2009ට පස්සේ එන්නේ 2010ද? 1983ද? මම පාසලේදී මගේ මිතුරා සමග තරඟයකට එළඹේ. ඒ පන්තියේ විෂයන්ට ළකුණු ගැනීමට හෝ ක‍්‍රිඩා තරඟ වලින් ජයගැනීමටය. නමුත් මමත් මගේ මිතුරාත් නිවාසාන්තර තරඟ වලදී එකට එකතු වී අනෙක් නිවාසයේ අය සමග තරඟ කරයි. එහිදී ඔවුන්ව පෙනෙනුයේ සතුරන් ලෙසය. නමුත් තවත් විටකදී අප පාසලේ සැවොම එකතුවී අනෙක් පාසලේ අය සතුරන් සේ දැක වාර්ෂික ක‍්‍රිකට් තරඟයේදී තරඟ කරනු ඇත. මෙලෙස පලාත් තරඟ වලදී අනෙක් දිස්ත‍්‍රික් සමගද, ජාතික තරඟ වලදී අනෙක් පලාත් සමගද තරඟ කරනු ඇත.
මෙය අප අත්දුටු සත්‍යයකි. මෙය මෙලෙස විග‍්‍රහ කරනුයේ න්‍යායාත්මක තලයේදී බාහිර සතුරා පිළිබඳ සංකල්පය හරහාය. මෙහිදී පැවසෙනුයේ මිනිසා හැම මොහොතේම බාහිර සතුරෙකු නිර්මාණය කරගෙන ඔහුහා තරඟයට පිවිසෙන බවයි. මිනිසා මෙම බාහිර සතුරා හඳුනාගත් පසු ඉතා ආවේගශීලීව ඔහු හා සටන් කරනුයේ තම ජයග‍්‍රහණය ගිලිහී යාමට නොදීය.
මිනිසාගේ මෙම ගුණාංගය විවිධ පාර්ශව විවිධ ලෙස භාවිතා කරති. ඒ අතුරෙන් යුධ හමුදා සෙබලූන් කෙරෙහි මෙය ඉතා දැවැන්ත ලෙස භාවිතා වේ. ඔවුන් විරුද්ධවාදීන් කෙරෙහි කුපිත කරවන තරමට ඔවුන්ගේ ආවේග වැඩිවී යුධ ගැටුම් ජයග‍්‍රහණය කළ හැකිය.
මේ අනුව මෙම සංකල්පය ශ‍්‍රී ලංකා හමුදාවන්ට පමණක් නොව ලොව සෑම හමුදාවක් කෙරෙහිම යොදා ගන්නා බැව් නම් නියතය. තවත් අතකට මෙය සාම්ප‍්‍රදායික හමුදාවන් නොවන LTTE ය වැනි ගරිල්ලා කණ්ඩායම්ද මනාවට යොදා ගනිති. එය කෙතරම් සාර්ථකද යත් 1983ට පසුව ඉපදුන, සිංහල මිනිසුන් කිසිදා ඇස ගැටී නැති දෙමළ තරුණියන් බෝම්භයක් බැඳගෙන විත් දෙමළ ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් තම ජීවිතය පූජා කරනුයේ තමාට මවා දුන් බාහිර සතුරා වන සිංහල මිනිසුන් කීපයක්ම මරාගෙනය.
මෙය සෑම ගැටුම්කාරී තත්මයකදීම පිරිස් බලමුළු ගැන්වීමට භාවිතා කරති. 1948 ට පෙර බි‍්‍රතාන්‍යයන්ට එරෙහිව ශ‍්‍රී ලාංකිකයන් කළ සටන් වලදීද, 1971, 1983, 1988-89 වැනි සෑම අරගලයකදීමත් බාහිර සතුරා ඔවුන්ට ගොඩනගාදී ඔහු කෲර, අමානුෂික, මිනීමරුවෙකු කර පෙන්වයි.
