Friday, March 26, 2010

දෙමළ මිනිස්සුන්ට තලමින් අපිම වැනසෙමුද? - (ගැටුම් නිරාකරණයේ එන බාහිර සතුරා පිළිබඳ සංකල්පය තුළින් කෙරෙන විග‍්‍රහයකි.)


අප මුලින්ම බාහිර සතුරා පිළිබඳ සංකල්පය යනු කුමක්දැයි විග‍්‍රහ කර ගනිමු. ගැටුම් නිරාකරණය තුළ එන මෙම සංකල්පයේදී කියැවෙන්නේ අප හැම විටම බාහිරින් සතුරෙක් නිර්මාණය කරගැනීමට උත්සහ දරන බවයි. ඒ අනුව අප අනන්‍යතාවයක් නිර්මාණය කරගන්නා අතර එයට එකඟ නොවන අනෙකා අපේ සතුරා ලෙස සලකා ඔහුට එරෙහිව ක‍්‍රියා කිරීම අපගේ පොදු ලක්ෂණයක් බව මෙහිදී කියැවේ. උදාහරණයක් ලෙස අප පාසලේ වාර විභාගයේදී අසල පුටුවේ වාඩි වී සිටින මිතුරා දකින්නේ සතුරෙකු ලෙසය. ඔහු මට වඩා ළකුණු ගන්නවාට මම කැමති නැත. එනිසා කෙසේ හෝ ඔහුට වඩා ළකුණු ලබාගෙන ඔහුව අභිබවා යෑම මගේ අරමුණ වේ. ඒ මොහොතේ මගේ බාහිර සතුරා ඔහුය. නමුත් මගේ පන්තිය යන සන්ධර්භයෙන් සැලකූ විට මගේ පන්තියේ සියලූ සිසුන් මිතුරන් වන අතර අනෙක් පන්තියේ සිසුන් සතුරන් ලෙස සලකනු ලබයි. මෙය අපේ වසර හා ඉහළ වසර ලෙස බෙදෙන තැනදී අපේ බාහිර සතුරා වන්නේ අපට ඉහළ වසරේ සිසුන් සියලූ දෙනාය. පාසලේදී මෙලෙස බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක‍්‍රියාත්මක වී පන්ති පිටින් අඬ දබර වන අවස්ථා දැකිය හැකිය. නමුත් වාර්ෂික මහා ක‍්‍රිකට් තරඟයේදී බාහිර සතුරා වන්නේ අප පාසලේ අය නොව අනෙක් පාසලේ අයයි. එවිට අප පාසලේ සියලූම දෙනා මගේ කණ්ඩායමට අයත් වන අතර අනෙක් පාසලේ සෑම දෙනාම සතුරන් ලෙසන් විග‍්‍රහ වේ. පලාත් තරඟ වලදී මේ තත්වය මගහැරින අප පලාත නියෝජනය කරනු ලබන කණ්ඩායම ජයග‍්‍රහණය කරනු වස්, පලාතේ සියලූ පාසල් වලින් ආ ක‍්‍රීඩකයන් කෙරෙහි සහයෝගය ලබා දෙන්නෙමු.

මේ ආකාරයට අප ජීවත් වන සන්ධර්භය මත ඒ ඒ අවස්ථාවේදී අප විසින් බාහිර සතුර නිර්මාණය කරගනු ලබයි. මෙය කිසිවකු විසින් නිර්මාණය කර දිය යුත්තක් නොවන්නේ අප සංවේදී වන පරාසය තුළදී අපේ සවිඥනිකත්වය අනුව එය අප විසින්ම නිර්මාණය කරගන්නා බැවිනි. මෙලෙස බාහිර සතුරෙක් නිර්මාණය කර ගැනීමේ වාසි සහ අවාසි යන දෙඅංශයම තිබේ. බාහිර සතුරෙක් නිර්මාණය කරගැනිමෙන් මම හෝ අපේ කණ්ඩායමේ අභ්‍යන්තර උනන්දුව, ශක්තිය හා කණ්ඩායම් හැඟීම ආදිය ඉහළ යන අතර නිරන්තරයෙන් මතුවන තරඟකාරීත්වය තුළ නිර්මාණශීලී යමක් බිහිවීම මෙහි ඇති ප‍්‍රධානම වාසිසහගත තත්වය වන්නේය. නමුත් මෙම බෙදීම නිසා දහසක් පොදු ලක්ෂණ ඇති දෙපිරිසක් එක් වෙනස් කමක් වෙනුවෙන් පිල් බෙදී විරසක වීමත් තරඟකාරීත්වය ජයගැනීමට නිශේධනාත්මක ප‍්‍රවේශයන් භාවිතා කිරීමත් නිසා භයානක ප‍්‍රතිඵල ඇති වීමත් මෙහි ඇති භයානක තත්වයන් වන්නේය. කෙසේ වුවද මෙහි ඇති අවාසි සහගත තත්වයන්ට වඩා වාසිසහගත තත්වයන් වැඩි නිසා මෙය යෝග්‍යයැයි කීමට හැකියාවක් නැතත් සත්වයාට පොදුවූ ලක්ෂණයක් නිසා සෑම පුද්ගලයෙකු තුළත් සෑම සන්ධර්භයක් තුළත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

ඉහතදී හඳුනාගත් සංකල්පමය තත්වය විග‍්‍රහ කර ගැනීමට අප දැන් උත්සහ ගනිමු. මෙහිදී දැකගත හැකි විශේෂ තත්යක් වන්නේ අප යම් මොහොතක නිර්මාණය කරගෙන සිටින සතුරා අනුව අප සිටින සන්ධර්භය තේරුම්ගත හැකි වේ ය යන්නයි. අප පන්තියේ අනෙක් ළමයෙක් සතුරා ලෙස තෝරාගනී නම් එහිදී අප සිටින්නේ පන්තියේ බිත්ති හතරට කොටුවූ මානසිකත්වයකය. නමුත් අප වෙනත් පාසලක සිසුන් සතුරන් ලෙස තෝරාගෙන ඇත්නම් අප ඊට වඩා දියුණු මානසිකත්වයක සිටින බව පෙනේ. මේ ආකාරයට මෙම තත්වය රටක් කෙරෙහිද සමපාත කර බැලීමෙන් එම රට කුමන මට්ටමකට අයත් වේ දැයි නිශ්චය කරගත හැකිය. ඇමරිකාව වෙනත් ග‍්‍රහලෝක සමග තරඟකරන විට ශ‍්‍රී ලංකාව තම රටේම සිටින දෙමළ ජනතාව සතුරා කරගෙන තරඟ වදිමින් සිටියි. මේ අනුව ඇමරිකාවට සාපේක්ෂව අප පසුවන තරාතිරමේ පටු බව ඔබට මනාව වැටහෙනු ඇත.

අප ශ‍්‍රී ලංකාවෙන් මදක් ඔබ්බට ගොස් බංග්ලාදේශය දෙස බැලූවත්, නේපාලය දෙස බැලූවත් අප‍්‍රිකා හෝ ලතින් ඇමරිකා රාජ්‍යයන් දෙස අපට දැකගත හැකි පොදු ලක්ෂණය වන්නේ රට අභ්‍යන්තරයේම පවතින අර්බුධයන්ය. ඒ අනුව ‘ඔවුන් තම බාහිර සතුරා නිර්මාණය කරගෙන තිබෙන්නේ රට තුළමය. ත‍්‍රස්තවාදී ගැටුම්, බෙදුම්වාදී අරගල ලෙස හෝ ගෝත‍්‍රික ගැටුම් ලෙස පවතින මෙම අභ්‍යන්තර අර්බුධයන් වල අවසන් ප‍්‍රතිඵලය වන්නේ රටේ ජනතාව රට තුළටම කොටුවූ පටු මානසිකත්වයක් සහිත දියුණු අතින් තම කුඩා සතුරාව පමණක් අභිබවා යන්නට හැකි තත්වයකට ඕනෑ කමින්ම පත්වීමයි. ඒ අනුව මේ රටවල පොදු ලක්ෂණය වන්නේ නොදියුණු රාජ්‍යයන් ගණයට අයත්වී තිබීමයි.

නමුත් අප දියුණු යැයි කියනා රාජ්‍යයන් වෙත අවධානය යොමුකළ හොත් ඔවුන් රටතුළට කොටුවූ මානසිකත්වයෙන් මිදී බොහෝ විට අන්තර් රාජ්‍යය කණ්ඩායම් ලෙසත්, ජාත්‍යන්තර හෝ විශ්වීය මානසිකත්වයකින් තරඟ කරන්නන් ලෙසත් වෙන්කර හඳුනාගත හැකි වේ. අප යුරෝපීය රාජ්‍යයන් දෙස අවධානය යොමුකළ හොත් ඔවුන් අනෙක් රටවල් හා කරට කර තරඟයකට පිවිස සිටින්නේ තාක්ෂණය හෝ ආර්ථිකය වැනි අංශ හරහාය. මෙම නිරායුධ බාහිර සතුරා සමග සටන් කිරීමේදී එම රාජ්‍යයන් ම්ලේච්ඡ ගෝත‍්‍රික හැසිරීම් වලින් මිදී අනෙකාට ඇහුංකන් දීම, අනෙකා පිළිගැනීම හා මතවාදීමය තලයේදී ජයගැනීමට උත්සහ ගැනීම වැනි දියුණු ක‍්‍රමවේදයන් මෙම සටන් සඳහා යොදා ගනිති. එසේම අප මෙහිදී විශේෂයෙන්ම බැලිය යුත්තේ බාහිර සතුරන් කවුරුන්ද කියාය. ජපානය අදවන විට තරඟ වදින්නේ සමස්ථ ලෝකයම සමගය. කාර්මික නිශ්පාදන අතින් ලෝකය ජයගැනීම ඔවුන්ගේ අරමුණය. ආසියාන් සංවිධානයට අයත් නව කාර්මීකරණය වූ රටවල් තම බාහිර සතුරා ලෙස දකින්නේ යුරෝපා සංගමය වැනි අති දියුණු රාජ්‍යයන්ගෙන් සමන්විත එකතුවකි. ඇමරිකාව දෙස බැලූවොත් තත්වය මීට හාත්පස වෙනස්ය. ඔවුන් රට අභ්‍යන්තරයෙනුත්, අන්තර් රාජ්‍යය මට්ටමිනුත්, කලාපීය මට්ටමිනුත් මිදී අද වන විට තරඟ වදින්නේ විශ්වීය තලයේය. නාසා ආයතනය ආදිය හරහා වෙනත් ග‍්‍රහලෝක හා ග‍්‍රහවස්තු තම බාහිර සතුරා බවට පත්කරගෙන වා ජය ගැනීමට වෙර දරමින් සිටී.

මේ අනුව බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක‍්‍රියාත්මක තලයේදී භාවිතා වන මට්ටම අනුව රටක සංවර්ධනයේ තරම හඳුනාගත හැකිය යන්න ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට බාහිර සතුරා පිළිබඳ සංකල්පය රටක දියුණුවට බාධා කරන්නේ හෝ සහය දෙන්නේ කෙසේද යන්න තවමත් ඔබට ප‍්‍රශ්ණාර්ථයක් වන්නටද බැරි නැත. එනිසා අප ඒ පිළිබඳව මෙසේ විග‍්‍රහ කරන්නෙමු.

අප බාහිර සතුරා ලෙස යමෙකු තෝරාගත් පසු අපගේ පරම අරමුණ ඔහුව අභිබවා කෙසේ හෝ ජයගැනීමය. එනිසා අප තෝරාගත් බාහිර සතුරා පරාජය කරනු වස් ඔහුට වඩා සාර්ථක වීමට උත්සහ දරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ජනතාව දෙකට බෙදී අනෙකා සතුරා ලෙස දකින නිසා අප දියුණු වන්නේ අනෙකාට වඩා මිස ඉන්දියාවට වඩා නොවේ. නමුත් රුසියාව දියුණු වන්නට බලන්නේ ඇමරිකාවට වඩාය. ජපානය ලෝකයටම වඩා කාර්මික අතින් දියුණු වීමට උත්සහ දරයි. ඇමරිකාව විශ්වයටම වඩා ඉදිරියෙන් සිටීමට වෑයම් කරයි. ඒ නිසා මෙකී රාජ්‍යයන් බාහිරින් නිර්මාණය කරගන්නා සතුරාගේ මට්ටම මත තම දියුණුව අත්පත් කර ගනියි.

