Wednesday, February 24, 2010

මහින්දගේ කස්තිරමට පෙර අපි ඇල්ලූ අඩව්ව

අප මෙම සටහන තබන්නේ අඩව්ව කී අනාගත වාක්‍යයක ඔප්පු වීමේ තරම පෙන්වන්නයි. අඩව්වේ අප මෙම සටහන මීට පෙර මෙම අඩවියේම දක්වා ඇත්තේ 2009 ජූනි මස 5 වැනි දිනයේය. අපගේ ජූනි මස පළකිරීම් බලන ඔබට මෙම සටහන මේ ආකාරයෙන්ම දැකගත හැකි වන්නේය. නමුත් අප මෙම සටහන අඩව්වේම නැවත පළ කරන්නට අදහස් කළේ එදා අප කී දෙය අද කොතෙක් දුරට සිදුවී ඇත්ත යන්න තේරුම් ගැනීමටය. යුද්ධය නිම කිරීමේ ප‍්‍රීතියෙන් ජනතාව කිරිබත් කෑ සැටිත්, විපක්ෂ නායකයා රටින් එතෙරක සිට ජනාධිපතිතුමන්ට සුභ පැතූ සැටිත් ඒ වගේම ජනතා විමුක්ති
පෙරමුණ කොන්දේසි විරහිතව ආණ්ඩුවට කඬේ යමින් සිටි හැටිත් ඔබේ සිහියේ නගා ගෙන මෙය කියවන්නැයි අප ඉල්ලා සිටිමු. මන්ද මේ යුධ ජයග‍්‍රහණයත් සමග සමස්ථයම දේශපේ‍්‍රමීත්වය බදාගෙන සිටියද අපත් තවත් කීප දෙනෙකුත් පමණක් මෙසේ ප‍්‍රසිද්ධියේ එම බහුතරයේ දේශපේ‍්‍රමී කණ්ඩායමෙන් ව්‍යුක්තව තනිව හිඳ යතාර්ථය විස්තර කළ බව ඔබට නැවතත් සිහිපත් කළ යුතු නිසාවෙනි. නමුත් අද වන විට අප කී පරිද්දෙන්ම අපේ කණ්ඩායම ඉතා විශාල ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. මේ තත්වය මත අප
අනාගතය දකින ආකාරය මෙයම බැව් ඔබට කීමට කැමැත්තෙමු. එදා අප කී දෙයින් බිඳකුදු අප ඉවත් වී නොමැත. අපගේ සටන එකම ඉලක්කයක් වෙතයි. අප කිරිබත් කන්නේත් ප‍්‍රීති ඝෝෂා නගන්නේත් සැබෑ ජයග‍්‍රණය ලැබූ දාටය. එය අපගේ නොව ජනතාවගේ ජයග‍්‍රහණයයි.


මේ එදා අප කී කතාව සහ එහි තිබූ රූපයන්මය.


"විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රීසිංහලාධීශ්වර (හාමුදුරුවරු දෙන්නාගේ ගරු නාමය) මහින්ද මහරජතුමන් (ප‍්‍රසන්න රණතුංගගේ ගරු නාමය) විසින් ශී‍්‍ර ලංකාවෙන් ත‍්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සිංහනාදයක් කරන ලදි. එහිදී කියා සිටියේ අපට මෙතෙක් තිබුණේ අභිමානවත් අතීතයක් පමණක් බවත් නමුත් අද සිට අපට අභිමානවත් අනාගතයක්ද පවතින බවත්ය. මෙතකින් නොනැවතුණු මහින්ද නරිඳුන් (ආචාර්්‍ය මර්වින් සිල්වාගේ ගරු නාමය - මර්වින් සිල්වා ආචාර්‍ය යන්න ලියන්නේ ඉහත පරිදිය.) අද සිට ලංකාව තුළ සුළුජාතියක් හෝ මහජාතියක් නැති බව කියා සිටියේය. එසේම අපේ ජනපතිඳාණෝ (ඇතුගලගේ ගරු නාමය) කිවේ අද සිට සිටින්නේ මාතෘ භූමියට ආදරේ කරන පිරිසක් සහ මාතෘ භූමියට ආදරේ නැති පිරිසක් පමණක් බවයි.

මෙහිදී මාගේ ස්ථාවරය නම් මම මාතෘ භූමියට ආදරේ නැති අයෙකු බවයි. එනම් මා ඉපදුනු සහ හැදුණු වැඩුණු මව් බිමට ආදරේ නැති බව නොවේ. මහින්ද රාජපක්ෂ විසින් මවා දී ඇති මාතෘ භූමියට ආදරේ කරන පිරිස නම් වූ කණ්ඩායමට මා අයත් නොවන බවයි. එබැවින් ඔහු විසින් මවා දුන් අනෙක් එකම කණ්ඩායම වන මාතෘ භූමියට ආදරේ නොකරන පිරිස නම් වූ කණ්ඩායමට මා ඉබේම වැටී ඇත. එබැවින් අද සිට මා ශ‍්‍රී ලංකාවේ වෙසෙන සුළුජාතිකයෙකු වෙමි.

නමුත් මේ සුළුජාතීන්ගේ කණ්ඩායමේ මට තනියක් නොදැනෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ මක්නිසාද යත් මාගේ කණ්ඩාමට තව විශාල පිරිසක් පැමිණීමට නියමිත බැවිනි. ඒ අතරින් මුලින්ම මාහා එක්වනු ඇත්තේ NGO කණ්ඩායමය.(ඩොලර් කාක්කන් යන ගරුනාමය ඔවුන්ට දී ඇත) දෙවනුව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ UNP කාරයන්ද මාගේ ගොඩට වැටෙනු ඇත. (පරදේසක්කාරයන් යන ගරුනාමය දී ඇත) මේ දෙපිරිස පැමිණීමෙන් පසුව, අනෙක් පිරිස එන තුරු ටික කලක් අපට මගබලා සිටීමට සිදුවනු ඇත. ඒ ඇයි කියනවානම් ඔවුන්ට ලේබල් එක වැදෙනුයේ මැච් එක සෙල්ලම් කරමින් යන අතරතුරදී වන බැවිනි.

