙන් බාල ෙඖෂධ පිළිබඳව රටේ කතිකාව ඇති වන අතරම ඉන්දියාවේ කොමිස් සමාගම් මිත‍්‍රයන් ඇමතිතුමාට සම්මාන පිට සම්මාන පුදන්නට තරම් මානුෂීය වූයේ රෝගීන් ගැන සිතාගෙනද සැතිනම් තමාගේ ටෙන්ඩරය ගැන සිතාගෙනද කියා වෙන්කර හඳුනාගැනීමේ අයිතිය ඔබ සතුය.)

5. නිදහස් අධ්‍යාපනයේ පිරිහීම.

කලට වෙලාවට පොත් ටික බෙදාගන්නට තරම් කාර්‍යක්ෂම නොවන සුසිල් ඇමතිතුමාගේ පෙළපොත පාසලට යන්නේ වසර අවසාන විභාගයද නිමවූ පසුය. එවිට පොතේ පින්තූර ටික හා සුවඳ බලා ආපසු භාරදීමට සිදුවන ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයේ තරම ගැනනම් කතා කරන්නේ කුමටද? නමුත් අමාත්‍යංශයේ සමහර පොත් දුටු විට ඒවා ලැබෙනවාට වඩා නොලබීම හොඳයැයි දෙමාපියන් හිතහදා ගන්නේ සුසිල් ඇමතිතුමාගේ පොත් වලට අනුව නවඅරහාදී බුදුගුණ පවා දහයක් තිබෙන නිසාය. ඒ පොත් වල තත්වයයි. වාර විභාග ප‍්‍රශ්ණ පත්තර දෙස බැලූවොත් තත්වය මීට වඩා ඉදිරියෙන් තිබේ. ඇමතිතුමන් ප‍්‍රශ්ණ පත්තර සමග දරුවන්ට කුණුහරප පන්තියක්ද දමා තිබූ අතර සමහර අවස්ථා වලදී දරුවන් ගැන අනුකම්පා සිතී පිළිතුරු ටිකත් ප‍්‍රශ්ණ පත්තරේම පැත්තක සටහන් කරන්නට තරම් ඔහු මානුෂික විය. එසේම සමහර ප‍්‍රශ්ණ පත්තර කුඹුරු වල පවා දමා තිබුණෙ මේ වැරදි සහිත ප‍්‍රශ්ණ පත්තර හදන්නේ පඹයන් විසින් යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට දෝ කියා විටෙක සිතෙයි.
මේ ගැන මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ අනුර ඇමතිතුමා කීවේ මෙතෙක් හැදූ ප‍්‍රශ්ණ පත්තර එකසිය ගණනකින් වැරදි ඇත්තේ 26ක පමණක් බවයි. එතුමාට මෙහි බරපතල කම නොතේරුණද අපගේ පශ්චාත්භාගයෙන් පවා සිනායන මෙවැනි ප‍්‍රකාශ කිරීම දුටු විට අපට සිතුනේ බල්ලාගේ වැඬේ බූරුවා කිරීමට යෑම කෙතරම් නම් විනෝදජනක දසුන් මවනවාද යන්නයි.

ඉහත කරුණු 5 ඔස්සේ අප පෙළ ගස්වන්නට උත්සහ කළේ මහින්ද යුගයේදී වුනා යැයි නිශ්චිතවම දක්වන්නට හැකි කරුණු රැසක් විවිධ වූ මාතෘකා හරහා ගොණුකර දක්වන්නටය. මෙහිදී තවත් බොහෝ දේ නොකියවුණේ යැයි ඔබ අප සමග අමනාප නොවෙනු ඇතැයි අප විශ්වාස කරමු. එසේම එවැනි අදහස් දැක්වීමට ඔබටද අවස්ථාව ඇතැයි මතක් කරමු.

අප දැන් තේරුම් ගත යුත්තේ මේ හැම සිදුවීමක් හරහාම නිරුවත් වනුයේ නැවතත් අප ඉදිරියට විත් ජනාධිපතිධූරය අයැද සිටින වත්මන් ජනාධිපතිතුමාගේ යටතේම බවයි. මෙය රටේ ජනතාවට අමතක නොවනු ඇත යන්න අපගේ දැඩි විශ්වාසයයි. ඒ හරහා අප පළමු ලිපියේදී විස්තර කළ පරිදි මහින්දට වාසිදායකව ලබාගත හැකි ඡන්ද ප‍්‍රමාණය මෙම අවාසිදායක තත්වයන් දකින ජනතාවගේ ඉවත් වීම හරහා නිශේධනීය තත්වයකට එහා ගිය ඍණාත්මක තත්වයත් මහින්දට උදාකරනු ඇත යන්න අපගේ තර්කයයි.