මේ අනුව ගැටුම් නිරාකරණයේ එන බාහිර සතුරා පිළිබද සංකල්ප ප‍්‍රකාරව සමහර රාජ්‍යයන් දියුණුවක් අත්පත් කරගෙන නැගී සිටින්නේත් තවත් සමහරක් නොදියුණු රාජ්‍යයන් ලෙස පරාජය ලබන්නේත් මේනිසාය. නිර්මාණය කරගන්නා බාහිර සතුරාගේ තරම අනුව අපගේ මානසිකත්වය සකස් වන බව මෙහිලා ගම්‍යමාන වන සත්‍යයි. එනිසා මෙය එදිනෙදා ජීවිතයට අදාලව වුවද විග‍්‍රහ කරගත හැක. ඒ අනුව අප නිවස තුළින් හෝ කාර්‍යයාලය තුළින් බාහිර සතුරා සොයා ගනීනම් අප සිටින්නේ ඉතා පටු මානසිකත්වයක බව වටහාගත යුතුය. එබැවින් ඔබේ නිශ්ඨාවට ගැලපෙන බාහිර සතුරෙකු නිර්මාණය කරගැනීමෙන් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ළඟාකරගත හැකි බව පැවසීමට කැමැත්තෙමු.

Monday, March 22, 2010

සිරසට ගල් ගැසූ මර්වින් සරමෙන් මූණ හංගා ගනී. නමුත් හෙළුව රටටම පෙනේ.


අද සවස සිසර ප‍්‍රධාන කාර්‍යාලයට එල්ල කළ මුග්ධ ප‍්‍රහාරය අඩව්ව මේ මොහොතේ පිළිකුලෙන් හෙළා දකින බව ප‍්‍රකාශ කරන්නෙමු.

සිරස ආයතනය අභියෙසට කැළණිය ඩිපෝවට අයත් ලංකා ගමනා ගමන බස්රථයකින් පැමිණෙන මෙම මැර පිරිස (දේශපාලන ආධාරකරුවන් ලෙස කීම තවත් නිවැරදිය.) නිදහසේ බැස විත් පාරේ ඇති විශාල ප‍්‍රමාණයේ ගල් අහුලා සිරස ආයතනය දෙසට පහර දෙන්නට විය. 50කට අධික පිරිසක් මෙම අධම ප‍්‍රහාරයට සම්බන්ධ වන අතර ඔවුන් මහමග සිට සිරස ආයතනය දෙසට පහර දෙන වේලාව අතර තුර කිසිඳු නීතිය රකින ආයතනයක් විසින් එය වැලැක්වීමට පියවරක් ගන්නේ නැත. ඉන් පසුව අදහස් දක්වන සිරස ආයතනයේ කාර්‍ය මණ්ඩලය පවසා සිටියේ තමන් විසින් දිගින් දිගටම පොලීසියට මෙය දැනුම් දුන්නද ක්ෂණික ක‍්‍රියාමාර්ගයක් නොගත් බවයි. අවසානයේදී ජීප් රථයකින් පැමිණෙන පොලීසිය විසින් මැර පිරිස පන්නා ගොස් 16 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි.

ඉහත දැක්වූයේ අද සවස සිරස මාධ්‍ය ආයතනය වෙත එල්ල ප‍්‍රහාරයේ සිද්ධිය කෙටියෙනි. නමුත් මේ පසුපස ඇති ඛේදනීය තත්වය සහ නොහික්මුණු ගැමුණුගේ විකාරය අප නැවතත් විමසා බැලිය යුතු වන්නේය. මන්ද මාධ්‍ය නිදහස යනු රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අත්‍යාවශ්‍ය අංගයක් නිසාය. නමුත් මහ දවල් අධි ආරක්ෂිත කලාපයන් අසලදී රාජ්‍යයට අයත් බස් රථයකින් විත් අඹ ගසකට ගල් ගසන්නාක් මෙන් ආතල් ගනිමින් මාධ්‍ය ආයතනයකට මැර ප‍්‍රහාරයක් එල්ල කරන මේ රට ගැන අපිට සිතිය හැක්කේ මොනවාද? මෙය අපට සාමාන්‍යකරණය වූ දෙයකි. අනෙක් අතට සිරසටද මෙය අමුත්තක් නොවේ. ඔවුන් මෙය බලාපොරොත්තුවෙන් සිටි දෙයක් මෙන් ක‍්‍රියාකර ඇත. නමුත් මේ දේවල් විමසා බලන කළ මෙය මැරයන්ගේ පාරාදීසයක් නොවේ දැයි සිතෙයි.

මීට පෙරද සිරසට කැළණියේ ගැමුණු ඇමතිතුමන් විසින් කළ පහර දීමක් නිසා අධිකරණයෙන් නියෝග කළේ නැවතත් එවැනි දේවල් නොකරන ලෙසටය. ඊට පෙරද තම අහිංසක පුතාගේ වීරක‍්‍රියාවක් නිසා නිතර නිතර උසාවි ගිය ගැමුණුතුමා එහි ගිය සිරස වාර්ථාකරුවන්ට කුණුහරපයෙන් පවා බැන වැදී එළවා ගත්තේය. මේ සිද්ධි අධිකරණයේ හෙළා දැකීමට ලක්වූ නිසා ඉන්පසු දිනක රාත‍්‍රියේ සිරස ගිනි ගැනීමට ලක් විය. මේ ආකාරයට සිරස හා කැළණිය අතර සමීප සම්බන්ධයක් පසුගිය කාලය පුරාවටම පැවතුණි. ඊට පසු අද සිදුවූ සිදුවීම නැවතත් කැළණිය බස්රථයකින් පිරිසක් විසින්ම සිදුකර ඇත.

තත්වය මෙයයි. දැන් ඇත්තේ විපක්ෂය විසින් මෙය හෙළා දැකීමටත් ආණ්ඩුව විසින් එය විදේශීය කුමන්ත‍්‍රණයක් කියා හෝ සිරසම ගහගත්තා කියා උඩ පැන පැන කෑගැසීමටත් පමණි. නමුත් මීට පෙර අවස්ථාවේදී රජයේ ඇමතිවරයෙක් ඇසුවේ ”ඔච්චර වැඩ දාන සිරසට ඕක වීඩියෝ කරගන්න බැරිවුණේ ඇයි?” කියාය. නමුත් දැන් ඒ කතාව කීමට බැරිය. මන්ද මෙවර සියලූ දෙනාම මනාවට හඳුනාගත හැකි ලෙස වීඩියෝ ගතවී ඇත. එනිසා අවශ්‍ය නම් පොලීසියට කැළණියට ගොස් ඔවුන් අත්අඩංගුවට ගත හැක. නැත්නම් ඔවුන්ගේ මුහුණු රවුම් කර කර රූපවාහිනියේ පෙන්විය හැකිය. එපමණක්ද නොව පෙර අවස්ථාවේ මෙන් නොව, රෑ වෙනුවට අධික ෆෝම් වීම නිසා මහ දවල් ආ බුදුන්ගේ දේශයේ අහිංසක දරුවන් 16ක් මෙවර පොලීසියට නොඅල්ලා සිටීමට නොහැකිවී ඇත. එනිසා කලින් ප‍්‍රහාරයට වඩා මේ අවස්ථාවේදී අවශ්‍ය තරම් සාක්ෂි තිබේ.

නමුත් අප බලා සිටින්නේ මෙම මැර ප‍්‍රහාරයට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ගයන් මීට පෙර අවස්ථාවට වඩා දශමයකින් හෝ වෙනස් වේවිද කියාය.

Sunday, March 21, 2010

සිවිල් සමාජය දැන්වත් නවතින්න. අපිට සිවිල් සමාජයක් ඉතුරු කරන්න.


බල්ලා සිටින්නේ ආරක්ෂාවටය. බූරුවා සිටින්නේ බර අදින්නටය. (පවුල් බර නොව. මන්ද එය අදින්නේ අහිංසක ගෙහිමියා නිසාය.) නමුත් බල්ලා හෝ බූරුවා යම් හෙයකින් තම නියමිත රාජකාරියෙන් මිදී අනෙකාගේ රාජකාරිය භාරගත හොත් බල්ලාටත් වන්නේ ජනප‍්‍රවාදයේදී ගෙහිමියාගෙන් ගුටිකෑ බූරුවාට අත්වූ ඉරණමම අත්විඳින්නටය. මෙම පැරණි සිංහල ජනකතාවේ හා ඒහා බැඳී තිබෙන්නාවූ ”බල්ලාගේ වැඬේ බූරුවා කරන්නට යෑම” යන්නෙහි ගැබ්ව ඇති සරල වූත් නොපෙනෙනා ගැඹුරකට යන්නා වූත් යථාර්තය අප එක් විහිළුවකින් ඉවත හළ නොහැකි වන්නේය.

අප සිවිල් සමාජය ගැන කතා කිරීමට පළමුවෙන් සිහි එල්ඹවා ගතයුතු පළමු කාරණය වන්නේ ශ‍්‍රී ලංකාව තුළ ඇත්තේ එන්.ජී. ඕ කිහිපයකින් සහ ජීවිකාව උදෙසා සිවිල් සමාජය භාවිතා කරනා චරිත කිහිපයකින් පමණක් සමන්විත වූ සිවිල් සමාජය යැයි කියාගන්නා වූ ගැන්සියක් පමණක් බවටයි. (මෙය වෙනමම කතා කළ යුතු දැවැන්ත අර්බුධයක් බැවින් එම කතිකාවට මෙතකින් තිත තබන්නේ අපේ කතාවෙන් පිට නොයෑමේ අවශ්‍යතාවය පිටය.) එබැවින් අප මෙතැන් පටන් කතා කරන්නේ සමස්ථ සිවිල් සමාජය ගැනම බව කරුණාවෙන් සලකන්න. දැන් අප මුලින්ම විමසා බැලිය යුතු වන්නේ සිවිල් සමාජය හා දේශපාලන සමාජය අතර ඇති වෙනසයි. නමුත් අඩව්ව ඔබට මෙවන් යෝජනාවක් කිරීමට කැමතියි. අප සිවිල් හා දේශපාලන යන්න අප භාවිතා කරන සන්ධර්භය අනුව වෙනස් වන නිසා අප එක් එක් කොණයන් වල සිට මෙය මනාව තේරුම් බේරුම් කර ගැනීම සාර්ථකයි යන්න.

අප මුලින්ම දේශපාලන සන්ධර්භයේ සිට බලමු. දේශපලන සන්ධර්භය හරියට අච්චාරුවක් බඳුය. අප එසේ කීවාය කියා ඔබ අවි අමෝරා ගත යුතු නැත. මන්ද අප මේ කතා කරන්නේ වත්මන් ශ‍්‍රී ලංකාවේ වේදිකාගත වී තිබෙන දේශපාලන චරිත, සිද්ධි සහ කතිකාවන් ගැන බැවිනි. සත්‍යය ලෙසම දේශපාලන සන්ධර්භය තුළදී සියල්ල ගණන් බලන්නේ මනාප ගණන මත, ලැබෙන අමාත්‍ය ධූරය මත හෝ කොන්ත‍්‍රාත් වල වටිනාකම මතය. එබැවින් දේශපාලන සන්ධර්භය තුළ සිට බලන කළ සිවිල් සමාජය යනු දේශපාලනඥයන්ගේ මනාප ටිකය. ඒ අනුව අවුරුදු පහකට වරක් කතිරය ගසා ගැනීමට අවශ්‍ය තරමේ ආතල් එකක් දුන් විට සිවිල් සමාජය නම් හරක් රැල සැනසෙති. මේ වූ කලී දේශපාලන සන්ධර්භය තුළ පවත්නා සිවිල් සමාජය ගැන වූ අවසන් විග‍්‍රහයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ දේශපාලනඥයන් දකින ආකාරයට සමස්ථයම දේශපාලනිකය. සිවිල් කියා දෙයක් නැත. එනිසා සිවිල් සමාජය යනු දේශපාලන අනන්‍යතාවයක්ම සහිත දේශපාලන සමාජය විසින් ඕනෑ ඕනෑ පැත්තට කැරකවිය හැකි බෝලයක් බඳු දෙයකි. එබැවින් සිවිල් සමාජය විසින් හැසිර විය යුතු දේශපාලන සමාජය අද වන විට කනපිට හැරී ඇත. ඒ අනුව බල්ලා විසින් නැට්ට වනනවා වෙනුවට නැට්ට විසින් බල්ලා වනන තැනට පත්වී ඇත.

දැන් අප සිව්ල් සමාජ සන්ධර්භයක සිට බලමු. ඇත්තටම ශ‍්‍රී ලංකාවේ සමස්ථ සිවිල් සමාජයම අක‍්‍රීයය. එහි ප‍්‍රාණයක් නැත. සිවිල් යැයි අනන්‍යතාවයක් එයට නැත. නමුත් කොළඹට හා නාගරික ප‍්‍රදේශ කිහිපයකට වන්නට සිවිල් සමාජය යැයි කියාගන්නා අතලොස්සක් අති ක‍්‍රියාශීලීව සිටිති. (මේ නාමමාත‍්‍රික සිවිල් සමාජය නිසා සැබෑ සිවිල් සමාජය අක‍්‍රීය වූවාද, නැතහොත් අක‍්‍රීය වූ සැබෑ සිවිල් සමාජය නිසා මේ නාමමාත‍්‍රික සිවිල් සමාජය අති ක‍්‍රියාශීලී වූවාද යන්න තීරණය කිරීමට අඩව්ව ඔබට භාරකරයි.) නමුත් අප සැබෑ සිවිල් සමාජය අනුව බලන කල ඔවුන්ට අනුව දේශපාලනය යනු අත නොගැසිය යුතු දෙයකි. මන්ද එය ඔවුන්ගේ විඥනයට එහා ගිය තත්වයක් වන නිසාය. එබැවින් ඔවුන් දේශපාලනය දකින්නේ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට (සිවිල් සමාජයේ චලනයන්ට) කිසිම ගැලපීමක් හෝ අදාලත්වයක් නැති අමුතුම දෙයක් ලෙසය. එබැවින් සිවිල් සමාජය අතින් බලන කල අවසාන විග‍්‍රහයේදී කියැවෙන්නේ සිවිල් සමාජය හා දේශපාලන සමාජය යනු ගොනයි මීමයි බඳු හාත්පස දේවල් දෙකක් බවයි.

