මහියංගනේ ඉදලා බිබිල බස් එකේ හැතැප්ම දාහතරක් ගොස් ආඳාඋල්පතින් බැස පස්පාරක් දිගේ තවත් හැතැප්මක් විතර ගොස් ගෙට ගොඩවෙන සිරිපාල කරේ තබාගෙන ආ බැටරිය රූපවාහිනියට සවිකර පුතාත් තුරුළු කරගෙන බංකුවට පහත් වෙයි. මුළුතැන්ගෙයි සිට පැමිණි කුසුමාවතීද අසලින් හිඳගන්නීය.
සිරිපාල - ඕං .... දැං බලාගනිං පුතේ ඉඩි අමීන් මාමාගේ කතාන්දරය.
පුතා - ඒ මොකෙක්යෑ තාත්තේ ?
සිරිපාල - පැහිච්ච කං ඕන්නෑ. කටවහගෙන බලාපිය.
තාත්තාගේ තග වෙනකක් නිසා නොව, තාත්තාද නොදන්නා නිසා බව නොවැටහෙන දරුවා වාචාලකමට නොකියවන්නට හිතාගෙන රූපවාහිනිය දෙස බලා සිටියි. නමුත් උපසිරස කියවා ගන්නටවත් නොහැකි දරුවාට කම්මැලිකමක් දැනේ. තාත්තාව කතාවට අසා ගන්නට සිතූ දරුවා
පුතා - තාත්තේ ඇයි අර මාමාට හමුදාවේ අයයි, රටේ අයයි උතුමාණෙනි කියන්නේ.
සිරිපාල - එහෙම තමයි රටේ නායකයට. දැං බලාපංකෝ අපේ ජනාධිපතිතුමාට අපි රජ්ජුරුවෝ කියන්නේ. එහෙත් එහෙම වෙන්ටෑ.
පොට වරද්දා ගත් තාත්තා මීට පෙර රූපවාහිනියට අරහංව තිබූ හිට්ලර්, පොල්පොට්, ඉඩි අමීන් (කරට අත දාගෙන සිටි නිසා නොපෙන්නන ගඩාෆි) වැන්නන් එක වරම වෙන්කර හඳුනාගත නොහැකි වුවත් රූපවාහිනියේ කවදාවත් ජනාධිපතිතුමාගේ කට්ටිය හැර අන් කිසිවෙකු පෙන්නන්නැතැයි යන විශ්වාසය උඩ පුතාට තේරුම් කර දුන්නේය.
පුතා - මොකක්ද තාත්තේ ඒ මාමා කතාවක් පවත්වනවා වගේ කියන්නේ ?
සිරිපාල - අප‍්‍රිකාවේ කළු බලවේගය වෙනවැයි කියන්නේ.
පුතා - ඇයි තාත්තේ ඒ මාමාට කළු මදිලූද ?
සිරිපාල - නෑ යකෝ..... ඔය අපේ ජනාධිපතිතුමා කියන්නේ ආසියාවේ ආශ්චර්‍යය වෙනවාය කියලා. ඒ වගේ තමා බං එහෙත්.
එහෙනං එහෙත් මැතිවරණයක් ළඟ ඇතැයි සිතින් සිතාගත් පුතා නිහඬවම ජනාධිපතිතුමන්ගේ මල්ලී බඳු යැයි තාත්තා පුරසාරම් දොඩන අමීන් මාමාගේ පැටිකිරිය රස කරමින් බලා සිටියි. මිනිසුන් මරන, ලේ ගලන සිදුවීම් දකින සිරියාවතීගේ මුහුණ නොරොක් වී යයි. ටික වෙලාවක් සිට තිත්ත වෙන සිරියාවතී ‘‘නිදිමතයි’’ කියමින් ඇඳ වෙත පියමනියි.
පුතා - ඇයි තාත්තේ අර සුදු මාමා කුදලං යන්නේ ?
(සුද්දෙකු බංකරයක් වෙත පැමිණ මිනිසුන් අතුරුදහන් වීම පිළිබඳ ඇසූ විට ඔහු අල්ලාගෙන යනු දුටු පුතා අසයි.)
සිරිපාල - එහෙම තමයි. මාධ්‍යවේදීන් වුනාම ඒ විදිහට ඉන්න දැනගන්න ඕනේ. තක්කෙටම ඕකා ඔය අනවශ්‍ය ප‍්‍රශ්ණ අහන්න ඇත්තේ අපේ විමල් මහත්තයා වගේ කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. ඒකයි ඔය බඩු හම්බෙන්න යන්නේ.