ශ‍්‍රී ලාංකික ඡන්දදායකයාගේ හැසිරීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. අද වන විට සමස්ථ ඡන්ද ප‍්‍රමාණයෙන් 15% - 20% ත් අතර ප‍්‍රමාණයක් පාවෙන ඡන්ද ලෙස පවතී. ඒ අනුව අපගේ පළමු ලිපි දෙකෙහි ගණනය කිරීමට අදාල වන්නේ මෙම ඡන්ද ප‍්‍රමාණයන් පමණක් වන බවද තේරුම් ගත යුත්තේය. මන්ද පවතින තත්වය හා අතීත අනාගත තත්වයන් සසඳා තම මනාපය වෙනස් කිරීමට තරම් ශක්‍යතාවයක් ඇත්තේ මොවුන්ට පමණි. (ඒ අනුව මීට අමතරව පවතින අනෙක් කොටස අප මීළඟ ලිපියේදී විග‍්‍රහ කරන්නට යොදාගනු ඇත.) අප පළමු ලිපියෙන් පෙන්වූ පරිදි මහින්ද කෙරෙහි වාසිදායකව පවත්නා කරුණු හේතුවෙන් ඔහු කෙරෙහි නැඹුරුව පවතින්නේ මෙම පිරිසෙන් කොටසකි. එසේම අප දෙවැනි ලිපියෙන් පෙන්වා දුන් පරිදි මහින්දගේ අවාසිදායක තත්වයන් හමුවේ ඔහු කෙරෙන් බිඳී විපක්ෂයට එකතු වන්නේත් මේ පිරිසෙන් කොටසකි. එය හරියටම 10% බැගින් පවතිනවා යැයි අප කියනනේ නැත. නමුත් මේ පිරිස නියෝජනය කරන්නේ පක්ෂ බදාගෙන දේශපාලනය නොකරන දේශපාලනික වශයෙන් සවිඥනික ජනතාවක් බව අප අමතක නොකළ යුතුය. එබැවින් ඔවුන් යුධ ජයග‍්‍රහණය හා දූෂණ-වංචා-ප‍්‍රජාතන්ත‍්‍ර විරොධීත්වය-පවුල් පෝෂණය ආදිය එකට ගෙන සලකා බලන කල්හී නිසැකවම මහින්දට විපක්ෂව සිටගනු ඇත. ඒ අනුව එම 20%ම නැතත් අති බහුතරය විපක්ෂව ඡන්දය භාවිතා කරනවා ඇත යන්න අපගේ විශ්වාසයයි.

සමස්ථ ඡන්ද වලින් 20% ක් අතරින් 15% ක් මේ මොහොත වන විටත් මහින්දට අහිමි වී ඇත.

Thursday, January 14, 2010

මහින්ද පරාජය භාරගත යුත්තේ ඇයි ? (1 කොටස)

ජනාධිපතිවරණයකදී ප‍්‍රකාශ විය හැකි ප‍්‍රතිඵලය පිළිබඳව දැනට පැවති පලාත් සභා මැතිවරණ සමග සන්සන්ධනය කර නිවැරදි විනිශ්චයක් දිය නොහැකිය. පලාත් සභා මැතිවරණ වලදී අපේක්ෂකයන් වන්නේ තමන්ගේ ගමේම පුද්ගලයන්ය. එනිසා ඔවුන් සමග ඇති පෞද්ගලික හිතවත්කම් සහ අපේක්ෂකයාගේ පවුලේ අය කෙරෙහි පවතින සම්බන්ධකම් වැනි සාධක බිම් මට්ටමේ ඡන්දදායකයාගේ හැසිරීමට දැඩි බලපෑමක් එල්ල කරයි. එබැවින් පක්ෂය, ප‍්‍රතිපත්තිය හා ජාතික මට්ටමේ චලනයන් ආදිය මේ තලයේදී ද්වීතීයික ඝණයේ බලපෑම් සාධක බවට පත්වන්නේය. නමුත් ජනාධිපතිවරණයේදී මේ තත්වය බොහෝ දුරට වෙනස් වේ. තමාට කිසිසේත්ම සමීප නොවන අපේක්ෂකයා දෙස ජනතාව බලන්නේ පෙර කී ප‍්‍රාථමික තත්වයන්ගෙන් ව්‍යුක්තවූද ඊට එහා ගිය සවිඥනිකත්වයක් තුළ නිර්මාණය වූ මානසිකත්වයක් සමගය.


එනිසා දැන් එළඹී ඇති ජනාධිපතිවරණය පලාත් සභා මැතිවරණ වල ප‍්‍රතිඵල සමග සසඳා නිගමන වලට එළඹීම අසාර්ථකය. නමුත් එය 2005 මැතිවරණයේ තත්වයන් සමග සසඳන්න යැයි අප ඉල්ලා සිටින්නේද නැත. මන්ද එදා තිබූ පරිසරය අද වන විට හාත්පස වෙනස් වී ඇති බව අප දන්නා බැවිනි. එබැවින් වත්මන් ප‍්‍රවණතාවන් එකිනෙක සමග සන්සන්දනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේය.