ඉහත විග‍්‍රහයන් දෙක අනුව බලන කල කතාව පැහැදිලිය. දේශපාලන සන්ධර්භයක සිට බලන කළ සිවිල් සමාජය නම් වූ බල්ලාගේ සහ දේශපාලන සමාජය නම් වූ බූරුවගේ වැඩි වෙනසක් නැත. නමුත් සිවිල් සමාජ සන්ධර්භයේදී මෙම කියැවීම වෙනස්ය. බල්ලා සහ බූරුවා පැහැදිලිව වෙනස් බව ඔවුන් දකිති. එපමණක්ද නොව, බල්ලා බල්ලාගේ තැනත් බූරුවා බූරුවාගේ තැනත් සිටිය යුතු බවද ඔවුන් තරයේ කියා සිටිති. නමුත් දේශපාලන සන්ධර්භයේදී වැඩි වෙනසක් නැති මේ සතුන් දෙදෙනා අතරින් දේශපාලන බර අදින බූරුවා බල්ලාද තමන්ගේ වැඬේට හවුල් කරගත හැකි බව සිතයි. බල්ලාටද අවුලක් නැත. මුර කරන්නේ රෑට බැවින් මුල් අවස්ථාවේදී දහවල් බූරුවාට පොඩි සපෝට් එකක් දීමට ඌ නොපැකිලෙයි. අනෙක් අතට රකින්නට දෙයක් තිබිය යුත්තේය. කිසිවක් නැති නිවසක රකින්නට දෙයක් නැත. එබැවින් නිවසට බඩු අදින බූරුවාට සෙට් වීමට බල්ලාට වගකීමක්ද පැනනගින්නේය. නමුත් අනික් බල්ලන් දැක අහිතක් සිතාවි යැයි වටහා ගන්නා බල්ලා මෙයට සහජීවනය, සහයෝගය වැනි ප‍්‍රතික්ෂේප කළ නොහැකි මාතෘකාවක්ද යොදාගැනීමට ඉඩ ඇත. මෙසේ ටික දිනක් යන විට බූරුවා බල්ලා අමතා මෙසේ අසයි. ”මල්ලි මට දැං මේ පුළුං ගෝනි ගෙනියලා එපා වෙලා ඉන්නේ. ඒවා එච්චර බරත් නැති නිසා උඹට බැරිද ඒවා භාරගන්න”. කලිං මාතෘකාවට මේ පුළුං සිද්ධියත් ගැලපිය හැකි බැවින් බල්ලා එයද භාරගනී. මේ ආකාරයට බර ඇදීමද කරගෙන යන විට ඒ ක‍්‍රියාවට ආවේනික ආතල් එකට හුරුවන බල්ලා පසු දිනෙක බූරුවා අමතා මෙසේ කියයි. ”අයියා දැං මට බර අදින එක හොඳට හුරුයි. අද ඔයා නිදා ගන්න. මම මේ බර ටික අදින්නං. හෙට ඔයා අදිනකං මම නිදා ගන්නං”. මේ තැනට පත්වූ පසු බූරුවා ගැන කෙසේ වෙතත් අප බල්ලා ගැන විමසා බැලිය යුතුවේ. මන්ද බූරුවාගේ වැඬේ කිසිඳු අඩුවක් නැතිව සිදුවේ. නමුත් අප බල්ලාගේ වැඬේ ගැන කල්පනා කළහොත් එයට බඩු හම්බවී අවසන් බව අපට වැටහෙනු ඇත. නමුත් බූරු සන්ධර්භයේ සිට බලන්නේ නම් තවමත් බල්ලා විසින් අනෙක් බල්ලන් ඉදිරියේ සාධාරණීකරනය වනු වස් භාවිතා කළ මාතෘකාවට තවමත් ඔහු අදාල බව පෙන්නා සිටිය හැක. එපමණක්ද නොව, මෙම ෂිෆ්ට් ක‍්‍රමය මාසයකට වරක් දක්වා දිගුකරගතත් බල්ලාට මැක්කා සිස්ටම් එක හරහා තම සුජාතභාවය දක්වා සිටීමට හැකි බවද අප අමතක නොකළ යුතුය. නමුත් ප‍්‍රශ්ණය ඇත්තේ එතන නොවේ. බල්ලාගේ වැඬේ බූරුවාට කරන්නට සිදු වීමයි ප‍්‍රශ්ණය. නමුත් බූරුවාට බල්ලා ඒ වැඬේ කියා නැත. ඌ කීවේ නිදියන්න කියාය. එනිසා බූරුවා නිදිය. බල්ලා බර අදියි. අද රෑ ගේ ආරක්ෂා කරන්නේ පොලීසියෙන්ද ?

මේ අද අප මුහුණ දී සිටින සැබෑ ඛේදවාචකයයි. දේශපාලන සන්ධර්භයේ සිට සිවිල් සමාජය කියවන්නට උත්සහ ගන්නා සිවිල් සමාජය යැයි කියා ගත් අතලොස්සකගේ ක‍්‍රියාකාරීත්වය නිසා සිවිල් සමාජය නන්නත්තාර වෙමින් තිබීමයි. අප තේරුම්ගත යුතු වන්නේ අක‍්‍රීය සිවිල් සමාජයක් ඇති ශ‍්‍රී ලංකාව වැනි රටක ක‍්‍රියාකාරී අතලොස්ස සතුව යුතුකම් දෙකක් පවතී.

1. අක‍්‍රීය සිවිල් සමාජය වෙනුවෙන් සක‍්‍රීයව පෙනී සිටීම.
2. අක‍්‍රීය සිවිල් සමාජය සක‍්‍රීය කිරීමට උර දීම.

එසේම ඔවුන් සතුව යුතුකම්ද දෙකක් පවතී.

1. අක‍්‍රීය සිවිල් සමාජය වෙනුවෙන් පෙනී සිටීමේදී අනාගතයේදී සක‍්‍රීය වන සත්‍යය සිවිල් සමාජයට සාධාරණීකරනය කළ හැකි ක‍්‍රියාමාර්ග පමණක් ගැනීම. (නැතහොත් සිදු වන්නේ මව්කුසේදීම ඔවුන්ගේ සුජාතභාවය කෙලෙසීමකි.)
2. අක‍්‍රීය සිවිල් සමාජය සක‍්‍රීය කිරීමට සුදුසු ක‍්‍රමවේදයන් පමණක් භාවිතා කිරීම. (මෙය ප්‍රොජෙක්ට් එකක් බවට පත්කර ගත හොත් සිදුවන්නේ සතියකින් අවදිවීමට සිටි සිවිල් සමාජය නින්දේදීම මරා දැමීමකි. එවිට කිසිදාක ඔවුන් අවදිවන්නේ නැත.)

ඔබැවින් වත්මන් සිවිල් සමාජය යැයි සක‍්‍රීයව සිටිනා අතලොස්සට ඇත්තේ ලේසි පහසු කාර්‍යයක් නොවේ. ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය වර්ථමානය හා අනාගතය සමග බැඳී පවතී. ඔවුන් නිවැරදි දේ නොකළොත් මියැදෙන්නේ නාමමාත‍්‍රික සිවිල් සමාජය වන ඔවුන් නොව, තවමත් අවදි නොවූ සැබෑ සිවිල් සමාජයයි.

තත්වය මෙතරම් දරුණුය. එනිසා අප වත්මන් සිවිල් සමාජයේ ක‍්‍රියාත්මක වීමේදී පවතින ගැටළුව විමසා බලමු. සිවිල් සමාජය සක‍්‍රීය කිරීම යුතුකම කරගත් ඔවුන් සිවිල් සමාජ චලනයන් දැකිය යුතු වන්නේ සිවිල් සමාජ සන්ධර්භයක සිටය. නමුත් ඔවුන් තවමත් අවධි වී නැති සිවිල් සමාජය දක්නා ආකාරයෙන් දේශපාලන සමාජය බොහෝ ඈතින් තබා ගත යුතු යැයි අප කියන්නේ නැත. එනිසා ඔවුන් ගාමක බලවේගයක් ලෙස එහි ඇති සමීපතාවය ජනතාවට පහදා දීම කළ යුත්තකි. නමුත් සිවිල් සමාජය හැටියට දේශපාලන සමාජයේ චලනයන්ට මැදිහත් විය යුතු සීමාව ඔවුන් මනාව දැනගත යුතුය. නැතිනම් සිදුවන්නේ රකින්නට දෙයක් තිබෙන්න එපායැයි කියා බර අදින්නට ගිය බල්ලාට වුණ දෙයයි. (වත්මනේ සිටින ගායකයන්ට, නළුවන්ට, නිළියන්ට හා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිදුවී තිබෙන්නේත් බල්ලාට වූ ඇබැද්දියයි. නමුත් එය මෙයට වඩා වෙනස් වන්නේ ඔවුන් කලාවේ හෝ ක‍්‍රීඩාවේ කිසිවක් රැකගැනීමට කියා ඡන්දය ඉල්ලන්නට නොයෑම නිසාය.)

කෙසේ වුවද අඩව්වේ අවසාන ඉල්ලීම වන්නේ නැවතත් අප පෙර කී මාතෘකාවමය. සිවිල් සමාජය දැන්වත් නවතින්න. අපට සිවිල් සමාජයක් ඉතුරු කරන්න.

Thursday, March 18, 2010

මැතිවරණ කොමසාරිස්ගේ දෙකේ ........ අයිස්


අප ව්‍යවහාරයේදී බබා යැයි කියන්නේ කුඩා දරුවන්ටය. ඔවුන් දැනුමෙන් මෝරා ගොස් නැත. ඉතාමත් ලපටිය. කෙතරම් ලපටිද යත් බින්දුවක් වත් කපටි නැත. ඒ නිසාමදෝ ඔවුන්ව රැවට්ටීම ඉතාමත් ලේසිය. සාමාන්‍යයෙන් බබාලාව වැඩියෙන්ම රවට්ටන්නේ අම්මලාය. පාරේ යන විට සෙල්ලම් බඩු දකින බබාලා අම්මලාගේ අතේ එල්ලි එල්ලී අඬන්නේ එකක් ඇරන් දෙන්න කියාය. නමුත් අම්මලා ඒවාට සිය ගණන් වියදම් නොකර ෂේප් වීමට හොඳ හැටි දනිති. අම්මලා කරන්නේ එතරම් පිරිවැයක් නැති වෙනත් ලාභ දෙයක් දී දරුවා රැවැට්ටීමයි. ඒ අනුව සෙල්ලම් බඩු ඉල්ලන බබාලාගේ කටේ දෙකේ අයිස් එකක් ගහන අම්මා කරන්නේ අර අහිංසක බබා රැවැට්ටීමක් පමණක් නොව, මෙම ලිපියේ කියැවෙන පිරිසට ආදර්ශයක්ද ලබා දීමකි.

අඩව්ව අද අල්ලන්නට යන්නේ බබා අඩව්වක් දැයි ඔබ සිතන්නට පුළුවන. නැත. අප අද අල්ලන්නේ ජනතාව බබාලාට අන්දන්න මහන්සි වෙන මැතිවරණ කොමසාරිස්ගේ නිරුවත දිගහරින අඩව්වකි. මැතිවරණ කොමසාරිස් සිතන්නේ රටේ ජනතාව අප පෙරකී බබුන් මෙන් දෙක හතර නොතේරෙන ජීවීන් විශේෂයක් කියාය. එනිසා ආණ්ඩුවේ රෙදි හෝදන මැතිවරණ කොමසාරිස් විසින් රටේ බබාලාට රස කර කර උරන්නට දෙකේ අයිස් ලබා දීම මැතිවරණ කාලයේදී යස අගේට කරගෙන යයි.