ටික කලක් යන තෙක් යුද්ධයේ ආතල් එක පක්ෂ බේදයකින් තොරව බෙදාගත්තද නැවත UNP කාරයන්ගේ අලි ගඳ දැනෙන්නට පටන් ගන්නේ බඩුමිල, අල්ලස්, දුෂණ, මැරකම්, මිනීමැරුම් හා අයිතිවාසිකම් ආදිය ගැන යම් මොහොතක කට හෙල්ලූ විටය. ඒ සැනින් මාතෘභූමියට ආදරේ කරන දේශපේ‍්‍රමී ජනතාව මේ ගුණමකුවන්ව බෙල්ලෙන් අල්ලා පශ්චාත්භාගයටද පයින් ගසා මාගේ කණ්ඩායමට ඇද දමනු ඇත. ඉන්පසුවද මහින්ද ප‍්‍රමුඛ දේශපේ‍්‍රමී කණ්ඩායම ආතල් පිට මැච් එක සෙල්ලම් කරමින් සිටින අතර තුරදී යුධ අපරාධ, ආයුධ ජාවාරම් වැනි යෝකර් එවන බුද්ධිමත් ජනතාවද මාගේ කණ්ඩායමටම තල්ලූ කර දමනු ඇත.

මාගේ සුළුතර කණ්ඩායමට එන (දේශපේ‍්‍රමීන් විසින් යොමුකරනු ලබන) ක‍්‍රීඩකයන් මෙතකින්ද නොනවතිනු ඇත. පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සාමාන්‍ය නීතියටත් වඩා සාමාන්‍ය කරගැනීමට කොතෙකුත් කඬේ ගියද යම් දිනෙක JVPය ඡන්දය නොදෙන තැනදී යම් හිරිකිතයකින් වුවද ඔවුනුත් මාගේ කණ්ඩාමට ගැනීමට සිදුවනු ඇත. එපමණක්ද නොව ඊලඟ මැතිවරණයට නාමයෝජනා දීමට යන විට PA+UNP+JNP+JHU හා TMVP යන සියල්ලේම මන්ත‍්‍රීවරු පොරකා ලිස්ට් එකට රිංගා ගැනීමට නොහැකි වූ විට හිතේ අමාරුව වැඩිවී කට පාලනය කරගැනීමට නොහැකි වනු ඇත. එසේ වන මන්ත‍්‍රීවරු පමණක් නොව දැන් සිටින ඇමතිවරුන් පවා මාගේ කණ්ඩායමේ සාමාජිකයන් කරගැනීමට සිදුවනු ඇත.

තවද මහින්ද රජතුමන්ට ඔටුනු පැලඳීමට හැකි පරිදි ඊලඟ ව්‍යවස්ථාව සම්පාදනයට වැඩ ඇල්ලූ විට ඊට විරුද්ධව තීන්දු දෙන අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හා බහුතර නීතීඥයන්ද, ඒකාධිපති ව්‍යවස්ථාවකට එකඟ නොවෙන ආණ්ඩුවේ ඇමතිවරු හා මන්ත‍්‍රීවරුද එයට විරුද්ධව කථා කරන විශ්ව විද්‍යාල ආචාර්‍යවරුද, ශිෂ්‍යයන්ද, වෘත්තීය සමිති සාමාජිකයන්ද, මාධ්‍යකරුවන්ද මාගේ ගොඩටම වැටෙනු ඇත.

එබැවින් මේ මොහොතේ මා තනිවම ඉන්නා කණ්ඩායම තව නොබෝ දිනකින් ක‍්‍රමයෙන් 30% සිට 90% - 95% දක්වා වර්ධනය වනු ඇත. ඒ වන විටත් අපට දී තිබෙන නම ‘මාතෘභූමියට ආදරේ නැති’ යන්න වුවද අප තවදුරටත් සුළුතරය නොවන බවනම් ඉතා පැහැදිලිය.මේ අනාගත දිනයේදී සුළුතරය වනුයේ මහින්ද මහ රජතුමන්, අගබිසව ප‍්‍රමුඛ අන්තඃපුරය, පුත් කුමාරවරු හා සහෝදර කුමාරවරුනුත් ඇමති මණ්ඩලයත්ය. (මේ ඇමති මණ්ඩලය යනු දැන් සිටින ඇමති මණ්ඩලය නොවේ. එය ඊට වඩා වෙනස් වූවකි)

මේ දින පැමිණි විට අතිබහුතර ජනතාව අපේ කණ්ඩායමේ නම වෙනස් කිරීමට තීරණයක් ගනු ඇත. එදාට අපි බහුතරය වනවා පමණක් නොව දේශපේ‍්‍රමීන්ද වන බව නොඅනුමානය."

Monday, February 22, 2010

විපක්ෂය බෙදිලා. අපිට වාවගන්න බෑ............... ඩලස් අඬයි. විමල් හොටු පිසියි.



වත්මන් දේශපාලන කරලිය යම් තක්කු මුක්කු ගතියකට පත්ව ඇතැයි අඩව්ව කල්පනා කරයි. මන්ද දේශපාලන වේදිකාවේ මතුවී ඇති බෙදීම් සහ අදහා ගත නොහැකි ඒකපාර්ශවික නිශ්ශබ්දතාවයක් නිසා ශ‍්‍රී ලාංකික ඡන්දදායකයා එක් අතකින් අපේක්ෂාභංගත්වයකටත් තවත් අතකින් ආත්මාර්ථකාමීත්වයකටත් එළඹ ඇති බවක් දක්නට ලැබේ. මේ අපේක්ෂාභංගත්වයට පත්ව ඇත්තේ ජවිපෙ සහ එජාපය එකට සිටගනු ඇතැයි සිහින දුටුවන්ය. ආත්මාර්ථකාමීත්වයකට එළඹ ඇත්තේ තම පක්ෂයට ලැබෙන ආසන ගණන ගැන ගණන් බැලූවන්ය. මේ අනුව වත්මන් විපක්ෂය නියෝජනය කරන්නේ අවස්ථාවාදීන් සහ අනුන්ගේ පහණෙන් එළිය බැලීමට තනන්නන් බව ජනප‍්‍රිය රැල්ල ප‍්‍රතික්ෂේප කරන විසම්මුතික මතධාරීන්ගෙන් අති බහුතරයගේ දේශපාලන කියැවීම වන්නේය. නමුත් අඩව්ව අද උත්සහ ගන්නේ හාහූවක් නැති වත්මන් දේශපාලන පෙරලියන්ගේ සාධනීය පැත්ත ගැන කඩතුරාවක් ඔබට විවර කර දීමටයි.