මෙහිදී අප මුලින්ම කළ යුතු වන්නේ එදා ප‍්‍රතිඵලයට වඩා මහින්ද දෙසට නැඹුරුවූ ඡන්ද බිහිවීමට හේතුවූ කරුණු සොයා බැලීමයි. ඉන් ප‍්‍රබලම කාරණය වන්නේ යුධ ජයග‍්‍රහණයයි. අතීතයේ යූ.එන්.පී ය මහවැලිය වික්කා සේම මහින්ද හැම ඡන්දෙකදීම විකුණන්නට තියාගත්තේ මෙම යුධ ජයග‍්‍රහණයයි. නමුත් ජනාධිපතිවරණයේදී මෙම යුධ ජයග‍්‍රහණයේ සමස්ථ වාසියම මහින්දට තනිව භුක්තිවිඳීමේ වාසනාව ගිලිහී යන්නේ මුළු යුද්ධය පුරාවටම හමුදාව මෙහෙයවූ හමුදාපතිවරයා ප‍්‍රබලම ප‍්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණ සටනේදී විපක්ෂව සිටගැනීම නිසාය. එසේ ඉදිරිපත්වූවා යැයි කියා මහින්ද ජාත්‍යන්තරය සමග කළ සටන හෝ යුධමය වාතාවරණය තුළ සමස්ථ රාජ්‍යයේම නායකයා ලෙස කළ කාර්‍යය මුළිනුපුටා වැටෙන්නේ යැයි අප තර්ක කරන්නේ නැත. නමුත් පලාත් සභා වේදිකාවන් සිසාරා රනිල්ගේ අලි-කොටි ගිවිසුම සමග සැසඳූ පරන්තන්, කිලිනොච්චි හා අලිමංකඩ ජයග‍්‍රහණ වල ප්‍රෞඩත්වය මෙම ජනාධිපතිවරණ වේදිකාවේදී අවලංගු කාසියක් වන බවත්, රනිල්ගේ සාමකාමී පෞරුෂය යටකරගෙන නැගී සිටි යුධ ජයග‍්‍රහණයෙන් ඔද වැඩුණු මහින්දගේ වීර පෞරුෂය තව දුරටත් ජනාධිපතිවරණ වේදිකාවේ අසමසම වන්නේ නැති බවත් අප අවිවාදයෙන් පිළිගත යුතු වන්නේය.(බිම් මට්ටමට යන විට ජනතාව තීරණ ගන්නේ පුද්ගලබද්ධ සාධක මත බව අප හොඳින් තේරුම් ගත යුතුය. එනිසා පුද්ගල පෞරුෂය එහිදී වැදගත් කාර්‍යයක් ඉටු කරනු ඇත.) මේ අනුව 2005දී යූ.එන්.පී ය සතුවූ උතුරේ ඡන්ද ලක්ෂ ගණනක් ප‍්‍රභාකරන්ගේ බලපෑමෙන් වැළකුණු තැන්හීදීත් ලක්ෂ එකහමාරක වැඩි ඡන්දයකින් පමණක් ජයගත් මහින්දට මේ තත්වයේ යුධ ජයග‍්‍රහණයකින් අද්විතීයිය වාසියක් අත්වනු ඇතැයි වහසිබස් දොඩවනු නොහැකි වනු ඇත්තේය.


මහින්ද සතු දෙවැනි වාසිදායක තත්වය වන්නේ ඔහුගේ සම්ප‍්‍රාප්තියේදීම ගෙනා ‘‘අපේකම’’ පිළිබඳ වූ තර්කයයි. ඒ හරහා ඔහු විසින් කළ බොහෝ දේ ඇත. නමුත් අප මෙහිදී අප සිහි එළඹවා ගත යුතු වන්නේ මේ අපේකම පිටුපස තිබුණේ ජවිපෙ වාමාංශික හස්තය බවටයි. ඒ නිසා මෙම අපේකමද ජවිපෙ හරහා පොම්ප කරන ලද ප‍්‍රතිපත්තියක් විය. ඒ අනුව නිර්මාණය වූ ‘‘අපි වවමු - රට හදමු’’ ‘‘වැව් දසදහසේ වැඩසටහන’’ ‘‘කිරිගොවීන් දිරි ගැන්වීම’’ ආදිය තදින් ගැමි ජනතාවගේ සිත් සතන් තුළ සටහන් විය. නමුත් පසුකාලීනව ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ආණ්ඩුව විසින් කුළියට ගත් එජාපයේ කෝප් ගැන්සිය තමන්ට හුරු ධනවාදී ප‍්‍රතිපත්තීන් සමග නොගැලපුණ මේ සමාජවාදී හෙවනැලි වලට ස්වාභාවික මරණයක් අත්වන්නට ඉඩ දුන්හ. මෙහි ප‍්‍රතිඵලය වූයේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා උඩ පැන පැන කියවූ ස්වයංපෝෂීත්වය වෙනුවට හාමතේ සිටින ජනතාවක් හා රුපියල් 100ට ඉහළ ගිය හාල් කිලෝවක් ඇති වීමයි. ඊට එතුමාගේ ආර්ථික විද්‍යාවේ තිබූ පිලියම වූයේ මහින්ද විසින් මුරුංගා අත්තේ තබා තිබූ දේශීය ගොවියාට පාඩමක් ඉගැන්වීමට පකිස්තානයෙන් හාල් මෙටි‍්‍රක් ටොන් ගණන් ගෙන්වීමය. එපමණක්ද නොව කිරිගොවීන්ට වෙන් කළ මුදලින් දෙකෙන් පංගුවක් ගසා කෑ උතුරුමැද මහඇමතිතුමන් රුපිලන් 200,000 ක් මිල වූ කිරිගොවි අලෙවි සැලක් හදන්නට රුපියල් 400,000ක් ගෙවා තිබුණේ ඇස් පියාගෙන මෙනි. මේ සිදුවීම් හරහා ආණ්ඩුවේ සැබෑ අපේකම හඳුනාගත් ග‍්‍රාමීය ජනතාව 2005දී ජවිපෙ සමග එක්ව ගත් ඡන්ද ප‍්‍රමාණයම ජවිපෙ විපක්ෂව සිටගත් විටත් ලබා දෙන්නට තීරණය නොකරනු ඇතැයි පැහැදිලිව කිව හැකිය.


