Sunday, June 20, 2010

අභියෝග කර ලබා ගැනීම සහ සෙට් වී රැකගැනීම


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම යනු දත් නැති කොටීයෙක් යැයි බොහෝ දෙනා කතාවට කියනවා අපට ඇසී ඇත. නමුත් දැන් තත්වය වෙනස්ය. වෙනස් වී ඇත්තේ කොටියාට දත් ලැබීමෙන් නම් නොවේ. කොටියා දැන් හිටියාටත් වඩා බලූ වී ඇත. මේ තත්වය තුළ පෙර තිබූ ජනවහර පහත ආකාරයෙන් වෙනස් විය යුතු යැයි අප යෝජනා කිරීමට කැමැත්තෙමු.
”දැන් දතුත් නෑ. කොටියත් නෑ.”

මානව හිමිකම් කොමිසම නම් කොටියාට ඉස්සර සිටම දත් නොතිබූ බව නම් අප දැන සිටියෙමු. ඒ අනෙකක් නිසා නොව ඔවුන්ට කරන්නට දෙයක් නොතිබූ නිසාය. ඔවුන් මේ තත්වයට පත්ව සිටියේ සීමා කිරීම් කිහිපයක් නිසා බව අප තේරුම් ගත යුතුය. සීමා කිරීම් යැයි කියූ සැනින් ඔබගේ සිතට නැගෙනවා ඇත්තේ මූලික අයිතීන්, විධායක හෝ පරිපාලන, වැනි සීමා කිරීම් හරහා බලයක් නැති නිර්දේශ නිකුත් කිරීම ආදියයි. ඒවාත් මෙම සීමා කිරීම් වලට අයත් වුවද ඊටත් එහා බරපතල සීමා කිරීම් වූයේ ආණ්ඩුවේ බලපෑම් නම් සීමාවන්ය. මේ තුළ ස්වාධීන කොමිෂන් සභාවක පැවැත්ම කඩා බිද දමා ජනාධිපති අතින් අභිෂේක ලබන කොමසාරිස්වරයෙකු බිහිවීම තුළින් ඉන් ඉදිරියට ඇති සමස්ථ ක්‍රියාවලියම හා එහි ස්වාධීනත්වය සින්නක්කර ලියා ගැනීමට පත්වන ආණ්ඩුවට හැකි විය.

එපමණක්ද නොව කොමිසමට මුදල් වෙන්කිරීම පවා සිදුවන්නේ ආණ්ඩුව හරහා නිසා කොමසාරිස් විසින් එක දමා ගන්නා ප්‍රමාණය අනුව මුදල් හා අනෙකුත් පහසුකම තීරණය විය. මෙවන් තත්වයක් තුළ බිහිවන්නේ සමහර රාජ්‍ය ආයතන වලටත් වඩා ආණ්ඩුවට කඬේ යන වහයක් විනා ස්වාධීන කොමිසමක් නම් නොවන බව අප අමුතුවෙන් කිවයුතු නොවේ.

අප ඉහත කතා කළේ අතිශය පරාධීන තත්වයක තිබූ ස්වාධීන යැයි කියාගන්නා කොමිසම ගැනය. මීට අමතරව මානව හිමිකම් අමාත්‍යංශයක්ද ශ්‍රී ලංකාවේ විය. එය සත්වෙනි මහින්ද විසින් අටවෙනි මහින්දට තෑගි දුන් අමාත්‍යංශයයි. එම අමාත්‍යංශයේ කාර්‍යය වූයේ මානව හිමිකම් රැකීම නොවන බව කිවහොත් ඔබට පුදුමත් සිතෙනු ඇත. නමුත් එය සත්‍යයකි. එම අමාත්‍යංශයේ කාර්‍යය වූයේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පමණි. නමුත් සත්‍යය ලෙසම ගත් කළ යුධ සමයේදී ජාත්‍යන්තරයෙන් එන ප්‍රශ්ණ භාරගැනීමට හා ඒවාට උත්තර බැ`දීමට පමණක් මෙම අමාත්‍යංශය භාවිතා වූ බවද නොරහසකි.

