Monday, February 22, 2010

විපක්ෂය බෙදිලා. අපිට වාවගන්න බෑ............... ඩලස් අඬයි. විමල් හොටු පිසියි.



වත්මන් දේශපාලන කරලිය යම් තක්කු මුක්කු ගතියකට පත්ව ඇතැයි අඩව්ව කල්පනා කරයි. මන්ද දේශපාලන වේදිකාවේ මතුවී ඇති බෙදීම් සහ අදහා ගත නොහැකි ඒකපාර්ශවික නිශ්ශබ්දතාවයක් නිසා ශ‍්‍රී ලාංකික ඡන්දදායකයා එක් අතකින් අපේක්ෂාභංගත්වයකටත් තවත් අතකින් ආත්මාර්ථකාමීත්වයකටත් එළඹ ඇති බවක් දක්නට ලැබේ. මේ අපේක්ෂාභංගත්වයට පත්ව ඇත්තේ ජවිපෙ සහ එජාපය එකට සිටගනු ඇතැයි සිහින දුටුවන්ය. ආත්මාර්ථකාමීත්වයකට එළඹ ඇත්තේ තම පක්ෂයට ලැබෙන ආසන ගණන ගැන ගණන් බැලූවන්ය. මේ අනුව වත්මන් විපක්ෂය නියෝජනය කරන්නේ අවස්ථාවාදීන් සහ අනුන්ගේ පහණෙන් එළිය බැලීමට තනන්නන් බව ජනප‍්‍රිය රැල්ල ප‍්‍රතික්ෂේප කරන විසම්මුතික මතධාරීන්ගෙන් අති බහුතරයගේ දේශපාලන කියැවීම වන්නේය. නමුත් අඩව්ව අද උත්සහ ගන්නේ හාහූවක් නැති වත්මන් දේශපාලන පෙරලියන්ගේ සාධනීය පැත්ත ගැන කඩතුරාවක් ඔබට විවර කර දීමටයි.

තුනෙන් දෙකක සිහින දකින ආණ්ඩු පාර්ශවයේ තත්වය පිළිබඳව අප මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු නොවෙමු. අප උත්සහ ගන්නේ ජනාධිපතිවරණයේදී එකට සිට මේ මොහොත වන විට වෙනමම පෙරමුණු හරහා මැතිවරණ සටනට එළඹීමට බලාපොරොත්තු වන සහ එළඹීමට සිදුව තිබෙන විපක්ෂයේ ක‍්‍රියාකලාපය පැහැදිලි කරගැනීමටයි. අප මුලින්ම බැලිය යුත්තේ ජනාධිපතිවරණයේදී ජනප‍්‍රිය රැල්ලට අභියෝග කරමින් විපක්ෂව එකතු වූයේ කවුද කියාය. ඒ අනුව ශ‍්‍රී ලාංකික දේශපාලනයේ සුප‍්‍රසිද්ධම චරිත දෙකක් වන එජාපය සහ ජවිපෙ මෙහිදී එකතු වූයේ බොහෝ දෙනෙකුගේ ඇස් උඩයවමිනි. (මෙම හවුලේ වතගොත දිගහැරීමට මෙය සුදුසු අවස්ථාවක් යැයි නොසිතමු) මීට අමතරව සුළු ජාතීන් නියෝජනය කරන්නන් අතරින් ශක්තිමත්ම පක්ෂ දෙක වන මු.කෝ සහ ටී.එන්.ඒ පෙරකී හවුලට එකතු වූයේ මෙතෙක් ඉතිහාසයේ සෑදුනු පළල්ම හා ශක්තිමත්ම පෙරමුණ මෙය යැයි සෝමවංශගේ විරුධාවලියද හිමිකරගන්නා ගමන්ය. මෙතෙකින්ද නොනැවතී නීතීඥ විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, වැනි ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ද, මඩකළපුව හා ත‍්‍රීකුණාමලය නගරාධිපතිවරු, සහ වතු අංශය නියෝජනය කළ ඇමතිවරු පවා එක්වී දිනෙන් දින ශක්තිමත් කළ මෙම පෙරමුණ මැතිවරණයට ඉදිරිපත්වී ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් එල්ල කළේය. නමුත් අවසන් ප‍්‍රතිඵලය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 57% ක ඡන්ද ප‍්‍රතිශතයක් සහිතව ජයග‍්‍රහණය කිරීමයි. අප පෙරකී ලෙසම මේ ප‍්‍රතිඵලයද විචාරය කිරීම අපගේ මාතෘකාවට අදාල නොවන්නේය.

