
‘‘මටයි මගේ පවුලේ අයටයි මඩ ගහන්න විපක්ෂයේ අය බොරු ගොතනවා. අපි ගත්ත ඉඩමක් නෑ. තියෙනවනං මට කියන්න මං ඒක ඕනේ කෙනෙක්ට ලියලා දෙනවා.’’ මේ වත්මන් ජනාධිපතිතුමන්ගේ වදනින්ම කියැවෙන රාජපක්ෂ සහ සහෝදරයන්ගේ වත්කම් වල සුජාතභාවයයි. මේ සුජාතභාවයට හොර උප්පැන්න හදන්නට භාරගත් ජොන්ස්ටන් කියන්නේ මෙවැන්නකි. ‘‘මංගල තමයි මේ ඔක්කොම කරන්නේ. එදා සිරිකොත රැස්වීමේදී මංගල කිව්වේ හොරා...හොරා...හොරා කියලා දිගින් දිගටම කියන්න කියලයි. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි සහෝදරවරුයි හොරු කරන්න අපිට පුළුවං’’ බඩපුරවාගත් ජනතාවට දන්සැල් අධිපතිතුමන් ඩෙසට් එක හැටියට කියනා කතාවලිනුත්, අවතැන් වූවන් අනාථ කරමින් කතා පවත්වන බැසිල් සහෝදරයාගේ කතා වලිනුත්, සූරියප්පෙරුම සමග වටේ යන ගෝඨාභය සහෝදරයාගේ කතා වලිනුත්, තාරුණ්‍යයේ අනාගතය කුලියට ගත් නිල්බලකායේ නාමල් පුත‍්‍රයාගේ කතා වලිනුත් පුන පුනා කියනා සුජාතභාවයේ ආයාචනය හා ජොනීගේ කේලම තකට තක ගැලපෙන නිසා මේ හරහා ජනතාව විසන් රාජපක්ෂවරුන්ගේ නිවැරදිභාවයට තර්කයක් නිර්මාණය කරගනු ඇතැයි ඔවුහූ මෝඩ නිගමනයක එල්බ සිටිති. නමුත් බුද්ධිමත් ජනතාව හැටියට අප මෙය නැවතත් විමසා බැලිය යුතු වන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට තරම් හරක් චින්තනයක් තවමත් අප තුළ ඇතිවී නැති නිසාවෙනි.
රූපවාහිනිය හා අයි.ටී.එන් එක හරහා මහින්ද ප‍්‍රමුඛ ජනහිතකාමී ඇමතිරැල නන්දොඩවන ගොබෙල්ස් න්‍යාය යන්නද මෙහිලාම නිරාකරණය කරගත යුතු තවත් සිද්ධියක් වන්නේය. ගොබෙල්ස් කීවේ බොරු වුවද නිතර නිතර කීමෙන් සත්‍යය වන බවයි. ඒ අනුව විපක්ෂය ගොබෙල්ස් න්‍යාය භාවිතා කරයි නම් රාජපක්ෂවරුන් හොරකම් නොකර සිටියා විය යුතුය. නමුත් රාජපක්ෂ සහ සහෝදරයෝ හොරකම් කරන ගමන් තමන් හොරකම් කරන්නේ නැතැයි නිතර කියවයි නම් ගොබෙල්ස් න්‍යාය භාවිතා කරන්නේ විපක්ෂය නොව රාජපක්ෂවරුන්ම බව ඉතාම පැහැදිලිය.
තත්වය මෙසේ නිසා අප දැන් විමසා බැලිය යුතු වන්නේ රාජපක්ෂවරුන් ඔය කියන ආකාරයට සතයක්වත් වමට නොගැසූ බබ්බුද කියාය. මහින්ද යුගය තුළ කොළඹ ගුවන් පාලම් 4ක් ඉදිකර ඇත. ඒවා සඳහා වියදම් කළ මුදල් ප‍්‍රමාණයන් පහත පරිදිය.
