Monday, July 5, 2010

විසම්මුතික මතයට බයිනෙත්තුව හැරවීම නොහොත් සියතින් ගෙල මිරිකා ගැනීම.


රටක් ලෙස ගත් කළ ඕනෑම අවස්ථාවක ජනප‍්‍රිය රැල්ල හා එය ප‍්‍රශ්ණ කරන පිරිස ලෙස දෙකොටසක් පවතී. පවතින ජනප‍්‍රිය රැල්ලේ ප‍්‍රබලත්වය මත එය ප‍්‍රශ්ණ කරන පිරිස නොහොත් විසම්මුතික මතධාරීන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩු වැඩි වන බවද දක්නට ලැබේ. ජනප‍්‍රිය රැල්ල නොහොත් පවත්නා බල හවුල හැම විටම මෙම විසම්මුතික මතය නොඉවසන අතර එය මර්ධනය කිරීම තුළින් තමන්ට කඬේ යන්නන් පමණක් ඉස්මතු වන සමාජයක් නිර්මාණය කර ගැනීමට උත්සහ දරයි. මෙය මනෝවිද්‍යාත්මකව මිනිසා තුළ පවතින ආශාවක් වන බැවින් ඕනෑම මට්ටමකදී මෙය යථාර්ථයක් වන බව අපට ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකිය.

ගමේ පන්සලේ දායකයන් අතරින් නායක හාමුදුරුවන්ව නොසෑහෙන්න වර්ණනා කරන දායක/දායිකාවන්ට මහත්වූ සැලකිලි ලැබෙන අතර කුමන හෝ ආකාරයකින් පන්සලේ ක‍්‍රියාකාරීත්වය ප‍්‍රශ්ණ ගැමියන්ට පිරිතක් කියා ගන්නට අවශ්‍ය වුවත් එහි යවන්නේ පන්සිල් වත් කටපාඩම් නැති කුඩා සාමණේර නමකි. පාසලේ ගුරුතුමා සමග හවසට සෙට්වෙන හෝ පෞද්ගලික පන්තියකට ගෙදරට ගෙන්වන පුද්ගලයාගේ පුතාට මහත්වූ සැලකිලි ලැබෙන අතර ගුරුතුමාගේ ඉගැන්වීම ගැන ප‍්‍රශ්ණ කරන පුද්ගලයාගේ පුතාට ඈණුමක් ගියත් ගුටි කන්නට සිදුවේ. පාසලේදී හා පන්සලේදී පමණක් නොව, ආයතනය තුළද තත්වය මෙයයි. බොස්ගේ තුරුල්ලට වී කියන කියන දේට වනන (හිස) පුද්ගලයාට උසස්වීම් පමණක් නොව කීයකින් හරි පඩියද වැඩි කර දෙන අතර බොස්ගේ අණුවන ක‍්‍රියා ප‍්‍රශ්ණ කරන පුද්ගලයාට සිදුවන්නේ ගෙදර ගොස් බිස්නස් එකක් කර ගැනීමටය.

ඔබැවින් පන්සලට, පාසලට හා ආයතනයට පොදුවූ මේ ධර්මතාවය ලොව ඕනෑම තැනකට පොදු වන අතර ජාත්‍යන්තර තලයේදීද බලවත් රාජ්‍යයට කඬේ යන රටවල් වලට නොලැබෙන සහයක් නැත්තා සේම ඔවුන්ට ඇගිල්ලක් දික් කරන රාජ්‍යයකට ෂොට් එක දීමටද ඔවුන් සැදී පැහැදී සිටිති. ශ‍්‍රී ලංකාවේ පාලන තන්ත‍්‍රය මෙය විවිධාකාරයෙන් ජනතාවට කීමට උත්සහ දරයි. ‘අපි ජාත්‍යන්තරයට කඬේ යන්නේ නෑ. ඇමරිකාව කියන කියන දේ කරන්න අපි සූදානම් නෑ.’ යනුවෙන් විවිධ ලෙස මෙය කියති. ඒ හරහා ඔවුන් කීමට උත්සහ ගන්නේ ඇමරිකාවට, යුරෝපයට කඬේ යෑමට තමන් සූදානම් නැති බවයි. මෙහි සත්‍යයක් ඇත. මන්ද අපට රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරය තුළ විසම්මුතික මතයක් දැරීමට බැරි නැති නිසාය. ඒ සදහා අපට අයිතියක් ඇත. නමුත් ඒ සමගම අප රටේ අභ්‍යන්තරය දෙසද බැලිය යුතුය. ජාත්‍යන්තරය ප‍්‍රශ්ණ කරමින් එක්සත් ජාතීන්ට විසම්මුතික මතය ගැන පුරසාරම් දොඩන අපි රට තුළ පවතින විසම්මුතික මතයට කර ඇත්තේ කුමක්ද යන්න අමතක කිරීම වැරදිය.