තුනෙන් දෙකක සිහින දකින ආණ්ඩු පාර්ශවයේ තත්වය පිළිබඳව අප මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු නොවෙමු. අප උත්සහ ගන්නේ ජනාධිපතිවරණයේදී එකට සිට මේ මොහොත වන විට වෙනමම පෙරමුණු හරහා මැතිවරණ සටනට එළඹීමට බලාපොරොත්තු වන සහ එළඹීමට සිදුව තිබෙන විපක්ෂයේ ක‍්‍රියාකලාපය පැහැදිලි කරගැනීමටයි. අප මුලින්ම බැලිය යුත්තේ ජනාධිපතිවරණයේදී ජනප‍්‍රිය රැල්ලට අභියෝග කරමින් විපක්ෂව එකතු වූයේ කවුද කියාය. ඒ අනුව ශ‍්‍රී ලාංකික දේශපාලනයේ සුප‍්‍රසිද්ධම චරිත දෙකක් වන එජාපය සහ ජවිපෙ මෙහිදී එකතු වූයේ බොහෝ දෙනෙකුගේ ඇස් උඩයවමිනි. (මෙම හවුලේ වතගොත දිගහැරීමට මෙය සුදුසු අවස්ථාවක් යැයි නොසිතමු) මීට අමතරව සුළු ජාතීන් නියෝජනය කරන්නන් අතරින් ශක්තිමත්ම පක්ෂ දෙක වන මු.කෝ සහ ටී.එන්.ඒ පෙරකී හවුලට එකතු වූයේ මෙතෙක් ඉතිහාසයේ සෑදුනු පළල්ම හා ශක්තිමත්ම පෙරමුණ මෙය යැයි සෝමවංශගේ විරුධාවලියද හිමිකරගන්නා ගමන්ය. මෙතෙකින්ද නොනැවතී නීතීඥ විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, වැනි ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ද, මඩකළපුව හා ත‍්‍රීකුණාමලය නගරාධිපතිවරු, සහ වතු අංශය නියෝජනය කළ ඇමතිවරු පවා එක්වී දිනෙන් දින ශක්තිමත් කළ මෙම පෙරමුණ මැතිවරණයට ඉදිරිපත්වී ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් එල්ල කළේය. නමුත් අවසන් ප‍්‍රතිඵලය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 57% ක ඡන්ද ප‍්‍රතිශතයක් සහිතව ජයග‍්‍රහණය කිරීමයි. අප පෙරකී ලෙසම මේ ප‍්‍රතිඵලයද විචාරය කිරීම අපගේ මාතෘකාවට අදාල නොවන්නේය.

දැන් ඔබේ සිතේ නැගෙන ප‍්‍රශ්ණය වන ”එහෙනම් මොනවද මේ ලිපියට අදාල වෙන්නේ” යන්නට අප දැන් පිවිසෙමු. අප කතා කරන්නේ ජවිපෙ එජාපයෙන් වෙන්වී යන ගමනේ තිබෙන වාසි ගැනය. මෙහිදී අප මුල්ම සාධකය කරගන්නේ ජවිපෙ සහෝදරවරුන්ගේ මානසිකත්වයයි. බොහෝ සහෝදරවරුන්ගේ මුවින් කියැවුණු පොදු වාක්‍යයක් වන්නේ ”අපේ උන්ව මරපු එජාපෙට අපි කොහොමද ඡන්දය දෙන්නේ” වන්නයි. මෙහි සැඟවුණු සැබෑ යථාර්තයක් තිබේ. එය ඔබ හා අප මෙන් ක‍්‍රමයේ වෙනසක් දකින්නට උත්සහ කරන්නන්ට නොපෙනෙන අතීත මතකයන් ශක්තියක් කරගෙන පාප්ප බාල්දිය හා පරණ කොසු කැබැල්ලක් රැගෙන රෑ තිස්සේ පෝස්ටර් ගැසූ අපේ ගමේ ජෙප්පට දැනෙන දෙයකි. ඔවුන්ගේ දේශපාලනය මහින්දගේ ආධාරකරුවන්ගේ දේශපාලනයට වඩා හැතැප්ම ගණනක වෙනසක් පවතී. මන්ද ඔවුන්ට ආණ්ඩු බලයක් මේ ජීවිතේට ලැබෙන්නේ නැත. එනිසා අමාත්‍යංශ වල රැකියා හෝ කොන්ත‍්‍රාත් ගැන ඔවුන්ට සිහින නැත. එසේම පාර්ලිමේන්තුවේද දැවැන්ත බලයක් හිමිනොවේ. ඒ නිසා අඩුම තරමේ මැතිවරණයෙන් පසු මන්ත‍්‍රීවරයෙක් සමග පරණ ජීප් එකකවත් යන්නට ඔවුන්ට ලැබෙන්නේත් නැත. එබැවින් අප බැලිය යුත්තේ එහෙව් අල්පේච්ඡ පැතුම් සහිත සහෝදරවරුන් දේශපාලනයක් කරන්නේ මන්ද කියාය. සත්‍ය ලෙසම එම ආත්මාර්ථකාමී නොවූ මිනිසුන් පක්ෂය වටා රැස්කර තබන ප‍්‍රධානම ශක්ති ප‍්‍රභවය වන්නේ අතීතයේදී තමන් මර්ධනය කිරීමෙන් සහ තම සගයන් බල්ලන් මෙන් ලයිට් කනු වල එල්ලා මරා දැමීමෙන් තම සිත් තුළ ජනිත කරවූ වේදනාවයි. මෙය සමස්ථ ජවිපෙ ආධාරකරුවන්ගේ හේතුව නොවූවත් අතිබහුතරයට බලපාන ඍජු හෝ වක‍්‍ර හේතුව වන්නේය. තත්වය එසේ නම් අප එසැනින් සොයා බැලිය යුත්තේ මේ වින්නැහිය ඔවුන්ට කළේ කවුද කියාය. ඔවුන් දකින පරිදි එය සිදුකළේ රනිල්ද අසුන්ගෙන සිටි එජාපයේ ආණ්ඩුවය. මේ අනුව ජවිපෙ සහෝදරවරුන්ගෙන් ලොකු ප‍්‍රතිශතයක් තම ධනවාදී සතුරාට එරෙහිවන්නට නොහැකි තැන ඡන්දය භාවිතා නොකර සිටියෝය.

