Monday, December 28, 2009

අදක් නැති ''තාරුණ්‍යයට හෙටක්" නැති කිරීම

ශ‍්‍රී ලංකාව වැනි දියුණුවේ මාර්ගය තවමත් වෙන් කර හඳුනා නොගත් රාජ්‍යයන් හී දැකිය හැකි ප‍්‍රධානම කාරණයක් වන්නේ මූලික අවශ්‍යතා, අධ්‍යපනය, සෞඛ්‍යය, රැකියා, ප‍්‍රවාහණය හා සන්නිවේදනය ආදී වූ සියලූ ක්ෂේත‍්‍රයන් තවමත් ප‍්‍රාථමික තත්වයක පවතින බවයි. එසේම එවන් පසුබිමක කාන්තා අයිතීන්, ළමා අයිතීන්, ආබාධිතයන්ගේ අයිතීන් හා ඒඞ්ස් රෝගීන්ගේ අයිතිවාසිකම් වැනි විශේෂිත කණ්ඩායම් වල අයිතීන් හෝ අවශ්‍යතා පිළිබඳව ගොඩනැගෙන කතිකාවද ඉතාම දුර්වල මට්ටමක පවතී. වත්මන් ශ‍්‍රී ලංකාව තුළ තාරුණ්‍යය යන සුවිශේෂී කණ්ඩායමටද මෙම පොදු ධර්මතාවය බලපා ඇති නිසා එය තරුණ අනන්‍යතාවය පිළිනොගත් ඉතිහාසයකට උරුමකම් කියයි.

එහෙව් වටිනාකමක් නොලද මුත් ඉතිහාසයේ සිට තාරුණ්‍යය නැතිවම බැරිවූ සිදුවීමක් වත්මන් මහින්ද යුගයේදීත් එළඹෙනු ඇතැයි කල්තියාම හඳුනාගත් නිසා අප මේ පසුකරමින් සිටින යුගයේදීත් නැවතත් තාරුණ්‍යයේ වටිනාකම් තරමක් වැඩිවෙනු ඇතැයි අපගේ කතානායකයා ඉවෙන් මෙන් දැනගන්නට ඇත. (සමහර විට තාත්තා හෝ බාප්පලා ඉව අල්ලා දුන්නා විය හැකිය.) එසේම සිංහල තාරුණ්‍යය ජයකෙහෙළි නංවන අනාගත දිනයේදී සතුරාගේ තාරුණ්‍යය තමා ඉදිරියේ දණ නමනු දුටු විට තාරුණ්‍යයේ සිත්තුළ මහා ශක්තියක් ජනිත වන බවද කතානායකයා මනාව දැන සිටියේය. මේ නව ශක්ති ප‍්‍රවාහය තමාගේ කරගැනීමේ අරමුණින් අතීතයක් නැතිව සිටි ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයට සුභ අනාගතයක් ගැන බලාපොරොත්තු කන්දරාවක් පොදි බැඳ හිස මත තබා ඒ මත සිට ගත් නාමල් රාජපක්ෂ නම් කුමාරයාණෝ තාරුණ්‍යයට හෙටක් සංවිධානය හදාගෙන තෙමේම සභාපති බවට පත්විය.

පලපුරුද්ද ගැන නිතර කියවන ඔහු මේ තනතුරට පත් වනුයේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ හද ගැස්ම තියා ගැමි තරුණයෙකුගේ දහඩිය සුවඳවත් හඳුනාගෙන නොව. තරුණ බෞද්ධ සංගම්, තුරුණු ශක්ති වේදිකාවල් හා යෞවුන් සේනාංකයන්ගේ ක‍්‍රියාකාරකම් හරහා ගොඩනැගුණු තාරුණ්‍යයේ නිහඬ ඉතිහාසයවත් නොදන්නා නාමල් රාජපක්ෂ තාරුණ්‍යයට හෙටක් නම් රාජධානිය හදාගෙන තමන්ම රජවෙන්නට හිතා ගත්තේය. තාත්තා දිව්රුම් දෙන මොහොතේ පළමු වරට වේදිකාගතවූ ඔහු මීලඟට කළඑලි බැස්සේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කරගෙනය.

නාමල් නොදන්නවා වුනාට ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යය යනු සැබෑවටම හෙටක් නැතිව අසරණ වූ පිරිසකි. හෙටක් තියා ඔවුන්ට අදක් හෝ ඊයේ දිනයක්වත් තිබී නැත. සුවිශේෂී ලෙස තාරුණ්‍යය පමණක් ගෙන සලකා බලන කල්හී ඔවුන්ට ආවේණික වූ ඉතා බැරෑරුම් ප‍්‍රශ්ණ ගණනාවක් දැකිය හැකිය. එබැවින් තාරුණ්‍යය එකතු කොට ශක්තිමත් කළ යුතු අනන්‍යතාවයක් බවට කිසිඳු තර්කයක් නැත. නමුත් ප‍්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ. ප‍්‍රශ්ණය ඇත්තේ නාමල් එකතු කරගත් තාරුණ්‍යය භාවිතා කරන ආකාරය ගැනය. ‘තාරුණ්‍යයට හෙටක්’ තාත්තාට හෙටක් ලෙසට භාවිතා කරන නාමල් නොදන්නවා වුනාට ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යය පෙළන ප‍්‍රධානම ප‍්‍රශ්ණය වන්නේ ආර්ථික ස්වාධීනත්වයක් නොමැති වීමයි. ඉන් ඉතාම ප‍්‍රබල වන්නේ රැකියා ප‍්‍රශ්ණයයි. උපාධි ලබා තරුණ තරුණියන් 30,000 ක් ගෙවල් වලට වී සිටීම තුළින් නොකියා කියැවෙන සා/පෙළ හෝ උ/පෙළ සමතුන්ගේ විරැකියාව ලක්ෂ ගණනකි. ඒ හරහා කිසිඳු මුදලක් අත නැති තාරුණ්‍යය තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ මොහොතේත් දෙමාපියන් ඉදිරියේ සිඟමන් යදින්නට පොළඹවා ඇත. ඒ අනුව අභිමානවත්ව නැගී සිටිය යුතු තාරුණ්‍යයේ ප්‍රෞඩත්වය තිඹිරිගෙයිම මිය ගොස් හමාරය. ජනාධිපති තාත්තා තෑගි දෙන ඇස්ටන් මාටින් කාර් වල යන නාමල් මේ හැඟීම් දැනගන්නේ කොහොමද?