අප මෙම තත්වය මැතිවරණ සමයේ ජනතාවගේ හැසිරීම හා මැතිවරණ කොමසාරිස්ගේ ආතති තත්වයන් සමග සමපාත කර බැලිය යුතුය. සාමාන්‍යයෙන් මැතිවරණ උණුසුමක් දැනෙන්නට වන් විට රටේ ජනතාව පක්ෂ අනුව බෙදීම දක්නට ලැබෙන දෙයකි. මෙම පක්ෂ අනුව බෙදීමේදී අනෙකාගේ පාර්ශවය කරන වැරදි නිතර නිතර පෙනෙන්නේ ඔවුන් බුද්ධිමත් ඡන්දදායකයන් වීම නිසාම යැයි කියන්නට නොහැකි වුවත් එය නීතියේ හා සදාචාරයේ පැවැත්මට රුකුලක් වන තැනට පත්ව ඇත්තේය. එනිසා ජනතාව වැරදි දැකීම ගැන යමෙක්ට ප‍්‍රශ්ණ කරන්නට ඇති හිඩස අප අහුරවාලන්නෙමු. මැතිවරණ සමයක් එළඹෙන විට එතෙක් පැවති ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ ප‍්‍රධානම පක්ෂය ආදී වූ කොටස් දෙකකට ජනතාව බෙදී වෙන්වීම, දැකිය හැකි පැහැදිලිම ධ‍්‍රැවීකරණය වන්නේය. මෙලෙස පක්ෂ වලට බෙදෙන ජනතාව ඒ ඒ පක්ෂ වල ආධාරකරුවන් වී මැතිවරණ ප‍්‍රචාරණයට සහය දක්වති. නමුත් ආණ්ඩු පක්ෂයට මෙම ආධාරකරුවන්ට අතරව තවත් විශේෂ ආධාරකරුවන් පිරිසක් සිටිති. ඒ අනුව සමෘද්ධි නිලධාරීවරුන්ගේ සිට අමාත්‍යංශ ලේකම්වරු දක්වා සමස්ථ රාජ්‍ය සේවයේ නියුතු වූවන්ම ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉත්තන් ලෙස භාවිතා වීම තවමත් වලක්වාගත නොහැකි වූ කාරණයක්ය. (සමහර විට එය වලක්වන්නට උත්සහ නොගත් කාරණයක් වන්නටත් බැරි නැත.) එය භයානක තත්වයක් වන්නේ රාජ්‍ය සේවකයන් වන මැතිවරණ කොමසාරිස්ගේ සිට පහළට සිටින මැතිවරණ රාජකාරි කරන පිරිසටත් ඉන් මිදීමට නොහැකි වූ විටය. මැතිවරණ ක‍්‍රියාවලියේ මෙහෙයවන්නාගේ භූමිකාව රඟපාන මැතිවරණ කොමසාරිස්තුමා සහ සමස්ථ මැතිවරණ කටයුත්ත දියත් කරන්නාවූ නිළධාරීන් පිරිසත් රාජ්‍ය සේවකයන් බව නම් සත්‍යයකි. නමුත් ඔවුන්ද පොදු රාජ්‍ය සේවකයාගේ ගොඩටම වැටුණු කළ ස්වාධීන මැතිවරණ මෙහෙයවීමක් ගැන ජනතාවට දැකිය හැක්කේ සිහිනක් පමණක් වන්නේය.

මෙය මැතිවරණ කොමසාරිස්ගෙන් ඉවතට ගෙන පොලීසිය දෙස බැලූවද දක්නට ලැබෙන පොදු ධර්මතාවයකි. මැතිවරණ සමයේදී පොලීසිය සතුව විශාල වගකීමක් පවතින අතර අදවන විට එම දෙපාර්තමේන්තුවද ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කටවුට් ආරක්ෂා කරන්නාවූ බල්ලාගේ රාජකාරි භාරව කටයුතු කරති. පැවති ජනාධිපතිවරණයේදී නීති විරෝධී පෝස්ටර් ඉවත් කිරීම වෙනුවට පොලිස් ස්ථානාධිපතිගේ අනුග‍්‍රහයෙන් පොලීසියේ තාප්පයේම කටවුට් ගැසූ මේ දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේම ජනාධිපතිතුමාට ඡන්දය දෙන ලෙස සඳහන් කළ ලිපි පවා හුවමාරුවී තිබුණි. ඒ අනුව මේ පොලිස් දෙපාර්තමේන්තුව කෙතරම් හොඳින් රාජ්‍ය සේවකයාගේ පොදු භූමිකාව රඟපෑවේද යත් මැතිවරණයේ අවසානයේදී මැතිවරණ කොමසාරිස්ගේ කතාවේදී විශේෂ ස්තූතිය පුද කරමින් පොලිස්පතිතුමාව අගයීමට ලක් කළේය. මෙය අප ඉදිරිපිට මැවෙන්නාවූ හිරිකිත දනවන විහිළුවක් වූ නමුත් රටේ ජනතාවගේ මනෙදාළ පිනෙන ආකාරයෙන් පාර්ශව කීපයක්ම ඇඟ බේරාගන්නා ඉතා උපක‍්‍රමික ක‍්‍රියාන්විතයක් වී හමාරය. එබැවින් අප මෙය මනාව හඳුනාගත යුතු යැයි අඩව්ව කල්පනා කරයි.

මැතිවරණ කාලයේදී සුවිශාල බලතල හිමි වන්නේ මැතිවරණ කොමසාරිස්ටය. එනිසා ජනතාව වෙනුවෙන් ස්වාධීන වූත් සාධාරණ වූත් මැතිවරණයක් පවත්වා නිවැරදි මහජන මතය එළිදැක්වීමේ භාරධූර වගකීම පැටවෙන්නේ ඔහුගේ කරේමය. වත්මන් ව්‍යවස්ථාව ප‍්‍රකාරව නියමිත මැතිවරණ කොමිසම පත් නොකළ අවස්ථාවක එම වගකීම නිතැනින්ම මැතිවරණ කොමසාරිස්ට පැවරෙන්නේය. ඒ අනුව මැතිවරණ සමයේදී සියළු අපේක්ෂකයන් මැතිවරණ නීතියට පටහැනිව ක‍්‍රියාත්මක වන්නේ නම් ඊට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගැනීමේ අයිතියත්, මාධ්‍යයන් හා මැතිවරණ ප‍්‍රචාරයන් නීතිවිරෝධීව ක‍්‍රියාත්මක වන්නේ නම් ඒවා වැලැක්වීමේ අයිතියත් ඔහු සතුව පවතින්නේය. නමුත් අප දක්නා දෙයක් නම් මැතිවරණයක් ආසන්නයේදී මැතිවරණ කොමසාරිස් කරලියට පිවිසෙන අතර හෙතම ජයසූරිය මෙන් පළමු ඕවරයේදී හයේ පහරවල් දෙක තුනක් වනයි. ඒ අනුව මුල් සතියේදී මහා පෞරුෂයක් ආරූඩ කරගන්නා හෙතෙම පොර ටෝක් පිට පොර ටෝක් දෙයි. අපේක්ෂකයන් වත්කම් හෙලිකළ යුතු බවටත් අනවසර මැතිවරණ ප‍්‍රචාරණයන් නොකළ යුතු බවටත් හෙතෙම උඩ පැන පැන කෑගසයි. මෙය දකින ජනතාවට මාර ජොලියක් යයි. මන්ද යත් දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් නැටුම් නටන්නට නොහැකි වන බව සිතති. නමුත් ජනතාව නොදන්නවා වුණාට මෙය මැතිවරණයට පෙර ජනතාවට දුන් දෙකේ අයිස් එකකි. ඒ මන්ද යත් මෙලෙස ජනතාවගේ සිත් දිනාගත් කොමසාරිස්තුමා ටික දිනකින් ආණ්ඩුවට අවශ්‍යය කාර්‍යය නොපිරිහෙළා ඉටුකරන බැවිනි. නමුත් කොමසාරිස්තුමා හරි හොඳ යැයි සිතා සිටින ජනතාව ඔහු විසින් ඉන් පසුව සුද්ද කරන්නට යෙදෙන ආණ්ඩුවේ කුණු පිළිගන්නේ මැකෝගේ මේ දෙකේ අයිස් එකේ බලයෙන්ය.

මුලින් මෙවන් නීති රීති පනවන කොමසාරිස්තුමා ඉන්පසුවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ පෝස්ටර් කටවුට් භාවිතා කරන අපේක්ෂකයන්ට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි. මේ කතා අසන ජනතාව තම සිහිනය දවල්ට පවා දකින්නට තරම් අඥන වන්නේ ආණ්ඩුව හා කොමසාරිස් අතර මහා ගැටුමක් ඇතිවී ඒ හරහා සැබෑ මැතිවරණ ප‍්‍රතිඵලයක් බිහිවේවි සිතාය. නමුත් සිදුවන්නේ අනෙකකි. ජනතාවගේ අතට දෙකේ අයිස් එකක් දී පෙර මෙන්ම පෝස්ටර් හා කටවුට් රටපුරා ඇලවී ඇත. ඉන්ද නොනවතින මැකෝ පොලිස්පති වෙත ලිපියක් යවමින් කියා සිටින්නේ සියළුම පෝස්ටර් හා කටවුට් ගලවා ඉවත් කරන්න කියාය. ඉන්පසු කරලියට එන පොලිස්පති මාධ්‍යයන් ඉදිරියේ මැකෝට නොදෙවෙනි පොරටෝක් දෙන්නට පටන් ගනියි. නමුත් අවසානට සිදුවන්නේ ජනතා සිහින බොඳවීමකි. පෝස්ටර් ගලවනවා වෙනුවට පොලිස් භටයෝ ආණ්ඩුවේ ප‍්‍රභලයින්ගේ කටවුට් දෙපසට වී තුවක්කු අමෝරාගෙන ගැලවිය යුතු කටවුට් බහිරවයන් සේ රකිති. මේවා දකින ජනතාව අනේ අපොයි කියා බොඳවූ සිහිනය (දෙකේ අයිස් එක අවසානයේ ඉතුරු වූ පොලිතීන් පැකට්ටුව) ගුලිකර දෝතින්ම විසිකර දමා හිතහදාගන්නේ ”අර අහිංසක නාකි මනුස්සයා මොනවා කරන්නද මුන්ගේ බලූකං වලට” කියා ආණ්ඩුවේ උපක‍්‍රමික ක‍්‍රියාන්විතය මල්ඵල ගන්වමිනි.

ඉහතින් දක්වා ඇත්තේ අප මැතිවරණ කාලයේදී අත්විඳින සත්‍යය. නමුත් මේ කියන තරම් මැකෝ අහිංසක නාකියෙක්ද යන්නත් පොලීසිය ඔය තරම්ම නෝන්ජල්ද යන්නත් නැවතත් විමසා බැලිය යුතු කරුණකි. මැතිවරණ සමයේදී සිදුවන මැතිවරණ නීති කඩ කිරීම් වන්නේ අපට හැමදාම පෙන්වන වත්කම් හෙළි නොකිරීම හෝ පෝස්ටර් ගැනීම නොව ඊට එහා ගිය තවත් දහසක් දේවල් තිබේ. එයට සමෘද්ධි නිලධාරීන්ට කියා ගම්මට්ටමින් රැස්වීම් පැවැත්වීමේ සිට ඇමතිවරුන් ගම්වලට ගොස් උළු බෙදීම දක්වා කරන්නාවූ සියළු විගඩං අයත් වන්නේය. නමුත් ජනතාව මේ පිළිබඳව අවධි නොකරන මැකෝ ඇතුළු නිලධාරීන් ඒ වෙනුවට කරන්නේ ඉතාමත් ප‍්‍රාථමික නීති පිළිබඳව සීමා පනවමින් ජනතාවට බොරු ආතල් එකක් දීමයි. නමුත් මෙහි වාසිය නොමදව ලබනා පාලක පාර්ශවය අවසානයේදී තම සිතැඟි ඉටුකරගන්නේ ආතතියෙන් සිටි මැකෝ මහමැතිවරණය පවත්වා මිස ගෙදර නොයන බව කීමට තරම් දිරිගැන්වීමෙන්ය.

මේ අනුව අප කියන්නේ වත්මන් මැතිවරණ නීතිය හෝ මැතිවරණ සම්ප‍්‍රදාය කියන තරම් දුර්වල නැති බවත් එය නිවැරදි ලෙස ක‍්‍රියාවට නොනගන හෙන්චයියන් විසින් ජනතාවට දෙකේ අයිස් දී පාලකයන්ට විශාල වාසියක් අත්කර දෙන බවත්ය. නමුත් පොර ටොක් දෙන මැතිවරණ සමයේ බලය ලත් නිලධාරියා වන මැකෝ පළමු සතියේදී ජයසූරිය මෙන් දිගට හරහට වනන්නටත් අවසාන සතියේදී නිසිබලධාරියෙක් වත් පත්කරගන්නට බැරි අහිංසක නාකියෙක් වන්නටත් හේතුව අප පැහැදිලි කරගත යුතු වන්නේය. ඒ අනුව අප තේරුම්ගත යුතු අනෙක් වැදගත්ම කරුණ වන්නේ වත්මන් මැතිවරණ ක‍්‍රමය තුළදී සමස්ථ රාජ්‍ය සේවකයාම පාලකයන්ගේ ඉත්තන් වන විට අඩුම තරමින් ඉන් මිදීමට මැතිවරණ කොමසාරිස් නම් නිලධාරියාටවත් නොහැකි බවයි. මෙම තත්වය තේරුම් නොගන්නා තාක් අපට සිදුවන්නේ මැකෝගේ දෙකේ අයිස් ලෙවකකා උඩබලාගෙන ඉන්නටය.