මහින්දගේ වාසියට පවතින තෙවැනි හා අවසාන සාධකය වන්නේ සංවර්ධනයයි. ඒ තුළ මහාමාර්ග, ගුවන් පාලම්, ග‍්‍රාමීය මාර්ග, විදුලි බලාගාර, රණවිරු නිවාස ආදිය වන්නේය. මේවා මහින්ද දෙසට යම් ඡන්ද ප‍්‍රමාණයක් නැඹුරු කරන්නට ශක්‍යතාවයක් ඇති කරුණු ලෙස අප දකිමු. නමුත් මේ සංවර්ධයේ හොඳම කොටස පවතින්නේ ඒවාට අදාල අමාත්‍යංශයන් සතුව නොව. මාර්ග සංවර්ධනය සිදු කළ යුතු වන්නේ මහා මාර්ග අමාත්‍යංශයෙන් වුවද එය සිදු වන්නේ මග නැගුම හරහාය. උතුරේ හා නැගෙනහිර සමස්ථ මාර්ග සංවර්ධනය සිදුවන්නේ උතුරු වසන්තය හා නැගෙනහිර නවෝදය නම්වූ බැසිල්ගේ වැඩසටහන් හරහාය. (නැවත පදිංචි කිරීම් ගැන ඇමතිතුමන් කිසිවක් දන්නේ නැත. වරක් ඒ ගැන විමසූ විට එය බැසිල්ගෙන් විමසන්න යැයි ඇමතිතුමාම පවසා ඇත.) මේ හරහා පෙනෙන සංවර්ධනයට එහා ගිය නොපෙනෙන රාජපක්ෂ පවුලේ සංවර්ධනය සාර්ථකව සිදුවන බවයි. තවත් අවුරුදු 100කට ප‍්‍රමාණවත් ලෙස වරායන් 5ක් රට වටේ ඉදිවන බව මහින්ද පපුවට ගසාගනිමින් කෑගසයි. නමුත් එහි අයිතිකරුවා වන චමල් අයියාගේ නෝනා ලක්ෂ ගණන් වලට එම වරායන් වල රැකියා විකුණමින් හම්බකරන මුදල තවත් අවුරුදු 100කටත් වඩා කාලයකට තම පවුලට ප‍්‍රමාණවත් වනු ඇතැයි මහින්ද කියන්නේ නැත. එපමණක්ද නොව පොළොන්නරුවේ ඈත ගම්වල ජනතාව මෛත‍්‍රීපාලගේ බලාපොරොත්තු දේශපාලනයෙන් සංවර්ධනය එනතුරු බලාසිටියද හම්බන්තොටට විතරක් විශේෂිත වූ සීත මාලිගා ඉදිවන්නේය. මේ තත්වයන් කෙරෙහි සවිඥනිකව සිටිනා ජනතාව නැගෙනහිරින් ලැබීමට නියමිත නගරාධිපතිනියගේ හා තවමත් ප‍්‍රකාශ නොවූ පිල්ලෙයාන්ගේ සහය මත එකතු වන ලක්ෂ ගණනක් ඡන්ද පරද්දා ජනාධිපතිතුමන් බේරාගනු ඇතැයි කිසිවෙකුටත් කිව නොහැකිය.

මේ අනුව මෙම සටහනේදී අප උත්සහ දැරුවේ මහින්දට වාසිදායකව ඇතිවූ වෙනස්කම් පමණක් ගෙන ඒ හරහා ඔහුට මෙම මැතිවරණයේදී එම තත්වයන් කෙතරම් වාසිදායක වනු ඇත්දැයි සලකා බැලීමටය. අප මීලඟ ලිපියේදී ඔහුට අවාසිදාක ලෙස මේ වසර කිහිපය තුළ සිදුවී දේවල් ගෙන විග‍්‍රහ කිරීමට බලාපොරොත්තු වන අතර අවසන් ලිපියේදී වත්මන් පක්ෂ වල හැසිරීම මීට පෙර තත්වයන් හා සසඳා සැබෑ ජයග‍්‍රහණයේ දිශාව නිශ්චය කරගැනීමට උත්සහ දරන්නෙමු.

Thursday, January 7, 2010

රාජපක්ෂ සහ සහෝදරයන්ට ‘‘ සුභ අනාගතයක් ’’ .......


‘‘මටයි මගේ පවුලේ අයටයි මඩ ගහන්න විපක්ෂයේ අය බොරු ගොතනවා. අපි ගත්ත ඉඩමක් නෑ. තියෙනවනං මට කියන්න මං ඒක ඕනේ කෙනෙක්ට ලියලා දෙනවා.’’ මේ වත්මන් ජනාධිපතිතුමන්ගේ වදනින්ම කියැවෙන රාජපක්ෂ සහ සහෝදරයන්ගේ වත්කම් වල සුජාතභාවයයි. මේ සුජාතභාවයට හොර උප්පැන්න හදන්නට භාරගත් ජොන්ස්ටන් කියන්නේ මෙවැන්නකි. ‘‘මංගල තමයි මේ ඔක්කොම කරන්නේ. එදා සිරිකොත රැස්වීමේදී මංගල කිව්වේ හොරා...හොරා...හොරා කියලා දිගින් දිගටම කියන්න කියලයි. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි සහෝදරවරුයි හොරු කරන්න අපිට පුළුවං’’ බඩපුරවාගත් ජනතාවට දන්සැල් අධිපතිතුමන් ඩෙසට් එක හැටියට කියනා කතාවලිනුත්, අවතැන් වූවන් අනාථ කරමින් කතා පවත්වන බැසිල් සහෝදරයාගේ කතා වලිනුත්, සූරියප්පෙරුම සමග වටේ යන ගෝඨාභය සහෝදරයාගේ කතා වලිනුත්, තාරුණ්‍යයේ අනාගතය කුලියට ගත් නිල්බලකායේ නාමල් පුත‍්‍රයාගේ කතා වලිනුත් පුන පුනා කියනා සුජාතභාවයේ ආයාචනය හා ජොනීගේ කේලම තකට තක ගැලපෙන නිසා මේ හරහා ජනතාව විසන් රාජපක්ෂවරුන්ගේ නිවැරදිභාවයට තර්කයක් නිර්මාණය කරගනු ඇතැයි ඔවුහූ මෝඩ නිගමනයක එල්බ සිටිති. නමුත් බුද්ධිමත් ජනතාව හැටියට අප මෙය නැවතත් විමසා බැලිය යුතු වන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට තරම් හරක් චින්තනයක් තවමත් අප තුළ ඇතිවී නැති නිසාවෙනි.