දැන් ඔබේ සිතේ නැගෙන ප‍්‍රශ්ණය වන ”එහෙනම් මොනවද මේ ලිපියට අදාල වෙන්නේ” යන්නට අප දැන් පිවිසෙමු. අප කතා කරන්නේ ජවිපෙ එජාපයෙන් වෙන්වී යන ගමනේ තිබෙන වාසි ගැනය. මෙහිදී අප මුල්ම සාධකය කරගන්නේ ජවිපෙ සහෝදරවරුන්ගේ මානසිකත්වයයි. බොහෝ සහෝදරවරුන්ගේ මුවින් කියැවුණු පොදු වාක්‍යයක් වන්නේ ”අපේ උන්ව මරපු එජාපෙට අපි කොහොමද ඡන්දය දෙන්නේ” වන්නයි. මෙහි සැඟවුණු සැබෑ යථාර්තයක් තිබේ. එය ඔබ හා අප මෙන් ක‍්‍රමයේ වෙනසක් දකින්නට උත්සහ කරන්නන්ට නොපෙනෙන අතීත මතකයන් ශක්තියක් කරගෙන පාප්ප බාල්දිය හා පරණ කොසු කැබැල්ලක් රැගෙන රෑ තිස්සේ පෝස්ටර් ගැසූ අපේ ගමේ ජෙප්පට දැනෙන දෙයකි. ඔවුන්ගේ දේශපාලනය මහින්දගේ ආධාරකරුවන්ගේ දේශපාලනයට වඩා හැතැප්ම ගණනක වෙනසක් පවතී. මන්ද ඔවුන්ට ආණ්ඩු බලයක් මේ ජීවිතේට ලැබෙන්නේ නැත. එනිසා අමාත්‍යංශ වල රැකියා හෝ කොන්ත‍්‍රාත් ගැන ඔවුන්ට සිහින නැත. එසේම පාර්ලිමේන්තුවේද දැවැන්ත බලයක් හිමිනොවේ. ඒ නිසා අඩුම තරමේ මැතිවරණයෙන් පසු මන්ත‍්‍රීවරයෙක් සමග පරණ ජීප් එකකවත් යන්නට ඔවුන්ට ලැබෙන්නේත් නැත. එබැවින් අප බැලිය යුත්තේ එහෙව් අල්පේච්ඡ පැතුම් සහිත සහෝදරවරුන් දේශපාලනයක් කරන්නේ මන්ද කියාය. සත්‍ය ලෙසම එම ආත්මාර්ථකාමී නොවූ මිනිසුන් පක්ෂය වටා රැස්කර තබන ප‍්‍රධානම ශක්ති ප‍්‍රභවය වන්නේ අතීතයේදී තමන් මර්ධනය කිරීමෙන් සහ තම සගයන් බල්ලන් මෙන් ලයිට් කනු වල එල්ලා මරා දැමීමෙන් තම සිත් තුළ ජනිත කරවූ වේදනාවයි. මෙය සමස්ථ ජවිපෙ ආධාරකරුවන්ගේ හේතුව නොවූවත් අතිබහුතරයට බලපාන ඍජු හෝ වක‍්‍ර හේතුව වන්නේය. තත්වය එසේ නම් අප එසැනින් සොයා බැලිය යුත්තේ මේ වින්නැහිය ඔවුන්ට කළේ කවුද කියාය. ඔවුන් දකින පරිදි එය සිදුකළේ රනිල්ද අසුන්ගෙන සිටි එජාපයේ ආණ්ඩුවය. මේ අනුව ජවිපෙ සහෝදරවරුන්ගෙන් ලොකු ප‍්‍රතිශතයක් තම ධනවාදී සතුරාට එරෙහිවන්නට නොහැකි තැන ඡන්දය භාවිතා නොකර සිටියෝය.

අප මේ සාධකයම අනෙක් අතටත් යොමා බැලිය යුතුය. මන්ද 88/89 යුගයේ මියගියේ ජවිපෙ සහෝදරුවරුන් පමණක් නොව. එහිදී ජවිපෙ සහෝදරවරුන් අතින් මැරුම් කෑ එජාප පවුල් වල සාමාජිකයන් ගණනද අති විශාලය. ඔවුන්ගෙන් බහුතරය පොලීසියේ, හමුදාවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක සේවය කළවුන් විය. තත්වය එසේ නම් අපගේ පළමු සාධකයේ දෙවැනි පාර්ශවය වන එජාපයත් තම ඡන්ද වලින් යම් ප‍්‍රතිශතයක් අහිමි කරගත් බව ඔබට වැටහෙනු ඇත. ඒ දකුණේ තත්වය ගෙන බලන කල තත්වයයි. උතුරු නැගෙනහිරට වන්නටත් මෙය දරුණුවට බලපා ඇත. මන්ද දෙමළ ජනතාව යුද්ධයට පාර කැපූ ජවිපෙට කිසිදා ඡන්දය නොදෙති. එසේම යුද්ධයට නායකත්වය දී තම ජනතාව මරාදැමූ ජෙනරාල්ටත් ඔවුන් කිසිසේත් කැමති නැත. එය පහුගිය ජනාධිපතිවරණයේදී මනාවට දිස්විය. එනිසා ජෙනරාල් හා ජවිපෙ නැති පෙරමුණකට හා ඔවුන්ට සහයෝගය දීමට එන සම්බන්ධන්ට ඔවුන් තම මනාපය පළ කරනු ඇත. එනිසා පළමු සාධකය අනුව ගෙන බලන කළ එජාපය නිසා ඡන්දය නුදුන් ජවිපෙ සහෝදරවරුන්ගේත් ජවිපෙ නිසා ඡන්දය නුදුන් එජාප පාක්ෂිකයන්ගේත් සියළු ඡන්ද ලබාගැනීමට මෙමගින් දෙපාර්ශවයටම ඉඩ ලබාදෙනු ඇත.

අපගේ දෙවන සාධකය වන්නේ අහසට පොළව බඳු ජවිපෙ හා එජාපෙ ප‍්‍රතිපත්ති එක වේදිකාවකදී පොදු එකඟතාවයකින් එළිදැක්වීමට නොහැකි වීමෙන් පාක්ෂිකයා තුළ ඇතිවූ පාලූව මෙවර තුරන් වීමයි. අප දන්නා පරිදි එජාපෙ යනු ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් පෙරටු කරගත් බටහිර හිතවාදී විදේශ ප‍්‍රතිපත්තියක් සහිතව යන ගමනක් ඇති පෙරමුණකි. නමුත් ජවිපෙ යනු සමාජවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් පෙරටු කරගත බටහිර ප‍්‍රතික්ෂේප කරන විදේශ ප‍්‍රතිපත්තියක් සහිත පක්ෂයකි. එනිසා මේ අහස පොළව බඳු ආර්ථික ප‍්‍රතිපත්ති අනිවාර්‍යයෙන් දිගහැර පෙන්වීමට සිදුවන මෙම මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කටපුරා කියමින් විදේශ ප‍්‍රතිපත්තිය පිටුව නොදමා හැරියා මෙන් කොලේ වසා ගැසීම් කළ නොහැකි බව නම් සත්‍යයකි. එනිසා එකම වේදිකාවක කිසිදාක ජවිපෙට හා එජාපෙට තම ආර්ථික හා විදේශ ප‍්‍රතිපත්ති කටඇර කිවහැකි නොවන්නේය. නමුත් මෙය මහමැතිවරණයක් වන බැවින් තම පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කිසිඳු අඩුවකින් තොරව තම පාක්ෂිකයාගේ මනෙදාළ පිරෙන පරිද්දෙන් දීම අනිවර්‍ය කාර්‍යයක්ද වන්නේය. ඒ අනුව මේ තත්වය යටතේ එජාපෙ පාක්ෂිකයන්ගේ රුචිකත්වය පරිදි ධනවාදී හා පූර්ණ විවෘත ආර්ථික ක‍්‍රියාවලියක් මූලික කරගත් ආර්ථිකය යළි නගා සිටුවීමේ හැකියාව ගැන අපේක්ෂකයන් වේදිකාවල් පුරා කියනු ඇත. එසේම ජවිපෙද තම පාක්ෂිකයන් සන්තෝෂ වන පරිද්දෙන් ජනාධිපතිවරණයේදී කියන්නට නොහැකි වූ සමාජවාදී හරයන් සහිත ආර්ථික ක‍්‍රමයන් ගැන වේදිකාවල් දෙවනත් කරනු ඇත.