අනෙක් අතට විරැකියාවෙන් පීඩිත තරුණයින් කෙසේ නම් දෙමාපියන් වෙනුවෙන් තම යුතුකම් ඉටු කරාවිද යන්නත් අප සිතා බැලිය යුතුය. තමා හම්බ කළ මුදලකින් අම්මට තාත්තට ඇඳුමක් ඇරන් දෙන්නට හෝ වේලක් කන්නට දෙන්නට සිහින මවන ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ ශක්තිය රැකියා හොයන්නටම වියැකී ගොස් හමාරය. එබැවින් යුතුකම් ඉටුකිරීමෙන් ලබන තෘප්තිය ඔහුට උරුම නැතැයි හිතහදාගන්නට වී තිබේ. අධ්‍යාපනයට කෙතරම් හිත ඇතත් අවාසනාවකට පියා මියැදුන පවුලක බර මුලූමනින්ම පැටවෙනුයේ තාරුණ්‍යය පිට පැටවෙනුයේ උසස් අධ්‍යාපන සිහිනට කඩා බිඳ දමමිනි. නංගිලාට මල්ලිලාට හෙටක් තනන්නට ගඩොල් පෝරණුවක, බේකරියක, ගැරජ් එකක හෝ ගාමන්ට් එකක හිඟාකන තාරුණ්‍යයේ ඉකිබිඳුම නාමල්ගේ සඳළුතලයට ඇහෙනවා ඇත්ද?

අද උපාධියක් රැගෙන ගෙදර එන දුවක් යනු අම්මලාගේ තාත්තලාගේ හිතට මහා බරකි. අවුරුදු 30ක් වුණ රැකියා විරහිත තරුණියක් රන්මල් මාලා දා කැන්දන් යන්නට කුමාරවරු මහබලාගෙන නැත. දෑවැදි දෙන්නට අතමිට පිච්චියක් වත් නැති අම්මලා තාත්තලාගේ හිත්වල ඇවිලෙන ගින්න අනර්කලීලාගේ Hot scene දකින නාමල් කෙසේනම් දකින්නද? රන්මල්මාලා කෙසේ වෙතත් හඳපානේ හරි කැන්දන් යන්නට කුමරෙකු සිටියද රැකියාවක් ලැබෙන තෙක් විවාහය කල් දැමීමට සිදුවනුයේ ඉගෙනගත්ත කරුමයටදැයි ඔවුන් අසති. ඒ අනුව යුතුකම් ඉටුකිරීමෙන් නිදහස් නොවුණු තාරුණ්‍යයේ සිත වගකීම් දෙස බලන්නේද බියමුසු හැඟීමකිනි. බලාගෙන හිඳ පලක් නැති කල්හී උපාධිය, උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ සහතිකය බල්ලාට දමා හිනාවෙන ගම්මුන්ට හොරෙන් ගාමන්ට් එකකටවත් ගොස් ශ‍්‍රමය විකුණන්නට තරුණියන් පෙළඹෙන්නේ ලැජ්ජාවට වඩා බඩගින්න ලොකු නිසාය. එසේ ගිය කල්හී ශ‍්‍රමයට අමතරව තවත් දේවල් හොයන කොම්පැනි ලොක්කන්ගේ මුදල් බලයට හා මැර බලයට යටවී ගාමන්ට් එකේ කාමරයක් තුළ වියැකී යන ගෑණු කම හඩනගා අයදින පිළිසරණ වන්නට නාමල්ට සදාචාරාත්මක අයිතියක්වත් තිබෙනවාද?

සැබෑ තාරුණ්‍යයේ හැඟීම් ඉතාම බොලඳය. වෛවර්ණ හින්දි චිත‍්‍රපට ජීවිත යැයි මවාගත තරුණියන් බැගී කලිසම හා බොඩිෆිට් ටීෂට් එක යනු පිරිමිකම යැයි සිතා ඒ තුලින් ආදරය හොයන්නට පෙළඹෙති. විරැකියාවෙන් පෙළෙමින් වුවත් හැඩට ඇඳ පැලඳගත් තරුණයින්ද තරුණියන්ට ලස්සන අනාගතයන් ගැන සිහින මවා දෙන්නේ තමන්ට ඇති හැකියාව පිළිබඳ පවතින තක්සේරුවට වඩා තාරුණ්‍යයේ හැඟීම් ඉස්මතුවන නිසාවෙනි. තරුණියන්ගේ දෙමාපියන් හමුවී අවසර ඉල්ලන්නට ශක්තියක් තමන්ට නොතනා හිනාවෙන්නට බලා සිටින ලෝකයෙන් වහංවී හෝටල් කාමර තුළ නිරුවත් වන්නේත් නාමල් හඳුනා නොගත් ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයයි. සතිඅන්ත දිනවල අමතර පන්ති පිරෙන්නාම සෙනගකින් නගරබද හෝටල් කාමර පිරෙන බව නොදන්නා නාමල් දැනගතයුතු දෙය වන්නේ තමා අයිති වන්නේද ඉන් එකෙකු ලෙස මිස උන්ගේ ගැලවුම්කරුවා ලෙස නොවන බවයි.

තවත් අතකින් තාරුණ්‍යය ගිලගනිමින් සිටින ප‍්‍රධානම යක්ෂයෙකි මත්ද්‍රව්‍ය. තමාගෙන් රටට වැඩක් නැතැයි ප‍්‍රත්‍යක්ෂ වුණ තාරුණ්‍යයේ අභිමානය හෑල්ලූවී යන්නේය. ගම්බදට වන්නට තරුණයින් හවසට බෝක්කු උඩට වී බීඩි උරමින් අළුකර දමනුයේ මේ රට ගොඩනැගීමට උරදිය හැකි මිනිස් පැය නොවේද? බීඩියෙන් පටන්ගෙන ගංජා සුරුට්ටුව දක්වා තාරුණ්‍යය රැගෙන යන්නේ ඔහුගේ වටිනාකමට වින කළ මේ සමාජය බව නාමල් කවදානම් දැනගනීවිද? රා කසිප්පු වලින් ගමන් කොට මෙහෙව් වටිනා තාරුණ්‍යය නවතින්නේ බාර් අසල කානුවලය. මතට ඇබ්බැහිවී මුදල් නැති කල බසයකට නැග පොකට් ගසන්නේත් පාරේ යන තරුණියකගේ මාලයක් කඩාගෙන දුවන්නේත් මේ සමාජ ආර්ථික ක‍්‍රමය විසින් නන්නත්තාර කළ තාරුණ්‍යයම බව තාත්තාට හෙටක් හදන නාමල්ට හිතන්නටවත් වෙලාවක් ඇද්ද?