අප මේ සාධකයම අනෙක් අතටත් යොමා බැලිය යුතුය. මන්ද 88/89 යුගයේ මියගියේ ජවිපෙ සහෝදරුවරුන් පමණක් නොව. එහිදී ජවිපෙ සහෝදරවරුන් අතින් මැරුම් කෑ එජාප පවුල් වල සාමාජිකයන් ගණනද අති විශාලය. ඔවුන්ගෙන් බහුතරය පොලීසියේ, හමුදාවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක සේවය කළවුන් විය. තත්වය එසේ නම් අපගේ පළමු සාධකයේ දෙවැනි පාර්ශවය වන එජාපයත් තම ඡන්ද වලින් යම් ප‍්‍රතිශතයක් අහිමි කරගත් බව ඔබට වැටහෙනු ඇත. ඒ දකුණේ තත්වය ගෙන බලන කල තත්වයයි. උතුරු නැගෙනහිරට වන්නටත් මෙය දරුණුවට බලපා ඇත. මන්ද දෙමළ ජනතාව යුද්ධයට පාර කැපූ ජවිපෙට කිසිදා ඡන්දය නොදෙති. එසේම යුද්ධයට නායකත්වය දී තම ජනතාව මරාදැමූ ජෙනරාල්ටත් ඔවුන් කිසිසේත් කැමති නැත. එය පහුගිය ජනාධිපතිවරණයේදී මනාවට දිස්විය. එනිසා ජෙනරාල් හා ජවිපෙ නැති පෙරමුණකට හා ඔවුන්ට සහයෝගය දීමට එන සම්බන්ධන්ට ඔවුන් තම මනාපය පළ කරනු ඇත. එනිසා පළමු සාධකය අනුව ගෙන බලන කළ එජාපය නිසා ඡන්දය නුදුන් ජවිපෙ සහෝදරවරුන්ගේත් ජවිපෙ නිසා ඡන්දය නුදුන් එජාප පාක්ෂිකයන්ගේත් සියළු ඡන්ද ලබාගැනීමට මෙමගින් දෙපාර්ශවයටම ඉඩ ලබාදෙනු ඇත.

අපගේ දෙවන සාධකය වන්නේ අහසට පොළව බඳු ජවිපෙ හා එජාපෙ ප‍්‍රතිපත්ති එක වේදිකාවකදී පොදු එකඟතාවයකින් එළිදැක්වීමට නොහැකි වීමෙන් පාක්ෂිකයා තුළ ඇතිවූ පාලූව මෙවර තුරන් වීමයි. අප දන්නා පරිදි එජාපෙ යනු ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් පෙරටු කරගත් බටහිර හිතවාදී විදේශ ප‍්‍රතිපත්තියක් සහිතව යන ගමනක් ඇති පෙරමුණකි. නමුත් ජවිපෙ යනු සමාජවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් පෙරටු කරගත බටහිර ප‍්‍රතික්ෂේප කරන විදේශ ප‍්‍රතිපත්තියක් සහිත පක්ෂයකි. එනිසා මේ අහස පොළව බඳු ආර්ථික ප‍්‍රතිපත්ති අනිවාර්‍යයෙන් දිගහැර පෙන්වීමට සිදුවන මෙම මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කටපුරා කියමින් විදේශ ප‍්‍රතිපත්තිය පිටුව නොදමා හැරියා මෙන් කොලේ වසා ගැසීම් කළ නොහැකි බව නම් සත්‍යයකි. එනිසා එකම වේදිකාවක කිසිදාක ජවිපෙට හා එජාපෙට තම ආර්ථික හා විදේශ ප‍්‍රතිපත්ති කටඇර කිවහැකි නොවන්නේය. නමුත් මෙය මහමැතිවරණයක් වන බැවින් තම පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කිසිඳු අඩුවකින් තොරව තම පාක්ෂිකයාගේ මනෙදාළ පිරෙන පරිද්දෙන් දීම අනිවර්‍ය කාර්‍යයක්ද වන්නේය. ඒ අනුව මේ තත්වය යටතේ එජාපෙ පාක්ෂිකයන්ගේ රුචිකත්වය පරිදි ධනවාදී හා පූර්ණ විවෘත ආර්ථික ක‍්‍රියාවලියක් මූලික කරගත් ආර්ථිකය යළි නගා සිටුවීමේ හැකියාව ගැන අපේක්ෂකයන් වේදිකාවල් පුරා කියනු ඇත. එසේම ජවිපෙද තම පාක්ෂිකයන් සන්තෝෂ වන පරිද්දෙන් ජනාධිපතිවරණයේදී කියන්නට නොහැකි වූ සමාජවාදී හරයන් සහිත ආර්ථික ක‍්‍රමයන් ගැන වේදිකාවල් දෙවනත් කරනු ඇත.