මේ අනුව ගත්කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ප්‍රධානම ආයතන දෙකක් වූයේ කොමිසම හා අමාත්‍යංශයයි. ඉන් අමාත්‍යංශය කිසිම විටෙක ආණ්ඩුව ප්‍රශ්ණ නොකළ අතර කොමිසම ඉතා සීමිත වපසරියක පරීක්ෂණ පැවැත්වූ අතර එහි අවසන් නිර්දේශ කිසිම වටිනාකමක් නැති තත්වයක තිබුණි.

මේ වූකලී මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මානව හිමිකම් යාන්ත්‍රණයන් දෙකකි. අනෙක් කාරණය කතා කරන්නට පෙර මේ යාන්ත්‍රරණයන් හරහා ශ්‍රී ලංකාවේ ජනතාවෙගේ මානව හිමිකම් සුරක්ෂිත වන්නට ඇත්දැයි අප ඇසුවොත් ඔබගේ පිළිතුර කුමක් වේවිද? ------ එය සත්‍යයකි. මෙතෙක් කොමිසම හරහා නිකුත් කර ඇති කිසිම වැදගම්මකට නැති නිර්දේශ දහස් ගණන එයට හොදම සාක්ෂියයි. මේ අනුව පැවති යාන්ත්‍රරණය බල රහිත, ස්වාධීනත්වයක් නැති ඒවා බව පැහැදිලිය. නමුත් දැන් තිබෙන යාන්ත්‍රරණ ගැන ඇසුවොත් ඔබ ඊටත් වඩා පුදුම වේවි. මන්ද මේ මොහොත වන විට එම යාන්ත්‍රරණයන් දෙකවත් ක්‍රියාත්මක නොවන නිසාය. එනම දැන් මානව හිමිකම් අමාත්‍යංශයක් නැත. කොමිසමට කොමසාරිස්වරු පත්කර නැත. එසේ නම් පෙර කී කතාව කොයිතරම් නම් සාධාරණදැයි ඔබට වැටහෙනු ඇත.
”දැන් දතුත් නැත. කොටියත් නැත.”

කොහේ හෝ වරදක් ඇති බව පෙනේ. නමුත් ඒ රාජ්‍යයේද, ආණ්ඩුවේද, කොමිසමේද, අමාත්‍යංශයේද යන්න ගැටළු සහගතය. නමුත් මේ වචන වලින් සමන්විත රාමුවෙන් එළියට විත් අප මෙවන් සාකච්ඡාවක් ගොඩ නැගීමට සිතන්නෙමු. මානව හිමිකම් යන්න ලෝකය ආරම්භයේදී තිබුණේ නැත. එතැන තිබුණේ කැළේ නීතියයි. ‍ප්‍රබලයා විසින් දුබලයා පරාජය කිරීම හරහා සියල්ල තීරණය විය. මෙලෙස පාලනය වූ ගෝත්‍රික සමාජය පසුකර ඉදිරියට එන පාලිතයන්ට මෙහි ඇති වරද තේරෙන්නට හා දැනෙන්නට පටන් ගත් තැන පාලකයන්ට අභියෝග කර ජීවිතට පරදුවට තබා නිදහස සොයන්නට විය.