අප දකින තෙවැනි සාධකය වන්නේ මහින්දගේ පවුල්වාදය සහ දුෂණය ප‍්‍රතික්ෂේප කරන නමුත් එජාපයේ බටහිරගැති (ඔවුන් සිතන ආකාරයට) ප‍්‍රතිපත්ති වලට එකඟ නැති ඡන්ද ප‍්‍රමාණය ජෙනරාල් හා ජවිපෙ වටා රොක්කර ගත හැකි වීම. මෙවන් ඡන්දදායකයන් පිරිසක් අළුතින්ම රටේ බිහිවී ඇත. මොවුන් එක්කෝ මහින්දගේ ක‍්‍රියාකාරීත්වය නිසා ප‍්‍රතිපත්තිමය වශයෙන් බිඳුන පිරිස විය හැකිය. නැත්නම් අලූත් මැස්සන් අසූචි ගොඬේ එල්ලීම නිසා ඉවතට විසිවූ පරණ මන්ත‍්‍රීවරුන්ගේ හා නාමයෝජනා අපේක්ෂාවෙන් කඬේ ගොස් ඇණගත් ආධාරකරුවන්ගේ බලපෑම මත ආණ්ඩුවට ෂොට් එකක් දීමට බලාපොරොත්තු වන්නන් විය හැකිය. මේ පිරිස දෙස බලන විට පෙනෙන ප‍්‍රධානම ලක්ෂණය වන්නේ මෙතෙක් ලංකාවේ මවා තිබූ සිහින ලෝකය වන සිංහල-බෞද්ධ ජාතිවාදය නම් තොටිල්ලේ නැලවෙමින් මානුෂීය මෙහෙයුම නම් රාමවික‍්‍රමගේ ටෙලිනාට්‍යයේ අවසානයේ කිරිබත් කා බඩපුරවා ගත් අය වීමයි. එබැවින් මොවුන්ගේ දිවවල් තාමත් රනිල් රටපාවාදුන්නා වැනි දෑ හිටිගමන් කියන්නේ කට බොරුකීවත් දිව එසේ නොකරන නිසාය. එබැවින් එකවරම එජාපය සමග සිට ගැනීමට මොවුන්ට ශක්තියක් නැත. නමුත් ජවිපෙ සමග එතරම් පරහක් මොවුන්ගේ සිත්වල නැත. මන්ද ආණ්ඩුව යුද්ධ කරන තැනට ගෙන ගියේත් යුධ සමයේ ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දුන්නේත් ජවිපෙ සහෝදරවරුන්ය. එපමණක් නොව ඔවුන්ට තවත් ශක්තියක් ඇත. ඒ එදා තමන්ගේ වීරයා වූත් මහින්ද තමන්ට මෙන්ම ෂොට් එක දී එලවා දැමූ ජෙනරාල්වරයාය. ඒ අනුව මොවුන්ට සෙට්වී කතාකිරීමට මහාපොදු සාධකයක්ද ඇත. එබැවින් මොවුන්ට කිසිඳු හිරිකිතයකින් තොරව මේ ජවිපෙ හා ජෙනරාල් සිටින නැවට නැගිය හැකිය. මෙම සාධකය හරහා පෙන්වූ පිරිස හා පෙරකී ජවිපෙ ස්ථීර ඡන්ද පදනම භාවිතා කර හැකි සෑම දිස්ත‍්‍රික්කයකින්ම අසුනක් දිනා ගැනීමට ජවිපෙ බලාපොරොත්තුවේ. ඒ අනුව එලෙස ජවිපෙට එන ආසනය නරකට හිටින්නේ එජාපෙට නොවේ. මන්ද මේ ආසනයට දායකවන්නන් එජාපෙය සිටියේ නම් ඡන්දය නොදෙන නිසාය. එවිට එහි වාසිය ලබා ගන්නා ආණ්ඩුවට මේ අවස්ථාවේදී මෙය හරහට සිටින්නේය.

මේ අනුව ඉහතදී අප පෙන්වා දුන්නේ සන්ධානගත නොවී වෙන්ව ඉල්ලීමේ වාසියයි. මෙහි අවාසි තත්වයන්ද නැතුවාම නොවේ. නමුත් සියළු තත්වයන් සලකා බලන කළ අඩව්වේ අපගේ ස්ථාවරය වන්නේ මේ අවස්ථාවේ විපක්ෂය තුළ පවතින බෙදීම අවාසියට වඩා වාසියක් සලසන බවයි. රනිල් ජනාධිපතිවරණයට නොඑන තැන රනිල් ගැන කියා කිඹුල් කඳුළු හැලූ ඩලස්ලා දැන් විපක්ෂයේ බෙදීම ගැනත් අඬන්නට පටන්ගෙන ඇත. විපක්ෂය බෙදී වෙන්වීම ගැන ඇඬෙන විමල්ලාට නොපෙනුනාට ආණ්ඩුවද බෙදී වෙන්වී ඇත. ඔය කිඹුල් කඳුළු එතැනදී සතුටු කඳුළු වන්නේ ඇයි දැයි අප විමසා බැලීම වටී. ආණ්ඩුව සමග සිටි ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඞී.පී ය උතුරේ තරඟ කරන්නේ වෙනමය. නැගෙනහිර බලය සහිත කරුණාරත්නගේ ටී.එම්.වී.පී ය නැගෙනහිර තරඟ කරන්නේත් තනිවමය. තත්වය එසේ නම් අප දැන් විමසා බැලිය යුත්තේ මේ ගැන ඩලස්ලා නාඩන්නේ ඇයි කියාය. ඕනෑම දෙක හතර තේරෙන පොඩි එකෙකුට වුවද ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය දුටුවිට පෙනෙන දෙයකි මහින්දට උතුරු නැගෙනහිර ජනතාව බින්දුවක්වත් කැමති නැති බව. තත්වය එසේ නම් ආණ්ඩුවේ නම ගාගෙන ඩග්ලස්ලාට ලැබෙන ඡන්ද ටිකත් නැතිකරගත යුතු නැත. එනිසා ආණ්ඩුව සමග පොඩි අවුලක් දමා ගත් බවක් පෙන්නා තනිවම ගියහොත් දෙමළ ජනතාව රවටා ටී.එන්.ඒ එකට යන ආසන කීපයකට ෂොට් එක දීගන්නට හැකි බව ඔවුහු සිතති. ඒ ඔවුහු කියුවේ ඩග්ලස්ලාට නොව නැවතත් මහින්දට, බැසිල්ට, ඩලස්ට හා විමල්ටමය. නැගෙනහිර සම්බන්ධයෙන්ද තත්වය එසේමය. එනිසා ආණ්ඩුව සමග නොයන බවක් පෙන්නා තමන්ගේ දෙමළ මූණු ටිකට ඡන්දය බාගෙන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ තුනෙන් දෙකේ දානයට සම්මාදම් වන්නට හැකි බව ඔවුහු සිතති. මේ අනුව අප දකුණේ ඡන්දදායකයා ගැන සිතා එජාපෙ අතහැර ජවිපෙ වෙනම යෑමේ වාසි සහගත තත්වය කීවා සේම උතුරේදී හා නැගෙනහිරදී ඩග්ලස් හා කරුණා ආණ්ඩුව අතහැර යෑමේ හොඳ මෙයයි.