ධනවාදී ලිබරල් ජාත්‍යන්තරයේ ජනප‍්‍රිය රැල්ලට අභියෝග කිරීමට සමාජවාදී ප‍්‍රවේශයක් ගත් කරුණු දක්වන ශ‍්‍රී ලංකාව ඒ සමගම සංවේදී විය යුත්තේ රටතුළ පවතින සමාජවාදී ප‍්‍රවේශයක් ගත් ජනප‍්‍රිය රැල්ලට අභියෝග කරන ධනවාදී ලිබරල් විසම්මුතිය ගැනය. මේ අනුව ශ‍්‍රී ලංකාව මේ මොහොතේ අභියෝග කරමින් සිටින ජාත්‍යන්තරය හා මර්ධන කරමින් සිටින විසම්මුතික මතය සමපාත වන බවක් පෙනේ. එහි සම්බන්ධතාවය මනාවට විද්‍යාමාන වන්නේ විසම්මුතිය මර්ධනය තුළින් ජාත්‍යන්තරයට මාතෘකා නිර්මාණය වීමත්, ජාත්‍යන්තරයේ යෝජනා දේශීය විසම්මුතියේ මාතෘකා බවට පත්වීමත් යන කරුණු දෙක තුළිනි. මේ අනුව මෙතෙක් පොරටෝක් දුන් GSP ය හා මූල්‍ය අරමුදලේ වාරික ලබාගැනීම උදෙසා තිස්සනායගම්ට ජනාධිපති සමාව දීමටත්, හදිසි නීති රෙගුලාසි ලිහිල් කිරීමටත්, සංහිදියා කොමිසමක් නමට හෝ පත් කිරීමටත් රජයට සිදුවන්නේ මේ නිසාය. එවිට ජාත්‍යන්තරට මෙසේ පවසයි. ‘කරපු වැඩ නං හොදයි. ඒත් මේ ලිස්ට් එකේ තියෙන 15ත් කරන්න ඕනේ.’ මෙය අසන දේශීය විසම්මුතිය ‘හූ..... හූ...... අපි එදා කියපුවා දැං කරන්න වෙලා නේද’ කියමින් කෝචොක් දමති. මේ හරහා ඉහත කී සම්බන්ධතාවය මනාවට පැහැදිලි වේ.