කැළණිය - රුපියල් මිලියන 2000
නුගේගොඩ - රුපියල් මිලියන 1200
දෙහිවල - රුපියල් මිලියන 900
ඔරුගොඩවත්ත - රුපියල් මිලියන 1000
මහින්ද රාජපක්ෂගේ සංවර්ධනය මේ තරම් මිල අධික වුවද මෙම පාලමක් ඉදිකිරීමට යන ජාත්‍යන්තරව පිළිගත් වියදම රුපියල් මිලියන 400කි. දේශපේ‍්‍රමීත්වයෙන් ඉහවහා ගිය මහින්ද මේ ගණුදෙනුව හරහා රටේ ජනතාවගේ රුපියල් මිලියන 3500ක් (ලක්ෂ 35,000) කාබාසිනියා කර දැමීමට තෝරාගෙන ඇත්තේද ජාත්‍යන්තරව තහනමට ලක්වූ ‘බී ජොන්සන්’ සමාගම වෙනුවෙන් වෝටර්ස් එජ් ගණුදෙනුවේදී අධිකරණ උදහසට ලක්වූ Access නම් සමාගමයි. දකුණේ හැදෙන ගුවන් පාලම් ගැන අප ඉරිසියාවෙන් හූල්ලන්නේ නැත. නමුත් පොදුජන තාවගේ මුදල් මේ ආකාරයට ගසාකෑම ගැන දුකක් ඇත. ගම්බදට වන්නට බෙහෙත් ටිකක් ගැනීමට ඉස්පිරිතාලයකට යෑමට බස් රථයක් නැතිව ගස්යට වේලෙන අහිංසක ජනතාවට අවශ්‍ය පරිදි බස්රථයක් යොදවන්නට මේ මුදල් යොමුකළා නම් පව් නැතැයි අප සිතමු. බස් රථයක් රුපියල් ලක්ෂ 20ක් මිල වේයැයි සිතුවොත් මේ මුළු වංචා කළ මුදලින් ග‍්‍රාමීය ප‍්‍රවාහණය විධිමත් කරනු වස් බස්රථ 1750ක් අළුතින්ම වුවත් ගෙන්වීමේ හැකියාව පවතී. මේ ආකාරයට අහිංසක ජනතාව තව තවත් හෙම්බත් කරවන දේශප්‍රෙමීත්වය කුමක්දැයි අපට නම් වැටහෙන්නේ නැත.
ශිරන්ති රාජපක්ෂගේ ඥති සොයුරු අපොස සා/පෙළ වත් සමත් නැති අසන්තද මෙල් ඛණිජ තෙල් සංස්ථා සභාපතිධූරයෙන් ඉවත්කරවන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා දුන් හෙජිං වංචාවද තවත් මෙවැනිම මහජන මුදල් මංකොල්ලකෑමකි. රජයට , බැංකුවලට සහ සමස්ථ ජනතාවටම රුපියල් බිලියන 230ක මුදලක් අහිමි කළ මෙම වංචාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් උත්තරීතර තීන්දුව පවා නොපිළිගනිමිත් වත්මන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කතා කරන්නේ රෙදි ඇඳගෙනද යන්න නැවත නැවතත් විමසා බැලිය යුතුය. රුපියල් බිලියන 230ක් යනු මිලියන 230,000කි. එනම් රුපියල් ලක්ෂ 2300,000කි. වචනයෙන් කියනවානම් රුපියල් ලක්ෂ ලක්ෂ දෙසිය තිහකි. එවැනි මුදලක් කියන්නට අපගේ කටවත් හුරුනැත. නමුත් ඒ මුදල කාබාසිනියා කිරීමට යන්න මහින්ද ගැන්සියට එතරම් ගේමක්ද නැත. උපාධි ලබා ගෙදරට වී සිටින උපාධිධාරියෙකුට රුපියල් 25,000ක මාසික වැටුපකට