කෙසේ වුවද අද විපක්ෂයේ තිබෙන බෙදීම රටට පෙන්වන ආකාරයේ අහඹු හෝ ආත්මාර්ථකාමී එකක් නොවන බව අප තේරුම් ගත යුතුය. එය රාජිත හා විමල් එකට කරට අතදාගෙන පවුල් කන සන්ධාන ආණ්ඩුවේ සදාචාරාත්මක භාවයට එහාගිය තාර්කිකත්වයක් මත ගොඩනැගුණු ප‍්‍රතිඵලදායක බෙදීමක් බව අඩව්වේ අප පාඨකයන් වෙත සතුටෙන් කීමට කැමත්තෙමු.

කෙසේ වුවද අවසාන වශයෙන් අප මතක තබාගත යුතු දෙය වන්නේ මෙය මහමැතිවරණයක් යන වගයි. එනිසා වැඩි ආසන සහිත පිරිස ආණ්ඩුව පිහිටුවති. ඉතුරු සියලූ පක්ෂ විපක්ෂව සිටිය යුතුය. මේ අනුව එකට එකතු වී ඡුන්දය ඉල්ලූවද වෙනමම ඉල්ලූවද අවසානයේ තමන් සතුවන ආසන ගණන අනෙකුත් පක්ෂ සමග මුසු කිරීමට දක්වන පෙළඹීම මත තම පක්ෂය සිටින්නේ ආණ්ඩු පාර්ශවයේද විපක්ෂයේද යන්න තීරණය කෙරේ. එනිසා වෙනමම ඉල්ලීමෙන් සිංහල ජාතිවාදී අසූචි නොගාගන්නා ඩග්ලස් හා කරුණා පාර්ලිමේන්තුවේදී මොන බොරුවක් හෝ කියා ආණ්ඩුවට සෙට් වෙන අතර එ් හරහා උපරිම ආසන ගණනක් උදුරාගෙන තුනෙන් දෙකේ ආණ්ඩුවකට ඔවුන් සිහින දකිති. විපක්ෂයේ තත්වයද එයමය. ජවිපෙ වෙනමම ඉල්ලූවද ඔවුන්ද තම ආසන කීපය රැගෙන අවසානයේදී එජාපෙන් පත්වන අළුත් මුහුණුත් සමග විපක්ෂව සිටගත යුතු වන්නේය. කෙසේ වුවද තම ඡන්ද පදනමෙන් කුට්ටියක් කඩාගෙන පාර්ලිමේන්තුවේදී අත්පොලසන් මැද දේශපේ‍්‍රමීන් බිහිවන්නට නොදී එජාපය තම අපේක්ෂකයන් රැකගන්නා තාක් සහ ජවිපෙ තම උපරිම ශක්තිය යොදා ජෙනරාල්ගේ පෞරුෂයද මනාලෙස යොදවා හොඳ ඡන්ද ප‍්‍රමාණයකට යන තාක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් බිහිවීම වලක්වන්නට නොහැකි බව අඩව්වේ විශ්වාසයයි.

.

10 comments:

  1. කොහොමත් රජ්‍ය මාධ්‍ය ගෙනියන නිර්ලජ්ජි පිළිවෙත වෙනුවෙන් අධිකරනමය තිරනයක් නොගතහොත් මෙවරත් විපක්ෂය දුර්වල විම වලක්වාගත නැහැකි බව මගෙ අදහසයි. මර්වින් සිල්වා බැසිල් රාජපක්ෂ ඉදිරියෙ වැද වැටෙනු මා පින්තුරයකින් දුටුවෙමි. සිතිමෙ හැකියව මොට බහුතරයක් වු ජනයා ඉදිරියෙහි විපක්ෂයට ඇත්තෙ විශාල අභියොගයකි.

    ReplyDelete
  2. කලේක පස්සේ කමෙන්ටුවක් දාන්නේ.... හිරිටට මර්වින්ගේ කතාවක් වගේ
    හපොයි මුට වෙච්ච දෙයක් මු කිවිවේ තරහකට නෙමෙයි. ඔහේ ඔන එකක් සාදාරණිකරනය කරනවා. ඔන පොඩි එකේක දන්නනවා. ආසනවලට ලොබ කමට ජවිපේ හැලුවා කියලා. ඒත දෙක හතර දන්න අඩව්වට ඔව්වා තේරෙන්නේ නැහැ. මොකද මෙයා එජාපයේ එක්කේනෙක් වගේ. මට පේන විදිහට මෙයටත් මොළ සුද්දයක් දීලා වගේ නැත්නම්. කියනවා වගේ කිසිම හරිකිතයකින් තොරව කොහොමද මේක සාදාරණිකරනය කරන්නේ ...