මෙලෙස ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යය යැයි මහාර්ඝ වචනයකින් සේල් දමා ඇති වටිනා සාධකය මේ මොහොත වන විටත් අන්ත අසරණව බලාසිටියි. එහෙව් තාරුණ්‍යය සිතුම් පැතුම් තේරුම් ගැනීමට හැකි හෝ තරුණයන්ගේ මට්ටමින් සිතිය හැකි නියෝජිතයින් නියෝජනය නොකරන මහජන නියෝජිතායතන මෙම ප‍්‍රශ්ණය කෙරෙහි ඇස් ඇර නොබැලීමද සාධාරණය. මහජන නියෝජිතායතන සඳහා තාරුණ්‍යයට වෙන්කළ කෝටා එකවත් නිසි ලෙස භාවිතා නොවන අතර පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් තාරුණ්‍යයට අදාල නොවනුයේ අද ඊයේ සිට නොව මීටත් වසර 50කට පමණ පෙර සිටය. එබැවින් ඔවුන් තාරුණ්‍යය හඳුනා නොගැනීම ගැන අද ඇනුම්පද කියන්නේද නැත. නාමල් සැබෑ ලෙසම තාරුණ්‍යයේ හෙට උදෙසා දේශපාලනයට අතගැසුවේ නම් කළ යුතුව තිබුණේ තාත්තා රජ කර තමන් පාර්ලිමේන්තු යන්නට තරුණයින් කඬේ යවා ගැනීම නොවේ. ඔවුන්ට හිමි කෝටා එක වෙනුවෙන් තරුණයින් පෙළ ගැස්වීමය.

මේ ආකාරයට ආර්ථික, සමාජයීය, දේශපාලනික හා සදාචාරමට අතින් අගාධයකට ඇද දමා තිබෙන තාරුණ්‍යය මානසික අතින්ද බිඳ වැටී ඇත. අද වන විට වෙසක් සතියට කූඩුවක් හදන්නට හෝ තොරණක් ගසන්නටවත් එකතු නොවන ගමේ තරුණ කැල මේ තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් වගකීම ගත යුතු වන්නේ පාලන තන්ත‍්‍රයේ ඉහළ සිට පහළට සිටින සියලූ නිලතලයන් පමණක් නොව සමස්ථයක් ලෙස මේ මුළු සමාජයමය. කෙසේ වුවද එලෙස අසරණව වේදනාවෙන් හඬමින් සිටි තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කොට ඔවුන්ට බොරු පොරොන්දු දී ඔවුන්ගේ කරෙන් දේශපාලන වේදිකාවල් තනා ජනාධිපති තාත්තාට නැවත රජ වන්නට කඬේ යන ජනාධිපති පුතා පිළිබඳව අපට ඇත්තේ ලැජ්ජාවක් නොව හිරිකිතයකි. සැබෑ කලාකරුවන් නියෝජනය නොවන මහින්දවාදී හෙන්චයියන් රැලකට රඟපාන්නට සල්ලි විසිකරන ජනාධිපති පුතාගේ පෞද්ගලික කොම්පැනියක් බඳු තාරුණ්‍යයට හෙටක් සංවිධානය මේ මොහොත වන විටත් කරමින් සිටිනුයේ තමන්ගේ නමට බින්දුවක්වත් නොගැලපෙන වැඩකි. නන්නත්තාර වි සිටි තාරුණ්‍යයේ ශක්තිය එකතු කර, තරුණ තරුණියන්ගේ හිත් තුළ බුර බුරා නැගෙන වේදනාවන් හරහා ජනිත වූ ශක්තිය පොදි බැඳ ජනාධිපති තාත්තාගේ රජ සිහිනය වෙනුවෙන් සින්නක්කර ලියා දුන් නාමල් කුමරුණි, ඔබ කළේ පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් නැවත කවදාවත් එකතු නොවන ලෙස ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යය සුනු විසුනු කර දැමීමකි. තරුණ තරුණියන්ගේ පමණක් නොව ඔවුන්ගේ අම්මලා තාත්තලාගේද සුභ අනාගතය කඩාබිඳ දැමීමකි. කොටින්ම කිවහොත් අදක් නැතිව සිටි තාරුණ්‍යයට හෙටක්ද නැති කිරීමකි.

Tuesday, December 22, 2009

පෞද්ගලික අනන්‍යතා විනාශ කරන අපේ කාලයේ මැතිවරණය



මැතවරණ සටන් ඉතිහාසය බලන කල දැකිය හැකි වැදගත්ම සිද්ධියක් වන්නේ 77ට පෙර එකම පක්ෂයකට දෙවතාවක් බලයේ සිටීම අමාරු කාර්‍යයක් වූ බවයි. එම නිසා සෑම මැතිවරණයකදීම වගේ ජයගත්තේ ජනතාවට අනාගතය ගැන සිහින ලෝක මවාදුන් පාර්ශවයයි. නමුත් 77න් පසු මේ තත්වය කනපිට හරවා එජාපය වසර 17ක් සහ අනෙක් පාර්ශවය මේ මොහොත වන විටත් වසර 15ක් තම බලය රැක ගන්නට සමත්ව ඇත. ඒ අතරින්ද සෑම ජනාධිපතිවරයෙක්ම (ප‍්‍රභාකරන් අවසර දුන්) ව්‍යවස්ථා ප‍්‍රකාරව දෙවන වතාවටත් බලය ලබා ගැනීම වැදගත් සිද්ධියකි. නමුත් ඔවුන්ද දෙවන වතාවේ භාවිතා කළේ අනාගත පොරොන්දු දීමේ ඓතිහාසික උපක‍්‍රමයම විය. ඒ මාවතම තෝරා ගනිමින් 2005දී විධායක බලතල තමන්ගේ කරගත් මහින්ද රාජපක්ෂ මෙවර එම ක‍්‍රමය වෙනස් කිරීමේ අරමුණින් මැතිවරණ සටනට අතගැසීය. දකුණේ ඡන්දය පවා මේ නව සටන් පාඨය හරහා ජයගන්නට ඔහු සමත් විය. ඒ වූකලී ‘වසර 30ක යුද්ධය නිම කිරීමේ ක‍්‍රියාව’යි.

ඒ අනුව ඔහු මෙවර ජනාධිපතිවරණ සටනට පිවිසෙන්නට සිටියේ අතීතය පිළිබඳ කතාවක් ජනතාවට කියා ඡන්දය ඉල්ලන්නටය. නමුත් වැඬේ ගැස්සී ගියේය. නොසිතූ නොපැතූ ලෙස එම සටන් පාඨය මහින්දට හෝ ඇමති රැලට පෞද්ගලිකව භාවිතා කර විපක්ෂය හොම්බෙන් යවන්නට නොහැකි විය. උපක‍්‍රමික වූ විපක්ෂය ප‍්‍රායෝගික දේශපාලනයේ චලනයන් මනාව හඳුනාගෙන තම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේද මහින්දකරණය කරගන්නට උත්සහ දැරූ යුධ ජයග‍්‍රහණයේම අනෙක් ප‍්‍රධාන පාර්ශවකරුවාය. මේ හේතුවෙන් තම මැතිවරණ සටන් ව්‍යාපාරය පුරා උඩ පැන පැන ෙදාඩවන්නට ඇමති රැල විසින් නිර්මාණය කරගෙන සිටි සටන් පාඨ සියල්ල පුස් වෙඩි බවට පත්වූවා පමණක් නොව බැරිවෙලාවත් ඉන් එකක් හෝ වේදිකාවක දිග හැරියේ නම් එය ජෙනරාල්ට මල් වරුසාවක් වන්නටද ඉඩ තිබිණි. එබැවින් මහින්ද විසින් තමන්ගේ කරගන්නට උත්සහ දැරූ ‘යුධ ජයග‍්‍රහණය’ තව දුරටත් පෞද්ගලික අනන්‍යතාවයක් නොවී විපක්ෂයේ උපක‍්‍රමික ප‍්‍රහාරයට ලක්විය.

