
ක‍්‍රමයෙන් උණුසුම් වෙමින් පවතින මැතිවරණ වේදිකාවේ මතු වෙමින් පවත්නා මාතෘකාවක් දෙසට අපගේ අවධානය යොමු කළ යුතු යැයි අඩව්ව කල්පනා කරයි. මෙහිදී අප මුලින්ම බැලිය යුතු වන්නේ ආණ්ඩුවේ මෙවර බලාපොරොත්තුව කුමක්ද යන්නය. ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා විමල් වැනි ඇමතිවරුන්ටත් එහා ප‍්‍රතිලාභ ලබන අතලොස්සක් වූ (නාමමාත‍්‍රික) මන්ත‍්‍රීවරුන් කියන ආකාරයට ආණ්ඩුව ජනතාවගෙන් මෙවර ඉල්ලන්නේ තුනෙන් දෙකක් දෙන්න කියාය. ඉල්ලන දෙයක් දෙන්න බලාගෙන ඉන්න ජනතාවට මෙය අමුතු ඉල්ලීමක් නොව. මන්ද ඔවුන් විමල්ට හා ඩලස්ට තුනම වුනත් පූජා කිරීමට සූදානම්ය. නමුත් සිදුවෙමින් පවත්නා අශිෂ්ට දේශපාලන කෙරුවාව ප‍්‍රශ්ණ කරන ජනතාවට මෙය තරමක කුතුහලයක් ජනිත කරවන්නකි. අප අද උත්සහ ගන්නේ මෙම කුතුහලය තරමක් දුරට අවුස්සා තේරුම් බේරුම් කරගැනීමටය.
මේ ඉල්ලන තුනෙන් දෙක කුමක්දැයි අප තේරුම් ගත යුතුය. මෙහි තුන යනු පාර්ලිමේන්තුවේ සමස්ථ ආසන ගණන වන 225ය. දෙක යනු එම සමස්ථ ආසන ගණනින් 66.66% කි. එනම් ආසන 150කි. කතානායක වැනි මන්ත‍්‍රී ආසන ඉවත්ව ගත් කළ මෙය 149ක් හෝ 148ක් විය හැකිය. එසේ නම් අප දැන් බැලිය යුතු වන්නේ ආණ්ඩුවට මෙය ඉල්ලීමට තරම් හැකියාවක් ඇද්ද කියාය. සත්‍ය ලෙසම ආණ්ඩුවට එවන් හැකියාවක් නැත. මන්ද මීට මාසයකට පමණ පෙර පැවති ජනාධිපතිවරණයේදී එම තත්වය මනාවට නිරූපණය විය. එහිදී ආණ්ඩුව සතු වූයේ සමස්ථ ඡන්ද වලින් 57%ක් පමණි. ඒ අනුව මෙතෙක් ආණ්ඩුව විසින් හිමිකරගෙන සිටි ආසන 130ක පමණ ප‍්‍රමාණයම ඉහත ප‍්‍රතිඵල අනුව බැලූවද නැවත හිමිවීම සාධාරණීකරනය කරන්නෙකුට අඩව්වේ අප විරුද්ධ වන්නේ නැත.
නමුත් ආණ්ඩුව මෙවර ඉල්ලන්නේ තුනෙන් දෙකකි. එනිසා ආණ්ඩුව කරන ඉල්ලීම ලේසියෙන් ජනතාව වෙතින් ලබාගත හැකි යැයි විශ්වාසයක් තැබිය නොහැකිය. ඒ අනුව මෙය ඉතා අත්‍යාවශය දෙයක් යැයි කියා ජනතාව රැවැට්ටීමේ ක‍්‍රමෝපායක් මේ වන විටත් ආණ්ඩු පාර්ශවයෙන් දියත් කරමින් තිබේ. ඒ සඳහා ඔවුන් භාවිතා කරන පදය වන්නේ ”ස්ථාවර ආණ්ඩුවක්” යන්නයි. නමුත් සත්‍ය ලෙසම ගත හොත් මෙය ජනතාව වෙත කරන ජෝක් එකකි. එසේ වුවත් මෙය ජෝක් එකක් යැයි කියා අපට පාඩුවේ සිටීමට නොහැක. මන්ද මේ පිටුපස ඉතාමත් භයානක දේශපාලන විපාකයන් සැඟවී ඇති නිසාය. ඒ වූකලී අනෙකක් නොව අසීමිත බලයක් සහිත ආණ්ඩුවක් සහ අත්තනෝමතික පාලකයෙක් බිහිවීම හරහා උද්ගත විය හැකි තත්වයන්ය. මෙම ප‍්‍රතිවිපාකයට අප මුහුණ දුන් හොඳම අත්දැකීම ඇත්තේ 1977දීය. එහිදී විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයේදී හයෙන් පහක බලයක් හිමිවිය. හයෙන් පහක් යනු තුනෙන් දෙකටත් එහා තත්වයකි. එම හයෙන් පහ ලද ජයවර්ධන ආණ්ඩුව එතෙක් තිබූ පාර්ලිමේන්තු ක‍්‍රමයට අමතර විධායක ජනාධිපති තනතුරක්ද ඇතිකර ජේ.