වහල් හිමියාගේ බූදලයක් වූ වහලා ඉන් මුදවා ගැනීමට වහල් නායකයෙක් වූ ස්පාටකස් ක්‍රි.පූ 73දී කළ කැරැල්ල යනු මිනිස් නිදහසේ වැදගත් සිදුවීමකි. ක්‍රි.ව 1215දී පල්ලියේ හා ජනතාවගේ එකතු වීමක් හරහා කළ සටන නිසා රජුට මැග්නාකාර්ටාවට අත්සන් නොකර ඉන්නට බැරිවිය. 1628 දී ක්‍රොම්වේල් ඇරඹූ ගොවි විප්ලවය හරහා ”ජනතාවගේ ආණ්ඩුවක්” යන සංකල්පය ලොවට බිහිවිය. 1763දී ඇමරිකන් නිදහස් සටන හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පීඩනයෙන් ඇමරිකානු ජනතාව නිදහස් විය. නිදහස, සහෝදරත්වය, සමානත්වය පදනම් කරගත් ප්‍රoශ විප්ලවය හරහා ලූවී රජ පෙළපතේ කුරිරු පාලනය නිමා කර සිවිල් ජනතාව ජයගන්නා ලදි. මෙහි පදනම සැකසූ ප්‍රoශ දාර්ශනිකයන් ”සෑම මිනිසෙක්ම උපතින් සමානය” යන්න ලෝකයට දායාද කොට මානව හිමිකම් උදෙසා අවශ්‍ය මූලික තර්කය සකසා දුන්හ. 1816 දී ආර්ජන්ටිනාවද ඉන්පසුව චිලියද, බොලීවියාවද නිදහස් සටන් හරහා ජයගත්හ. 1871 දී පළමු වරට පීඩිත ජනතාව විසින් ආණ්ඩුවක් ලෙස පැරිස් කොමියුනය පිහිටවූහ. 1917 දී ඔක්තෝබර් විප්ලවය හරහා ලොව පළමු සාර්ථක නිර්ධන පංති සටන ජය ගන්නේ සාර් රජ පාලනය පරාජය කරමින්ය. එසේම චීන, වියට්නාම, කියුබානු, විප්ලව ආදයද සිදුවිය. එහෙම් හිංසාවාදී අභියෝග පමණක් නොව 1857 සිට 1947 දක්වා තිබූ ඉන්දියානු නිදහස් අරගලයේ ප‍්‍රධාන භූමිකාවක් රග දැක්වූ මහත්මා ගාන්ධීගේ අවිහිංසාවාදී අභියෝග ක්‍රමයක්ද මේ ඉතිහාසයට විශේෂත්වයක් එක් කළේය.

මෙවන් වීර ඉතිහාසයක් මානව හිමිකම් කෙරෙහි පවතී. මෙම වීරත්වයේ තුළ අභිමානයෙන් විද්‍යාමාන වන කරුණක් තිබේ. ඒ අනෙකක් නොව. මෙම ජයග්‍රහණයන් සියල්ල ලබා ගත්තේ පවත්නා පාලන තන්ත්‍රයට අභියෝග කිරීමෙන් බවය. එනම් මානව හිමිකම් යනු පාලකයන්ට අභියෝග කර දිනාගත්තක් විනා පාලකයා විසින් දායාද කර දුන්නක් නොවන බවයි. එය ස්පාටකස්ගේ සිට අප දක්වාම අත්දුටු සත්‍යයකි. මේ අනුව පෙනෙන්නේ මානව හිමිකම් යන්න පාලකයාට කරදරයක් නිසා සැම විටම පාලකයා ඊට හරස් වන බවයි. මානව හිමිකම් හී මෙම වීරත්වය අප නොදකින හෝ අමතක කළ පැත්තකි. එසේම එලෙස අභියෝග කර ලබාගත් දෙය පාලකයා සමග කරට අත දමාගෙන රැක ගැනීමට හැකිද යන්න අප අනෙක් අතට ප්‍රශ්ණ කළ යුත්තක් වන්නේ ශ්‍රී ලංකාවේ තිබූ කොමිසම හා අමාත්‍යංශය ගැන සිහිකරන විටය. අප පෙර කී පරිදිම මානව හිමිකම් වලට මෙවන් විරු ඉතිහාසයක් තිබෙන්නේම පාලකයන් එයට එරෙහි වන තරම නිසාය. නමුත් එලෙස විරුද්ධ වන පාලකයන් සමග සෙට් වී සිට ජනතාවගේ හිමිකම් රැකීමට හැකියැයි සිතීමම මෝඩකමක් නොවන්නේද?