    තව දෙයක් මෙයම පිළිගන්නවා
    1.එජාප හා ජවිපේ හවුල නිසා චන්ද අඩුඋනුබව[එත් කියනවා චන්දය දුෂිතයි කියලා]
    2.මෙයම කියනවා ජෙනරල්ට උතු නැගේ චන්ද හමබුනේ නැහැ කිහයලා [එත් කියනවා මහින්දව උතු-නැගේ ප්‍රතක්ෂේප කරලා කියලා]

    3. ඔය වෙන්වීම හොදයි කයලා කියනවා [එත් මෙයා කියනවා එකේන් අවාසි තියනවාලු]

    4.මේතන ඔක්කොම වෙන්විම සාදරණිකරනය කරනවා [එත් මෙයා කියලා නැහැ මෙහි අනික් පැත්ත ඒපැත්ත බැලුවන්ම් මෙයා මේක ලියන්නේ නැහැ]

    ඉස්සර මිනිස්සු කටකහනවටද කියාලා තියෙන්නේ කණ්ඩ ඔන උනාහම කබරගොයා තලගොය කරනවා කියාලා

    ඔය වැඩෙන් වෙන්නේ ගියපාරට වඩා චන්ද බුලත් කොලයට මේ පාර වැටෙනවා. ඒහන්ද ලියන දෙයක් කල්පනා කරලා ලියන්න. මොකද මෙව්වා කියව්න්නේ නිකම්ම නිකම් අයනෙවෙයි.

    ReplyDelete
  3. හශාන්,
    මොනවද මචන් මේ මොඩ කතා. අපි මොක්කු කියල හිතාගෙනද මෙවා ලියන්නෙ?
    අපේක්ශා බන්ඝ වෙච්ච පාක්ශිකයන්ගේ සහ තම්න්ගේම හිත හදාගන්න මෙවගේ ලිපි හොදය්. ඒ උනාට තව මිනිස්සු මේක බලනවනෙ. එ නිසා joke එකක් වෙන්නෙ හදන්න එපා. යතාර්තයට මුන දීපන්. ෆැන්ටසිය බිදිලා ගිහිල්ල බව පිලිගන්න.

    ReplyDelete
  4. බෙදිලා ඉල්ලනවට වඩා එකට ඉල්ලනව නං තමයි වැඩියෙන් මන්ත්‍රී ආසන ගානක් විපක්ශෙට ලැබැන්නෙ. දිස්ත්‍රික්කයකින් දිනන පක්ශෙට bonus seat දෙකක් ලැබෙනවා. විපක්ශෙ බෙදිලා ඉන්න කොට, ආන්ඩුව දිනන දිස්ත්‍රික්ක ගාන ඉබේම වැඩි වෙලා, වැඩිපුර bonus මන්ත්‍රී ආසන ගනනක් ආන්ඩුවට ලැබෙනවා.

    ReplyDelete
  5. රවා,
    ඇත්තටම ආණ්ඩුව ගෙනයන රාජ්‍ය සම්පත් අනිසි භාවිතය නිසා විපක්ෂයට මැතිවරණයේදී සමාන අවස්ථාවන් අහිමි වනවා. මෙය මැතිවරණ නීතිය අනුව බරපතල වරදක්. එ්ත් අද වන විට ලංකාවේ මේ තත්වය සාමාන්‍යකරණය වෙලා. එ් වගේම එ්වා කතා කරන අපි මෝඩයෝ වෙලා.

    පළමු ඇනීට,
    ඔබ විස්තරාත්මකව දක්වා තිබෙන අදහසට බොහොම ස්තූතියි. නමුත් අඩව්වේ අප එජාප කාරයන් යැයි වර්ගීකරණය කරන්න හදන්න එපා. මන්ද අපි එජාපයේ වුනත් වරද දුටු තැන පෙන්නන්න පස්ස ගහන්නේ නෑ. එනිසා අපි කැමතියි අපිව ජනප‍්‍රිය රැල්ල ප‍්‍රශ්ණ කරන විසම්මුතික මතධාරීන් හැටියට විතරක් හඳුන්වනවානම්. මන්ද අපි එජාප කාරයන්ද ජවිපෙ සහෝදරවරුන්ද යන්න වෙන් කරගැනීමට ඔබට අපහසු වන නිසාය. මන්ද අපි සතු එකම පොදු ලක්ෂණය වන්නේ කොන්දේසි විරහිතව ආණ්ඩුව ප‍්‍රශ්ණ කිරීම පමණි.
    අපි දැන් හැරෙමු ඔබේ දෝශාරෝපයණන්ට පිළිතුරු දෙන්නට. ඔබ ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වානම් දකින්න ඇති අපි මුල් ෙඡ්දයේ අන්තිමට ලියා තිබෙන දෙය.

    1."නමුත් අඩව්ව අද උත්සහ ගන්නේ හාහූවක් නැති වත්මන් දේශපාලන පෙරලියන්ගේ සාධනීය පැත්ත ගැන කඩතුරාවක් ඔබට විවර කර දීමටයි."

    එ් නිසා ඔබ සිතන්නට එපා අප විපක්ෂයට මෙම බෙදීම මුළුමනින්ම වාසිදායකයැයි කීවා කියා. අප උත්සහ ගත්තේ සමස්ථය අනේ අපොයි කියන බෙදීම තුළ ඇති සාධනීය පැත්ත පෙන්නන්නයි. මන්ද මෙය මනාව විග‍්‍රහ කරගත හොත් විපක්ෂයට තම මැතිවරණ ප‍්‍රචාරණය උපක‍්‍රමිකව සාර්ථක කරගන්න පුළුවන්. එ් නිසා බොහෝ විට පාක්ෂිකයන්ගේ අතල් එක බින්දුවක්වත් නොකඩා හොඳ ඡන්ද ගානකට යන්න පුළුවං කියලයි අපි කියන්නේ. මේ නිසා අඩව්ව දෙක හතර නොතේරෙන බබෙක් නොවන බව ඔබට මතක් කරදීමට කැමතියි.

    2. එජාපය හා ජවිපෙ එකතු වෙලා ඉල්ලූවාම දෙපාර්ශවය වෙන වෙනම ඉල්ලූවාම ලැබෙනවාට වඩා ඡදන්ද අඩුවන බව අප කියනවා. නමුත් ඔබ වරහන් තුළ දක්වන දූෂණයක් ගැන අප මේ තුළ කියා නෑ. එ් දූෂණය දැනගන්න ඕනේ නම් ඩලස්ගෙන් අහන්න. ඔහු පැහැදිලිව කියයි මර්වින් පැරදුණු ආසනයේ බැසිල් දිනෙව්වේ කොහොමද කියලා. මේවා අපි නෙමෙයි ආණ්ඩුවමයි වමාරන්නේ. නමුත් ඔබ අඩව්වට ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නෑ. අපි එහෙම දෙයක් මේ ලිපියේ කියලා නෑ.