අප දකින තෙවැනි සාධකය වන්නේ මහින්දගේ පවුල්වාදය සහ දුෂණය ප‍්‍රතික්ෂේප කරන නමුත් එජාපයේ බටහිරගැති (ඔවුන් සිතන ආකාරයට) ප‍්‍රතිපත්ති වලට එකඟ නැති ඡන්ද ප‍්‍රමාණය ජෙනරාල් හා ජවිපෙ වටා රොක්කර ගත හැකි වීම. මෙවන් ඡන්දදායකයන් පිරිසක් අළුතින්ම රටේ බිහිවී ඇත. මොවුන් එක්කෝ මහින්දගේ ක‍්‍රියාකාරීත්වය නිසා ප‍්‍රතිපත්තිමය වශයෙන් බිඳුන පිරිස විය හැකිය. නැත්නම් අලූත් මැස්සන් අසූචි ගොඬේ එල්ලීම නිසා ඉවතට විසිවූ පරණ මන්ත‍්‍රීවරුන්ගේ හා නාමයෝජනා අපේක්ෂාවෙන් කඬේ ගොස් ඇණගත් ආධාරකරුවන්ගේ බලපෑම මත ආණ්ඩුවට ෂොට් එකක් දීමට බලාපොරොත්තු වන්නන් විය හැකිය. මේ පිරිස දෙස බලන විට පෙනෙන ප‍්‍රධානම ලක්ෂණය වන්නේ මෙතෙක් ලංකාවේ මවා තිබූ සිහින ලෝකය වන සිංහල-බෞද්ධ ජාතිවාදය නම් තොටිල්ලේ නැලවෙමින් මානුෂීය මෙහෙයුම නම් රාමවික‍්‍රමගේ ටෙලිනාට්‍යයේ අවසානයේ කිරිබත් කා බඩපුරවා ගත් අය වීමයි. එබැවින් මොවුන්ගේ දිවවල් තාමත් රනිල් රටපාවාදුන්නා වැනි දෑ හිටිගමන් කියන්නේ කට බොරුකීවත් දිව එසේ නොකරන නිසාය. එබැවින් එකවරම එජාපය සමග සිට ගැනීමට මොවුන්ට ශක්තියක් නැත. නමුත් ජවිපෙ සමග එතරම් පරහක් මොවුන්ගේ සිත්වල නැත. මන්ද ආණ්ඩුව යුද්ධ කරන තැනට ගෙන ගියේත් යුධ සමයේ ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දුන්නේත් ජවිපෙ සහෝදරවරුන්ය. එපමණක් නොව ඔවුන්ට තවත් ශක්තියක් ඇත. ඒ එදා තමන්ගේ වීරයා වූත් මහින්ද තමන්ට මෙන්ම ෂොට් එක දී එලවා දැමූ ජෙනරාල්වරයාය. ඒ අනුව මොවුන්ට සෙට්වී කතාකිරීමට මහාපොදු සාධකයක්ද ඇත. එබැවින් මොවුන්ට කිසිඳු හිරිකිතයකින් තොරව මේ ජවිපෙ හා ජෙනරාල් සිටින නැවට නැගිය හැකිය. මෙම සාධකය හරහා පෙන්වූ පිරිස හා පෙරකී ජවිපෙ ස්ථීර ඡන්ද පදනම භාවිතා කර හැකි සෑම දිස්ත‍්‍රික්කයකින්ම අසුනක් දිනා ගැනීමට ජවිපෙ බලාපොරොත්තුවේ. ඒ අනුව එලෙස ජවිපෙට එන ආසනය නරකට හිටින්නේ එජාපෙට නොවේ. මන්ද මේ ආසනයට දායකවන්නන් එජාපෙය සිටියේ නම් ඡන්දය නොදෙන නිසාය. එවිට එහි වාසිය ලබා ගන්නා ආණ්ඩුවට මේ අවස්ථාවේදී මෙය හරහට සිටින්නේය.

මේ අනුව ඉහතදී අප පෙන්වා දුන්නේ සන්ධානගත නොවී වෙන්ව ඉල්ලීමේ වාසියයි. මෙහි අවාසි තත්වයන්ද නැතුවාම නොවේ. නමුත් සියළු තත්වයන් සලකා බලන කළ අඩව්වේ අපගේ ස්ථාවරය වන්නේ මේ අවස්ථාවේ විපක්ෂය තුළ පවතින බෙදීම අවාසියට වඩා වාසියක් සලසන බවයි. රනිල් ජනාධිපතිවරණයට නොඑන තැන රනිල් ගැන කියා කිඹුල් කඳුළු හැලූ ඩලස්ලා දැන් විපක්ෂයේ බෙදීම ගැනත් අඬන්නට පටන්ගෙන ඇත. විපක්ෂය බෙදී වෙන්වීම ගැන ඇඬෙන විමල්ලාට නොපෙනුනාට ආණ්ඩුවද බෙදී වෙන්වී ඇත. ඔය කිඹුල් කඳුළු එතැනදී සතුටු කඳුළු වන්නේ ඇයි දැයි අප විමසා බැලීම වටී. ආණ්ඩුව සමග සිටි ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඞී.පී ය උතුරේ තරඟ කරන්නේ වෙනමය. නැගෙනහිර බලය සහිත කරුණාරත්නගේ ටී.එම්.වී.පී ය නැගෙනහිර තරඟ කරන්නේත් තනිවමය. තත්වය එසේ නම් අප දැන් විමසා බැලිය යුත්තේ මේ ගැන ඩලස්ලා නාඩන්නේ ඇයි කියාය. ඕනෑම දෙක හතර තේරෙන පොඩි එකෙකුට වුවද ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය දුටුවිට පෙනෙන දෙයකි මහින්දට උතුරු නැගෙනහිර ජනතාව බින්දුවක්වත් කැමති නැති බව. තත්වය එසේ නම් ආණ්ඩුවේ නම ගාගෙන ඩග්ලස්ලාට ලැබෙන ඡන්ද ටිකත් නැතිකරගත යුතු නැත. එනිසා ආණ්ඩුව සමග පොඩි අවුලක් දමා ගත් බවක් පෙන්නා තනිවම ගියහොත් දෙමළ ජනතාව රවටා ටී.එන්.ඒ එකට යන ආසන කීපයකට ෂොට් එක දීගන්නට හැකි බව ඔවුහු සිතති. ඒ ඔවුහු කියුවේ ඩග්ලස්ලාට නොව නැවතත් මහින්දට, බැසිල්ට, ඩලස්ට හා විමල්ටමය. නැගෙනහිර සම්බන්ධයෙන්ද තත්වය එසේමය. එනිසා ආණ්ඩුව සමග නොයන බවක් පෙන්නා තමන්ගේ දෙමළ මූණු ටිකට ඡන්දය බාගෙන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ තුනෙන් දෙකේ දානයට සම්මාදම් වන්නට හැකි බව ඔවුහු සිතති. මේ අනුව අප දකුණේ ඡන්දදායකයා ගැන සිතා එජාපෙ අතහැර ජවිපෙ වෙනම යෑමේ වාසි සහගත තත්වය කීවා සේම උතුරේදී හා නැගෙනහිරදී ඩග්ලස් හා කරුණා ආණ්ඩුව අතහැර යෑමේ හොඳ මෙයයි.