මේ අනුව අභියෝග කර ලබාගත් මානව හිමිකම් සෙට්වී රැකීමට යෑම අප මෙසේ ප්‍රශ්ණ කර සිටින්නෙමු. සෙට්වී රැකීමේ තරම කෙතරම්ද යන්න ලංකාව දෙස බැලීමේදී පැහැදිලි වේ. ව්‍යවස්ථා ප්‍රකාරව මූලික අයිතීන් යැයි කොටසක් දක්වා ඇත. නමුත් එය රකිනු වස් පවතින (ස්වාධීන යැයි කියාගන්නා) කොමිසමට කොමසාරිස් පත්කරන්නේද, ආණ්ඩුවේ වැරදි සෙවීමට යෑමට වාහන ලබා දෙන්නේද, අනෙකුත් සියළු වියදම් සදහා මුදල් වෙන් කරන්නේද විධායක ජනාධිපතිය. අමාත්‍යංශයට ඇමතිවරයා පත්කරන්නේද, මුදල් වෙන් කරන්නේද විධායක ජනාධිපතිය. තවමත් ක්‍රියාත්මකව පවතින (නමුත් අයිතිවාසිකමක් ගැන කතා කිරීමට ලක්ෂ ගණනක් වැයකළ යුතු - මෙය සාමාන්‍ය ජනතාවට කෙතරම් අපහසුදැයි ඔබම දන්නවා ඇත) ශ්‍රේෂ්ඨාධිකරණයට අගවිනිසුරු ඇතුළු විනිසුරුවරු පත් කරන්නේද විධායක ජනාධිපතිමය. මේ විධායක ජනාධිපති යනු අසමසම බලය හිමි පාලකයාය. ඔහු සහ සාර් අතර වෙනසක් නැති තරම්ය. ඔහු සහ ලූවී රජු අතර ඇති සමානකම් අනන්තය. ඔහු හා ජෝන් රජු අතර ඇත්තේ කාලයේ වෙනස පමණි. මේ බව කියන්නේ අප නොවේ. රටේ ජනතාවයමය. මන්ද ජනතාව ඔහු අමතන්නේ සත්වෙනි මහින්ද රජු කියාය. සමහරුන් කියන්නේ දියසෙන් කුමරා කියාය.

තත්වය එසේ නම් ලංකාව තුළ මානව හිමිකම් යන්න කොයිතරම් විහිළුවක්දැයි ඔබටම පැහැදිලි වනු ඇත. ප්‍රoශයේ ජනතාව ලූවී රජු මරා සොයාගත්, රුසියාවේ ජනතාව සාර් රජු මරා ලබාගත්, අයිතීන් රැකගනු වස් ශ්‍රී ලංකාවේ ජනතාව මහින්ද රජු විසින් කොමසාරිස්වරු පත්කරන තුරු මගබලා සිටිති. එබැවින් මේ හරහා අප අවමන් කරමින් සිටින්නේ මානව හිමිකම් වලටද, ඒවා සොයාගන්නට සටන් කළ ස්පාටකස් වැනි විරුවන්ටද, නැතිනම් අද ජීවත් වන අපගේ යහපත උදෙසා දිවිපිදූවන්ටද යන්න නැවතත් සිතා බැලිය යුතුය. කෙසේ වුවද කොමසාරිස්වරයෙක් පත්කර අමාත්‍යංශයක් ඇතිකර ඇමතිවරයෙක් පත්කරන තුරු සහ ස්වාධීනත්වය උදෙසා 17 ක්‍රියාත්මක කරන තුරු දත නියවමින් බලා හිදින ඔබටත් වෙන වැඩක් නැති නිසා මෙයවත් කල්පනා කරන්නැයි අඩව්වේ අප ආරාධනා කරන්නෙමු.

Tuesday, June 1, 2010

විසිල් විතරයි........... කරණම් නෑ..............


සජිත් දැන් දැන් ප්‍රේමදාස යුගයක් ගැන කතා කරයි. සිරස පක්ෂ අර්බුධයක් ගැන කෑ ගසා ඇතිවුණ තැන බහිරව දෝෂයක් ගැන දොඩවයි. සාමාන්‍ය යූඑන්පී කාරයාගේ මුවගින් සජිත්, දයාසිරි, බුද්ධික, මනූෂ වැනි නම් නිතර නිතර ගිලිහෙයි. මේ කිමෙක්ද? මේ අන් කිසිවක් නොව 1994 සිට දිගින් දිගටම (එක් අවස්ථාවකදී ඇරෙන්නට) ලත් පරාජයන් හරහා එජාප පාක්ෂිකයා තුළ ජනිත වූ වේදනාවයි.
කුමක් හෝ සිදුවන බව නම් සත්‍යයකි.

- විටෙක එය සමස්ථ ව්‍යුහයේම වෙනසක් විය හැකිය. (නමුත් අඩව්වේ අප මේ විසඳුමට වැඩි බරක් තබන්නේ නැත. ඒ අපගේ විග‍්‍රහාත්මක බුද්ධියේ තරම නිසා මිස අප යූඑන්පී කාරයන් හෝ රනිල් වාදීන් නොවන නිසාය.)