    3. ජෙනරාල්ට ඡන්දය ලැබුණේ නෑ කියලා අපි කියනවා. අපි කියන්නේ උතුරු නැගෙනහිර ජනතාව සම්බන්ධන් ඉල්ලූවානම් දෙන ඡන්ද ගාන ජෙනරාල්ට දුන්නේ නෑ කියලයි. හම්බුන ටිකත් හම්බුණේ සම්බන්ධන් හා රනිල් පිටිපස්සෙන් හිටපු නිසයි. නමුත් ඡන්ද ප‍්‍රතිඵල බැලූවනම් පෙනෙයි 70,000 ක් ලියාපදිංචි වෙලා ඉන්න තැන් වලින් 5,000 යි ඡන්දය දාලා තියෙන්නේ කියලා. නමුත් අපි කියන්නේ නෑ හැමෝටම හැඳුනුම් පත් තියෙනවා කියලා. එ්ත් බහුතරයක් ඡන්දය නොදා හිටියා. එ් ජෙනරාල් හා ජවිපෙ නිසයි. මේ තත්වයත් එක්ක මහින්දගේ ඡන්ද සොච්චම පටලගන්න එපා. ජෙනරල්ට හම්බුණ තරමින් කාලක්වත් නොලැබුණ මහින්දට එ් මිනිස්සු කීයටවත් කැමති නෑ. නමුත් සම්බන්ධන් හෝ රනිල්ට එයාලා ඡන්දය දෙනවා. එ් කියන්නේ එජාපයට එහේ විරෝධයක් නෑ කියන එකයි. එ් වුනත් මහින්ද නැතුව පක්ෂෙන් කාව දැම්මත් ඡන්දය දෙන්නෑ. එ් කියන්නේ මහින්දව ප‍්‍රතික්ෂේප කරනවා කියන එකම තමයි.

    3. අපි වෙන්වීම හොඳයි කියන්නේ සාක්ෂි සහිතව. නමුත් ජවිපෙ එ්ක මත්තේ අඬ අඬ හිටියට හෝ එජාපෙ ලැජ්ජාවෙන් කතා නොකර හිටියට මේ වාසිය ගන්න බෑ. අපි කියන්නේ මේ තත්වයන් තේරුම් අරන් ඔවුන්ගේ මැතිවරණ උපක‍්‍රම ශක්තිමත් කළ යුතු බවයි. හිතන්න ජවිපෙ හා එජාපෙ එකට කොහොමද ආර්ථික ප‍්‍රතිපත්ති හදන්නේ කියලා. අනික විදේශ ප‍්‍රතිපත්තිය. මේ නිසයි අපි කියන්නේ පැහැදිලි උපක‍්‍රමික බෙදීමක් වෙන මේක අපිට සාධනීයව භාවිතා කරන්න පුළුවං කියලා. එ් වගේම ඔබ කියූ පරිදිම අපි පිළිගන්නවා මේකේ අවාසි තියෙනවා කියලා. එ්ක වාසි සහගත තත්වයත් එක්ක පටලගන්න ඕන්නෑ කියලයි අපි කියන්නේ. මොකද ඕනේම දේක දෙපැත්තක් තියෙනවානේ. එහෙමයි කියලා දුක්වෙවී ඉඳලා වැඩක් නෑ.

    නමුත් අපි කිසිවිටෙකත් කියන්නේ නෑ කබරගොයා තලගොයා කරගන්න කියලා. එ් වගේම අපි කියන්නේ නෑ තලගොයා කබරගොයා කරගෙන පසුතැවෙන්න කියලත්. මොකද ඔබ නොදකිනවා වුණාට ජවිපෙ හා ජෙනරාල්ට තියෙන්නේ සිංහල-බෞද්ධ වටපිටාවක් සහිත මහින්දගේ උපක‍්‍රම වලට සමාන ක‍්‍රමවේදයන් සහිත අනන්‍යතාවයක්. එ්ත් එ්ක එජාපය ඉන්න තාක් කල් උස්සලා ගන්න බෑ. එ්වගේමයි සම්බන්ධන්ලා එකට ඉන්න තාක් කල් එ්ක ප‍්‍රමෝට් කරන්න බෑ. ඉතිං අඩව්වේ අපි කියන්නේ ජවිපෙ එජාපෙ අස්සේ රිංගලා ඡන්ද පදනම කඩා දානවට වඩා හොඳයි තමන් සතුව තිබෙන ආණ්ඩුවට සමාන අනන්‍යතාවය හරහා ආණ්ඩුවට අභියෝගයක් වෙන එක.

    ReplyDelete
  6. දෙවැනි ඇනී,

    අපි කැමතියි ඔබ කී වචන දෙකක්ම අරන් මේ කතාව කියන්න. අපි නිවැරදිව හඳුනාගත යුතුයි යතාර්ථය හා ෆැන්ටසිය ගැන. මොකද එහෙම නොවුනහම ෆැන්ටසිය යතාර්ථය වෙන්න ඉඩ තියෙනවා. ඔය ෆැන්ටසිය හැමවෙලේම හදන්නේ යතාර්ථය තමන් කියලා මිනිස්සුන්ගේන් පිදුම් ලබන්නයි. මිනිස්සුත් ආසයි ෆැන්ටසි වලට. මොකද එ්වා හරිම ආතල්. එ්වායේ ඉද්දි බාස්මතී හාල් 90ට ලැබෙනවා. සැමන් 149කි. අල 50ක් පමණි. මේ නිසා ෆැන්ටසි ෆුල් ආතල්ය. නමුත් යතාර්ථය කටුකය. එහි පෙට‍්‍රල් ලීටරය 120කි. කැරට් 100කි. ලීක්ස් 80කි. බෝංචි 120කි. පතෝලද 60කි. මේ නිසා මිනිස්සු යතාර්ථය ගැන මතක් කිරීමට පවා අකමැතිය. රෑට මතක් වුවොත් සිහිනෙන් බිය වෙති. මේ නිසා කටුක යතාර්ථය අමතක කරන මිනිසුන් ආතල්කාරී ෆැන්ටසියට හුරුවෙති. මෙයත් හරියට හදිසිනීතිය වැනිය. හැමදාම හදිසිනීතිය තිබූ හුරුවූ අපේ ජනතාව සාමාන්‍යනීතිය හදිසියේවත් එනවාට අකමැතිය. මන්ද එය ඔවුන්ට හුරුනැත.