රූපවාහිනිය හා අයි.ටී.එන් එක හරහා මහින්ද ප‍්‍රමුඛ ජනහිතකාමී ඇමතිරැල නන්දොඩවන ගොබෙල්ස් න්‍යාය යන්නද මෙහිලාම නිරාකරණය කරගත යුතු තවත් සිද්ධියක් වන්නේය. ගොබෙල්ස් කීවේ බොරු වුවද නිතර නිතර කීමෙන් සත්‍යය වන බවයි. ඒ අනුව විපක්ෂය ගොබෙල්ස් න්‍යාය භාවිතා කරයි නම් රාජපක්ෂවරුන් හොරකම් නොකර සිටියා විය යුතුය. නමුත් රාජපක්ෂ සහ සහෝදරයෝ හොරකම් කරන ගමන් තමන් හොරකම් කරන්නේ නැතැයි නිතර කියවයි නම් ගොබෙල්ස් න්‍යාය භාවිතා කරන්නේ විපක්ෂය නොව රාජපක්ෂවරුන්ම බව ඉතාම පැහැදිලිය.




තත්වය මෙසේ නිසා අප දැන් විමසා බැලිය යුතු වන්නේ රාජපක්ෂවරුන් ඔය කියන ආකාරයට සතයක්වත් වමට නොගැසූ බබ්බුද කියාය. මහින්ද යුගය තුළ කොළඹ ගුවන් පාලම් 4ක් ඉදිකර ඇත. ඒවා සඳහා වියදම් කළ මුදල් ප‍්‍රමාණයන් පහත පරිදිය.


කැළණිය - රුපියල් මිලියන 2000
නුගේගොඩ - රුපියල් මිලියන 1200
දෙහිවල - රුපියල් මිලියන 900
ඔරුගොඩවත්ත - රුපියල් මිලියන 1000


මහින්ද රාජපක්ෂගේ සංවර්ධනය මේ තරම් මිල අධික වුවද මෙම පාලමක් ඉදිකිරීමට යන ජාත්‍යන්තරව පිළිගත් වියදම රුපියල් මිලියන 400කි. දේශපේ‍්‍රමීත්වයෙන් ඉහවහා ගිය මහින්ද මේ ගණුදෙනුව හරහා රටේ ජනතාවගේ රුපියල් මිලියන 3500ක් (ලක්ෂ 35,000) කාබාසිනියා කර දැමීමට තෝරාගෙන ඇත්තේද ජාත්‍යන්තරව තහනමට ලක්වූ ‘බී ජොන්සන්’ සමාගම වෙනුවෙන් වෝටර්ස් එජ් ගණුදෙනුවේදී අධිකරණ උදහසට ලක්වූ Access නම් සමාගමයි. දකුණේ හැදෙන ගුවන් පාලම් ගැන අප ඉරිසියාවෙන් හූල්ලන්නේ නැත. නමුත් පොදුජන තාවගේ මුදල් මේ ආකාරයට ගසාකෑම ගැන දුකක් ඇත. ගම්බදට වන්නට බෙහෙත් ටිකක් ගැනීමට ඉස්පිරිතාලයකට යෑමට බස් රථයක් නැතිව ගස්යට වේලෙන අහිංසක ජනතාවට අවශ්‍ය පරිදි බස්රථයක් යොදවන්නට මේ මුදල් යොමුකළා නම් පව් නැතැයි අප සිතමු. බස් රථයක් රුපියල් ලක්ෂ 20ක් මිල වේයැයි සිතුවොත් මේ මුළු වංචා කළ මුදලින් ග‍්‍රාමීය ප‍්‍රවාහණය විධිමත් කරනු වස් බස්රථ 1750ක් අළුතින්ම වුවත් ගෙන්වීමේ හැකියාව පවතී. මේ ආකාරයට අහිංසක ජනතාව තව තවත් හෙම්බත් කරවන දේශප්‍රෙමීත්වය කුමක්දැයි අපට නම් වැටහෙන්නේ නැත.