- තවත් විටෙක එය අංශු මාත‍්‍රයකුදු නොවීමටද ඉඩ ඇත. (මන්ද රටේ ජනතාව හිතේ දුක පහවන තුරු රනිල්ට බැනීමෙන් හා සිරස ප‍්‍රවෘත්ති බැලීම හරහා සියළු ආශා සංතෘප්ත කරගැනීමෙන් පසු තවදුරටත් වෙනසක් කිරීමට අවශ්‍යය නැති නිසාය.)

- මේ අවස්ථා දෙකම නොවුවහොත් ඒ අතර මැද අවස්ථාවක් වන, සද්දෙ වැඩි අයට පොඩි පොඩි තනතුරු කීපයක් දීම නම් අඩව්වේ අපට අනුව වැඩි සම්භාවිතාවයක් සහිත විසඳුම වන්නේය. (උපනායක, ජාතික සංවිධායක වැනි තනතුරු නිර්මාණය කර දොළදුක් නිවීමට අතීතයේ සිටම එජාපය දක්ෂතාවයක් දක්වා ඇති බව ඔබත් දන්නවා ඇති.)

විසඳුම කුමක් වුවද අප තවදුරටත් අනාගත වාක්‍යය කියන්නාගේ භූමිකාව බදාගෙන නොසිට විචාරාත්මක ප‍්‍රවේශයකින් මෙම දේශපාලනික ප‍්‍රපංචයන් ආමාන්ත්‍රරණය කළ යුතුය යන්න අඩව්වේ අප දරණ මතයයි. එසේම අප විසින් ඔබට කරන ආරාධනයත් එයයි.


මෙම මාතෘකාව විචාරාත්මක තලයකට ගෙන එන විට අප මුලින්ම හඳුනාගත යුතු වන්නේ පක්ෂ ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව මතුවූයේ කෙසේද කියාය. මෙය මුලින්ම කරලියට ගෙනෙන්නේ සිරසයි. පසුගිය වසර 16ක පරාජයන් ප්‍රස්ථාර ගත කර ජනතාවගේ දෑස් ඉදිරිපිට දිගහරින සිරස තම විවේචනය, වේදනාව සිරකරගෙන සිටි යූඑන්පී කාරයාගේ කටින්ම එළියට ගැනීමට සමත් වෙයි. කවුරුත් කෙසේ කීවත් මෙය සිරසේ උවමනාවකට වුණ දෙයක් පමණක් නොව. මන්ද පක්ෂය ගැන බිඳකුදු විවේචනයක් නොතිබුණ ජනතාව තුළින් ප්‍රතිසංවිධාන කතාවක් කියවා ගැනීමට කිසිදා සිරසට නොහැකි වනු නියතය. එබැවින් මෙය ඒක පාර්ශවික සිරසේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට ඇතිවූ අමාරුවක් යැයි ලඝු කොට දැකීමට අප ප්‍රතික්ෂේප කරමු. ඒ මන්ද, අප හැම දන්නා පරිදි මෙය ක්‍රම ක්‍රමයෙන් ජනතාව තුළ මතුවෙමින් තිබුණ විරෝධයක් වුණ නිසාය.


නමුත් ජනප්‍රිය මතධාරාවෙන් විකල්පව ගමනක් යන සිරස වැනි නාලිකාවක් මේ කරන්නේ ජාතික රූපවාහිනිය කරන විග්‍රහය නම් නොවන බවත් අප තේරුම් ගත යුත්තේය. පක්ෂය නන්නත්තාර කර ආතල් එකක් ගැනීමට හෝ බහුතර පෞද්ගලික මාධ්‍යය මෙන් මහින්දට සෙට්වී එක දමාගැනීමට සිරසට අවශ්‍යය නැත. එබැවින් මේ සම්බන්ධ අපගේ තර්කය වන්නේ, යුද්ධය-ඡන්දය වැනි හොට් ගේම් නිමවී ඇති මේ මොහොතේ ටෙලිනාට්‍යයක් සොයා චැනල් මාරු කරන යූඑන්පී කාරයා (නැතහොත් මෙතෙක් සිරස ප‍්‍රවෘත්ති බැලූ පාරිභෝගිකයා) තව දුරටත් තමන් කෙරෙහිම රඳවා ගැනීමට පක්ෂය තුලින්ම හොට් ගේම් එකක් සෙට් කරදී තම ප්‍රවෘත්ති පැය මාකට් කරගැනීමක් යන්නය. ඒ හරහා සිදුවන කුමන හෝ වෙනසක් තුළ අනාගත ලාභ ප්‍රයෝජනද ඇස්තමේන්තු කර නැතැයි කියා අප කියන්නේද නැත.