Saturday, March 6, 2010

තුනෙන් දෙක දෙන්න (එපා) - විපක්ෂයේ අඳෝනාව හා ආණ්ඩුවේ ආයාචනය.


ක‍්‍රමයෙන් උණුසුම් වෙමින් පවතින මැතිවරණ වේදිකාවේ මතු වෙමින් පවත්නා මාතෘකාවක් දෙසට අපගේ අවධානය යොමු කළ යුතු යැයි අඩව්ව කල්පනා කරයි. මෙහිදී අප මුලින්ම බැලිය යුතු වන්නේ ආණ්ඩුවේ මෙවර බලාපොරොත්තුව කුමක්ද යන්නය. ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා විමල් වැනි ඇමතිවරුන්ටත් එහා ප‍්‍රතිලාභ ලබන අතලොස්සක් වූ (නාමමාත‍්‍රික) මන්ත‍්‍රීවරුන් කියන ආකාරයට ආණ්ඩුව ජනතාවගෙන් මෙවර ඉල්ලන්නේ තුනෙන් දෙකක් දෙන්න කියාය. ඉල්ලන දෙයක් දෙන්න බලාගෙන ඉන්න ජනතාවට මෙය අමුතු ඉල්ලීමක් නොව. මන්ද ඔවුන් විමල්ට හා ඩලස්ට තුනම වුනත් පූජා කිරීමට සූදානම්ය. නමුත් සිදුවෙමින් පවත්නා අශිෂ්ට දේශපාලන කෙරුවාව ප‍්‍රශ්ණ කරන ජනතාවට මෙය තරමක කුතුහලයක් ජනිත කරවන්නකි. අප අද උත්සහ ගන්නේ මෙම කුතුහලය තරමක් දුරට අවුස්සා තේරුම් බේරුම් කරගැනීමටය.

මේ ඉල්ලන තුනෙන් දෙක කුමක්දැයි අප තේරුම් ගත යුතුය. මෙහි තුන යනු පාර්ලිමේන්තුවේ සමස්ථ ආසන ගණන වන 225ය. දෙක යනු එම සමස්ථ ආසන ගණනින් 66.66% කි. එනම් ආසන 150කි. කතානායක වැනි මන්ත‍්‍රී ආසන ඉවත්ව ගත් කළ මෙය 149ක් හෝ 148ක් විය හැකිය. එසේ නම් අප දැන් බැලිය යුතු වන්නේ ආණ්ඩුවට මෙය ඉල්ලීමට තරම් හැකියාවක් ඇද්ද කියාය. සත්‍ය ලෙසම ආණ්ඩුවට එවන් හැකියාවක් නැත. මන්ද මීට මාසයකට පමණ පෙර පැවති ජනාධිපතිවරණයේදී එම තත්වය මනාවට නිරූපණය විය. එහිදී ආණ්ඩුව සතු වූයේ සමස්ථ ඡන්ද වලින් 57%ක් පමණි. ඒ අනුව මෙතෙක් ආණ්ඩුව විසින් හිමිකරගෙන සිටි ආසන 130ක පමණ ප‍්‍රමාණයම ඉහත ප‍්‍රතිඵල අනුව බැලූවද නැවත හිමිවීම සාධාරණීකරනය කරන්නෙකුට අඩව්වේ අප විරුද්ධ වන්නේ නැත.

නමුත් ආණ්ඩුව මෙවර ඉල්ලන්නේ තුනෙන් දෙකකි. එනිසා ආණ්ඩුව කරන ඉල්ලීම ලේසියෙන් ජනතාව වෙතින් ලබාගත හැකි යැයි විශ්වාසයක් තැබිය නොහැකිය. ඒ අනුව මෙය ඉතා අත්‍යාවශය දෙයක් යැයි කියා ජනතාව රැවැට්ටීමේ ක‍්‍රමෝපායක් මේ වන විටත් ආණ්ඩු පාර්ශවයෙන් දියත් කරමින් තිබේ. ඒ සඳහා ඔවුන් භාවිතා කරන පදය වන්නේ ”ස්ථාවර ආණ්ඩුවක්” යන්නයි. නමුත් සත්‍ය ලෙසම ගත හොත් මෙය ජනතාව වෙත කරන ජෝක් එකකි. එසේ වුවත් මෙය ජෝක් එකක් යැයි කියා අපට පාඩුවේ සිටීමට නොහැක. මන්ද මේ පිටුපස ඉතාමත් භයානක දේශපාලන විපාකයන් සැඟවී ඇති නිසාය. ඒ වූකලී අනෙකක් නොව අසීමිත බලයක් සහිත ආණ්ඩුවක් සහ අත්තනෝමතික පාලකයෙක් බිහිවීම හරහා උද්ගත විය හැකි තත්වයන්ය. මෙම ප‍්‍රතිවිපාකයට අප මුහුණ දුන් හොඳම අත්දැකීම ඇත්තේ 1977දීය. එහිදී විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයේදී හයෙන් පහක බලයක් හිමිවිය. හයෙන් පහක් යනු තුනෙන් දෙකටත් එහා තත්වයකි. එම හයෙන් පහ ලද ජයවර්ධන ආණ්ඩුව එතෙක් තිබූ පාර්ලිමේන්තු ක‍්‍රමයට අමතර විධායක ජනාධිපති තනතුරක්ද ඇතිකර ජේ.ආර්ව එම පුටුවේ අසුන් ගැන්වීය. එපමණක්ද නොව 78 දී ඇති කළ මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍යය බවට සම්මත කරගත්හ. එතෙක් පැවති කේවල ක‍්‍රමය යටතේ මෙය ලබාගත හැකි දෙයක් වුවද එම ව්‍යවස්ථාවෙන්ම කළ මැතිවරණ ක‍්‍රමයේ වෙනසත් සමගම සමානුපාතික ක‍්‍රමය යටතේ මෙය තනි ආණ්ඩුවකට කළ නොහැකි සිහිනයක් බවට පත්විය. කෙසේ වුවද ජයවර්ධන එකළ දැමූ සෙල්ලම් ගැන ලියන්නට එක් ලිපියක් නම් ප‍්‍රමාණවත් නැත. වෘත්තීය සමිති ක‍්‍රියාමර්ග වලට පිළියම ලෙස සේවකයන් ගෙදර යැවූ හෙතෙම තමන්ගේ අභිමතයට විරුද්ධව තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ රැකියා අහිමි කළේ ඒ හරහා සමස්ථ රාජ්‍යයේම ඒකාධිපති පාලකයා තමන් යැයි ජනතාවට එ්ත්තු ගන්වමිනි. 1982 පැවැත්විය යුතුව තිබූ මහමැතිවරණය වෙනුවට කළගෙඩි ලාම්පු සෙල්ලම දමා හයෙන් පහක බලයක් දෙකෙන් එකක බලයෙන් දීර්ඝ කරගත් හෙතෙම 77 ජනතාව දුන් ජනවරමට කළගුණ සැලකුවේ 83 කළු ජූලියෙන් සහ 88/89 තරුණ කැරලිවලින් ජීවිත දහස් ගණනක් බිළිගැනීමෙන්ය. මේ වූකලී ස්ථාවර ආණ්ඩුවක් පිහිටවූ ජනතාව ලද දායාදයන්ය. නමුත් දැන් නැවතත් විමල්, ඩලස් හා චම්පික ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලයි. අප දිය යුතුද නොදිය යුතුදැයි උභතෝකෝටිකයක පැටලී කල්පනා කරන්නෙමු.

අප මෙම ප‍්‍රශ්ණය ලිහා ගැනීමට පෙර කල්පනා කර බැලිය යුතු දෙය වන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවයන් තුනෙන් දෙක නැතිව කළ නොහැකිද කියාය. ආණ්ඩුව පවසන ආකාරයට ඔවුන්ගේ මූලිකම අවශ්‍යතාවය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථව සංශෝධනය කරගැනීමය. දෙවැන්න ලෙස මැතිවරණ ක‍්‍රමය ගැන කතාවක් කීවද එයද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේම කොටසකි. ඒ අනුව ඔවුන්ගේ මීළඟ තර්කය වන්නේ ස්ථාවර ආණ්ඩවක් නොමැති වුවහොත් ඇමතිවරු ගණන අඩුකළ නොහැක යන්නය. අප මේ තර්ක දෙකෙන් පළමු වැන්න මෙම ලිපියේදී විග‍්‍රහ කරගනිමු. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගත යුතුද? මෙයට අපගේ පිළිතුරද ඔව් යන්නය. මන්ද මෙය මීට වසර 33කට පෙර නිර්මාණය වූවක් වන නිසා වත්මන් ලෝක ගමනත් සමග යෑමට අවශ්‍ය ලෙස අපගේ උත්තරීතර ලියවිල්ල වෙනස් කරගත යුතුවෙයි. ඒ අනුව එතැනදී අපට ගැටීමක් නැත. එසේනම් මෙය කරන්නේ කෙසේදැයි බැලිය යුතුය. ආණ්ඩුව කියන්නේ මේ සඳහා තුනෙන් දෙකක එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ අවශ්‍යය බැවින් තමන්ට එම තුනෙන් දෙක දෙන්න කියාය. නමුත් අප එයට එකඟ නැත. මන්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තුනෙන් දෙකක් අවශ්‍යය බව ව්‍යවස්ථාවේම තිබුණද එය එකම පක්ෂයකින් අවශ්‍යය වන බවක් කොහෝවත් කියා නැත. ඒ අනුව ආණ්ඩුවේ තර්කයෙන්ම පෙනෙන්නේ එය අත්තනෝමතිකව කරන්නට යන බවකි. නමුත් සිදුවිය යුත්තේ එය නොවේ. කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ විට එය සාකච්ඡාවට භාජනය විය යුතුය. නැතහොත් එහි පවතින දුර්වලතාවයන් ගැන අනෙකුත් මහජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබී යනු ඇත. එපමණක්ද නොව එම අදහස් දැක්වීම් වලට අනුව එය නැවත නිර්මාණය විය යුතුය. නමුත් තනි පක්ෂයක් අත බලය පවතින් විට එවැන්නක් අවශ්‍ය නැත. කෙටුම්පත ව්‍යවස්ථව බවට පත්වීම කාටවත් වලක්වන්නට බැරිය. මන්ද විමල්, ඩලස් පමණක් නොව මහාප‍්‍රාඥයන් වන ජී.එල් හෝ අමුණුගම වැන්නන් පවා රාජපක්ෂයන්ට විරුද්ධව කට හොල්ලන්නේ නැත. එසේ හෙල්ලූවොත් අර්ජුනකරණය ලක්වන බව ඔවුන් හොදින්ම දනිති. එනිසා සිදුවන්නේ ජේ.ආර්ගේ දෙවැනි කොටසයි. එදා ජේ.ආර් ගෙත් අද මහින්දගේත් කිසිඳු වෙනසක් නැත. ඇත්තේ නම් ඒ එකකි. එනම් ජේ.ආර් සාහිත්‍ය නොරිස්සුවෙක් වූ අතර ”සාහිත්‍යය කන්නද ඕයි” කියා හෙතෙම කෙලින්ම ඇසීය. නමුත් මහින්ද නොරිස්සන කිසිවක් එසේ ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. ඔහු එය පපුවට ගසාගනිමින් බදාගනී. හැකිනම් දණගසා වඳියි. මේ වූකලී ඔවුන් අතර ඇති එකම වෙනසයි.

රාජිතගේ පොරටෝක් කතාවද අප මේ සමග ගෙන විමසා බැලිය යුතුය. ඔහු කීවේ ආණ්ඩුවට තුනෙන් දෙක ගැනීමට නොහැකි වුවහොත් නැවතත් එජාපයෙන් මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්නා බවයි. මෙය ඔහුගේ වෙනත් කතා මෙන් කුණුගොඩට දැමිය හැක්කක් නොවන බව අපගේ අදහසයි. මන්ද මෙය විය හැක්කකි. රාජිත වාචාලකමට කීවේ අනෙකක් නොව ආණ්ඩුවේ විකල්ප තුරුම්පුවය. මෙයට වහා ක‍්‍රියාත්මක වූ එජාපය දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි එකතු කරන ලදි. නමුත් එය මතුවිය හැකි තත්වයට පිළියමක් නොව. මන්ද ආණ්ඩුවට එකතුවූවාට මේ මොහොතේ ආමාත්‍යධූර නොලැබෙන බව දන්නා එජාප මන්ත‍්‍රීවරුන් කරන්නේ එජාපයේ සිටම ව්‍යවස්ථාවට ඡන්දය දීමයි. එවිට අස්වීමේ ලිපිවලට කරන්නට දෙයක් නැත. (අප මෙම ලිපි ගැනීමට දැඩිව විරුද්ධ වන්නෙමු. මන්ද එය ජනතාවගේ හා නියෝජිතයන්ගේ අයිතීන් උල්ලංගණය කිරීමකි.) මෙලෙස බලන කළ පෙනෙන පැහැදිලි සිද්ධිය වන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක් නොලැබුණද විපක්ෂයෙන් බාගැනීමක් මාර්ගයෙන් මෙය අනිවාර්‍යයෙන් කරගන්නා තැනට ආණ්ඩුව සැලසුම් සාදා හමාර බවය.