    මේ නිසා බහුතරය යතාර්ථය යැයි කියනා මේ ෆැන්ටසියෙන් එහා සිට බැලීමට අඩව්ව උත්සහ ගනී. අපද ඔබේ මට්ටමේ සිට ලෝකය දකින්නේ නම් අප මෙලෙස විචාර ලිවීමට හෝ දේශපාලන විග‍්‍රහයන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. අපටද කෑම වට්ටෝරු හෝ ආගිය තැන් ගැන බ්ලොග් ලිවීමට හැකිය. එනිසා අප උත්සහ ගන්නේ ෆැන්ටසිගත ජනතාව යතාර්ථයට කැන්දාගෙන යෑමටය. නමුත් අපට ඇති අභියෝගය වන්නේ ඔබ කී පරිදිම කූඩුවේ සිටින පිස්සන් සිතන්නේ එළියේ ඉන්නේ පිස්සන් බව වීමය.

    ReplyDelete
  7. අපි ෆැන්ටසිය ගැන තව කතා කරමු.
    ඔයාගේ ලිපියේ මුලික අදහස "නමුත් සියළු තත්වයන් සලකා බලන කළ අඩව්වේ අපගේ ස්ථාවරය වන්නේ මේ අවස්ථාවේ විපක්ෂය තුළ පවතින බෙදීම අවාසියට වඩා වාසියක් සලසන බවයි."(ඔයාගෙම වචනයෙන්) කියල මම හිතන්නෙ.
    ඔයා මේ ලිපියෙන් කරන්නේ ඒක ඔප්පු කරන්න කරුනු ඉදිරිපත් කිරීම්.

    ඇත්තටම ඒක පෙරලුන පිට හොන්දයි කීමකට වැඩි දෙයක් නෙමේ. UNP එක වෙන්වුනේ JVP එක 2005 මහින්දට කරපු දෙය කරඉ කියල බයට. JVP එක එකතු වෙන්න හදන්නෙ වැඩි පිරිසක් පාර්ලිමෙන්තු යවගන්න. මෙ ටික තෙරුම් ගන්න බැරි තරම් ඔය මොඩ නෙති බව ඔන කෙනෙකුට තෙරෙනව. එහෙනම් ඔය මොකක්ඩ මෙ කරන්නෙ?
    මිනිස්සුන්ගෙ ෆැන්ටසි ගැන ඔයා කියපු දෙවල් ගොඩක් හරි. නමුත් මම කියන්නෙ ඔයාගෙ ෆන්ටසිය ගැන.
    ඔයා හදන්නෙ ෆොන්සෙකා ෆැන්ටසියෙ තවදුරටත් මිනිසුන් රදවගන්න ලිපි ලිවීම.

    ReplyDelete
  8. ඔබගේ අදහස් දැක්වීමට අපි ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම අද අපේ රටට අවශ්‍යය වෙන්නේ මේ විදිහේ හරවත් සංවාදයන් තමයි. අපි විශ්වාස කරන විදිහට විවාදයක් වුනත් සංවාදයක් වුනත් එ්ක හරාත්මකයි නම් එ් තුළින් මතවාදීමය තත්වයන් පෝෂණය වෙනවා. රටේ තියෙන සියලූ ගැටළු වලට අනාගතයේදී පිළිතුරු දෙන්න පුළුවං වෙන්නේ මේ මතවාදීමය බුද්ධිමතුන්ටයි.

    ඔබ කියන එජාප හා ජවිපෙ ගැන කතාව අද රටේ හැමෝම දන්නවා. එ්ත් එ්ක ගැන කතා කරනවනං 2005 සමග පටලගෙන සාමාන්‍යකරණය කරන්නත් බෑ. මොකද ජවිපෙ හා එජාපෙ එකතු වුණොත් එදා ජවිපෙට තිබුණ වාසිය එ් ආකාරයෙන්ම ලැබෙන්නේ නැති බවයි අපේ නම් මතය. එ්ක සංවාදයකට ගැනෙනවා නං කතාකරන්න අපි සූදානම්. දැන් අපේ කතාවට එ්ක අදාල නැති නිසා පැත්තකින් තියමු.

    ඔබ කියන විදිහට අපි කියනවා තමයි මේකේ අවාසි වලට වඩා වාසි වැඩියි කියලා. නමුත් එ් ඔබ සෑම දෙනාම දකින පැත්තෙන් දැකලා නෙමෙයි. මොකද එ් පොදු තර්කයේ අපිත් එළඹිලා හිටියොත් අපිටත් වෙන්නේ වෙන දෙයක් බලාගෙන කටඇරගෙන ඉන්න. නමුත් අපි දකින දෙයින් ටිකක් එහාට ගිහිල්ලා වෙන දේවල් සහ කරන්න පුළුවං දේවල් හොයාගෙන යනවා. මොකද අපි හිතන විදිහට එ්ක තමයි අපෙන් වෙන්න ඕනේ දේ. අපි මතවාදීමය වශයෙන් අපගේ පාර්ශවය ශක්තිමත් කරන ගමන් අපිට හැකි අයුරින් ක‍්‍රියාකාරීව දායක වෙන්න ඕනේ අපේ යතාර්ථය හොයා ගන්න. නැත්තං අපිත් පොදු ෆැන්ටසිය අස්සෙම හිර වෙනවා.