ටික වේලාවකින් ඒ සුද්දාම නැවත උසාවි පසුබිමක නඩු කාරයෙක් ඉදිරිපිට සිටින ආකාරයක් තිරයේ දිස්වෙයි. ඔහු නිදහස් වී උසාවි භූමියෙන් පිටතට පැමිණෙන අයුරුද පෙන්වයි. (එළියෙන් ඇසෙන කොල්ලන්ගේ කටවල් වල හඬට) ජනේලයෙන් පිටත බලා නැවත තිරය දෙස බලන දරුවාට පෙනෙන්නේ සුද්දා වෙනුවට නඩුකාරයාට වදදී රැගෙන යන බවකි.
පුතා - ඇයි තාත්තේ..... නඩුව අහපු මාමාව අරං යන්නේ. එයා සුද්දව නිදහස් කරලා තමන්වම වැරදිකාරයා කරගත්තද?
සිරිපාල - ඕං බලාපං......
ඒ රටෙයි අපේ රටෙයි වෙනස.
උංගෙ නඩුකාරයෝ රටේ නායකයා කෝල් එකක් දුන්නම පඬේකට ගනන් ගන්නෑ.
ඒකට අපේ උසාවි.....
තීන්දුව ගෙදරදිම ලියාගෙන ඇවිල්ලා අවුරුදු 20කට කිව්වොත් තක්කොටම 20කටම හිරේ දානවා.
ඕකට තමයි පුතේ කියන්නේ ශක්තිමත් නායකත්වයක් තියෙන්න ඕනේ කියලා.
කලාකාරයෝ ඕවා කියන්නේ කට කහනවට නෙමෙයි.
දෙතුන් පාරක් එහා පැත්තට මෙහා පැත්තට පෙරළෙමින් හිඳ නින්ද නොයන කළ සිරියාවතී තම හඬ අවදි කළාය. ‘‘මේ ...... තාත්තලා පුතාලා සද්ද නැතුව ඔය මගුල බලනවද.... නැත්තං මං ඕක පොළවේ ගහන්නද ?’’ නොදැනුවත්වම හඬ පාලනයේ සීමා බිඳී ඇති බව වටහා ගත් සිරිපාල පුතාට හෙමින් කියයි
සිරිපාල - කොහොමද බං අපේ ජනාධිපතිතුමාගේ හොඳම යාලූවා පෙන්නද්දී කට පියාගෙන ඉන්නේ. අනික මේවා අපේ ජනාධිපතිතුමාගෙන් කොපි කරපුවානේ.
පුතා - තාත්තේ.. මේ මාමානං ෂුවර් එකටම අපේ මහින්ද මාමාගෙන් කොපි කරනවා තමයි.
අර බලන්නකෝ ............ අර....... අර......
මගේ යාලූවා කියලා කියන්නේ.
සිරිපාල - අන්න හරි..........
ඔන්න මේ යකාත් අපේ මහින්ද මහත්තයාගෙන් ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කොරනවා.
ලසන්ත කවුදෝ මැරුණමත් එතුමා කිව්වේ ඕකමනේ.
පුතා - හොඳ වෙලාවට නේද තාත්තේ අපි මහින්ද මාමාව අඳුරන්නේ නැත්තේ. ?
සිරිපාල - නෑ බං ඕකට තමයි කියන්නේ නායකයාට අවුරුදු 40ක පළපුරුද්ද ඕනේ කියලා.
වෙළඳ දැන්වීම් සඳහා කාලය වෙන්වන අතර තුර මුළුතැන්ගෙට රිංගා ගත් සිරිපාල නැවත පැමිණෙන්නේ එක් අතකින් කහට කෝප්පයක්ද අනික් අතින් සීනි ඇට දෙක තුනක් ද රැගෙනය. සීනී ඇටෙන් ඇටේ ලෝභ කමට මෙන් හපන තාත්තා දෙසබලා පුතා ප‍්‍රශ්ණයක් අසයි.
පුතා - තාත්තේ තාත්තේ මෙන්න හොඳම හරිය.
අමීන් මාමා සුද්ෙදාන්ට පලූයන්ට බනිනවා.
තානාපතිවරයෙක්ට දරුණු විදිහට බැණ එළවා ගන්නා ආකාරය දකින දරුවා තාත්තා ඉක්මනින් කැඳවාගන්නට උත්සහ ගන්නේ තමන්ට නොතේරෙන දේවල් තාත්තා රසකරමින් කියන අයුරු විඳගන්නටය.
සිරිපාල - ඔය බංකුවෙන් ටිකක් එහාට වෙනිංකෝ. මටත් ඈඳිගන්ට.
ඔය ...... ඔවුන් තමයි පුතේ රටවල් කන්නේ.