සිරස හරහා උත්තේජනය වූ හෝ පක්ෂයේ වෙනසක් අපේක්ෂා කරන හෝ යූඑන්පී කාරයාගේ මීළඟ තේරීම බවට සජිත් පත්වන්නේ වෙනත් විකල්පයක් නැති තැනද යන්න අප මීළඟට විග්‍රහ කරගත යුතුය. වෙනත් විකල්ප නැතුවාම නොවේ. කරූ, ජොන්, ජේෂප්, රවී වැනි ජ්‍යෙෂ්ඨයන් සිටිති. නමුත් සජිත්ගේ නම ජනතාව මතුරන්නේ කුමක් නිසාද? මෙය අන් කිසිවක් නොව. යූඑන්පී කාරයාගේ සිතේ හටගත් අවිඥානික තත්වයකි. මන්ද දිගින් දිගටම පරාජයන්ගෙන් හෙමබත්වූ ඔවුන් දැන් ප්‍රාතිහාර්‍යයක් බලාපොරොත්තු වෙති. මෙහිද වැරැද්දක් ඇතැයි කීමට අපට බැරිය. ඒ එයටද සාධාරණ හේතු ඇති නිසාය.


1. තවත් අවුරුදු 6කට ඡන්දයක් නැති නිසා ආණ්ඩුව වෙනස් කිරීමට අපට බැරිය.

2. පවතින ආණ්ඩුව වැනෙන සුළු එකක් නොවන අතර, 2/3ත් දැන් නිර්මාණය කරගෙන හමාරය.

3. මහින්දට ද්‍රෝහි වේ යැයි සිතූ GSP+, IMF වැනි සිද්ධිත් මහින්දගේ පැත්තටම කැරකීම.


මෙවැනි තත්වයක් තුළ සාමාන්‍ය යූඑන්පී කාරයා ප්‍රාතිහාර්‍යයක් විනා අන් කුමක් විශ්වාස කරන්නද?
මේ අවිඥානික ප්‍රාතිහාර්‍යමය ආශාව සංතෘප්ත කරගැනීමට ඔවුන් විසින් නිර්මාණය කරගන්නා කතාවේ කතා නායකත්වයට විශ්වකර්මයෙක් අවශ්‍ය වේ. එහිදී ජනතාවගේ තේරීම වන්නේ සජිත්ය. ඊට හේතුව එක්කෝ ඉතිහාසයේ මෙලෙස දුටු විශ්වකර්මයෙක් වූ ප්‍රේමදාස නිසාය. නැත්නම් සජිත් හම්බන්තොට විශ්වකර්මයා බවට පත්ව ඇති නිසාය. ඒත් නැත්නම් එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගේ දුර්වලතාවයන් දකින නිසාය. මේ කුමන හේතුවක් මත වුවද ජනතාව ගත් මේ අතාර්කික තීරණය හරහා ඔවුන් අපේක්ෂා කරන්නේ සජිත් නම් විශ්වකර්මයා විත් ප්‍රාතිහාර්‍යයක් තුළින් මහින්ද රෙජිමය බිඳදා දේශපාලන බලය යූඑන්පීයට හරවා ගනු ඇත කියාය. මෙය සමස්ථ යූඑන්පී කාරයාගේ පමණක් නොව, විසම්මුතික මතයක් දරන්නා වූත් ජනප්‍රිය ධාරාව ප්‍රශ්ණ කරන පිරිසගේත් අවිඥානික ආතල් එක බවට පත්ව හමාරය.