නමුත් එහි කිසිඳු වරදක් නැත. මන්ද, සමස්ථ ජනතාවම තම බත්පත කැපකර දිනාගත් යුද්ධය තනි පුද්ගලයෙකුට තම පෞද්ගලික අවශ්‍යතාවයක් උදෙසා බිල්ලට දෙන්නට බැරි නිසාය. මේ අනුව මාවිල්ආරුවේ සිට නන්දිකඩාල් කලපුව තෙක් බිම් අඟලක් ගානේ මතක් කරමින් ජනතාව විපක්ෂයට විරුද්ධව උසිගන්වන්නට බලා සිටි ආණ්ඩුවේ කුලී හේවායෝ අපේක්ෂා භංගත්වයට පත්විය. මහින්ද මේ ආකාරයට යුද්ධය කරපින්නාගෙන ජනතාව බලන්නට එන බව දන්නා විපක්ෂය ජෙනරාල්ගේ පළමු පෝස්ටරය ‘ SF මෙහෙයුම’ ලෙස නම් කරන ලදි. මේ හරහා ‘යුධ ජයග‍්‍රහණය’ නම් පෞද්ගලික අනන්‍යතාවය විපක්ෂයේ උපක‍්‍රමික මෙහෙයුම හමුවේ දියවී යන ලදි.