ශිරන්ති රාජපක්ෂගේ ඥති සොයුරු අපොස සා/පෙළ වත් සමත් නැති අසන්තද මෙල් ඛණිජ තෙල් සංස්ථා සභාපතිධූරයෙන් ඉවත්කරවන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා දුන් හෙජිං වංචාවද තවත් මෙවැනිම මහජන මුදල් මංකොල්ලකෑමකි. රජයට , බැංකුවලට සහ සමස්ථ ජනතාවටම රුපියල් බිලියන 230ක මුදලක් අහිමි කළ මෙම වංචාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් උත්තරීතර තීන්දුව පවා නොපිළිගනිමිත් වත්මන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කතා කරන්නේ රෙදි ඇඳගෙනද යන්න නැවත නැවතත් විමසා බැලිය යුතුය. රුපියල් බිලියන 230ක් යනු මිලියන 230,000කි. එනම් රුපියල් ලක්ෂ 2300,000කි. වචනයෙන් කියනවානම් රුපියල් ලක්ෂ ලක්ෂ දෙසිය තිහකි. එවැනි මුදලක් කියන්නට අපගේ කටවත් හුරුනැත. නමුත් ඒ මුදල කාබාසිනියා කිරීමට යන්න මහින්ද ගැන්සියට එතරම් ගේමක්ද නැත. උපාධි ලබා ගෙදරට වී සිටින උපාධිධාරියෙකුට රුපියල් 25,000ක මාසික වැටුපකට රැකියාවක් දීමට වසරකට වැයවන්නේ රුපියල් ලක්ෂ 3කි. ඔහු වසර 30ක් සේවය කළද ඔහුට ගෙවිය යුතු වන්නේ රුපියල් ලක්ෂ 90ක් හෙවත් රුපියල් මිලියන 9කි. ඒ අනුව මේ හෙජිං වංචාව හරහා පමණක් කාබාසිනියා කළ මුදල උපාධිධාරීන් 25,556 දෙනෙකුට වයස 25දී රාජ්‍ය සේවයට බඳවාගෙන විශ‍්‍රාම යන තුරු ගෙවීමට වුවද සෑහේ. එනම් මෙලෙස විනාශ කර ඇත්තේ වත්මන් සමස්ථ රැකියා විරහිත උපාධිධාරීන්ගේම රැුකියා ප‍්‍රශ්ණය විසඳීමට තිබූ මුදල්ය. මෙහෙව් විගඩං නටන මහින්ද ලබන 10 වෙනිදා මන්දිරේ දන්සැල් වැඳීමට ගෙන්වන උපාධිධාරීන් ඉදිරියේ සිටගත යුතු වන්නේ ජාතික ඇඳුමෙන් නොව සාටකෙන් විලිවසාගෙන බව අපගේ නම් හැඟීමයි.




රූපවාහිනියෙන් උඩ පැන පැන කියවන උතුරු වසන්තය නම් බැසිල් සහෝදරයාගේ බූදලය හරහා කරගෙන යන උතුරේ මාර්ග සංවර්ධනය පමණක් ගෙන බලන කල්හී පහත වංචාවන් දැක්විය හැකිය. (ගෙවල් හැදීම, ආහාර, සහනාධාර, පාසල්-රෝහල්-රජයේ ආයතන ඉදිකිරීම හා අළුත්වැඩියා කිරීම ආදිය කිසිවක් නොසලකා) අනුරාධපුරය යාපනය A9 මාර්ගයේ කිලෝමීටර් 153ක් සංවර්ධනයට චීන කැතික් සමාගමට ඩොලර් මිලියන 166කට (කිලෝමීටරයකට රුපියල් මිලියන 125කට) භාරදෙන ලදි. ඒ සමාගම කිසිම වැඩක් නොකර කිලෝමීටරයට රුපියල් මිලියන 60 බැගින් ශ‍්‍රී ලාංකික සමාගම් දෙකක් වන අයි.සී.සී යට සහ මාගා ආයතනයට පවරන ලදි. මේ අනුව කැතික් සමාගම නිකං සිට කිලෝමීටරයට රුපියල් මිලියන 65ක් ලබා ගන්නේ වැඩකරන ශ‍්‍රී ලාංකීය සමාගම් වැඩකරමින් කිලෝමීටරයට රුපියල් මිලියන 60ක් ලබාගන්නා විටය. මහින්ද පපුවට ගසාගනිමින් කියවන අපේකම යනු චීන කමදැයි මෙහිලා සැකයක් මතු කරයි. මේ ආකාරයට යාපනය පොයින්ට් පේදුරු කන්කසන්තුරේ පලාලි මාර්ගය කිලෝමීටර් 85ක්ද, A32 මන්නාරම පුනරින් මාර්ගයද, නන්දකුලෙයි මන්නාරම පාර කිලෝමීටර් 67ක්ද චීන වරාය සමාගමට සහ චීන රේල්වේ සමාගමට කොන්ත‍්‍රාත් දීම හරහා ගසාකන ලද මුලූ මුදල රුපියල් මිලියන 28,000කි. එනම් රුපියල් ලක්ෂ 280,000කි. ග‍්‍රාමීය පාරවල් කීපයක් කොන්ක‍්‍රීට් කළ පමණින් සමස්ථ ග‍්‍රාමීය ප‍්‍රජාවම තෘප්තිමත් යැයි වහසිබස් දොඩවන රාජපක්ෂ සහ සහෝදරවරුන්ට කීමට ඇත්තේ තවමත් සංවර්ධනයේ සුවඳක්වත් නොදැනුන ගම් අනන්තවත් ඇති බවය. ග‍්‍රාමීය මාර්ගයක කිලෝමීටරයක් කොන්ක‍්‍රීට් කරීමට ඇස්තමේන්තු කරන මුදල රුපියල් ලක්ෂ 5ක් නම් මෙම ගසාකෑමෙන් පමණක් අපතේ ගිය මුදලින් පිටිසර ගම් වල පාරවල් කිලෝමීටර් 56,000ක් කොන්ක‍්‍රීට් කර නිම කිරීමේ හැකියාව තිබේ. එනම් කොළඹ සිට නුවරට ඇති දුර මෙන් 500 ගුණයකි. ඒ කෙතරම් දුරක්දැයි මෙයින්ම ඔබට වටහාගත හැකිවනු ඇත. පාරවල් හැදීමට පිහිටුවා ඇති මාර්ග සංවර්ධන අධිකාරිය කොන්ක‍්‍රීට් පාරවල් වලට සීමාකර කුට්ටිපිටිං ගැසිය හැකි දැවැන්ත මහාමාර්ග සංවර්ධනයට බැසිල් කැහැපොට ගසාගෙන බැසීමේ රහස මෙය නොවේද?