රැකියාවක් දීමට වසරකට වැයවන්නේ රුපියල් ලක්ෂ 3කි. ඔහු වසර 30ක් සේවය කළද ඔහුට ගෙවිය යුතු වන්නේ රුපියල් ලක්ෂ 90ක් හෙවත් රුපියල් මිලියන 9කි. ඒ අනුව මේ හෙජිං වංචාව හරහා පමණක් කාබාසිනියා කළ මුදල උපාධිධාරීන් 25,556 දෙනෙකුට වයස 25දී රාජ්‍ය සේවයට බඳවාගෙන විශ‍්‍රාම යන තුරු ගෙවීමට වුවද සෑහේ. එනම් මෙලෙස විනාශ කර ඇත්තේ වත්මන් සමස්ථ රැකියා විරහිත උපාධිධාරීන්ගේම රැුකියා ප‍්‍රශ්ණය විසඳීමට තිබූ මුදල්ය. මෙහෙව් විගඩං නටන මහින්ද ලබන 10 වෙනිදා මන්දිරේ දන්සැල් වැඳීමට ගෙන්වන උපාධිධාරීන් ඉදිරියේ සිටගත යුතු වන්නේ ජාතික ඇඳුමෙන් නොව සාටකෙන් විලිවසාගෙන බව අපගේ නම් හැඟීමයි.රූපවාහිනියෙන් උඩ පැන පැන කියවන උතුරු වසන්තය නම් බැසිල් සහෝදරයාගේ බූදලය හරහා කරගෙන
යන උතුරේ මාර්ග සංවර්ධනය පමණක් ගෙන බලන කල්හී පහත වංචාවන් දැක්විය හැකිය. (ගෙවල් හැදීම, ආහාර, සහනාධාර, පාසල්-රෝහල්-රජයේ ආයතන ඉදිකිරීම හා අළුත්වැඩියා කිරීම ආදිය කිසිවක් නොසලකා) අනුරාධපුරය යාපනය A9 මාර්ගයේ කිලෝමීටර් 153ක් සංවර්ධනයට චීන කැතික් සමාගමට ඩොලර් මිලියන 166කට (කිලෝමීටරයකට රුපියල් මිලියන 125කට) භාරදෙන ලදි. ඒ සමාගම කිසිම වැඩක් නොකර කිලෝමීටරයට රුපියල් මිලියන 60 බැගින් ශ‍්‍රී ලාංකික සමාගම් දෙකක් වන අයි.සී.සී යට සහ මාගා ආයතනයට පවරන ලදි. මේ අනුව කැතික් සමාගම නිකං සිට කිලෝමීටරයට රුපියල් මිලියන 65ක් ලබා ගන්නේ වැඩකරන ශ‍්‍රී ලාංකීය සමාගම් වැඩකරමින් කිලෝමීටරයට රුපියල් මිලියන 60ක් ලබාගන්නා විටය. මහින්ද පපුවට ගසාගනිමින් කියවන අපේකම යනු චීන කමදැයි මෙහිලා සැකයක් මතු කරයි. මේ ආකාරයට යාපනය පොයින්ට් පේදුරු කන්කසන්තුරේ පලාලි මාර්ගය කිලෝමීටර් 85ක්ද, A32 මන්නාරම පුනරින් මාර්ගයද, නන්දකුලෙයි මන්නාරම පාර කිලෝමීටර් 67ක්ද චීන වරාය සමාගමට සහ චීන රේල්වේ සමාගමට කොන්ත‍්‍රාත් දීම හරහා ගසාකන ලද මුලූ මුදල රුපියල් මිලියන 28,000කි. එනම් රුපියල් ලක්ෂ 280,000කි. ග‍්‍රාමීය පාරවල් කීපයක් කොන්ක‍්‍රීට් කළ පමණින් සමස්ථ ග‍්‍රාමීය ප‍්‍රජාවම තෘප්තිමත් යැයි වහසිබස් දොඩවන රාජපක්ෂ සහ සහෝදරවරුන්ට කීමට ඇත්තේ තවමත් සංවර්ධනයේ සුවඳක්වත් නොදැනුන ගම් අනන්තවත් ඇති බවය. ග‍්‍රාමීය මාර්ගයක කිලෝමීටරයක් කොන්ක‍්‍රීට් කරීමට ඇස්තමේන්තු කරන