මේ අනුව කෙටුම්පතෙහි ඇති ජනතාවට අහිතකර වාක්‍යයන්ට විරුද්ධව හඬනැගීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සතු අයිතිය අහෝසි වී යනු ඇත. එය දරුණු ඛේදවාචකයකි. එපමණක්ද නොව එය ඔවුන්ට ඡන්දය දී පත්කළ ජනතාවගේ පාලන බලතලයන්ට පයින් ගැසීමකි. මේ අනුව ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකකට (වැඩි පිරිසකට) තමන් පාලනය කරන්නට සෑදෙන නීතිය ගැන කතා කිරීමට ඇති අයිතිය අහිමිවී යයි. මෙය බරපතල තත්වයක් වන්නේ ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් දෙකකටත් අඩු කොටසක් ඉතුරු සමස්ථයේ පාලන බලතලයන් යටකරගෙන තීරණ ගැනීම හරහා ජනතා පරමාධිපත්‍යය හෑල්ලූවට ලක්කිරීමක් සිදුවන් බැවිනි. එපමණක්ද නොව එහි ඇති ඛේදනීයම තත්වය වන්නේ එම අයිතිය අහිමි වන 40% යනු ශ‍්‍රී ලංකාවේ සිටින බුද්ධිමතුන් බහුතරයක් නියෝජනය කරන කොටසයි. (හිටපු අගවිනිසුරු ඇතුළු සමස්ථ නීතීඥවරුන්ගෙන් විශාලම ප‍්‍රමාණයක් එහි සිටිති.) එතකින්ද නොනැවතී බැලූව හොත් නීතියට සමීපම නාගරික ජනතාව මේ පිරිසෙන් අතිබහුතරය නියෝජනය කරයි. මේ අනුව අනාගතයේ තුනෙන් දෙකක් ලබාගන්නට සිහින දකින ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ බළලූන් ලවා කොස් ඇට බාවා ගන්නටය. ඒ අනුව ග‍්‍රාමීය-අඩු අධ්‍යාපනයක් සහිත ජනතාව රවටා විශාල ජනවරමක් ලබා ඒ මගින් අත්තනෝමතික ව්‍යවස්ථා සම්පාදනයකට මගපාදා ගනී. එහි විපාකය විය හැක්කේ නැවතත් ජයවර්ධන මොඩලයේ ඒකාධිපති ව්‍යවස්ථාවක්මය. සමහර විට ඊටත් එහා ගිය දුර්වලතාවයන් සහ අනවශ්‍යය බලයන් ඒකරාශීවූ ව්‍යවස්ථවක් විය හැකිය.

මෙහි අතුරු ප‍්‍රතිඵලය වන්නේ විපක්ෂය රූකඩයක් බවට පත්වීමයි. මන්ද විපක්ෂයට මේ පාර්ලිමේන්තුව තුළ කර්‍යභාරයක් නැත. විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට කිසිවක් කරන්නට බැරිය. ඔවුන් කරන්නට ඇත්තේ එකම එක දෙයක් පමණි. එනම් විවාදයන්ට වචන සැපයීම පමණි. විවාදයක් ආරම්භ වූවිට විරුද්ධව අදහස් දක්වන්නට, කෑ ගසන්නට, හූ කියන්නට, කෙටුම්පත් ගිනිතියන්නට පමණක් ඔවුන්ට හැකි වනු ඇත. ඔවුන් එය කිරීමේ වරදක්ද නැත. මන්ද ඔවුන් ගැඹුරු අධ්‍යයනයක් කර එම කෙටුම්පතෙහි දුර්වලතා පෙන්නුවද, කෙතරම් විචාරශීලී ලෙස එය විශ්ලේෂණය කළද අවසන් ප‍්‍රතිඵලය වන්නේ තුනෙන් දෙකෙන් එම පනත හෝ යෝජනාව සම්මත වීමයි. එනිසා මෙම පාර්ලිමේන්තුවේදී විපක්ෂය යනු මපට් එකක් බවට පත්වේ. කෙසේ වුවද අවසන් විග‍්‍රහයේදී ශ‍්‍රී ලංකාව තනි පක්ෂයක අත්තනෝමතික බලයක් සහිත ඒකාධිපති පාලනයක් සහිත ආඥදායක රාජ්‍යයක් බවට පත්වනු ඇත.

එම රාජ්‍යය තුළ විමල් බෙරය අතට ගනු ඇත. ජනතාව රූකඩ බවට පත්වේ. විමල් පද අල්ලයි. ජනතාව අල්ලන අල්ලන පදයට නටනු ඇත. සියල්ල එසේ සිදුවෙමින් යන අතර අප පැත්තකින් ඉඳ අඩව්ව අල්ලන්නෙමු. ඔබට සුභ අනාගතයක්..........

Wednesday, February 24, 2010

මහින්දගේ කස්තිරමට පෙර අපි ඇල්ලූ අඩව්ව

අප මෙම සටහන තබන්නේ අඩව්ව කී අනාගත වාක්‍යයක ඔප්පු වීමේ තරම පෙන්වන්නයි. අඩව්වේ අප මෙම සටහන මීට පෙර මෙම අඩවියේම දක්වා ඇත්තේ 2009 ජූනි මස 5 වැනි දිනයේය. අපගේ ජූනි මස පළකිරීම් බලන ඔබට මෙම සටහන මේ ආකාරයෙන්ම දැකගත හැකි වන්නේය. නමුත් අප මෙම සටහන අඩව්වේම නැවත පළ කරන්නට අදහස් කළේ එදා අප කී දෙය අද කොතෙක් දුරට සිදුවී ඇත්ත යන්න තේරුම් ගැනීමටය. යුද්ධය නිම කිරීමේ ප‍්‍රීතියෙන් ජනතාව කිරිබත් කෑ සැටිත්, විපක්ෂ නායකයා රටින් එතෙරක සිට ජනාධිපතිතුමන්ට සුභ පැතූ සැටිත් ඒ වගේම ජනතා විමුක්ති
පෙරමුණ කොන්දේසි විරහිතව ආණ්ඩුවට කඬේ යමින් සිටි හැටිත් ඔබේ සිහියේ නගා ගෙන මෙය කියවන්නැයි අප ඉල්ලා සිටිමු. මන්ද මේ යුධ ජයග‍්‍රහණයත් සමග සමස්ථයම දේශපේ‍්‍රමීත්වය බදාගෙන සිටියද අපත් තවත් කීප දෙනෙකුත් පමණක් මෙසේ ප‍්‍රසිද්ධියේ එම බහුතරයේ දේශපේ‍්‍රමී කණ්ඩායමෙන් ව්‍යුක්තව තනිව හිඳ යතාර්ථය විස්තර කළ බව ඔබට නැවතත් සිහිපත් කළ යුතු නිසාවෙනි. නමුත් අද වන විට අප කී පරිද්දෙන්ම අපේ කණ්ඩායම ඉතා විශාල ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. මේ තත්වය මත අප
අනාගතය දකින ආකාරය මෙයම බැව් ඔබට කීමට කැමැත්තෙමු. එදා අප කී දෙයින් බිඳකුදු අප ඉවත් වී නොමැත. අපගේ සටන එකම ඉලක්කයක් වෙතයි. අප කිරිබත් කන්නේත් ප‍්‍රීති ඝෝෂා නගන්නේත් සැබෑ ජයග‍්‍රණය ලැබූ දාටය. එය අපගේ නොව ජනතාවගේ ජයග‍්‍රහණයයි.


මේ එදා අප කී කතාව සහ එහි තිබූ රූපයන්මය.


"විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රීසිංහලාධීශ්වර (හාමුදුරුවරු දෙන්නාගේ ගරු නාමය) මහින්ද මහරජතුමන් (ප‍්‍රසන්න රණතුංගගේ ගරු නාමය) විසින් ශී‍්‍ර ලංකාවෙන් ත‍්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සිංහනාදයක් කරන ලදි. එහිදී කියා සිටියේ අපට මෙතෙක් තිබුණේ අභිමානවත් අතීතයක් පමණක් බවත් නමුත් අද සිට අපට අභිමානවත් අනාගතයක්ද පවතින බවත්ය. මෙතකින් නොනැවතුණු මහින්ද නරිඳුන් (ආචාර්්‍ය මර්වින් සිල්වාගේ ගරු නාමය - මර්වින් සිල්වා ආචාර්‍ය යන්න ලියන්නේ ඉහත පරිදිය.) අද සිට ලංකාව තුළ සුළුජාතියක් හෝ මහජාතියක් නැති බව කියා සිටියේය. එසේම අපේ ජනපතිඳාණෝ (ඇතුගලගේ ගරු නාමය) කිවේ අද සිට සිටින්නේ මාතෘ භූමියට ආදරේ කරන පිරිසක් සහ මාතෘ භූමියට ආදරේ නැති පිරිසක් පමණක් බවයි.

මෙහිදී මාගේ ස්ථාවරය නම් මම මාතෘ භූමියට ආදරේ නැති අයෙකු බවයි. එනම් මා ඉපදුනු සහ හැදුණු වැඩුණු මව් බිමට ආදරේ නැති බව නොවේ. මහින්ද රාජපක්ෂ විසින් මවා දී ඇති මාතෘ භූමියට ආදරේ කරන පිරිස නම් වූ කණ්ඩායමට මා අයත් නොවන බවයි. එබැවින් ඔහු විසින් මවා දුන් අනෙක් එකම කණ්ඩායම වන මාතෘ භූමියට ආදරේ නොකරන පිරිස නම් වූ කණ්ඩායමට මා ඉබේම වැටී ඇත. එබැවින් අද සිට මා ශ‍්‍රී ලංකාවේ වෙසෙන සුළුජාතිකයෙකු වෙමි.

නමුත් මේ සුළුජාතීන්ගේ කණ්ඩායමේ මට තනියක් නොදැනෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ මක්නිසාද යත් මාගේ කණ්ඩාමට තව විශාල පිරිසක් පැමිණීමට නියමිත බැවිනි. ඒ අතරින් මුලින්ම මාහා එක්වනු ඇත්තේ NGO කණ්ඩායමය.(ඩොලර් කාක්කන් යන ගරුනාමය ඔවුන්ට දී ඇත) දෙවනුව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ UNP කාරයන්ද මාගේ ගොඩට වැටෙනු ඇත. (පරදේසක්කාරයන් යන ගරුනාමය දී ඇත) මේ දෙපිරිස පැමිණීමෙන් පසුව, අනෙක් පිරිස එන තුරු ටික කලක් අපට මගබලා සිටීමට සිදුවනු ඇත. ඒ ඇයි කියනවානම් ඔවුන්ට ලේබල් එක වැදෙනුයේ මැච් එක සෙල්ලම් කරමින් යන අතරතුරදී වන බැවිනි.

ටික කලක් යන තෙක් යුද්ධයේ ආතල් එක පක්ෂ බේදයකින් තොරව බෙදාගත්තද නැවත UNP කාරයන්ගේ අලි ගඳ දැනෙන්නට පටන් ගන්නේ බඩුමිල, අල්ලස්, දුෂණ, මැරකම්, මිනීමැරුම් හා අයිතිවාසිකම් ආදිය ගැන යම් මොහොතක කට හෙල්ලූ විටය. ඒ සැනින් මාතෘභූමියට ආදරේ කරන දේශපේ‍්‍රමී ජනතාව මේ ගුණමකුවන්ව බෙල්ලෙන් අල්ලා පශ්චාත්භාගයටද පයින් ගසා මාගේ කණ්ඩායමට ඇද දමනු ඇත. ඉන්පසුවද මහින්ද ප‍්‍රමුඛ දේශපේ‍්‍රමී කණ්ඩායම ආතල් පිට මැච් එක සෙල්ලම් කරමින් සිටින අතර තුරදී යුධ අපරාධ, ආයුධ ජාවාරම් වැනි යෝකර් එවන බුද්ධිමත් ජනතාවද මාගේ කණ්ඩායමටම තල්ලූ කර දමනු ඇත.