    කොහොම වුනත් මේ වෙලාවේ එජාපෙ හා ජවිපෙ එකතු වෙන්නේ නෑ. එ්කයි ඇත්ත. එ්වගේම එ් එකතු නොවීමට ඔබ දකින සහ මතුපිටින් පමණක් පෙනෙන ආසන පොරයට වඩා වැඩි දෙයක් තියෙනවා. එ්ක පක්ෂයෙන් ජනතාවට දක්වන හේතුව නෙමෙයි. එ් හේතුව විසින් වසංකරගෙන ඉන්න සැබෑ හේතුවයි. එ් හේතුව නිර්මාණය වෙන්නේ අතීතය අනාගතය කියන අවස්ථා දෙකට අනූව බිහිකරගත් වර්ථමානයේ ක‍්‍රියාකාරීත්ය තුළයි. නමුත් අපි ආසන ගණන දිහා බලලා හෝ එජාපයේ බෙදීම් ගැන දැකලා මේක කතා කරලා වැඩක් නෑ. එ් වගේමයි අපි යමෙක් දෙයක් කියපු ගමන් ෆොන්සේකාට කඬේ යෑමක් හෝ මහින්දට කඬේ යෑමක් විදිහට ධ‍්‍රැවීකරණය කරලා එ්ක දැකලත් වැඩක් නෑ. එ් නිසා අපි කියන්නේ ඔබ දකින මේ අහේතුක (නමුත් අපිට අනූව හේතුවක් මත වුණ) බෙදීම අවාසියකට වඩා වාසිදායකයි කියලා. නමුත් එ් සඳහා අපි කියන එකම කොන්දේසිය වෙන්නේ "නමුත් ජවිපෙ එ්ක මත්තේ අඬ අඬ හිටියට හෝ එජාපෙ ලැජ්ජාවෙන් කතා නොකර හිටියට මේ වාසිය ගන්න බෑ. අපි කියන්නේ මේ තත්වයන් තේරුම් අරන් ඔවුන්ගේ මැතිවරණ උපක‍්‍රම ශක්තිමත් කළ යුතු බවයි."

    ReplyDelete
  9. I think the worst possible outcome of this election is the JVP emerging as a strong opposition party by its own, as opposed to being a parasite extension leeching off UNP or SLFP votes.

    The JVP does not want stability and prosperity through a market economy. Wherever they've managed to get power, for example in IUSF (Antharey), their fascist, totalitarian politics have been quite evident. Their uncompromising trade unions are a major impediment to the country's development.

    I hope that the people who want a strong opposition will vote for the UNP and resist being seduced by Sarath Fonseka.

    ReplyDelete
  10. විපක්ෂය වෙන්ව තරග වැදීමේ වාසි අවාසි දෙකම තියෙනවා.කොහොමත් හැම ක්‍රියාවක්ම එහෙමයි.මහ මැතිවරනයකදී ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම වගේ තැනකදි ඔබ පෙන්වූ ප්‍රායෝගික දුෂ්කරතාවය සලකා බැලිය යුතු කාරනයක්.
    නමුත් අනෙත් අතට සැලකිය යුතු සාධකය සරත් ෆොන්සේකා සාධකයයි.අමතක කල නොහැකි දේ තමයි ගිය වර විපක්ෂයේ අපේක්ෂකයා දේශපාලන සිරකරුවෙක් කොට තිබෙන සන්දර්භයකයි මේ මැතිවරනය එලඹෙන්නෙ.ඒ අපේක්ෂකයා යටත් වෙනවා වෙනුවට දිගටම සටන් කිරීමට සූදානම් බව පවසමින්,ඒ වෙනුවෙන් එක්සත් වෙන ලෙස විපාක්ෂික බලවේග වලට ආයාචනා කරන සන්දර්භයකයි ඉතාම කට්ට්වාදී ලෙස අලියා ලකුන ගැනම අවධාරනය කරමින් වෙනම තරග කරන ආස්ථානයකට එජාප නායකත්වය යොමුවුනේ.සරත් ෆොන්සේකා සිරභාරයට ගැනීම සමග මතුවුන මහජන විරෝධය විධිමත් ලෙස කලමනාකරනය කරා නම් පොදු විපක්ෂයක් විදිහට ඊලග මැතිවරනයේදී රාජපක්ෂ කදවුර දෙදරවන්න තිබුනා.
    නමුත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද?
    දැන් මේක තනි අශ්වයාගේ සටනක් වෙන්න තියෙන ඉඩ වැඩියි.දැන් සටන්කාමී තරගයක් දෙනවා වෙනුවට අනේ 3න් 2 නම් දෙන්න එපා කියමින් ආරක්ෂනවාදී තැනකට පසුබහින්නයි විපක්ෂයට වෙලා තියෙන්නෙ.
    එකට තරග නොකිරීමට එජාපය ගත්ත තීරනයට බලපෑ ප්‍රධාන හේතු 2ක් මම දකිනවා.
    1.ෆොන්සේකාගේ ප්‍රතිරූපය ඉදිරියේ රනිල් වික්‍රමසිංහ ප්‍රතිරූපය පසුබෑමට ලක්වීම.පසුගිය ජනාධිපතිවරන ජනරැලි වල ජනතා ප්‍රතිචාර වලින් මේ කරුන හොදටම පෙනුනා.සාමාන්‍ය යූඇන්පී පාක්ෂිකයා තුල උත්තේජනයක් ඇති කලේ ෆොන්සේකා මිස වික්‍රමසිංහ නොවෙයි.
    2.ජවිපෙට වැඩි ආසන ප්‍රමානයක් ලැබේ යැයි යූ ඇන් පිය තුල තිබුන බිය.
    මේ බිය අස්ථාන බියක් බවයි මගේ අදහස.එකට තරග කලත් 10 ඉක්මවන ආසන ප්‍රමානයක් ජවිපෙට ලැබෙන්නෙ නැහැ.
    කොහොම නමුත් එක්සත් වීම ඇවැසි මොහොතේ එක්සත් නොවීමේ වන්දිය එජාපයට ගෙවන්න වෙන්නෙ දැන්ම නෙමෙයි.රජය කෙසේ හෝ 3න් 2ක් ගැනීමෙන් පසු එලඹෙන පරිසරය තුල.එක්තරා බ්ලොග් සටහනකත් මේ කාරනය සදහන් කරල තිබුන මට මතකයි.80 ගනන් වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වුන ඉරනම 2010න් පසු යූඇන්පිය සොයාගෙන ඒමට තිබෙන ඉඩ වැඩියි.
    චන්ද ලකුන,අලියා වගේ මනෝමූලික සංඥා වල එල්ලිගෙන සිටීම දේශපාලනිකව අමනෝඥයි.තීරන ගන්න ඕනෙ මතුවලො තියෙන දේශපාලන පරිසරයට සාපෙක්ෂව තත්වයන් කිරා මැන බලලා.
    විපක්ෂය බෙදී තරග කිරීම ගැන කනගාටුයි.ලිහිල් අවම එකගතාවයකට හෝ එන්න මීට වඩා උත්සාහ කල යුතුව තිබුනා.

    ReplyDelete

Related Posts with Thumbnails