මෙම සම්බන්ධතාවය දැකීමෙන් පසුව අප ඊලගට බැලිය යුත්තේ ආණ්ඩුව, විසම්මුතිය හා ජාත්‍යන්තරය ගණුදෙනු කරන ආකාරය ගැනය. ආණ්ඩුවේ ජනප‍්‍රියතාවයේ හිනිපෙත්තේ පසුවන මේ මොහොතේ ඔවුන්ට තිබෙන ආඩම්බරකම නිසාම දේශීය විසම්මුතිය ගැන කිසිදු තැකීමක් නොකරන බවනම් පෙනෙන්නට තිබේ. ඒ හේතුව පමණකුත් නොව, විසම්මුතිය යැයි දේශීයව මහා බලවේගයක් බිහිනොවීමත් මෙයට තවත් හේතුවකි. ආණ්ඩුවේ මර්ධනය හමුවේ රට හැර ගිය සිවිල් ක‍්‍රියාකාරීන් හා ඔලූව හංගාගත් අනෙක් අය මේ තත්වයට ඍජුවම වගකිව යුතු වේ. එවිට පවතින්නේ විපක්ෂයේ පහණින් එළිය බලන විසම්මුතික මතයක් නිසා එහි කොළපාට ගා කුඩුවෙන්න ගැසීම ඒ තරම් අපහසු දෙයක් නොවන්නේය. ඒ අනුව ආණ්ඩුව හා විසම්මුතික මතධාරීන් අතර කිසිදු ගණුදෙනුවක් නොවන අතරම යම් හෙයකින් හඩක් නැගූ විසම්මුතිකයන්ටද සිදුවන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමට හෝ නීතියේ දරුණුම වගන්ති යටතේ නොපෙනෙනා අනාගතයක් දක්වා යකඩ කූරු ගනින්නටය. නමුත් මුළු ආදායමට වඩා ජාත්‍යන්තරයට ණය හා පොලී ගෙවන රාජ්‍යයට ජාත්‍යන්තරයෙන් මිදීමට නොහැකි නිසා ඔවුන් නගන ප‍්‍රශ්ණ වලට උත්තර බැදීම මග හැරීමට නොහැකිය. යුධ සමයේදී ජාත්‍යන්තරයට වැඩි කුළුපග කමක් නොදැක්වූ ආණ්ඩුව මැතිවරණ සමයේදී රටේ ජනතාවට දුන් පොරටෝක් වල තරමින් එය මැනීමට යෑම නම් කීපගුණවකින් අතිශ්‍යෝක්තියක් වන බවත් අප දැනගත යුතුය. කෙසේ වුවද යුධ සමයේදී ජාත්‍යන්තරය මගහැර සිටි ශ‍්‍රී ලංකාවට දැන් ජාත්‍යන්තරය සමග යම් ගණුදෙනුවකට යෑමට සිදුව තිබේ. එහිදී GSP ය, මූල්‍ය අරමුදල හා එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරීත්වය හමුවේ ශ‍්‍රී ලංකාව අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව නම් පැහැදිලිය.

දැන් තත්වය ලේසි නැති බව ආණ්ඩුවට මෙන්ම අපටද තේරේ. නමුත් ආණ්ඩුවට එදා හෝ අද නොතේරෙන විසම්මුතියේ වටිනාකම මේ හරහා මනාවට පැහැදිලි වේ. ආණ්ඩුව දැන් රටතුළ ක‍්‍රියාත්මක වන්නට විසම්මුතික මතයකට ඉඩතබා නැත. ජාත්‍යන්තර සංවිධාන වලට පහර දී එළවා ගත්තේ යුධ ජයග‍්‍රහණයේ උමතුවෙන් කිරිබත් කෑ ජනතාවට අතුරු පසක් දෙන්නට සිතාගෙනය. රටතුළ සිටි සිවිල් ක‍්‍රියාකාරින්ට මරණ තර්ජන එල්ල කර රට පන්නා ගත්තේ හෝ තමන්ගේ පැත්තට සෙට් කරගත්තේ ප‍්‍රභාකරන්ට කරපු දේම උඹලටත් කරනවා කියා නොකියා කීමෙන්ය. දයාසිරි ඇරෙන්නට එජාපයේ සිටි හඩක් තිබූ සියල්ලන්මත්, ජවිපෙ සීනුවේ තිබූ යකඩ ගුලියත් ගලවා ගත්තේ විසම්මුතියට පාර්ලිමේන්තුව තුළ හා දේශපාලන වේදිකාවේ කට අරින්නට තිබූ හැකියාවද අහිමි කරමිනි. මෙසේ සමස්ථ විසම්මුතියම නිහඩ කර මහරජාණෙනි කියමින්, කවමින් - පොවමින් - ආතල්ද දෙමින් තමන් හුරතල් කරන ආචාර්‍ය මහාචාර්‍ය වරුන්ගේ (ආචාර්‍ය කම නැත්තේ කිහිපයකට පමණක් වන නිසාය.) දෝතේ නැලවෙන මහින්ද මහ රජතුමා නොදන්නා එක කරුණක් තිබේ. එනම් ඔහු විසින් නිහඩ කර දැමුවේ ඔහුට ලොකුම උදව්ව කරන පිරිස කියාය.