මේ මොහොත වන විට දකුණේ අපටද එවන් සතුරෙකු නිර්මාණය කර දී හමාරය. ඒ වෙනකෙකු නොව දෙමළාය. ”සිංහලයාගේ භූමිය උදුරා ගැනීමට දෙමලූන් යුද්ධ කරන බැවින් අප සැවොම එකතු වී ඔවුන් පරාජය කළ යුතුය” යන්න මේ වන විට සිංහලයාගේ ලේ තුළ පවා ගමන් කරන්නකි.
උතුරු නැගෙනහිර ප‍්‍රදේශ LTTE ග‍්‍රහණයෙන් මුදා ගැනීමට මාවිල් ආරුවෙන් මානුෂීය මෙහෙයුම් ඇරඹි මොහොතේ සිට මහින්ද රාජපක්ෂ කතා කළේ සිංහල බෞද්ධ හඬකිනි. මේ අනුව ජනතාවට බාහිර සතුරා කර පෙන්වූයේ දෙමළ හින්දු ජනතාවයි. මේ බාහිර සතුරා පරාජය කිරීමට සිංහල බෞද්ධ තරුණයින් එකතු කළේ ගුණදාස අමරසේකර, නලීන්ද සිල්වා, විමල් වීරවංශ වැනි සිංහල අන්තවාදීන් සහ බුදු බණ අජීර්ණය වූ භික්ෂූන් වහන්සේලා කඬේ යවමින්ය. තවද දිවා ? අප කන වැකෙන්නට සැලැස්වූයේ ”තුන් හෙළේ කැළෑ තුළ සිංහ පැටව්”, ”යුධ බිම මැරුණේ සිංහලයෙකු නම්”, ”මේ සිංහල අපගෙ රටයි”, ”සිංහල ජය ගීත හ`ඩට සිංහල කොඩි වැල් ලෙල දෙන සිංහල දෙරණේ”, වැනි ගීතයන්ය. මේ අනුව අපගේ බාහිර සතුරා කළේ දෙමළ ජනතාවයි.
යුධ ජයග‍්‍රහණ ක‍්‍රමයෙන් වැඩි විය. ජනතාවට මෙය ඉතා විනොදශීලි දෙයක් වන්නට පටන්ගත්තේය. සන්ධානය විවේචනය කළ ජනතාවද ක‍්‍රමයෙන් රූපවාහිනියේ සමන් කුමාරගේ වික‍්‍රමාන්තය(රාමවික‍්‍රගේ Lap Top වික‍්‍රමාන්විතය ගැන අදහස් නොකළෙම්.) රසවිඳින්නට වාඩිවූහ. යුධ ජයග‍්‍රහණ ටිකෙන් ටික වැඩිවත්ම හමුදා සෙබලූන් ලෙස පිරිස් අවශ්‍ය වූ අතර ඒ සඳහාද දෙමළ බාහිර සතුරා මවා පෙන්නා සිංහල බෞද්ධ තරුණයින් අද්දවා ගත්හ. එබැවින් ඔවුන් යුධ පුහුණූවට ගියේම මූලික මානසික පුහුණුවක් ගෙදරදීම ලබාගෙනය.
ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් 1% හමුදා සොල්දාදුවන්ය. නමුත් ඒ ශ‍්‍රී ලංකා ජනතාවගෙන්ය. තරුණ පරපුරට අනුව නම් එය ඉතා විශාල ප‍්‍රතිශතයක් ගනු ඇත. මේ අනුව අනාගත ශ‍්‍රී ලංකාව භාර ගන්නා තරුණ පරපුර මෙම බාහිර සතුරා තම සිත් තුළට කාවද්දාගෙන හමාරය. එපමණක් නොව අද වන විට කුඩා දරුවන්ටද මේ යුද්ධය භාරදී ඇත. සමහර ගුවන්විදුලි නාලිකා වලට කතාකරන දරුවන්ගෙන් නිවේදිකාව මෙසේ අසන්නීය. ”පුතා වීරයෙක් වෙන්නේ කොහොමද”?. දරුවාගේ පිළිතුර මෙයයි. ”මම ලොකු වෙලා හමුදාවට ගිහිං දෙමලූ මරලා වීරයෙක් වෙනවා.” මේ අනුව තවත් පරපුරක් මේ බාහිර සතුරා මවාගෙන හමාරය.