මාගේ සුළුතර කණ්ඩායමට එන (දේශපේ‍්‍රමීන් විසින් යොමුකරනු ලබන) ක‍්‍රීඩකයන් මෙතකින්ද නොනවතිනු ඇත. පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සාමාන්‍ය නීතියටත් වඩා සාමාන්‍ය කරගැනීමට කොතෙකුත් කඬේ ගියද යම් දිනෙක JVPය ඡන්දය නොදෙන තැනදී යම් හිරිකිතයකින් වුවද ඔවුනුත් මාගේ කණ්ඩාමට ගැනීමට සිදුවනු ඇත. එපමණක්ද නොව ඊලඟ මැතිවරණයට නාමයෝජනා දීමට යන විට PA+UNP+JNP+JHU හා TMVP යන සියල්ලේම මන්ත‍්‍රීවරු පොරකා ලිස්ට් එකට රිංගා ගැනීමට නොහැකි වූ විට හිතේ අමාරුව වැඩිවී කට පාලනය කරගැනීමට නොහැකි වනු ඇත. එසේ වන මන්ත‍්‍රීවරු පමණක් නොව දැන් සිටින ඇමතිවරුන් පවා මාගේ කණ්ඩායමේ සාමාජිකයන් කරගැනීමට සිදුවනු ඇත.

තවද මහින්ද රජතුමන්ට ඔටුනු පැලඳීමට හැකි පරිදි ඊලඟ ව්‍යවස්ථාව සම්පාදනයට වැඩ ඇල්ලූ විට ඊට විරුද්ධව තීන්දු දෙන අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හා බහුතර නීතීඥයන්ද, ඒකාධිපති ව්‍යවස්ථාවකට එකඟ නොවෙන ආණ්ඩුවේ ඇමතිවරු හා මන්ත‍්‍රීවරුද එයට විරුද්ධව කථා කරන විශ්ව විද්‍යාල ආචාර්‍යවරුද, ශිෂ්‍යයන්ද, වෘත්තීය සමිති සාමාජිකයන්ද, මාධ්‍යකරුවන්ද මාගේ ගොඩටම වැටෙනු ඇත.

එබැවින් මේ මොහොතේ මා තනිවම ඉන්නා කණ්ඩායම තව නොබෝ දිනකින් ක‍්‍රමයෙන් 30% සිට 90% - 95% දක්වා වර්ධනය වනු ඇත. ඒ වන විටත් අපට දී තිබෙන නම ‘මාතෘභූමියට ආදරේ නැති’ යන්න වුවද අප තවදුරටත් සුළුතරය නොවන බවනම් ඉතා පැහැදිලිය.මේ අනාගත දිනයේදී සුළුතරය වනුයේ මහින්ද මහ රජතුමන්, අගබිසව ප‍්‍රමුඛ අන්තඃපුරය, පුත් කුමාරවරු හා සහෝදර කුමාරවරුනුත් ඇමති මණ්ඩලයත්ය. (මේ ඇමති මණ්ඩලය යනු දැන් සිටින ඇමති මණ්ඩලය නොවේ. එය ඊට වඩා වෙනස් වූවකි)

මේ දින පැමිණි විට අතිබහුතර ජනතාව අපේ කණ්ඩායමේ නම වෙනස් කිරීමට තීරණයක් ගනු ඇත. එදාට අපි බහුතරය වනවා පමණක් නොව දේශපේ‍්‍රමීන්ද වන බව නොඅනුමානය."

Monday, February 22, 2010

විපක්ෂය බෙදිලා. අපිට වාවගන්න බෑ............... ඩලස් අඬයි. විමල් හොටු පිසියි.



වත්මන් දේශපාලන කරලිය යම් තක්කු මුක්කු ගතියකට පත්ව ඇතැයි අඩව්ව කල්පනා කරයි. මන්ද දේශපාලන වේදිකාවේ මතුවී ඇති බෙදීම් සහ අදහා ගත නොහැකි ඒකපාර්ශවික නිශ්ශබ්දතාවයක් නිසා ශ‍්‍රී ලාංකික ඡන්දදායකයා එක් අතකින් අපේක්ෂාභංගත්වයකටත් තවත් අතකින් ආත්මාර්ථකාමීත්වයකටත් එළඹ ඇති බවක් දක්නට ලැබේ. මේ අපේක්ෂාභංගත්වයට පත්ව ඇත්තේ ජවිපෙ සහ එජාපය එකට සිටගනු ඇතැයි සිහින දුටුවන්ය. ආත්මාර්ථකාමීත්වයකට එළඹ ඇත්තේ තම පක්ෂයට ලැබෙන ආසන ගණන ගැන ගණන් බැලූවන්ය. මේ අනුව වත්මන් විපක්ෂය නියෝජනය කරන්නේ අවස්ථාවාදීන් සහ අනුන්ගේ පහණෙන් එළිය බැලීමට තනන්නන් බව ජනප‍්‍රිය රැල්ල ප‍්‍රතික්ෂේප කරන විසම්මුතික මතධාරීන්ගෙන් අති බහුතරයගේ දේශපාලන කියැවීම වන්නේය. නමුත් අඩව්ව අද උත්සහ ගන්නේ හාහූවක් නැති වත්මන් දේශපාලන පෙරලියන්ගේ සාධනීය පැත්ත ගැන කඩතුරාවක් ඔබට විවර කර දීමටයි.

තුනෙන් දෙකක සිහින දකින ආණ්ඩු පාර්ශවයේ තත්වය පිළිබඳව අප මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු නොවෙමු. අප උත්සහ ගන්නේ ජනාධිපතිවරණයේදී එකට සිට මේ මොහොත වන විට වෙනමම පෙරමුණු හරහා මැතිවරණ සටනට එළඹීමට බලාපොරොත්තු වන සහ එළඹීමට සිදුව තිබෙන විපක්ෂයේ ක‍්‍රියාකලාපය පැහැදිලි කරගැනීමටයි. අප මුලින්ම බැලිය යුත්තේ ජනාධිපතිවරණයේදී ජනප‍්‍රිය රැල්ලට අභියෝග කරමින් විපක්ෂව එකතු වූයේ කවුද කියාය. ඒ අනුව ශ‍්‍රී ලාංකික දේශපාලනයේ සුප‍්‍රසිද්ධම චරිත දෙකක් වන එජාපය සහ ජවිපෙ මෙහිදී එකතු වූයේ බොහෝ දෙනෙකුගේ ඇස් උඩයවමිනි. (මෙම හවුලේ වතගොත දිගහැරීමට මෙය සුදුසු අවස්ථාවක් යැයි නොසිතමු) මීට අමතරව සුළු ජාතීන් නියෝජනය කරන්නන් අතරින් ශක්තිමත්ම පක්ෂ දෙක වන මු.කෝ සහ ටී.එන්.ඒ පෙරකී හවුලට එකතු වූයේ මෙතෙක් ඉතිහාසයේ සෑදුනු පළල්ම හා ශක්තිමත්ම පෙරමුණ මෙය යැයි සෝමවංශගේ විරුධාවලියද හිමිකරගන්නා ගමන්ය. මෙතෙකින්ද නොනැවතී නීතීඥ විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, වැනි ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ද, මඩකළපුව හා ත‍්‍රීකුණාමලය නගරාධිපතිවරු, සහ වතු අංශය නියෝජනය කළ ඇමතිවරු පවා එක්වී දිනෙන් දින ශක්තිමත් කළ මෙම පෙරමුණ මැතිවරණයට ඉදිරිපත්වී ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් එල්ල කළේය. නමුත් අවසන් ප‍්‍රතිඵලය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 57% ක ඡන්ද ප‍්‍රතිශතයක් සහිතව ජයග‍්‍රහණය කිරීමයි. අප පෙරකී ලෙසම මේ ප‍්‍රතිඵලයද විචාරය කිරීම අපගේ මාතෘකාවට අදාල නොවන්නේය.

දැන් ඔබේ සිතේ නැගෙන ප‍්‍රශ්ණය වන ”එහෙනම් මොනවද මේ ලිපියට අදාල වෙන්නේ” යන්නට අප දැන් පිවිසෙමු. අප කතා කරන්නේ ජවිපෙ එජාපයෙන් වෙන්වී යන ගමනේ තිබෙන වාසි ගැනය. මෙහිදී අප මුල්ම සාධකය කරගන්නේ ජවිපෙ සහෝදරවරුන්ගේ මානසිකත්වයයි. බොහෝ සහෝදරවරුන්ගේ මුවින් කියැවුණු පොදු වාක්‍යයක් වන්නේ ”අපේ උන්ව මරපු එජාපෙට අපි කොහොමද ඡන්දය දෙන්නේ” වන්නයි. මෙහි සැඟවුණු සැබෑ යථාර්තයක් තිබේ. එය ඔබ හා අප මෙන් ක‍්‍රමයේ වෙනසක් දකින්නට උත්සහ කරන්නන්ට නොපෙනෙන අතීත මතකයන් ශක්තියක් කරගෙන පාප්ප බාල්දිය හා පරණ කොසු කැබැල්ලක් රැගෙන රෑ තිස්සේ පෝස්ටර් ගැසූ අපේ ගමේ ජෙප්පට දැනෙන දෙයකි. ඔවුන්ගේ දේශපාලනය මහින්දගේ ආධාරකරුවන්ගේ දේශපාලනයට වඩා හැතැප්ම ගණනක වෙනසක් පවතී. මන්ද ඔවුන්ට ආණ්ඩු බලයක් මේ ජීවිතේට ලැබෙන්නේ නැත. එනිසා අමාත්‍යංශ වල රැකියා හෝ කොන්ත‍්‍රාත් ගැන ඔවුන්ට සිහින නැත. එසේම පාර්ලිමේන්තුවේද දැවැන්ත බලයක් හිමිනොවේ. ඒ නිසා අඩුම තරමේ මැතිවරණයෙන් පසු මන්ත‍්‍රීවරයෙක් සමග පරණ ජීප් එකකවත් යන්නට ඔවුන්ට ලැබෙන්නේත් නැත. එබැවින් අප බැලිය යුත්තේ එහෙව් අල්පේච්ඡ පැතුම් සහිත සහෝදරවරුන් දේශපාලනයක් කරන්නේ මන්ද කියාය. සත්‍ය ලෙසම එම ආත්මාර්ථකාමී නොවූ මිනිසුන් පක්ෂය වටා රැස්කර තබන ප‍්‍රධානම ශක්ති ප‍්‍රභවය වන්නේ අතීතයේදී තමන් මර්ධනය කිරීමෙන් සහ තම සගයන් බල්ලන් මෙන් ලයිට් කනු වල එල්ලා මරා දැමීමෙන් තම සිත් තුළ ජනිත කරවූ වේදනාවයි. මෙය සමස්ථ ජවිපෙ ආධාරකරුවන්ගේ හේතුව නොවූවත් අතිබහුතරයට බලපාන ඍජු හෝ වක‍්‍ර හේතුව වන්නේය. තත්වය එසේ නම් අප එසැනින් සොයා බැලිය යුත්තේ මේ වින්නැහිය ඔවුන්ට කළේ කවුද කියාය. ඔවුන් දකින පරිදි එය සිදුකළේ රනිල්ද අසුන්ගෙන සිටි එජාපයේ ආණ්ඩුවය. මේ අනුව ජවිපෙ සහෝදරවරුන්ගෙන් ලොකු ප‍්‍රතිශතයක් තම ධනවාදී සතුරාට එරෙහිවන්නට නොහැකි තැන ඡන්දය භාවිතා නොකර සිටියෝය.

අප මේ සාධකයම අනෙක් අතටත් යොමා බැලිය යුතුය. මන්ද 88/89 යුගයේ මියගියේ ජවිපෙ සහෝදරුවරුන් පමණක් නොව. එහිදී ජවිපෙ සහෝදරවරුන් අතින් මැරුම් කෑ එජාප පවුල් වල සාමාජිකයන් ගණනද අති විශාලය. ඔවුන්ගෙන් බහුතරය පොලීසියේ, හමුදාවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක සේවය කළවුන් විය. තත්වය එසේ නම් අපගේ පළමු සාධකයේ දෙවැනි පාර්ශවය වන එජාපයත් තම ඡන්ද වලින් යම් ප‍්‍රතිශතයක් අහිමි කරගත් බව ඔබට වැටහෙනු ඇත. ඒ දකුණේ තත්වය ගෙන බලන කල තත්වයයි. උතුරු නැගෙනහිරට වන්නටත් මෙය දරුණුවට බලපා ඇත. මන්ද දෙමළ ජනතාව යුද්ධයට පාර කැපූ ජවිපෙට කිසිදා ඡන්දය නොදෙති. එසේම යුද්ධයට නායකත්වය දී තම ජනතාව මරාදැමූ ජෙනරාල්ටත් ඔවුන් කිසිසේත් කැමති නැත. එය පහුගිය ජනාධිපතිවරණයේදී මනාවට දිස්විය. එනිසා ජෙනරාල් හා ජවිපෙ නැති පෙරමුණකට හා ඔවුන්ට සහයෝගය දීමට එන සම්බන්ධන්ට ඔවුන් තම මනාපය පළ කරනු ඇත. එනිසා පළමු සාධකය අනුව ගෙන බලන කළ එජාපය නිසා ඡන්දය නුදුන් ජවිපෙ සහෝදරවරුන්ගේත් ජවිපෙ නිසා ඡන්දය නුදුන් එජාප පාක්ෂිකයන්ගේත් සියළු ඡන්ද ලබාගැනීමට මෙමගින් දෙපාර්ශවයටම ඉඩ ලබාදෙනු ඇත.