මෙම පෝස්ටර් ව්‍යාපාරයන් අතර තවත් වැදගත් පෝස්ටරයක් වූයේ මහින්ද මාතෘ භූමියට වැඳගෙන සිටින පෝස්ටරයයි. ( යුද්ධයේ අන්තිම දින වල යුධ හමුදාපති රටින් බැහැරව සිටින බව කියන ආචාර්ය මර්වින් සිල්වාට මතක් කිරීමට ඇත්තේ එ් දින කීපයේම ජනාධිපතිත් රටින් බැහැරව සිටි බවයි. එපමණක් නොව මහින්ද මාතෘ භූමියට වඳින අවස්ථාව වන විටත් රට මුදාගෙන නොතිබූ බව ඔහු දැනගත්තේ පසුවය.) මේ පෝස්ටරයෙන් රටට වඳින නායකයෙක් පෙනෙනවාටත් වඩා ගමේ ජනතාව දකින්නේ දණ ගසා තමන් දෙසට වැඳගෙන සිටින ජනාධිපතිවරයාය. සත්‍ය ලෙසම එය ඉතාම සාර්ථක ප‍්‍රචාරණ භාවිතාවයකි. මන්ද, ඒ හරහා තමාට ගරුකරන නායකයෙක් ඔවුනට පෙනෙන බැවිනි. නමුත් මේ අනන්‍යතාවයද පෞද්ගලික කරගන්නට ජවිපෙ සහෝදරවරු ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට ජෙනරාල් ජනතාවට ආචාර කරන පෝස්ටරය එක රැයකින් රට පුරා ඇලවිණි. යුධ ජයග‍්‍රහණයෙන් උමතුවී සිටින ජනතාවට මේ පෝස්ටර් දෙක අතරින් ජෙනරාල්ගේ පෝස්ටරය වැඩිපුර කාවැදීම හරහා පෙනෙන්නේ විපක්ෂය මෙහිදීද සාර්ථක ප‍්‍රහාරයක් දියත් කළ බවයි.
අනෙක් වැදගත්ම සිදුවීම වන්නේ මේ මැතිවරණයේදී පෞද්ගලික වර්ණ අනන්‍යතාවයට ඉඩක් නොලැබීමයි. දේශපාලන වේදිකාව දෙස බලන කල තවමත් සන්ධානය නිල් පාට සමගින් රතු පාටත් තැනින් තැන භාවිතා කරනු දැකිය හැකිය. ජවිපෙ ඔවුන් අතහැර ගියද දිනේෂ් තා ඩිව් තවමත් කොනකින් හෝ එල්ලී සිටින නිසා රතු නැතිව හරිනැති බවක් ඔවුන්ට දැනෙනවා ඇත. විපක්ෂයද දැන් දැන් රතු පාටට අත ගසා ඇත. එයද සාධාරණය. ඒ ප‍්‍රධාන රතු පිරිස වන ජවිපෙ ඔවුන් සමග එක්ව ඇති නිසාය. අනෙක් අතට නිතර මාධ්‍ය සාකච්ඡා කැඳවන මංගල පාර්ශවය විපක්ෂයේ සිටියද තමන්ට උරුමකම් ඇති නිල් පාට භාවිතා කිරීමත්, ආණ්ඩුවේ අළුත්ම ඇමතිවරු වන ජොන්ස්ටන් සහ ඉන්දික මෙන්ම රාජපක්ෂ පරපුරේ අළුත්ම සේවක SB ද (ඔහු එළිපිට කියා සේවය කළද හැංගි හැංගී සේවය කරන අය 114ක් සිටින නිසාය) කොළපාට පසුබිමක්ම තම මාධ්‍ය සාකච්ඡා වලට භාවිතා කිරීමත් හරහා දෙපැත්තටම කොළ සහ නිල් යන වර්ණයන් පවා පොදුවී තිබේ. ඒ තත්වය මනාවට දිස්වූයේ ‘ජනතාවගේ බලාපොරොත්තුව කුමක්ද’ ලෙස මහින්ද පාර්ශයෙන් මුලින්ම ඇලවූ පෝස්ටරයට සිදුවූ සිද්ධි වලිනි. එය නිල්පාට භාවිතා කර අලවන ලද පෝස්ටරයකි. නමුත් එය යට කොටසේ කිසිවක් නොතිබුණි. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ජවිපෙ සහෝදරවරු ඒ කොටස ආණ්ඩුවේ දුර්වලතා දක්වන්නට භාවිතා කළ අතර එජාපය එහි ඇලවූයේ S හා F යන අකුරු දෙක පමණි. එයද නිල් පාටින් අලවා තිබූ අතර ගම්වල ජනතාව සිතුවේ සැබෑවටම මෙය ජෙනරාල්ගේ පෝස්ටරයක් බවය. ඉන් පසුව ආණ්ඩුව එම පෝස්ටරයේ දෙවැන්න ඇලවීම ආරම්භ කළද ඒ වන විටත් එය ජොක් වි තිබීම නිසා ඉන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට නොහැකි විය.
ඉහතදී අප විමසා බැලූවේ විපක්ෂය විසින් ආණ්ඩු පාර්ශවයේ අනන්‍යතාවයන් පෞද්ගලිකව භාවිතා කරන්නට ඉඩ නොදී එයට අභියෝග කළ අවස්ථාවන්ය. ඔවුන් මෙසේ කිරීම එතරම් ගැටළුවක් ලෙස දැකිය හැකි වන්නේ නැත. ඒ යුධ ජයග‍්‍රහණයත් සමග පැවැත්වූ පලාත් සභා මැතිවරණ වලදී විපක්ෂයට ලැබුණේ අපේක්ෂිත පරාජයක් නිසාය. එම නිසා දකුණේදී ආණ්ඩු පාර්ශවය උන්-උන් මරාගන්නා තත්වයකට පත්විය. ඒ තත්වය තේරුම් ගත් විපක්ෂය තමන් අභිමුවේ මේ මොහොතේත් දිස්වූ පරාජය වෙනස් කරගනිමින් ආණ්ඩුවේ දරුණුතම පෞද්ගලික අනන්‍යාතවයට අභියෝග කළහ. ජෙනරාල් යුද්ධය ගැන නිතර කතා කිරීමත්, ජනතාවට ආචාර කරන පෝස්ටර් ඇලවීමත් හරහා ආණ්ඩුවේ පෞද්ගලික අනන්‍යතාවයට තරඟයක් දීම සාධාරණ වන්නේ ඔවුන් පරාජය පෙනි පෙනී සිටි පිරිසක් බැවිනි.
නමුත් දැන් තත්වය වෙනස් වී ඇත. ජෙනරාල්ගේ ආගමනයත් සමග ගොඩනැගුණු විපක්ෂ අභියෝගය හමුවේ මහින්ද පාර්ශවයට දැන් පරාජයේ සෙවනැලි පෙනෙන්නට පටන්ගෙන ඇත. ඒ බව මනාවට පෙනෙන්නේ විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතාවයන්ටද ආණ්ඩු පාර්ශවයෙන් ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගැනීම හරහාය. විපක්ෂය සොයා ගත්තේ පොදු අපේක්ෂකයෙකි. ඒ නිසාම මේ ‘පොදු අපේක්ෂකයා’ යන්නට පසුගිය මාස කීපය පුරා හොඳ ප‍්‍රචාරයක් ලැබුණි. මෙය තමන්ට අවාසි ලෙස විපක්ෂය ගොඩනගා ගත් පෞද්ගලික අනන්‍යතාවයක් ලෙස දුටු මහින්ද රාජපක්ෂ කළේ තමන්ද පොදු අපේක්ෂකයෙකු ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට තම ඇමති රැල කඬේ යැවීමයි. ආණ්ඩුවේ සංවිධායකවරයෙකු ඇමති වරයෙකු සමග වාඩි වී කතාකරන ‘තුලාව’ හා ඇමතිවරු තනිවම චමුදිතට හිනායන කතන්දර කියන ‘ජනමතය’ වැනි වැඩසටහන් වලදී ඩලස් හා මහින්දානන්ද වැනි ඇමතිවරු නිතර නිතර මේ කතාව කියන්නට උත්සහ ගත්හ. එහිදී ඔවුන් කිසිම පදනමක් නැතිව වුවද දිගින් දිගටම කීවේ සැබෑ පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බවයි. එමපණක්ද නොව ‘පොදු අපේක්ෂාව’ ලෙස සඳහන් කළ මහින්දගේ රූපය යෙදු දැවැන්ත පෝස්ටරයක්ද (නාමයෝජනා අපේක්ෂායෙන් සිටින) ඇමති රැල භාවිතා කරමින් රටපුරා ඇලවූහ. කෙසේ වුවද මොවුන් මේ හරහා උත්සහ ගත්තේ සැබෑවටම පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ ජෙනරාල්ගේ පෞද්ගලික අනන්‍යතාවයට පහර දීමටය.
ඒ හැරුණු විට විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතාවයට අභියෝග කළ අනෙක් අවස්ථාව වූයේ ජෙනරාල්ගේ ‘ජෙනරාල්’ කම වෙනුවට මහින්ද යනු ජනරාල කෙනෙකු බව කීමට ගත් උත්සාහයයි. පාර්ලිමේන්තු යන්නට නාමයෝජනා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වන රෙජිනෝල්ඞ් හා සෞඛ්‍ය ඇමතිතුමන් මේ ගැන නිතර නිතර වේදිකාවල හඬලන්නට විය.
අප මීලඟට විමසා බැලිය යුතු වන්නේ මේ සිදුවීම හරහා නිරූපණය වන්නේ කුමක්ද කියාය. සත්‍ය ලෙසම විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතා වලට පහර දීමෙන් ආණ්ඩුව පෙන්නුම් කරන්නේ තමන් තුළ අළුතින් ඇතිවී තිබෙන බිය පිළිබඳවය. තවත් වසර 7ක් පිළිබඳව තමන් මවාගෙන සිටි සිහින ලෝකය දැන් දැන් බිඳවැටෙමින් තිබෙන බව ජනාධිපතිතුමන්ට වැටහෙමින් තිබේ. විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතාවලට පහර ගසමින් දැවැන්ත කටවුට් සහ බැනර් වලින් කොළඹ වසා දමමින් තම පුතාට කියමින් විද්‍යුත් මාධ්‍යයන් සල්ලි වලට ගනිමින් ඔහු මේ තරම් නාඩගම් නටන්නේ වෙනකක් නිසා නොව, තමන් අභිමුවේ මැවෙමින් තිබෙන පරාජය විඳදරාගත නොහැකි නිසාය. කෙසේ වුවද විපක්ෂය විසින් ආණ්ඩුවේ අනන්‍යතාවය විනාශ කිරීම හරහා පෙන්වන්නේ ඔවුන් තුළ ඇති බිය මෙන්ම ආණ්ඩුව විසින් විපක්ෂයේ අනන්‍යතාවය විනාශ කිරීම හරහා පෙන්වන්නේත් ආණ්ඩු පාර්ශය තුළ අළුතින්ම හට ගෙන ඇති අවිනිශ්චිතතාවයයි.
අනන්‍යතා විනාශ කිරීම වෙනුවට විපක්ෂය අනුකරණයට යෑම හරහා මහින්ද වැඩ අනාගන්නා තත්වයකටද පත්ව සිටියි. ඒ විපක්ෂය මුල සිටම තම පදනම කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳව දෙතුන් තැනක කියා එයද තමන්ගේ කරගන්නට මහින්ද ගත් උත්සාහයයි. නමුත් ඔහුට අමතකව ඇති දෙය වන්නේ ජනතාව සතුව තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ යහපාලනය ෂොට් එක දුන්නේත් තමන්ම බවය.