දැන් දැන් ජනාධිපතිතුමන්ට ශ‍්‍රී ලාංකීය ජාතියක් මතක්වී ඇත. නමුත් මේවා අපටනම් හිනායන යන වැඩය. මුලින් මහින්ද රාජපක්ෂ දෙමළ සතුරා අපට මවා දුන්නේය. දැන් ඔහුට අනුව දෙමළ අය මිතුරන් වේ. නමුත් ජනතාවට මෙය කීම ලේසි නොවනු ඇත. මන්ද යත් ඔවුන් මේ සතුරාට එරෙහිව සටන් කළහ. තම දරුවන්ගේ, දෙමව්පියන්ගේ, ස්වාමිපුරුෂයන්ගේ, බිරින්දෑවරුන්ගේ ජීවිත පූජාකර සටන් කළහ. දිනකට වේල් දෙකක් පමණක් කා වේලක් බඩගින්නේ සිට සටන් කළහ. කෙසේ හෝ සතුරාගෙන් බාගයක් පරාජය කර ජය ලැබූහ. දැන් ජනතාව දෑස් දල්වාගෙන බලා සිටිනුයේ දෙමලුන්ගෙන් ඉතුරු ටිකද පරාජය කිරීමටය. ඒ වූකලී දෙමලුන් සමූලඝාතන කිරීමක් යැයි නොකියමි. නමුත් එය අවම මට්ටමේදී ඔවුන් වහලුන් සේ පාගාගෙන ජීවත් වීමක් තරම් වන්නේය.
වික්ටර් අයිවන්ට අනූව නම් LTTE ය පරාජය කිිරීම යනු දෙමළ ජනතාවට කළ හැකි හොඳම උදව්වයි. ඊට අමතරව දෙමළ ජනතාවට බලය බෙදීමක් දෙන්නේ නම් එය බොනස් එකක් සේ ගත යුතු වන්නේය. ඒ හරහා මනාවට මේ චින්තනය මවා පෙන්වයි.(වික්ටර් අයිවන් සාමාන්‍ය ජනතාව බඳුයැයි ඇඟවීමට නොසිතුවෙමි. එසේ වුවහෙත් සාමාන්‍ය ජනතාව කුපිත විය හැකිය.) දේශපාලන ප‍්‍රකාශයන් කරන රටේ හමුදාපතිට අනුව ගත් කළද මෙය සිංහල බෞද්ධ රටකි. දෙමළ අයටද සිටිය හැක. නමුත් ඒ අප යටතේය.(මෙහිදී අප යනු සිංහල බෞද්ධ විය යුතු යැයි සිතමි. සමහර විට යුධ හමුදාවද විය හැකිය. මේ අනුව ඔහුගේ ප‍්‍රකාශය දේශපාලන ප‍්‍රකාශයක්ද? මිලිටරි ප‍්‍රකාශයක්ද යන්න නිශ්චය කර ගැනීම මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍යයට වැදගත් වනු ඇත.)
තත්වය මෙතරම්ම දරුණු වී හමාරය. තාමත් දේශපාලනඥයන් දාං ගේම ගෙනයති. ඔවුන් කුමක් කළද අවසානයේ කීමට ඇත්තේ මෙපමණකි. සිංහල ජනතාව දෙමළ ජනතාව පාගාගෙන ජීවත් වී ආතල් එකක් ගැනීමට පුන පුන බලා සිටිති. මේ අනුව නැවතත් ගොඩනැගෙනුයේ 1956, 1972, වැනි ගමන් මගක් හරහා ගොස් 1983 බඳු වූ තත්වයකි.
තත්වය එසේ නම් මහින්ද රාජපක්ෂ ලබනුයේ වසර 26 කට පසුව කවුරුත් නොලැබූ ජයග‍්‍රහණයක්ද?
නැත්නම් වසර 26 කට පසු නැවතත් "JR ලැබූ පරාජයමද?"