මුදල රුපියල් ලක්ෂ 5ක් නම් මෙම ගසාකෑමෙන් පමණක් අපතේ ගිය මුදලින් පිටිසර ගම් වල පාරවල් කිලෝමීටර් 56,000ක් කොන්ක‍්‍රීට් කර නිම කිරීමේ හැකියාව තිබේ. එනම් කොළඹ සිට නුවරට ඇති දුර මෙන් 500 ගුණයකි. ඒ කෙතරම් දුරක්දැයි මෙයින්ම ඔබට වටහාගත හැකිවනු ඇත. පාරවල් හැදීමට පිහිටුවා ඇති මාර්ග සංවර්ධන අධිකාරිය කොන්ක‍්‍රීට් පාරවල් වලට සීමාකර කුට්ටිපිටිං ගැසිය හැකි දැවැන්ත මහාමාර්ග සංවර්ධනයට බැසිල් කැහැපොට ගසාගෙන බැසීමේ රහස මෙය නොවේද?උමා ඔය ව්‍යාපෘතිය මගින් පුහුල්පොල සහ ඩයරාබා යන
ජලාශ දෙක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ජලාශ දෙකහි මුළු බිම් ප‍්‍රමාණය අක්කර 60කි. මෙම ජලාශ දෙක යා කෙරෙන උමං මාර්ගය කිලෝමීටර් 23කි. මෙමගින් සංවර්ධනය කෙරෙන පහළ බිම් ප‍්‍රමාණය අක්කර 5000කි. විදුලි ජනනය මෙගාවොට් 50කි. මුලින් මෙයට ඇස්තමේන්තු කළ මුදල වූ ඩොලර් මිලියන 265 පසුව නැවත වංචනික ලෙස ඩොලර් මිලියන 529 දක්වා වැඩිකළ අතර මින් ගසාකෑ මුදල රුපියල් බිලියන 30.3ක් හෙවත් මිලියන 30,360කි. එනම් රුපියල් ලක්ෂ 303,600කි. (මෙම ඉලක්කම් කියවීමට අපගේ කටවල් හුරුනැති බව දනිමු. නමුත් මිලියන බිලියන නුහුර අපට කෙසේ හෝ තේරුම් ගැනීමේ හැකියාවක් ඇතිවන ලෙස මේ ආකාරයට දක්වා ඇත්තෙමු.) එසේම මෙම ව්‍යාපෘතිය ඉරාන පරාබි සමාගමට පවරා ඇත්තේද ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරවය. මෙම වංචාව සමගම කොළඹ වරායේ ගැන්ටි‍්‍ර කේ‍්‍රන් වංචාවද එක්ව ගැනීමට කැමැත්තෙමු. එහිදී සිදුවූයේ අවශ්‍ය කේ‍්‍රන් 6 වෙනුවට කේ‍්‍රන් 35ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමයි. එසේම වසර දෙකකට පෙර ඩොලර් ලක්ෂ 6ක් වූ එකක් වෙනුවෙන් මෙවර ඩොලර් ලක්ෂ 12ක් අනුමත වීමද විමතියට කරුණකි. මේ අනුව සමස්ථ කේ‍්‍රන් වංචාවේ වටිනාකම රුපියල් බිලියන 24.2ක් හෙවත් මිලියන 24,150කි. එනම් රුපියල් ලක්ෂ 241,500 කි. මෙම හොරකම් දෙකෙහිම එකතුව රුපියල් බිලියන 54කි. නමුත් ශ‍්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඉදිවූ දැවැන් තම බහුකාර්‍යය යෝජනා ක‍්‍රමය වන කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ සමස්ථ වියදම වූයේද රුපියල් බිලියන 50කි.ශිරන්ති රාජපක්ෂ ආර්‍යාවගේ මල්ලිගේ පුතා වන ඩිල්හාන් වික‍්‍රමසිංහ ඇමරිකානු ඩොලර් මිලියන 16ක් (රුපියල් මිලියන 1840ක්) ගෙවා සියළුම ප‍්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලට පිළිගත් වෙළඳනාම