අපගේ දෙවන සාධකය වන්නේ අහසට පොළව බඳු ජවිපෙ හා එජාපෙ ප‍්‍රතිපත්ති එක වේදිකාවකදී පොදු එකඟතාවයකින් එළිදැක්වීමට නොහැකි වීමෙන් පාක්ෂිකයා තුළ ඇතිවූ පාලූව මෙවර තුරන් වීමයි. අප දන්නා පරිදි එජාපෙ යනු ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් පෙරටු කරගත් බටහිර හිතවාදී විදේශ ප‍්‍රතිපත්තියක් සහිතව යන ගමනක් ඇති පෙරමුණකි. නමුත් ජවිපෙ යනු සමාජවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් පෙරටු කරගත බටහිර ප‍්‍රතික්ෂේප කරන විදේශ ප‍්‍රතිපත්තියක් සහිත පක්ෂයකි. එනිසා මේ අහස පොළව බඳු ආර්ථික ප‍්‍රතිපත්ති අනිවාර්‍යයෙන් දිගහැර පෙන්වීමට සිදුවන මෙම මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කටපුරා කියමින් විදේශ ප‍්‍රතිපත්තිය පිටුව නොදමා හැරියා මෙන් කොලේ වසා ගැසීම් කළ නොහැකි බව නම් සත්‍යයකි. එනිසා එකම වේදිකාවක කිසිදාක ජවිපෙට හා එජාපෙට තම ආර්ථික හා විදේශ ප‍්‍රතිපත්ති කටඇර කිවහැකි නොවන්නේය. නමුත් මෙය මහමැතිවරණයක් වන බැවින් තම පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කිසිඳු අඩුවකින් තොරව තම පාක්ෂිකයාගේ මනෙදාළ පිරෙන පරිද්දෙන් දීම අනිවර්‍ය කාර්‍යයක්ද වන්නේය. ඒ අනුව මේ තත්වය යටතේ එජාපෙ පාක්ෂිකයන්ගේ රුචිකත්වය පරිදි ධනවාදී හා පූර්ණ විවෘත ආර්ථික ක‍්‍රියාවලියක් මූලික කරගත් ආර්ථිකය යළි නගා සිටුවීමේ හැකියාව ගැන අපේක්ෂකයන් වේදිකාවල් පුරා කියනු ඇත. එසේම ජවිපෙද තම පාක්ෂිකයන් සන්තෝෂ වන පරිද්දෙන් ජනාධිපතිවරණයේදී කියන්නට නොහැකි වූ සමාජවාදී හරයන් සහිත ආර්ථික ක‍්‍රමයන් ගැන වේදිකාවල් දෙවනත් කරනු ඇත.

අප දකින තෙවැනි සාධකය වන්නේ මහින්දගේ පවුල්වාදය සහ දුෂණය ප‍්‍රතික්ෂේප කරන නමුත් එජාපයේ බටහිරගැති (ඔවුන් සිතන ආකාරයට) ප‍්‍රතිපත්ති වලට එකඟ නැති ඡන්ද ප‍්‍රමාණය ජෙනරාල් හා ජවිපෙ වටා රොක්කර ගත හැකි වීම. මෙවන් ඡන්දදායකයන් පිරිසක් අළුතින්ම රටේ බිහිවී ඇත. මොවුන් එක්කෝ මහින්දගේ ක‍්‍රියාකාරීත්වය නිසා ප‍්‍රතිපත්තිමය වශයෙන් බිඳුන පිරිස විය හැකිය. නැත්නම් අලූත් මැස්සන් අසූචි ගොඬේ එල්ලීම නිසා ඉවතට විසිවූ පරණ මන්ත‍්‍රීවරුන්ගේ හා නාමයෝජනා අපේක්ෂාවෙන් කඬේ ගොස් ඇණගත් ආධාරකරුවන්ගේ බලපෑම මත ආණ්ඩුවට ෂොට් එකක් දීමට බලාපොරොත්තු වන්නන් විය හැකිය. මේ පිරිස දෙස බලන විට පෙනෙන ප‍්‍රධානම ලක්ෂණය වන්නේ මෙතෙක් ලංකාවේ මවා තිබූ සිහින ලෝකය වන සිංහල-බෞද්ධ ජාතිවාදය නම් තොටිල්ලේ නැලවෙමින් මානුෂීය මෙහෙයුම නම් රාමවික‍්‍රමගේ ටෙලිනාට්‍යයේ අවසානයේ කිරිබත් කා බඩපුරවා ගත් අය වීමයි. එබැවින් මොවුන්ගේ දිවවල් තාමත් රනිල් රටපාවාදුන්නා වැනි දෑ හිටිගමන් කියන්නේ කට බොරුකීවත් දිව එසේ නොකරන නිසාය. එබැවින් එකවරම එජාපය සමග සිට ගැනීමට මොවුන්ට ශක්තියක් නැත. නමුත් ජවිපෙ සමග එතරම් පරහක් මොවුන්ගේ සිත්වල නැත. මන්ද ආණ්ඩුව යුද්ධ කරන තැනට ගෙන ගියේත් යුධ සමයේ ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දුන්නේත් ජවිපෙ සහෝදරවරුන්ය. එපමණක් නොව ඔවුන්ට තවත් ශක්තියක් ඇත. ඒ එදා තමන්ගේ වීරයා වූත් මහින්ද තමන්ට මෙන්ම ෂොට් එක දී එලවා දැමූ ජෙනරාල්වරයාය. ඒ අනුව මොවුන්ට සෙට්වී කතාකිරීමට මහාපොදු සාධකයක්ද ඇත. එබැවින් මොවුන්ට කිසිඳු හිරිකිතයකින් තොරව මේ ජවිපෙ හා ජෙනරාල් සිටින නැවට නැගිය හැකිය. මෙම සාධකය හරහා පෙන්වූ පිරිස හා පෙරකී ජවිපෙ ස්ථීර ඡන්ද පදනම භාවිතා කර හැකි සෑම දිස්ත‍්‍රික්කයකින්ම අසුනක් දිනා ගැනීමට ජවිපෙ බලාපොරොත්තුවේ. ඒ අනුව එලෙස ජවිපෙට එන ආසනය නරකට හිටින්නේ එජාපෙට නොවේ. මන්ද මේ ආසනයට දායකවන්නන් එජාපෙය සිටියේ නම් ඡන්දය නොදෙන නිසාය. එවිට එහි වාසිය ලබා ගන්නා ආණ්ඩුවට මේ අවස්ථාවේදී මෙය හරහට සිටින්නේය.

මේ අනුව ඉහතදී අප පෙන්වා දුන්නේ සන්ධානගත නොවී වෙන්ව ඉල්ලීමේ වාසියයි. මෙහි අවාසි තත්වයන්ද නැතුවාම නොවේ. නමුත් සියළු තත්වයන් සලකා බලන කළ අඩව්වේ අපගේ ස්ථාවරය වන්නේ මේ අවස්ථාවේ විපක්ෂය තුළ පවතින බෙදීම අවාසියට වඩා වාසියක් සලසන බවයි. රනිල් ජනාධිපතිවරණයට නොඑන තැන රනිල් ගැන කියා කිඹුල් කඳුළු හැලූ ඩලස්ලා දැන් විපක්ෂයේ බෙදීම ගැනත් අඬන්නට පටන්ගෙන ඇත. විපක්ෂය බෙදී වෙන්වීම ගැන ඇඬෙන විමල්ලාට නොපෙනුනාට ආණ්ඩුවද බෙදී වෙන්වී ඇත. ඔය කිඹුල් කඳුළු එතැනදී සතුටු කඳුළු වන්නේ ඇයි දැයි අප විමසා බැලීම වටී. ආණ්ඩුව සමග සිටි ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඞී.පී ය උතුරේ තරඟ කරන්නේ වෙනමය. නැගෙනහිර බලය සහිත කරුණාරත්නගේ ටී.එම්.වී.පී ය නැගෙනහිර තරඟ කරන්නේත් තනිවමය. තත්වය එසේ නම් අප දැන් විමසා බැලිය යුත්තේ මේ ගැන ඩලස්ලා නාඩන්නේ ඇයි කියාය. ඕනෑම දෙක හතර තේරෙන පොඩි එකෙකුට වුවද ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය දුටුවිට පෙනෙන දෙයකි මහින්දට උතුරු නැගෙනහිර ජනතාව බින්දුවක්වත් කැමති නැති බව. තත්වය එසේ නම් ආණ්ඩුවේ නම ගාගෙන ඩග්ලස්ලාට ලැබෙන ඡන්ද ටිකත් නැතිකරගත යුතු නැත. එනිසා ආණ්ඩුව සමග පොඩි අවුලක් දමා ගත් බවක් පෙන්නා තනිවම ගියහොත් දෙමළ ජනතාව රවටා ටී.එන්.ඒ එකට යන ආසන කීපයකට ෂොට් එක දීගන්නට හැකි බව ඔවුහු සිතති. ඒ ඔවුහු කියුවේ ඩග්ලස්ලාට නොව නැවතත් මහින්දට, බැසිල්ට, ඩලස්ට හා විමල්ටමය. නැගෙනහිර සම්බන්ධයෙන්ද තත්වය එසේමය. එනිසා ආණ්ඩුව සමග නොයන බවක් පෙන්නා තමන්ගේ දෙමළ මූණු ටිකට ඡන්දය බාගෙන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ තුනෙන් දෙකේ දානයට සම්මාදම් වන්නට හැකි බව ඔවුහු සිතති. මේ අනුව අප දකුණේ ඡන්දදායකයා ගැන සිතා එජාපෙ අතහැර ජවිපෙ වෙනම යෑමේ වාසි සහගත තත්වය කීවා සේම උතුරේදී හා නැගෙනහිරදී ඩග්ලස් හා කරුණා ආණ්ඩුව අතහැර යෑමේ හොඳ මෙයයි.

කෙසේ වුවද අද විපක්ෂයේ තිබෙන බෙදීම රටට පෙන්වන ආකාරයේ අහඹු හෝ ආත්මාර්ථකාමී එකක් නොවන බව අප තේරුම් ගත යුතුය. එය රාජිත හා විමල් එකට කරට අතදාගෙන පවුල් කන සන්ධාන ආණ්ඩුවේ සදාචාරාත්මක භාවයට එහාගිය තාර්කිකත්වයක් මත ගොඩනැගුණු ප‍්‍රතිඵලදායක බෙදීමක් බව අඩව්වේ අප පාඨකයන් වෙත සතුටෙන් කීමට කැමත්තෙමු.

කෙසේ වුවද අවසාන වශයෙන් අප මතක තබාගත යුතු දෙය වන්නේ මෙය මහමැතිවරණයක් යන වගයි. එනිසා වැඩි ආසන සහිත පිරිස ආණ්ඩුව පිහිටුවති. ඉතුරු සියලූ පක්ෂ විපක්ෂව සිටිය යුතුය. මේ අනුව එකට එකතු වී ඡුන්දය ඉල්ලූවද වෙනමම ඉල්ලූවද අවසානයේ තමන් සතුවන ආසන ගණන අනෙකුත් පක්ෂ සමග මුසු කිරීමට දක්වන පෙළඹීම මත තම පක්ෂය සිටින්නේ ආණ්ඩු පාර්ශවයේද විපක්ෂයේද යන්න තීරණය කෙරේ. එනිසා වෙනමම ඉල්ලීමෙන් සිංහල ජාතිවාදී අසූචි නොගාගන්නා ඩග්ලස් හා කරුණා පාර්ලිමේන්තුවේදී මොන බොරුවක් හෝ කියා ආණ්ඩුවට සෙට් වෙන අතර එ් හරහා උපරිම ආසන ගණනක් උදුරාගෙන තුනෙන් දෙකේ ආණ්ඩුවකට ඔවුන් සිහින දකිති. විපක්ෂයේ තත්වයද එයමය. ජවිපෙ වෙනමම ඉල්ලූවද ඔවුන්ද තම ආසන කීපය රැගෙන අවසානයේදී එජාපෙන් පත්වන අළුත් මුහුණුත් සමග විපක්ෂව සිටගත යුතු වන්නේය. කෙසේ වුවද තම ඡන්ද පදනමෙන් කුට්ටියක් කඩාගෙන පාර්ලිමේන්තුවේදී අත්පොලසන් මැද දේශපේ‍්‍රමීන් බිහිවන්නට නොදී එජාපය තම අපේක්ෂකයන් රැකගන්නා තාක් සහ ජවිපෙ තම උපරිම ශක්තිය යොදා ජෙනරාල්ගේ පෞරුෂයද මනාලෙස යොදවා හොඳ ඡන්ද ප‍්‍රමාණයකට යන තාක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් බිහිවීම වලක්වන්නට නොහැකි බව අඩව්වේ විශ්වාසයයි.

.
Related Posts with Thumbnails