කෙසේ වුවද අද විපක්ෂයේ තිබෙන බෙදීම රටට පෙන්වන ආකාරයේ අහඹු හෝ ආත්මාර්ථකාමී එකක් නොවන බව අප තේරුම් ගත යුතුය. එය රාජිත හා විමල් එකට කරට අතදාගෙන පවුල් කන සන්ධාන ආණ්ඩුවේ සදාචාරාත්මක භාවයට එහාගිය තාර්කිකත්වයක් මත ගොඩනැගුණු ප‍්‍රතිඵලදායක බෙදීමක් බව අඩව්වේ අප පාඨකයන් වෙත සතුටෙන් කීමට කැමත්තෙමු.

කෙසේ වුවද අවසාන වශයෙන් අප මතක තබාගත යුතු දෙය වන්නේ මෙය මහමැතිවරණයක් යන වගයි. එනිසා වැඩි ආසන සහිත පිරිස ආණ්ඩුව පිහිටුවති. ඉතුරු සියලූ පක්ෂ විපක්ෂව සිටිය යුතුය. මේ අනුව එකට එකතු වී ඡුන්දය ඉල්ලූවද වෙනමම ඉල්ලූවද අවසානයේ තමන් සතුවන ආසන ගණන අනෙකුත් පක්ෂ සමග මුසු කිරීමට දක්වන පෙළඹීම මත තම පක්ෂය සිටින්නේ ආණ්ඩු පාර්ශවයේද විපක්ෂයේද යන්න තීරණය කෙරේ. එනිසා වෙනමම ඉල්ලීමෙන් සිංහල ජාතිවාදී අසූචි නොගාගන්නා ඩග්ලස් හා කරුණා පාර්ලිමේන්තුවේදී මොන බොරුවක් හෝ කියා ආණ්ඩුවට සෙට් වෙන අතර එ් හරහා උපරිම ආසන ගණනක් උදුරාගෙන තුනෙන් දෙකේ ආණ්ඩුවකට ඔවුන් සිහින දකිති. විපක්ෂයේ තත්වයද එයමය. ජවිපෙ වෙනමම ඉල්ලූවද ඔවුන්ද තම ආසන කීපය රැගෙන අවසානයේදී එජාපෙන් පත්වන අළුත් මුහුණුත් සමග විපක්ෂව සිටගත යුතු වන්නේය. කෙසේ වුවද තම ඡන්ද පදනමෙන් කුට්ටියක් කඩාගෙන පාර්ලිමේන්තුවේදී අත්පොලසන් මැද දේශපේ‍්‍රමීන් බිහිවන්නට නොදී එජාපය තම අපේක්ෂකයන් රැකගන්නා තාක් සහ ජවිපෙ තම උපරිම ශක්තිය යොදා ජෙනරාල්ගේ පෞරුෂයද මනාලෙස යොදවා හොඳ ඡන්ද ප‍්‍රමාණයකට යන තාක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් බිහිවීම වලක්වන්නට නොහැකි බව අඩව්වේ විශ්වාසයයි.

.

Saturday, February 20, 2010

හිට්ස් වලට ලෝභ වූවන්ගේ වීරක‍්‍රියාව නොහොත් දේශපාලන ලිපි පිටුවහල් කිරීම.


සිංහල බ්ලොග්කරුවන් අතරින් අතලොස්සක් මේ දිනවල කණගාටුවෙන් සිටින බව අප ඔබ හැම අතරේ පවසා සිටිය යුත්තේ මතුවී ඇති තත්වය තවමත් ජනතාව අතරට ගොස් නැති නිසාවෙනි. මේ සිද්ධියේ මුලක සිට පවසන්නේ නම් කතාව මේ ආකාරයට දිග හැරිය හැක. සිංහල බ්ලොග් ලියන්නන් බිහිවුනේ ඈත අතීතයේ නොව. ඒ ඉතා මෑතදීය. මෙලෙස බිහිවූ බ්ලොග් ලියන්නන්ගෙන් බහුතරය බ්ලොගර්ස් අඩවිය හෝ වර්ඞ්ප්‍රෙස් අඩවිය හරහා තම බ්ලොග් අඩවිය නිර්මාණය කරගත් අයයි. නමුත් මේ බ්ලොග් කියවන්නන් ප‍්‍රමාණය ඉතාම සීමිත වූයේ ඒවා වෙබ් අඩවි මෙන් ජනප‍්‍රිය නැති නිසාය. එනිසා එතෙක් පැවති හිඩැස පුරවමින් සිංහල බ්ලොග් කියවනය යන්න ආරම්භ කිරීමට සිංහල බ්ලොග් සංගමය කටයුතු කරන ලදි. මෙය අප දකින ආකාරයට බ්ලොග් ලියන්නන්ට කළ ඉමහත් සත්කාර්‍යයකි. එපමණක් නොව එය ශ‍්‍රී ලාංකීය පාඨකයන්ටද කළ උපකාරයක් වන්නේ ඉතා හරබර ලිපි ලියැවෙන මෙම අඩවි ජනතාව අතරට යෑමට මෙම ක‍්‍රියාවෙන් ඉඩකඩ විවර වීම නිසාවෙනි.