එබැවින් මෙහෙව් හීන කතන්දරය ප්‍රශ්ණ කිරීම ඔබගේත් ඔහුගේත් ස්වප්නගත ප්‍රිතිය බිඳීමක් බව අප දනිමු. නමුත් පොළවේ පැලවෙන යථාර්තය හා සිහිනය සැමවිටම අහස පොළව මෙන් දුරස් බව ඔබත් දන්නා නිසා අප මේ විශ්වකර්මයා හා ප්‍රාතිහාර්‍යය ගැන නොවිමසා හැරිය නොහැකි තැනක සිටින බව පිළිගත යුතුය.
මේ විශ්වකර්මයා ගැන විමසා බලන කල පසුගිය වසර ගණනාව පුරාම ඔහු සද්ද නොකර නිද්‍රාගත දේශපාලන දිවියක් ගෙවා ඇත්තේය. ඒ මන්දැයි මුලින්ම විමසිය යුතුය. ඔහු දැන් නම් නිදි නැත. ජාතික ජීවයක් රැගෙන, පියාමෙන් ඇගිලි වලින් උඩපනිමින්, ගිරිය කැඩෙන තරමින් කෑ ගසමින් යූඑන්පී කාරයන් අවධි කරමින් යයි. මේ සද්දය මීට දමන්නට බැරිවූයේ ඇයිදැයි වත්මන් යූඑන්පී කාරයා මේ විශ්වකර්මයාගෙන් නොඅසයි. නමුත් අප මුලින්ම අසන ප්‍රශ්ණයද එයයි. එයට පිළිතුරක් ඔහුගේ තියා ඔහුගෙන් ප්‍රාතිහාර්‍යයක් අපේක්ෂා කරන යූඑන්පී කාරයාගේවත් කටින් පිට නොවනු නැත. නමුත් දෙපළගේම සිත් තුළ අප මේ දිගහරින තිත්ත ඇත්ත සගවා තබා ඇත. එම තිත්ත ඇත්ත නම් පක්ෂය මෙතෙන්ට වැටෙන තුරු ඔහු බලා සිටියාය යන්නයි. එනම් මේ පරාජයන් සියල්ල හා අසාර්ථකතා සියල්ල ඔහු අපේක්ෂා කළාය යන්නයි. ඒ අනුව බලන කළ පොදුවේ යූඑන්පී කාරයා විසින් මේ තෝරාගත් විශ්වකර්මයාත් රාජිත, බන්දුල, ලොකුගේ වැනිම පක්ෂයට ෂොට් එක අපේක්ෂා කළ අයෙක්මය. නමුත් ඔහුගේ එකම වෙනස වන්නේ එස්.බී මෙන් හදිසි නොවී නායකත්වය තමන්ගේ පැත්තට හැරෙන තුරු ඉවසීමට සමත් වීමයි.


එලෙස නායකත්වය උරුම කරගන්නට සිතූ සජිත්ගේ ජාතික නායකත්වයේ හැකියාවද අප නොවිමසා බැරිය. සජිත් හම්බන්තොට පන්සල් වල පෙරපාසල් විවෘත කරමින් සහ පෙරපාසල් උත්සව වලදී පොත්පත්, බැංකු ගිණුම් ආදිය ලබා දෙමින් දුප්පත් ගැමියා තුළ සිටින ඡන්ද දායකයා තමා කෙරෙහි නම්මවා ගැනීමට උපන් හපනෙකි. ඒ ඔහුගේ එකම දේශපාලන ක්‍රියාවයි. නමුත් ගමේ පෙර පාසල් දියුණු කිරීම සහ රටක් දියුණු කිරීම යනු දෙකකි. එබැවින් සජිත්ගෙන් ප්‍රාතිහාර්‍යයක් බලාපොරොත්තු වන යූඑන්පී කාරයා මීළඟට සිතිය යුත්තේ සජිත් සතුව ජාතික නායකත්ව ලක්ෂණ තිබේද යන්න ගැනය.