ආර්ව එම පුටුවේ අසුන් ගැන්වීය. එපමණක්ද නොව 78 දී ඇති කළ මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍යය බවට සම්මත කරගත්හ. එතෙක් පැවති කේවල ක‍්‍රමය යටතේ මෙය ලබාගත හැකි දෙයක් වුවද එම ව්‍යවස්ථාවෙන්ම කළ මැතිවරණ ක‍්‍රමයේ වෙනසත් සමගම සමානුපාතික ක‍්‍රමය යටතේ මෙය තනි ආණ්ඩුවකට කළ නොහැකි සිහිනයක් බවට පත්විය. කෙසේ වුවද ජයවර්ධන එකළ දැමූ සෙල්ලම් ගැන ලියන්නට එක් ලිපියක් නම් ප‍්‍රමාණවත් නැත. වෘත්තීය සමිති ක‍්‍රියාමර්ග වලට පිළියම ලෙස සේවකයන් ගෙදර යැවූ හෙතෙම තමන්ගේ අභිමතයට විරුද්ධව තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ රැකියා අහිමි කළේ ඒ හරහා සමස්ථ රාජ්‍යයේම ඒකාධිපති පාලකයා තමන් යැයි ජනතාවට එ්ත්තු ගන්වමිනි. 1982 පැවැත්විය යුතුව තිබූ මහමැතිවරණය වෙනුවට කළගෙඩි ලාම්පු සෙල්ලම දමා හයෙන් පහක බලයක් දෙකෙන් එකක බලයෙන් දීර්ඝ කරගත් හෙතෙම 77 ජනතාව දුන් ජනවරමට කළගුණ සැලකුවේ 83 කළු ජූලියෙන් සහ 88/89 තරුණ කැරලිවලින් ජීවිත දහස් ගණනක් බිළිගැනීමෙන්ය. මේ වූකලී ස්ථාවර ආණ්ඩුවක් පිහිටවූ ජනතාව ලද දායාදයන්ය. නමුත් දැන් නැවතත් විමල්, ඩලස් හා චම්පික ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලයි. අප දිය යුතුද නොදිය යුතුදැයි උභතෝකෝටිකයක පැටලී කල්පනා කරන්නෙමු.
අප මෙම ප‍්‍රශ්ණය ලිහා ගැනීමට පෙර කල්පනා කර බැලිය යුතු දෙය වන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවයන් තුනෙන් දෙක නැතිව කළ නොහැකිද කියාය. ආණ්ඩුව පවසන ආකාරයට ඔවුන්ගේ මූලිකම අවශ්‍යතාවය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථව සංශෝධනය කරගැනීමය. දෙවැන්න ලෙස මැතිවරණ ක‍්‍රමය ගැන කතාවක් කීවද එයද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේම කොටසකි. ඒ අනුව ඔවුන්ගේ මීළඟ තර්කය වන්නේ ස්ථාවර ආණ්ඩවක් නොමැති වුවහොත් ඇමතිවරු ගණන අඩුකළ නොහැක යන්නය. අප මේ තර්ක දෙකෙන් පළමු වැන්න මෙම ලිපියේදී විග‍්‍රහ කරගනිමු. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගත යුතුද? මෙයට අපගේ පිළිතුරද ඔව් යන්නය. මන්ද මෙය මීට වසර 33කට පෙර නිර්මාණය වූවක් වන නිසා වත්මන් ලෝක ගමනත් සමග යෑමට අවශ්‍ය ලෙස අපගේ උත්තරීතර ලියවිල්ල වෙනස් කරගත යුතුවෙයි. ඒ අනුව එතැනදී අපට ගැටීමක් නැත. එසේනම් මෙය කරන්නේ කෙසේදැයි බැලිය යුතුය. ආණ්ඩුව කියන්නේ මේ සඳහා තුනෙන් දෙකක එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ අවශ්‍යය බැවින් තමන්ට එම තුනෙන් දෙක දෙන්න