මෙසේ කී සැනින් ඔබට ප‍්‍රශ්ණයක් නැගෙනු ඇත. මදක් සිතන්න. රටතුළ තිබූ විසම්මුතික මතය යනු හැමවිටම ජනප‍්‍රිය රැල්ලට දෙවැනි වූවකි. යම් හෙයකින් එය අභියෝගයක් වන්නේ නම් කළ යුත්තේ කළමනාකරණය කිරීම පමණකි. නමුත් ශ‍්‍රී ලංකාවේදී කළාක් මෙන් එය මුලිනුපුටා දැමීම යනු විකල්ප මතයකට රටතුළ කිසිවක් කිරීමට නොහැකි කිරීමක් වන්නේය. එය මහා මෝඩ ක‍්‍රියාවකි. මන්ද එවැනි ක‍්‍රියාකාරීත්වයකට රටතුළ ඉඩක් තිබුණේ නම් ආණ්ඩුවට වඩා දහස් ගුණයකින් ප‍්‍රබල ජාත්‍යන්තරයේ ඍජු බලපෑම මේ තරම් දරුණු වන්නේ නැත. මන්ද ඔවුන්ට දේශීය විසම්මුතිය හරහා ප‍්‍රවේශයක් පවතින නිසාය. ඒ අනුව ජාත්‍යන්තරයේ වෙස් ගත් දේශීව විසම්මුතියක් සමග ගණුදෙනු කිරීම හරහා මෙවන් මහා පීඩනයක් ආණ්ඩුව මත බලපෑම් නොකරන තැනට කටයුතු සූදානම් කරගන්නට තිබුණි.

එපමණක්ද නොව, ආණ්ඩුව පත්කරනු වස් ඡන්දය දුන්නද බඩු මිල, ගෑස් මිල, පිටි මිල, වැනි පීඩනයන් හමුවේ පාලකයන් සමග තරහක් ඇති කරගන්නා ජනතාවට වෙනදා මෙන් ආණ්ඩුවට අභියෝග කරන විසම්මුතිකයන් දෙස බලා තම ඇරියස් පියවා ගැනීමටද හැකියාවක් නැත. මන්ද වෙනදා මෙන් බඩු මිල වැඩිවූ විට පාරට බසින්නට කෙනෙකු දැන් නැත. එබැවින් ජනතාවට පෙර තිබූ මහා විරෝධතා දෙස බලා පිටකර ගත් වේදනාව දැන් පිටකර ගැනීමට ක‍්‍රමයක් නැත. මෙහි අවසන් ප‍්‍රතිඵලය විය හැක්කේ 70-83 හෝ 88 ජනතාව ඇරියස් පියවා ගත් ආකාරය විය හැකිය.

මේ අනුව ආණ්ඩුව විසින් සිදුකොට ඇත්තේ ආණ්ඩු විරෝධීන් විසින් සිදු කළ යුත්තක් බවද කිව යුතු වන්නේය. මන්ද හැමවිටම විරුද්ධවාදීන් යනු කරදරයක් සේම ඊට එහා ගිය කරදරයක් මගහරවා දෙන්නන් පිරිසක් යන්න ආණ්ඩුව අමතක කර ඇති නිසාය. විරුද්ධවාදීන්ගේ අවාසිදායක බලපෑම කෙටිකාලීනය. නමුත් ඔවුන් හරහා ජනිත වන වාසිදායක බලපෑම දිගු කාලීනය.

1 comment:

  1. No man, (Paragraph #1, #2) this kind of behaviour is only in Sri Lanka and developing countries. When I was working in a USA company I has been assertive and that's always been encouraged.

    ReplyDelete

Related Posts with Thumbnails