එපමණක්ද නොව සජිත් නියෝජනය කරන මතවාදී ධාරාවද අප විග්‍රහ කරගත යුතුය. පොදුවේ එජාපය දක්ෂිණාංශික - ධනවාදී ප්‍රවේශයක් ගත් පක්ෂයක් බව සත්‍යයකි. රනිල්ගේ නායකත්වය තුළ බටහිර හිතවාදී මුහුණුවරක්ද මනාව එයට එක්වී ඇත. නමුත් සජිත් ආමන්ත්‍රණය කරන්නේ දුප්පත් ජනතාවටය. කතා කරන්නෙ එදා වේල කෑම ගැනය. ගමේ ගොවියා ගැන ලොකු කැක්කුමක් ඇති බව උඩ පනින තාලයෙන්ම පෙනෙයි. (මේවායේ කිසිඳු වරදක් ඇතැයි අප කියන්නේ නැත.) මේ හරහා නැවත අප මතකය දිව යන්නේ 88න් ඇරඹුණු ප්‍රේමදාස යුගයටය. එහි පදනම වූයේ දුප්පත්කමින් තොරවූ සමාජයක් යන්නයි. මෙයින් පෙනී යන්නේ සජිත් නැවතත් උත්සහ ගන්නේ පේ‍්‍රමදාස ප‍්‍රවේශය හරහා මහින්දට ඉතා කිට්ටු වූ මතවාදයකට යූඑන්පීය ගෙනයෑමටය. දිනෙක එය සිදුවුවහොත් සජිත් පොඩි මහින්ද කෙනෙකු බවට පත්වේ. යූඑන්පීය විජාතික බටහිර කුමන්ත්‍රණ මඩ සෝදාහළ සිංහළ ජාතිකත්වයෙන් ඔද වැඩුණු සහ බෞද්ධ පිරිත් නූලෙන් පව් සමා කළ සාධු පක්ෂයක් බවට පත් වනු ඇත.


අප දුප්පතාට සැලකීම ගැන හෝ සිංහළ බෞද්ධ කම ගැන හෝ තර්කයක් ගොඩනැගීමට උත්සහ ගන්නේ නැත. අප උත්සහ ගන්නේ මේ ප්‍රවේශය හරහා අනාගතයේ ඇතිවිය හැකි අනතුර ගැනය. එය එක් අතකින් අනතුරකි. තවත් අතකින් අහිංසක යූඑන්පී කාරයා කබලෙන් ලිපට වැටීමකි. තේරෙන සිංහලෙන් කීවොත් නුදුරු අනාගතයේ යූඑන්පී යට ලැබෙන අවස්ථාව නැවතත් මගහරවා ගැනීමකි. ඒ අන් කිසිවක් නොව, වත්මන් ආණ්ඩුවේ ඇතිවන ගැටීමක් තුළින් මෙය පුපුරා යෑමට ඇති ඉඩකඩ දැන් දැන් ප්‍රදර්ශන තලයකට පත්වෙමින් තිබේ. ඒ අනුව එයට බාහිරින් තිබෙන විකල්පය විය යුත්තේ යූඑන්පීයයි. නමුත් යූඑන්පී යත් පොඩි මහින්ද කෙනෙක් අතට පත්වී අන්ත ජාතිවාදී ප්‍රවේශයක් හරහා මුල සිට ගොඩ නැගෙන තත්වයකට පත්ව සිටිය හොත් එක්කෝ වන්නේ සිදුවන බෙදීම තුළින් කැඩීඑන පිරිස සජිත් හා දයාසිරි වැනි පොඩි වුන් යටතේ නොසිට වෙනමම සිටීමට ගොස් ඇණ ගැනීම හරහා නැවතත් මහින්දට ආණ්ඩු බලය විතැන්වීමය. නැතහොත් සිදුවන්නේ බාහිරින් විශ්වාසදායී සහයෝගයක් නොපෙනෙන කළ කඩාගෙන යෑමේ ආශාව සිත තුළම සිරකරගෙන නාමල්ට ඔලූව වනමින් හපන්න බැරි අත ලෙවකෑමටය.


ඒ අනුව අඩව්වේ අපගේ යෝජනාව වන්නේ පක්ෂ ප‍්‍රතිසංවිධාන අවශ්‍යතාවය ස්වායත්වය පක්ෂයේ විචල්‍යතාවයන් සමග පමණක් ගලපා තීරණය කළ යුත්තක් නොවන බවයි. එය අතීතය මෙන්ම අනාගතය සමගත්, පක්ෂ අභ්‍යන්තරය සමග මෙන්ම බාහිර දේශපාලන විචල්‍යතාවයන් සමගත් සමපාත කර මනා විගහයකින් පසුව කළ යුත්තක් බවයි. නැතිව කාගේවත් හිරි ඇරගැනීමට පක්ෂ ප්‍රතිසංවිධානයක් කළාට වැඩක් නැත.
Related Posts with Thumbnails