බ්ලොග් කියවනයේ කතාව එය වන අතර දැන් මතුවී ඇති තත්වය වටහා ගැනීමට එය වැදගත් වන්නේය. මෙලෙස සිංහල බ්ලොග් ලියන්නන් හැම දෙනාගේම ලිපි මෙම කියවනයේ මුල් පිටුවේ පළ වන අතර එය නැවත වර්ගීකරණයක් කර දේශපාලනික, පෞද්ගලික, විනෝදාස්වාද, ආගමික ලෙස වෙන් කර පළ කිරීමක්ද කරනු ලබයි. නමුත් මුල් යුගයේදී මේ හැම වර්ගකිරීමකටම අදාල ලිපි පළමුව මුල් පිටුවේ පළ වුණ අතර එය නැවත වර්ගීකරණය කරන ලද පිටුව තුළ පළ වීමක් සිදුවුණි. එනිසා බ්ලොග් කියවනය වෙත එන ඕනෑම පාඨකයෙකුගේ ඇස ගැටෙන මේ බ්ලොග් වෙත හොඳ පිවිසුමක් සහ ප‍්‍රතිචාර දැක්වීමක් තිබුණි. නමුත් කල් යෑමේදී ආරම්භ වූ පුවත් අඩෙවි කිහිපයක් නිසා මුල් පිටුවේ නිතර නිතර ඒවායේ පළ වන කුඩා ප‍්‍රවෘත්ති පළ වීම නිසා මුල් පිටුව පිරී යන තත්වයක් උදාවුණි. මේ නිසා කළමණාකාරීත්වය විසින් ගන්නා ලද තීන්දුවක් ප‍්‍රකාරව ඒවා වෙනමම පිටුවක් වෙත ගෙන යන ලද අතර එය මුල් පිටුවේ දිස්වීම නවතා දමන ලදි. මෙය එක් අතකින් සාධාරණ වන අතර තවත් අතකින් අසාධාරණ දෙයක් ලෙසද තර්ක කළ හැකිය. නමුත් අද කෑගසන කිසිම දේශපාලනික බ්ලොග් ලියන්නෙක් එදා ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ එහි සාධාරණත්වය දුටු නිසාදැයි අඩව්වේ අපට නිසැකවම කිව නොහැකිය.

දැන් උද්ගත වී ඇති තත්වය අඩව්ව සාධාරණීකරනය කරන්න යනවා යැයි ඔබට අප කෙරෙහි යම් තරහක් ඇතිවනවා වන්නටත් හැක. නමුත් තව දුරටක් බලාපොරොත්තු සහගතව ඉන්න යැයි අඩව්වේ අප ඔබට ආරාධනා කරන්නේ තවමත් මෙම ලිපිය අවසන් නැති නිසාවෙනි. එදා පුවත් අඩවි වලට අත්වූ ඉරණම දැන් දේශපාලනික ලිපි ලියන්නන්ගේ බ්ලොග් අඩවි වලටද අත්වී ඇත. ඒ අනුව දැන් දේශපාලන යන වෙනමම ශීර්ෂයක් යටතේ ඒවායේ පළ වන ලිපි දක්වන අතර ඒවා යමෙකු බ්ලොග් කියවනයට ආ සැනින් ඇස ගැටෙන මුල් පිටුවෙන් විසිවී හමාරය. මේ තත්වය ඇති වූයේ මන්දැයි අප මුලින්ම විමසා බැලිය යුතුය. මන්ද යමකට හේතු නොදැක එය විචාරය කිරීමට යෑම අඳුරේ අතපත ගෑමක් වන නිසාවෙනි. මේ සඳහා හේතු වන මූලිකම හේතුව ලෙස අඩව්වේ අප දකින්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ කළමණාකාරීත්වයේ සංයුතියේ අති බහුතරය තාක්ෂණික පසුබිමක් සහිත වූවන් වීමයි. ඒ නිසා ඔවුන් මේ බ්ලොග් කියවනය හරහා අපේක්ෂා කරන්නේ තාක්ෂණික හරයකින් ලියැවෙන ලිපි වලට වැඩි අවධානයක් යොමුකරවා ලීමයි. මෙහිදී අප ඔවුන්ට කෙලන්ම ඇඟිල්ල දිගු කරන්නේ ඔබ මෙවැන්නක් අප අඩවි ලියාපදිංචි කරගැනීමේදී නොපැවසූ නිසාය. එනිසා මෙය ඔබ විසින් අවස්ථාව අනුව දමා ගත් නීතියක් බව පිළිගත යුතු වන්නේය. එනිසා අඩව්වේ අපේ විරෝධය ඔබ වෙත එල්ල කරන්නට දෙවරක් නොසිතන්නෙමු.

මෙම සිද්ධියට හේතු වූ දෙවැනි කරුණ වන්නේ පැවති උණුසුම් මැතිවරණ කාලයත් සමග මතුවූ තත්වයයි. මැතිවරණ කාලයේදී රටේ අතිබහුතරයක් දෙනා දේශපාලනාක උණකින් පෙළෙන අතර දේශපාලනික ලිපි ලියන්නන් පමණක් නොව අදේශපාලනික නොවූ සියළු බ්ලොග් ලියන්නන් ඒ කාලයේදී දේශපාලනයට සම්බන්ධ ලිපි ලියා තිබුණි. එබැවින් බ්ලොග් කියවනය පුරා දේශපානික මාතෘකාවන් දිස්වූ අතර ඒවාට කමෙන්ට් දැමූවන් අතර දේශපාලනය කරපින්නා ගත්තායැයි හංවඩු ගසන අප පමණක් නොව සින්ඩිය දුටු විට වමනේ යනවා යැයි ඔබ වෙත චෝදනා කළ තාක්ෂණික බ්ලොග් කරුවන්ද අපමණ සිටිය බව අපි මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මැතිවරණ උණුසුම තරමක් වියැකී ඇති මේ දිනවල දේශපාලනික ලිපි ලියන්නන්ගේ ප‍්‍රමාණයද අඩුවී ඇති බව දැන් ඔබටම වැටහෙනු ඇත. උදාහරණයක් ලෙස ඊයේ දිනයේදී පළවී ඇත්තේ දේශපාලනික ලිපි 4ක් පමණි. පෙරේදා එක් ලිපියක් පමණක් පළවී ඇත. ඊට පෙර දිනයන් දෙකේදී ලිපි 6 බැගිනුත් ඊටත් පෙර දින ලිපි 3ක් සහ 4ක් බැගින් පළවී ඇති බවද ඔබ දැනගත යුත්තේය. ඒ සමගම ගණිතයේ නූගතුන් බව නොකියා අපට කියාදෙන ඔබ දැනගත යුතු වන්නේ ඊයේ දිනයේ ඔබගේ මුල් පිටුවේ තාක්ෂණික ලිපි ලියන්නන්ගේ ලිපි 49ක් පළවී ඇති බවයි. පෙරේදාද එම ගණන 49කි. මේ අනුව ගෙන බලන කළ ඊයේ දිනයේදී සින්ඩිකේටරයේ පළවීමට දේශපාලන ලිපි ලියන්නන් ලියා තිබූ ලිපි ගණන පළවූ තාක්ෂණික ලිපි ලියන්නන්ගෙන් 8.16% ක් තරම් සොච්චමක් වන්නේය. පෙරේදා දිනය සම්බන්ධයෙන් එම ප‍්‍රමාණය 2.04% කි. එබැවින් හිතක් පපුවක් නැතිව මෙවැන්නක් කළේ ඇයි දැයි යන පොදු ප‍්‍රශ්ණය වෙනුවට අපට ඇසීමට ඇත්තේ ඔළුවක් නැතිව මෙවැන්නක් කළේ ඇයිද කියාය.