කියාය. නමුත් අප එයට එකඟ නැත. මන්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තුනෙන් දෙකක් අවශ්‍යය බව ව්‍යවස්ථාවේම තිබුණද එය එකම පක්ෂයකින් අවශ්‍යය වන බවක් කොහෝවත් කියා නැත. ඒ අනුව ආණ්ඩුවේ තර්කයෙන්ම පෙනෙන්නේ එය අත්තනෝමතිකව කරන්නට යන බවකි. නමුත් සිදුවිය යුත්තේ එය නොවේ. කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ විට එය සාකච්ඡාවට භාජනය විය යුතුය. නැතහොත් එහි පවතින දුර්වලතාවයන් ගැන අනෙකුත් මහජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබී යනු ඇත. එපමණක්ද නොව එම අදහස් දැක්වීම් වලට අනුව එය නැවත නිර්මාණය විය යුතුය. නමුත් තනි පක්ෂයක් අත බලය පවතින් විට එවැන්නක් අවශ්‍ය නැත. කෙටුම්පත ව්‍යවස්ථව බවට පත්වීම කාටවත් වලක්වන්නට බැරිය. මන්ද විමල්, ඩලස් පමණක් නොව මහාප‍්‍රාඥයන් වන ජී.එල් හෝ අමුණුගම වැන්නන් පවා රාජපක්ෂයන්ට විරුද්ධව කට හොල්ලන්නේ නැත. එසේ හෙල්ලූවොත් අර්ජුනකරණය ලක්වන බව ඔවුන් හොදින්ම දනිති. එනිසා සිදුවන්නේ ජේ.ආර්ගේ දෙවැනි කොටසයි. එදා ජේ.ආර් ගෙත් අද මහින්දගේත් කිසිඳු වෙනසක් නැත. ඇත්තේ නම් ඒ එකකි. එනම් ජේ.ආර් සාහිත්‍ය නොරිස්සුවෙක් වූ අතර ”සාහිත්‍යය කන්නද ඕයි” කියා හෙතෙම කෙලින්ම ඇසීය. නමුත් මහින්ද නොරිස්සන කිසිවක් එසේ ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. ඔහු එය පපුවට ගසාගනිමින් බදාගනී. හැකිනම් දණගසා වඳියි. මේ වූකලී ඔවුන් අතර ඇති එකම වෙනසයි.
රාජිතගේ පොරටෝක් කතාවද අප මේ සමග ගෙන විමසා බැලිය යුතුය. ඔහු කීවේ ආණ්ඩුවට තුනෙන් දෙක ගැනීමට නොහැකි වුවහොත් නැවතත් එජාපයෙන් මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්නා බවයි. මෙය ඔහුගේ වෙනත් කතා මෙන් කුණුගොඩට දැමිය හැක්කක් නොවන බව අපගේ අදහසයි. මන්ද මෙය විය හැක්කකි. රාජිත වාචාලකමට කීවේ අනෙකක් නොව ආණ්ඩුවේ විකල්ප තුරුම්පුවය. මෙයට වහා ක‍්‍රියාත්මක වූ එජාපය දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි එකතු කරන ලදි. නමුත් එය මතුවිය හැකි තත්වයට පිළියමක් නොව. මන්ද ආණ්ඩුවට එකතුවූවාට මේ මොහොතේ ආමාත්‍යධූර නොලැබෙන බව දන්නා එජාප මන්ත‍්‍රීවරුන් කරන්නේ එජාපයේ සිටම ව්‍යවස්ථාවට ඡන්දය දීමයි. එවිට අස්වීමේ ලිපිවලට කරන්නට දෙයක් නැත. (අප මෙම ලිපි ගැනීමට දැඩිව විරුද්ධ වන්නෙමු. මන්ද එය ජනතාවගේ හා නියෝජිතයන්ගේ අයිතීන් උල්ලංගණය කිරීමකි.) මෙලෙස බලන කළ පෙනෙන පැහැදිලි සිද්ධිය වන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක් නොලැබුණද විපක්ෂයෙන් බාගැනීමක් මාර්ගයෙන් මෙය අනිවාර්‍යයෙන් කරගන්නා තැනට ආණ්ඩුව සැලසුම් සාදා හමාර බවය.