Monday, December 21, 2009

අපි කාටද බය මල්ලී...............(අපිට කවුද බය)




මැතිවරණ උණුසුම ටිකෙන් ටික දරුණු වෙමින් යන මේ මේ මොහොතේ ආණ්ඩුවේ සහචාරණ උපක‍්‍රම ක‍්‍රම ක‍්‍රමයෙන් සන්නද්ධ කරන්නට දෙපිරිසම විශාල පරිශ‍්‍රමයක් දරමින් සිටිති. මෙය රැස්වීම්, මහජන රැලි වල සිට බිම් මට්ටමේ ශාඛා සමිති සාමාජිකයන් හමුවී කරන කුඩා කණ්ඩායම් සාකච්ඡා යන සියලූ තලයන් වලදීම සක‍්‍රීයව පවතී. මෙම මැතිවරණ කාලයේදී අප ‘ප‍්‍රචාරණය’ ගණයට ගන්නා තවත් දේවල් කීපයක් තිබේ. ඉන් ප‍්‍රධාන තැනක් ගන්නේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා පල වන දැන්වීම්ය. මීටත් අමතරව දෙයක් ඇත්තේ නම් ඒ පෝස්ටර්ය. නමුත් මේ ආකාරයට අප නෙත් ගැටෙන තලයෙන් පිට ක‍්‍රියාකාරීව සිදුවෙමින් පවත්නා තවත් ප‍්‍රචාරණ ක‍්‍රියාන්විතයක් තිබේ. එය පෙර කී ප‍්‍රචාරණ ක‍්‍රමවේද මෙන් දෘශ්‍යමාන හෝ ස්පෘශ්‍ය දෙයක් නොවන්නේය. ඒ මන්ද යත් එය මානසික ක‍්‍රියාන්විතයක් වන හෙයිනි.

අප දැන් ඒ ක‍්‍රියාන්විතය කුමක්දැයි විමසා බලමු. මෙය අප පෙර කී පරිදි මානසික ක‍්‍රියාන්විතයක් වන නිසා මෙහිදී ආණ්ඩුවේ ඇමතිවරු හෝ විපක්ෂයේ මන්ත‍්‍රීවරු මේ පුද්ගලයාට ඡන්දය දෙන්නයැයි ජනතාවට බලකරන්නේ නැත. මෙම ක‍්‍රියාන්විතය නියෝජනය කරන්නේ ඊට එහා ගිය අස්පෘශ්‍ය සාධකයන්ය. ඉන් වැදගත්ම සාධකයක් වන්නේ අපේක්ෂකයාගේ පෞරුෂයයි. මෙය වචනයෙන් ඡන්දදායකයාගේ කනට නුදුන්නද දර්ශණයෙන් ඔහුගේ සිත තුළ කිසියම් ගණනය කිරීමක් නිර්මාණය කරයි. මෙය සාපේක්ෂ මිම්මක් වන අතර එය ගණනය කරන්නේ ප‍්‍රති අපේක්ෂකයාගේ පෞරුෂය සමග අනන්‍ය කරමිනි. දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර දෝලනය වෙමින් සිටින ඡුන්ද දායකයන්ට තම මනාපය තීරණය කිරීම සඳහා මෙය ඉතාම වැදගත් මෙහෙයක් ඉටුකරයි.

මීට පෙර මැතවරණ වලදී මෙම මැතිවරණ සටන් වලට පිවිසි පෞරුෂයන් වූයේ මහින්ද හා රනිල්ය. එහිදී ශ‍්‍රී ලාංකික ඡන්දදායකයා අද්විතීය යැයි තීරණය කරන පෞරුෂය තෝරාගැනීමට යොදාගන්නා මිනුම් දඬු යුරෝපීය හෝ අප‍්‍රිකානු සමාජයේ ඡන්දදායකයාගේ මිනුම් දඬු වලට වඩා වෙනස් වේ. ඒ අනුව උස-මහත, පිරුණු මුහුණ, රැවුල, කටපුරා සිනාසීම, පමණක් නොව ආක‍්‍රමණශීලී කතා විලාශය, ප‍්‍රචණ්ඩකාරී අංග චලනය හා අභිමානවත් ගමන් විලාශය ආදියට වැදගත් තැනක් හිමිවේ. එබැවින් රනිල් යටකරගෙන නැගී සිටිය හැකි පෞරුෂයකින් හෙබිවූ මහින්ද ජනාධිපති ලෙස සිහසුන් ගත කරන්නට ශ‍්‍රී ලාංකීය ජනතාව ක‍්‍රියාකළහ. එපමණක්ද නොව මේ ක‍්‍රියාන්විතයේ සාර්ථකත්වය දුටු ආණ්ඩුවේ ප‍්‍රචාරණ ඒජන්තයින් පලාත් සභා ඡන්ද වලදී තම අපේක්ෂකයන්ගේ පෞරුෂ විපක්ෂ අපේක්ෂකයා ඉදිරියේ දුර්වල බව දුටු සැනින් එය වසා දමන්නටත් මෙම රීතියම භාවිතා කළහ. ඒ හරහා ඔවුන් විසින් මාධ්‍යයන් හරහා මවා පෙන්වූයේ පලාත් සභා මැතිවරණත් මහින්ද හා රනිල් අතර පවතින සටනක් බවයි. එනිසා ඔවුන් දිගින් දිගටම පහර ගැසුවේ ජානකට, රන්ජන්ට හෝ එස්.බී ට නොව රනිල්ටය.

නමුත් දැන් තත්වය බොහෝ දුරට වෙනස් වී ඇත. මහින්ද අද්විතීය යැයි ජනතාව තුළ මවා තිබූ පෞරුෂයට දරුණු පහරක් එල්ල වී ඇත්තේ ජනතාව තුළ තවත් මහා පෞරුෂයක් මවාගෙන සිටි වීරයෙකු විපක්ෂව සිට ඔහුට අභියෝග කිරීම නිසාය. ඒ අනුව ප‍්‍රභාකරන් විනාශ කළ සටනේ මුලසිට අග දක්වා සමස්ථ හමුදාවම මෙහෙයවමින් හා නායකත්වය දෙමින් ජනතා හදවත් තුළ මහා පෞරුෂයක් නිර්මාණය කරගත් ජෙනරාල් විපක්ෂයෙන් සටනට පිවිසීම හරහා මෙතෙක් මේ මානසික ක‍්‍රියාන්විතයේ වැඩි වාසි ලබමින් සිටි මහින්දට අවිනිශ්චිතතාවයක් ජනිත කර ඇත. එය මනාව නිරූපණය වන්නේ මහින්දගේ පෝස්ටර් හා ජෙනරාල්ගේ පෝස්ටර් එකලඟ ඇලවී තිබෙන විටය.