උමා ඔය ව්‍යාපෘතිය මගින් පුහුල්පොල සහ ඩයරාබා යන ජලාශ දෙක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ජලාශ දෙකහි මුළු බිම් ප‍්‍රමාණය අක්කර 60කි. මෙම ජලාශ දෙක යා කෙරෙන උමං මාර්ගය කිලෝමීටර් 23කි. මෙමගින් සංවර්ධනය කෙරෙන පහළ බිම් ප‍්‍රමාණය අක්කර 5000කි. විදුලි ජනනය මෙගාවොට් 50කි. මුලින් මෙයට ඇස්තමේන්තු කළ මුදල වූ ඩොලර් මිලියන 265 පසුව නැවත වංචනික ලෙස ඩොලර් මිලියන 529 දක්වා වැඩිකළ අතර මින් ගසාකෑ මුදල රුපියල් බිලියන 30.3ක් හෙවත් මිලියන 30,360කි. එනම් රුපියල් ලක්ෂ 303,600කි. (මෙම ඉලක්කම් කියවීමට අපගේ කටවල් හුරුනැති බව දනිමු. නමුත් මිලියන බිලියන නුහුර අපට කෙසේ හෝ තේරුම් ගැනීමේ හැකියාවක් ඇතිවන ලෙස මේ ආකාරයට දක්වා ඇත්තෙමු.) එසේම මෙම ව්‍යාපෘතිය ඉරාන පරාබි සමාගමට පවරා ඇත්තේද ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරවය. මෙම වංචාව සමගම කොළඹ වරායේ ගැන්ටි‍්‍ර කේ‍්‍රන් වංචාවද එක්ව ගැනීමට කැමැත්තෙමු. එහිදී සිදුවූයේ අවශ්‍ය කේ‍්‍රන් 6 වෙනුවට කේ‍්‍රන් 35ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමයි. එසේම වසර දෙකකට පෙර ඩොලර් ලක්ෂ 6ක් වූ එකක් වෙනුවෙන් මෙවර ඩොලර් ලක්ෂ 12ක් අනුමත වීමද විමතියට කරුණකි. මේ අනුව සමස්ථ කේ‍්‍රන් වංචාවේ වටිනාකම රුපියල් බිලියන 24.2ක් හෙවත් මිලියන 24,150කි. එනම් රුපියල් ලක්ෂ 241,500 කි. මෙම හොරකම් දෙකෙහිම එකතුව රුපියල් බිලියන 54කි. නමුත් ශ‍්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඉදිවූ දැවැන් තම බහුකාර්‍යය යෝජනා ක‍්‍රමය වන කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ සමස්ථ වියදම වූයේද රුපියල් බිලියන 50කි.




ශිරන්ති රාජපක්ෂ ආර්‍යාවගේ මල්ලිගේ පුතා වන ඩිල්හාන් වික‍්‍රමසිංහ ඇමරිකානු ඩොලර් මිලියන 16ක් (රුපියල් මිලියන 1840ක්) ගෙවා සියළුම ප‍්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලට පිළිගත් වෙළඳනාම සහිත පරිඝණක ලබා දීමට කොන්ත‍්‍රාත්තුව ගන්නා ලදි. නමුත් ලබාදී ඇත්තේ දේශීයව එකලස් කළ වටිනාකම රුපියල් 50,000 කට ආසන්න පරිඝණක වන අතර මේවන විටත් ඉන් බහුතරය භාවිතයට ගැනීමට නොහැකි තත්වයක පවතී. ඉන් ඥති පුත‍්‍රයා ගසාකෑ මුදල රුපියල් මිලියන 1200 ක් හෙවත් රුපියල් ලක්ෂ 12,000 කි. මහින්ද රාජපක්ෂ කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් වල දැරිවියන් ඔඩොක්කුවේ තබා ගෙන හුරතල් කළද නගරයේ ශබ්දය නෑසෙන ඉතා ඈත පිටිසර ගම්වල ගරාවැටුණු ගොඩනැගිල්ලක හෝ අඹ ගසක් යට වටේට වාඩිවී අකුරු කරන අහිංසක දරු දැරියන් පරිඝණකයක් ඇල්ලීමට තියා දැකීමටවත් පින් කර නැත. 10,000 කට ආසන්න සමස්ථ පාසල් පද්ධතියෙන්ම ඉතා දුෂ්කර පාසල් 5 000 ක් තෝරා එක් පාසලකට රුපියල් 50,000 ක් වන පරිඝණක 4 බැගින් ලබා දීමට වැය වන්නේත් රුපියල් ලක්ෂ 10,000 ක් පමණි. ශිරන්තිගේ ඥති පුත‍්‍රයාගේ වමට ගැසීම මීටත් වඩා ලක්ෂ 2000ක් වැඩි බව කියා පාන්නේ දරු දැරියන්ට සුභ අනාගතයක් තනන්නට යන මහින්දගේ පැටිකිරිය නොවේද?




රාජපක්ෂ සහ සහෝදරයන්ගේ ගසාකෑම් වල ප‍්‍රමාණය මෙපමණක් නොව. මෙලෙස ලියා දක්වන්නේ නම් තව සති ගනන් වුනත් ලිවීමට කරුණු පවතී.

එයාර් ලංකා පාඩුව බිලියන 10 කි.
මිහින් එයාර් පාඩුව බිලියන 5 කි.
වීරවිල ව්‍යාපෘතියේ පාඩුව මිලියන 500 කි.
මිග් වංචාව මිලියන 400 කි.
කෙරවලපිටිය ව්‍යාපෘතියේ වංචාව බිලියන 23 කි.