මේ අනුව කෙටුම්පතෙහි ඇති ජනතාවට අහිතකර වාක්‍යයන්ට විරුද්ධව හඬනැගීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සතු අයිතිය අහෝසි වී යනු ඇත. එය දරුණු ඛේදවාචකයකි. එපමණක්ද නොව එය ඔවුන්ට ඡන්දය දී පත්කළ ජනතාවගේ පාලන බලතලයන්ට පයින් ගැසීමකි. මේ අනුව ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකකට (වැඩි පිරිසකට) තමන් පාලනය කරන්නට සෑදෙන නීතිය ගැන කතා කිරීමට ඇති අයිතිය අහිමිවී යයි. මෙය බරපතල තත්වයක් වන්නේ ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් දෙකකටත් අඩු කොටසක් ඉතුරු සමස්ථයේ පාලන බලතලයන් යටකරගෙන තීරණ ගැනීම හරහා ජනතා පරමාධිපත්‍යය හෑල්ලූවට ලක්කිරීමක් සිදුවන් බැවිනි. එපමණක්ද නොව එහි ඇති ඛේදනීයම තත්වය වන්නේ එම අයිතිය අහිමි වන 40% යනු ශ‍්‍රී ලංකාවේ සිටින බුද්ධිමතුන් බහුතරයක් නියෝජනය කරන කොටසයි. (හිටපු අගවිනිසුරු ඇතුළු සමස්ථ නීතීඥවරුන්ගෙන් විශාලම ප‍්‍රමාණයක් එහි සිටිති.) එතකින්ද නොනැවතී බැලූව හොත් නීතියට සමීපම නාගරික ජනතාව මේ පිරිසෙන් අතිබහුතරය නියෝජනය කරයි. මේ අනුව අනාගතයේ තුනෙන් දෙකක් ලබාගන්නට සිහින දකින ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ බළලූන් ලවා කොස් ඇට බාවා ගන්නටය. ඒ අනුව ග‍්‍රාමීය-අඩු අධ්‍යාපනයක් සහිත ජනතාව රවටා විශාල ජනවරමක් ලබා ඒ මගින් අත්තනෝමතික ව්‍යවස්ථා සම්පාදනයකට මගපාදා ගනී. එහි විපාකය විය හැක්කේ නැවතත් ජයවර්ධන මොඩලයේ ඒකාධිපති ව්‍යවස්ථාවක්මය. සමහර විට ඊටත් එහා ගිය දුර්වලතාවයන් සහ අනවශ්‍යය බලයන් ඒකරාශීවූ ව්‍යවස්ථවක් විය හැකිය.
මෙහි අතුරු ප‍්‍රතිඵලය වන්නේ විපක්ෂය රූකඩයක් බවට පත්වීමයි. මන්ද විපක්ෂයට මේ පාර්ලිමේන්තුව තුළ කර්‍යභාරයක් නැත. විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට කිසිවක් කරන්නට බැරිය. ඔවුන් කරන්නට ඇත්තේ එකම එක දෙයක් පමණි. එනම් විවාදයන්ට වචන සැපයීම පමණි. විවාදයක් ආරම්භ වූවිට විරුද්ධව අදහස් දක්වන්නට, කෑ ගසන්නට, හූ කියන්නට, කෙටුම්පත් ගිනිතියන්නට පමණක් ඔවුන්ට හැකි වනු ඇත. ඔවුන් එය කිරීමේ වරදක්ද නැත. මන්ද ඔවුන් ගැඹුරු අධ්‍යයනයක් කර එම කෙටුම්පතෙහි දුර්වලතා පෙන්නුවද, කෙතරම් විචාරශීලී ලෙස එය විශ්ලේෂණය කළද අවසන් ප‍්‍රතිඵලය වන්නේ තුනෙන් දෙකෙන් එම පනත හෝ යෝජනාව සම්මත වීමයි. එනිසා මෙම පාර්ලිමේන්තුවේදී විපක්ෂය යනු මපට් එකක් බවට පත්වේ. කෙසේ වුවද අවසන් විග‍්‍රහයේදී ශ‍්‍රී ලංකාව තනි පක්ෂයක අත්තනෝමතික බලයක් සහිත ඒකාධිපති පාලනයක් සහිත ආඥදායක රාජ්‍යයක් බවට පත්වනු ඇත.
එම රාජ්‍යය තුළ විමල් බෙරය අතට ගනු ඇත. ජනතාව රූකඩ බවට පත්වේ. විමල් පද අල්ලයි. ජනතාව අල්ලන අල්ලන පදයට නටනු ඇත. සියල්ල එසේ සිදුවෙමින් යන අතර අප පැත්තකින් ඉඳ අඩව්ව අල්ලන්නෙමු. ඔබට සුභ අනාගතයක්..........