සහිත පරිඝණක ලබා දීමට කොන්ත‍්‍රාත්තුව ගන්නා ලදි. නමුත් ලබාදී ඇත්තේ දේශීයව එකලස් කළ වටිනාකම රුපියල් 50,000 කට ආසන්න පරිඝණක වන අතර මේවන විටත් ඉන් බහුතරය භාවිතයට ගැනීමට නොහැකි තත්වයක පවතී. ඉන් ඥති පුත‍්‍රයා ගසාකෑ මුදල රුපියල් මිලියන 1200 ක් හෙවත් රුපියල් ලක්ෂ 12,000 කි. මහින්ද රාජපක්ෂ කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් වල දැරිවියන් ඔඩොක්කුවේ තබා ගෙන හුරතල් කළද නගරයේ ශබ්දය නෑසෙන ඉතා ඈත පිටිසර ගම්වල ගරාවැටුණු ගොඩනැගිල්ලක හෝ අඹ ගසක් යට වටේට වාඩිවී අකුරු කරන අහිංසක දරු දැරියන් පරිඝණකයක් ඇල්ලීමට තියා දැකීමටවත් පින් කර නැත. 10,000 කට ආසන්න සමස්ථ පාසල් පද්ධතියෙන්ම ඉතා දුෂ්කර පාසල් 5 000 ක් තෝරා එක් පාසලකට රුපියල් 50,000 ක් වන පරිඝණක 4 බැගින් ලබා දීමට වැය වන්නේත් රුපියල් ලක්ෂ 10,000 ක් පමණි. ශිරන්තිගේ ඥති පුත‍්‍රයාගේ වමට ගැසීම මීටත් වඩා ලක්ෂ 2000ක් වැඩි බව කියා පාන්නේ දරු දැරියන්ට සුභ අනාගතයක් තනන්නට යන මහින්දගේ පැටිකිරිය නොවේද?රාජපක්ෂ සහ සහෝදරයන්ගේ ගසාකෑම් වල ප‍්‍රමාණය මෙපමණක් නොව. මෙලෙස ලියා දක්වන්නේ නම් තව සති ගනන් වුනත් ලිවීමට කරුණු පවතී.
එයාර් ලංකා පාඩුව බිලියන 10 කි.
මිහින් එයාර් පාඩුව බිලියන 5 කි.
වීරවිල ව්‍යාපෘතියේ පාඩුව මිලියන 500 කි.
මිග් වංචාව මිලියන 400 කි.
කෙරවලපිටිය ව්‍යාපෘතියේ වංචාව බිලියන 23 කි.

මෙපමණකුත් නොව තවත් වංචා , දුෂණ හා ගසාකෑම් අනන්තවත් ඇත. ඒ අනුව මෙතරම් ගසාකෑම් හරහා රාජපක්ෂ සහ සහෝදරයෝ විසින් බිලිගෙන ඇත්තේ අද උපන් දරුවාගේ සමස්ථ අනාගතයයි. තරුණ තරුණියන්ගේ හෙට දවසේ මුහුණු වල මැවෙන්නට තිබූ සිනහවයි. දරුවන් වෙනුවෙන් ජීවිතයම කැපකළ දෙමාපියන්ගේ අනාගත සිහිනයයි. මෙසේ ගසාකෑම් කර ලැජ්ජා විරහිතව ජනතාව ඉදිරියට විත් ‘‘සුභ අනාගතයක්’’ තනන්නට වරමක් ඉල්ලන මහින්දගෙන් අසන්නට ඇත්තේ රාජපක්ෂවරුන්ගේ හත්මුතු පරම්පරාවේම සුභ අනාගතයට තවත් රුපියල් බිලියන කීයක් මදිද කියාය............
(සංඛ්‍යාලේඛණ ලබා දුන් සොයුරියට ස්තූතිය)


