මෙපමණකුත් නොව තවත් වංචා , දුෂණ හා ගසාකෑම් අනන්තවත් ඇත. ඒ අනුව මෙතරම් ගසාකෑම් හරහා රාජපක්ෂ සහ සහෝදරයෝ විසින් බිලිගෙන ඇත්තේ අද උපන් දරුවාගේ සමස්ථ අනාගතයයි. තරුණ තරුණියන්ගේ හෙට දවසේ මුහුණු වල මැවෙන්නට තිබූ සිනහවයි. දරුවන් වෙනුවෙන් ජීවිතයම කැපකළ දෙමාපියන්ගේ අනාගත සිහිනයයි. මෙසේ ගසාකෑම් කර ලැජ්ජා විරහිතව ජනතාව ඉදිරියට විත් ‘‘සුභ අනාගතයක්’’ තනන්නට වරමක් ඉල්ලන මහින්දගෙන් අසන්නට ඇත්තේ රාජපක්ෂවරුන්ගේ හත්මුතු පරම්පරාවේම සුභ අනාගතයට තවත් රුපියල් බිලියන කීයක් මදිද කියාය............


(සංඛ්‍යාලේඛණ ලබා දුන් සොයුරියට ස්තූතිය)

Wednesday, January 6, 2010

මාධ්‍යයේ මළගමට අවුරුද්දයි

2009 අද වැනි දිනෙක ආණ්ඩුවේ මැරයන් විසින් තමන්ට අවනත කරගත නොහැකි වූ සිරස මාධ්‍ය අයතනයට පහර දුන්බව කාටත් අමතකව නැතැයි අප විශ්වාස කරමු. සමස්ථ රාජ්‍ය මාධ්‍යයන් සහ අනෙකුත් පෞද්ගලික මාධ්‍යයන්ද තම අණසක යටතට නම්මා ගත් යුධ ජයග‍්‍රහණයේ කඩතිරට මුවාවී සිරස මාධ්‍ය ආයතනයේ අපක්ෂපාතී වාර්ථාකරණයන් ඉවසාගත නොහැකි වූ වත්මන් ආණ්ඩුවේ ඉහළ මැරයන්ගේ අණ පරිදි ආයුධ පෙන්නන්නට ගොස් මරා නොදමා ජීවිත දානය දී තමන්ගේ ඡන්ද වැඩවලට ඉතුරු කරගත් හීලෑ මැරයන් ලවා ශ‍්‍රී ලාංකීය මාධ්‍ය නිදහස වලදමා අදට වසරක් සපිරේ.


මෙවන් මොහොතක නැවත මාධ්‍ය නිදහස කරලියට විත් ජනාධිපතිවරණ වේදිකාවේ සටන් පාඨයක් බවට පත්ව ඇත. නමුත් ලැජ්ජාවට කරුණ නම් මේ මාධ්‍ය නිදහසට මරණ සහතික ලියූ අසික්ෂිතයන්ම නැවතත් මාධ්‍ය නිදහස නම් සටන් පාඨයත් තම ගොඩට බා ගැනීමේ උත්සහයක නිරත වීමයි. මහින්ද ප‍්‍රමුඛ ඉහළම පෙලේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරීත්වයට නොව මේ ආණ්ඩුවේ ඇස් කන් නැති ඇමතිවරුන්ට කීමට දෙයක් ඇත.
‘‘ඔබ දේශපාලන වේදිකාවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස ගැන කියවන්නට යන්න එපා. මන්ද එය කරලියට ගෙන එ්මේ ගෞරවය ඔබේ නායකයාට ලැබුනද එය වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය ඇත්තේ ඔහුට නොව. ඔහු එම දේවල් අමු අමුවේ මරා දැමීම හේතුවෙන් මේ රටේ එම මාතෘකා ඇති වූවා මිස ඒවා රැකීම පිළිබඳ ඔහුට හොඳ නමක් ගන්නට ගිය වසර ගැන අමතකව නැති ශ‍්‍රී ලාංකීය ජනතාව ඉඩ නොතබනු ඇත. එබැවින් මාධ්‍ය නිදහස ආදී මාතෘකා මතක් කරන විට ඔබගේ ඡන්දද එකිනෙක නැතිවී යෑමක් පමණක් සිදුවනු ඇත. එබැවින් සෝමරත්න දිසානායක කී පරිදි මාධ්‍ය මෙල්ල කරනවා වැනි පෙර දුන් පොරටෝක්ම දීම ඔබට ගැලපෙනු ඇත.’’
මේ කෙටි සටහන තැබූයේ මාධ්‍ය හිතවාදියෙකු ලෙස සිරස මාධ්‍යයට එල්ල කළ ආණ්ඩුවේ ලැජ්ජාශීලී මැර ප‍්‍රහාරය හෙළා දැකීම වස්ය. නමුත් මින් කිසිසේත්ම එම ප‍්‍රහාරයේ වගකිව යුත්තන් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසීමට තරම් අප මෝඩ වන්නේ නැත. මන්ද තව දින දෙකකින් යෙදෙන මීළඟ සැමරුම වන මාධ්‍යවේදී ලසන්තව මහදවල් අධිආරක්ෂිත කලාපයක් තුළදී ඝාතනය කළ මැරයන් සොයා ගැනීමට බැරි වුණ ආණ්ඩුවට හා පොලීසියට මෙය කිරීමට කිසිම ශක්තියක් නැති බව අප දනිමු.
Related Posts with Thumbnails