මෙලෙස ආණ්ඩු පාර්ශවයේ අපේක්ෂකයාට අවාසිදායක තත්වයක් බිහිවෙමින් පවතින බව තේරුම්ගත් ඇමතිරැල ඇතුළු අනෙකුත් මහින්දවාදීන් විපක්ෂව නැගිටිමින් සිටින පෞරුෂය බිඳදැමීමට වැඩ අල්ලා ඇත. එය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය. දැන් මහින්දට හැකි උපරිමයෙන් ජනතාව තුළ තම පෞරුෂය සටහන් කොට හමාරය. නමුත් ඔහුගේ ප‍්‍රායෝගික දේශපාලන භාවිතාවේ දුර්වලතා නිසා දැන් දැන් ඒ කීර්තිය දරුණු ලෙස පළුදු වන්නට පටන්ගෙන තිබේ. එබැවින් ජෙනරාල්ගේ පෞරුෂය හා තරඟ කළ හැකි තත්වයක් ඔහුට දැන් නැතැයි සිතන ඇමතිරැල එම අභියෝගය එල්ල වන පෞරුෂය බිඳ දැමීමේ කාර්යය ආරම්භ කර ඇත. එය කිරීමට ඔවුන් තෝරාගත් මාර්ගය මඩ දේශපාලනයයි. එ් අනුව කරලියට වැඩමවූ ගෝඨාභය සෙන්පතියා හමුදාපතිට දුන් වාහන හා ඉඩම් වල සිට දරුවන්ගේ අධ්‍යාපනය පවා රජයේ වියදමින් සිදුකළ බව පැවසීය. නමුත් ගෝඨාභය නොදැනුවත්ව කියන මේ කතා හරහා ඔහු සුද්ද කරන්නට යන සහෝදරයාගේම ඇෙඟ් මඩ ගෑවෙන බව ඔහු නොදනී. මන්ද, ජනතාව තුළ මේ ප‍්‍රකාශ හරහා ඇති වන තවත් ප‍්‍රශ්ණ ගණනාවක් තිබේ. ඒවා නම්, ‘මේ බව සත්‍ය නම් මේ මොහොතෙත් ආණ්ඩුවේ රෙදි හෝදන කරන්නාගොඩ ඇතුළු අනෙකුත් සියළු යුධ විරුවන්ට කෙතරම් නම් රාජ්‍ය දේපලක් ගෝඨාභය වියදම් කරනු ඇත්ද? අනෙක් අතට ජෙනරාල් පවසන පරිදි මහින්ද ඔහු විපක්ෂයට යෑම වලක්වන්නට දෙන්නට උත්සහ ගත් ඇමතිධූර ඇතුළු අනෙකුත් කප්පම් ගැන කතා ඇත්ත නම් මේ ආණ්ඩුව කෙතරම් ලැජ්ජා විරහිත විගඩමක් නටමින් සිටිනවා ඇත්ද?’ ආදියයි. එබැවින් මේ මඩ දේශපාලනයේ අවසාන ප‍්‍රතිඵලය අවාසිදායක වන්නේ මහින්දටමය.

මෙම මානසික මෙහෙයුම අප පෙර අවස්ථා වලට වඩා මේ අවස්ථාවේදී ශක්තිමත් කිරීමට ආණ්ඩු පාර්ශවයට සිදුවී ඇත්තේ අප පෙර තෝරා බේරාගත් පරිද්දෙන්ම මහින්දට අභියෝගයක් එල්ල වී ඇති නිසාවෙන්මය. එබැවින් පෞරුෂ තරඟයත් සමගින්ම එහි අනුපූරක ලෙස තම ජයග‍්‍රහණය පිළිබඳව පාක්ෂිකයන්ගේ සිත් තුළ විශ්වාසයක් ගොඩනැගීමටද මහින්දට සිදුවී තිබේ. එ් නිසා පෙර කිසි දිනෙක නොකළ පරිද්දෙන් ඔහු හා ඔහුගේ ඇමතිරැුල අනවශ්‍යය විශ්වාසයකින් අදහස් පල කිරීම ආරම්භ කර ඇත. මෙහිදී ඔවුන් දිගින් දිගටම කියන්නේ ජනාධිපතිතුමන්ට කිසිවෙක් අභියෝගයක් නොවන බවත්, ජනවාරි 27 දින වන විට එතුමා නැවතත් මෙරට ජනාධිපති වන බව ඉර හඳ මෙන් විශ්වාස බවත්ය. රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමාට අනුව එම ජයග‍්‍රහණය ඔහුට තම ජීවිතයටත් වඩා විශ්වාසය සහගතය. එනිසා ජෙනරාල් ජයග‍්‍රහණය කළොත් තමා දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බවට ඔට්ටුවක්ද දමා ඇත.

අප නැවත නැවතත් මේ අළුත් තත්වය විමසා බැලිය යුතු වන්නේ ඉතාමත් උපක‍්‍රමිකව ජාත්‍යන්තරය පවා ඇන්දවූ ආණ්ඩුවේ ඇමතිරැල ශ‍්‍රී ලංකීය ජනතාවට මොන බොරු කියනවාදැයි විශ්වාස කළ නොහැකි නිසාවෙනි. අනෙක් අතට රෝහිත ඇමතිතුමා මේ තරම් විශ්වාසයෙන් ඔට්ටු දමන්නේ නම් දැමිය යුතුව තිබුණේ පලාත් සභා මැතිවරණ වලදීය. එහිදී එතුමා මෙතරම් දුකක් නොවිඳින්නටත් දැන් උඩ පැන පැන ඔට්ටු දමන්නටත් හේතුව විමසා බැලිය යුතු වන්නේ එනිසාය. මෙය න්‍යායාත්මකව පැහැදිලි කරන්නට මනෝවිද්‍යාවේ එන ‘සංරක්ෂණ ප‍්‍රයෝග’(defense mechanism) යන්න යොදා ගත හැකිය. එය ප‍්‍රායෝගික ලෝකය හා සසඳා උදාහරණ කීපයක් දෙන්නේ නම් ප‍්‍රාථමික පන්තියක දරුවෙකු තම පන්තියේ ප‍්‍රතිවාදියාට තමන් බින්දුවක් වත් බය නැතැයි නිතර නිතර පවසන්නේ තමන්ගේ ශක්ති ප‍්‍රමාණය පිළිබඳව ඔහුට තිබෙන අවිනිශ්චිතතාවය වසා ගැනීමටය. එසේම පෙම්වතියක් තම පෙම්වතාට හැම මොහොතකම ආදරේ යැයි පවසන්නේ ඇයගේ ආදරයේ ස්ථීර භාවය පිළිබඳ ඇයට ඇති අවිනිශ්චිතතාවය වසා ගැනීමටය. මේ අනුව ඔබට වුවද ඇමතිවරුන්ගේ අළුත්ම විශ්වාසය මේ න්‍යයට ගලපා සත්‍යය තේරුම් ගත හැකිවේ.
තත්වය එසේ නම් පැහැදිලි වන්නේ ආණ්ඩුව තරඟයක් නොදී ජයග‍්‍රහණ ලැබූ යුගය අවසන්ව ඇති බවයි. ඒ අනුව යුධ ජයග‍්‍රහණයේ සැබෑ වාසිය ලබා ගත්තේ වත්මනේ පත්වී සිටින මහ ඇමතිවරුන්ය. යුධ ජයග‍්‍රහණයේ උපරිම වාසිය තමන් සතු කරගන්නට පිඹුරුපත් සකස් කළ මහින්දගේ අංජනම් එළිය වැරදී ගියේය. ඒ නිසා දැන් වැඬේ ගැස්සී හමාරය. නමුත් බැඳගත් බෙරය ගහනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් නොමැත. ක‍්‍රමයෙන් දැන් දැන් බෙරය වයන්නට පටන්ගෙන ඇත. ඒ හඬට කුලප්පු වන ඇමතිරැල දහඅට වන්නම නටන්නට පටන්ගෙන ඇත.
ඔබට අඩව්වෙන් සුභ පැතුම්. ............!!!