උන්ට තමයි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරයෝ කියන්නේ.
ෂුවර් එකටම ඔහොම කරන්ට කියලා එතුමට උපදේස දෙන්ට ඇත්තේ අපේ විමල් මහත්තයා හරි පරිසර ඇමතිතුමා හරි වෙන්ට ඕනේ.
මෙලෙස රූපවාහිනියේ මැවෙන හැම සිදුවීමක්ම ජනාධිපතිතුමාගේ වසර 4ක කාලය සමග උපරිමයෙන්ම සමපාත වෙන බව දකින සිරිපාල ඇසිපිය ගසන්නවත් සිතෙන්නේ නැති තරම්ය.
සිරිපාල - ආ ........ ආං ........ ආං ....... දැක්කද මොකක්ද වුණේ කියලා.
පුතා - ඒ කාර් එකක් පෙරළෙනවානේ.
සිරිපාල - නෑ යකෝ. ඒ නාහෙට අහන්නේ නැති මාධ්‍යවේදීන් කියන එවුන් දෙන්නෙක්ට පාඩමක් උගන්නනවා.
පුතා - කවුද තාත්තේ ඒ පාඩම උගන්නන්නේ.
සිරිපාල - වෙන කවුද බං. ඔය තමයි අමීන් රජතුමා ළඟ ඉන්න ආචාර්‍ය ඇමතිතුමා. එතුමා නං අපේ මර්වින් ඇමතිතුමාගේ පෙනුමමයි තියෙන්නේ. ෂුවර්.... මල්ලි වෙන්න ඇති. ඔය ..... ඔය ඉන්නේ ඒ ආචාර්‍යතුමා තමා.
ඉඩි අමීන් පොඩි කාකි ඇඳුමක් ඇඳගත් පොඩි කොළුවෙකු සමග එනු දැක පුතා මෙසේ අසයි.
පුතා - මරු නේද තාත්තේ අමීන් මාමාටත් මං වගේම පොඩි එකෙක් ඉන්නවා නේද ?
සිරිපාල - ආං ..... බලාපං
අමීන් මහත්තයා පුතාට පදක්කමක් දෙනවා.
හරියට මහින්ද මහත්තයා පුතාට හමුදා සන්දර්ශනේදී තෑගි දුන්නා වගේමයි.
දරු සෙනෙහස උතුරනවා.
මිනිහා කළු හින්දා නපුරුවට පෙනුනට හරි සංවේදී නායකයෙක් වෙන්ටෑ. අපේ මහින්ද මහත්තයා වගේ.
තාත්තගෙයි පුතාගෙයි සද්දේ වැඩි කමට ඇඳෙන් බැස ආ සිරියාවතී ‘‘දෙන්නටම පිස්සු’’ යැයි කියමින් රූපවාහිනිය ක‍්‍රියාවිරහිත කර ගස්සාගෙන ගොස් මිදුලට බැස ඇසිලිංගේ ගෙවල් පැත්තට යන්නට ගියේය. ඒ තගෙන් තරමක් තැතිගත් පිය පුතු දෙදෙනා වැඩි සද්දයකින් තොරව අවසාන හරිය බලා ඉවර කළහ.
පසු දින උදෑසන. කඩමණ්ඩිය අසලදී
සිමියොං - ඈ බං සිරිපාලේ...... උඹ බැලූවද ඊයේ චිත්තරපටිය.
සිරිපාල - ඔව් බං.
සිමියොං - ඔන්න බලහං අර දේශද්‍රේහියා ආවෙත් අපිට වෙන වැඬේ.
සිරිපාල - හිහ් ........ හිහ් ......... හී
අනේ බං සිමියොං.
ඔන්න උඹලගේ මොළේ තරම.
එ් පෙන්නුවේ අපේ ජනාධිපතිතුමාගේ හොඳමා යාලූවා කියන අමීන් මහත්තයා ගැන.
එතුමා අපේ ජනාධිපතිතුමා කරන වැඩ දිහා බලලා ඉගෙන ගෙන තමයි එයාගේ රට හදාගෙන තියෙන්නේ.
ඇයි බං චිත්තරපටිය අන්තිමේට අමීන් මහත්තයා අත මිට මොළවලා කිව්වේ
''අපේ සංවේදී පළපුරුදු ජනනායකයාට ඔබේ ඡන්දයත් දෙන්න.
ඔබේ ඡන්දයෙන් මවුබිම දිනවමු" කියලා.
සිමියොං - ආ ........ එහෙම කිව්වද ?
එහෙනං ඉඩි අමීන් වුනත් මක්කෙයියෑ.
.