Saturday, December 5, 2009

මහබඹා කෝලමට කඬේ යන තොත්ත බබාලා .........











ජනාධිපති වීමට යමෙකුට අවශ්‍ය වන්නේ ප‍්‍රකාශිත, වලංගු ඡන්ද වලින් 50% කට වඩා දශමක් හෝ ගැනීම පමණකි. ඉන් ජනාධිපති වන ඕනෑම අයෙකුට පාර්ලිමේන්තුවේ 2/3ක එකඟතාවය මත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර අවශ්‍ය ප‍්‍රතිපාදනයන් ව්‍යවස්ථාවට එක් කිරීමේ හැකියාව පවතී. තත්වය එසේ නම් අප මොහොතකට සිතුවොත් ජෙනරාල් ජනාධිපතිවරණය ජයගත්තාය කියා. එසේ නම් දැන් රටේ විධායක බලතල හිමි ජනාධිපති ජෙනරාල්ය. (එවිට මහින්ද ප‍්‍රාදේශීය සභා ඇමති කෙනෙකුට තරම්වත් බලයක් නැති සිවිල් පුරවැසියෙකු - අපේ ගොඩටම - වීමත්, එහා පැත්තට පැනපු සහ එහා පැත්තේ හිටපු ගෙම්බන්ගේ ක‍්‍රියාකාරීත්වයන් වලින් ස්වායත්තව කල්පනා කරන්නේ නම් ඔබට මෙම තත්වය තේරුම් ගැනීමට තවත් පහසුවනු ඇත.) ඒ අනුව මහින්ද මහරජතුමන් අද වැජඹෙමින් සිටින තැන ඔහුට හිමිවේ. එතුමාට නොවඳිනා වැඳුම් වඳින ව්‍යාපාරික ප‍්‍රජාව, රාජ්‍ය සේවකයන්, ත‍්‍රිවිධ හමුදාව පමණක් නොව රටෙන් අතිබහුතරයක් වූ ජනතාවත් එදාට වඳින්නේ අභිනව ජනාධිපතිතුමන්ටය. මෙවන් තත්වයක් යටතේ ජෙනරාල් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට වත්මන් පාර්ලිමේන්තුවෙන් කැමැත්ත විමසා සිටිද්දී ඔය කෑමොර දෙන ඇමති රැල ඊට විරුද්ධ වී ‘‘නෑ, ඔබතුමා මේ රටේ රජකම් කරන්න ඕනෙමයි’’ කියමින් එයට ඡන්දය නොදී සිටීවිද??? නැත. ඔවුන් නිසැකවම එයට ඡන්දය දී ජෙනරාල්ට හිමිවූ බලය ඔහු විසින්ම ඉවත් කරගැනීමට ගන්නා උත්සාහයට සහය දෙනු ඇත. යම් හෙයකින් එසේ නොකළොත් රටේ ජනතාවත් එපා කියන, ජනාධිපතිත් එපා කියන විධායක කමක් තබා ගැනීමේ විපාකය විඳීමට වන්නේද ඔවුන්ටමය. මන්ද ඊළඟට ඒමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය නිසාය.

Tuesday, December 1, 2009

සැබෑ දේශපේ‍්‍රමියා විමල්ද ???......... ජෙනරාල් ද ???
















වර්ථමාන ශ‍්‍රී ලංකා දේශපාලන වේදිකාවේ ප‍්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපතිධූරයයි. පොදු අපේක්ෂක ජෙනරාල් ප‍්‍රමුඛ විපක්ෂයේ පක්ෂ වල තර්කය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය බිඳ වැටෙන බවයි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට වගකියන අගමැතිධූරයක් විකල්ප ලෙස දක්වන මේ පිරිස මතුවෙමින් පවතින අත්තනෝමතික ඒකාධිපති ආඥදායකත්වයට එරෙහිව තම ඡන්ද සටන දියත් කර ඇත. මෙය රටක් ලෙස අප සතුටු විය යුතු තත්වයකි. මන්ද, ත‍්‍රස්තවාදය අතුගා දමන්නට උරදුන් හමුදා නායකයා මිලිටරි ආණ්ඩුවක් නොතනා ඒකාධිපතීත්වයද අතුගා දමන්නට උරදී තිබීම නිසාවෙනි.

කෙසේ හෝ මේ මොහොත වන විට විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂයන් වන එජාප ය සහ ජවිපෙ ප‍්‍රමුඛ තවත් පක්ෂ ගණනාවක් එකඟ වී පොදු අපේක්ෂකයෙකු ලෙස ජෙනරාල්ව ඉදිරිපත් කර ඇති අතර ආණ්ඩුව පාර්ශවයෙන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟයට පිවිස සිටී. මේ අනුව යුධ උණුසුම යන්නට පෙර කැඳවූ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයා ලෙස යුද්ධයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු ඉදිරිපත් කිරීමේ උපක‍්‍රමික ක‍්‍රියාව නිසා ආණ්ඩුව දරුණු ලෙස අපහසුතාවයකට පත්ව තිබීම සුවිශේෂී කරුණකි. මේ නිසා යුධ ජයග‍්‍රහණය දඩමීමා කරගෙන දැවැන්ත ඡන්ද ප‍්‍රතිශතයක් ලබා නොපෙනෙන අනාගතයක් දක්වා රජකම් කරන්නට මහින්ද මැවූ හීනය දැන් දැන් බොඳවන්නට පටන් ගෙන තිබේ. නමුත් ඉන් වැඩිපුරම කුපිත වී ඇත්තේ විමල්, මර්වින්, ඩලස් ආදී වූ අනන්ත අප‍්‍රමාණ ඇමති මණ්ඩලයයි. ඊටද සාධාරණ හේතුවක් ඇත. ඒ ලොක්කාට ලැබෙන්නට තිබූ මස් කුට්ටිය අහිමි වී ගියහොත් තමන්ට සූප්පු කරන්නට කටු නැතිවී යන බව මේ රැල දැන සිටීමයි.

Related Posts with Thumbnails