තත්වය මේ තරම් සෝචනීය බව දැන් පැහැදිලිය. නමුත් තත්වය තවත් සොචනීය බව දැක්වීමට අඩව්වේ අප සූදානම්. දේශපාලනික ලිපි ලියන්නන්ගේ ලිපි ප‍්‍රමාණයන් අප ඉහතදී දැක්වුවෙමු. දැන් අපි බලමු තාක්ෂණික ලිපි ලියන්නන් ඔය කියන තරම් බබ්බුද කියා. මන්ද සුමුදුගේ ........ නම් අඩවියක් (නම් වශයෙන් ලිවීම අපට තවත් පහර වැදීමට හේතු වන නිසා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අප විසින්ම සගවා ගැනීමට තරම් මුග්ධ වන්නෙමු.) 19 වැනිදා පමණක් ලිපි 3ක් පළ කර ඇත. 18 වැනිදා එම ගණන 2 කි. අනුරාධපුරෙ .......... නම් අඩවියක 19 වැනිදා පළවූ ලිපි ගණන 3කි. මෙලෙස තවත් පසුපසට ගොස් බලන්නේ නම් එක් දිනකට ලිපි 5කට වඩා පළ කළ තාක්ෂණික අඩවිද දැකිය හැකිය. කෙසේ වුවද අනුව 18 සහ 19 දෙදින තුළ පළ වූ දේශපාලනික ලිපි ගණන සහ මෙම අඩවිය ලියන්නියගේ (ඇය කාන්තාවක් නොවේ නම් අපට සමා වුව මැනවි. නමුත් අපට හැඟෙන්නේ එලෙසය.) ලිපි ගණන සමාන වන්නේය. මේ අනුව පෙනී යන්නේ දේශපාලනික ලිපි ලියන්නන් කියා පශ්චාත් භාගයට පයින් ගසා එළවා දැමූ අපට කී හේතුව වූ ලිපි විශාල වශයෙන් පළ වීම නිසා අනෙක් අයගේ ලිපි ඉක්මනින් සින්ඩිකේටරයේ පහළට යෑම යන්නට සැබෑ ලෙසම දායකවූයේ කවුද යන්න දැන් ඔබට වැටහෙනු ඇත. ඒ අනුව සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ මේ ක‍්‍රියාව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකැයි අපි දකින්නෙමු.

අනෙක් වැදගත්ම දෙයක් වන්නේ රාවය පුවත් පතද මේ වන විට තම පුවත් පතෙහි තීරුවක් මේ බ්ලොග් ලියන්නන් වෙනුවෙන් වෙන් කර ඇත. නමුත් අප දැක ඇත්තේ නම් ඔබ විසින් පන්නා දැමූ දේශපාලනික ලිපි ලියන්නන්ගේ ලිපි පමණක් එහි පළ වන බවකි. ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත් පතක් මෙලෙස තම සංගමය විසින් පවත්වාගෙන යන බ්ලොග් කියවනයේ ලිපි වලින් උපුටා ගැනීමක් කරන බවක් නොදන්නා නිසාදෝ ඔබ මෙවැන්නක් කර ඇත. මෙය ඔබ විසින් අප වෙත මුදා හළ ඉරිසියාවට පැහැදිලි සාක්ෂියකි. මන්ද ඔබ කියන පරිදි අපගේ අඩවි නිසා තාක්ෂණික ලිපි ලියන්නන් වෙත ලැබෙන කමෙන්ටු ගණන අඩුවී ඇත. එසේම ඔවුන්ගේ ලිපි බැලීමද අඩුවී ඇත. සත්‍යයකි. අඩුවී නොව නැත්තටම නැතිවී ඇත. මන්ද පසුගිය කාලයේදී දේශපාලනික උණුසුම් වාතාවරණත් සමග දේශපාලනික ලිපි කියවන්නට යොමු වූවන් ගණන ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. එසේම ඔවුන් අදහස් දැක්වීමටද නොපැකිළව ඉදිරිපත් වුණි. මේ තත්වය යටතේ බොහෝ දේශපාලන බ්ලොග් ආශ‍්‍රිතව දීර්ඝ සංවාද ගොඩ නැගුණි. මේ තත්වයන් සාධනීයව නොදුටු ඔබ සහ තාක්ෂණික ලිපි ලියන්නන් විසින් දැන් අප නෙරපා හැර තිබේ. එබැවින් අපට පෙනී යන්නේ රාවය විසින් දේශපාලන ලිපි ලියන්නන්ට දී ඇති අවස්ථාවත් දේශපාලන ලිපි නිසා පොදුවේ සින්ඩිකේටරය කියවන්නන් වැඩි වීමත් යන කරුණු නිවැරදිව නොදැක අප වෙත ඔබ විසින් දැක්විය යුතු අනුග‍්‍රහය වෙනුවට කීප දෙනෙකුගේ කතාවල් අසා අප නෙරපා හැර ඇති බවයි.

කෙසේ වුවද ඔබගේ මේ තීන්දුව නිසා බොහෝ දේ සිදුවී හමාරය. ඒ අනුව ටැබූ නම් දේශපාලන ලිපි ලියන්නා අප හැර ගොස්ය. ඔහු මේ තීන්දුවේ මුග්ධ බවට කෙලින්ම අභියෝග කර අප වෙතින් සමුගෙන ගොස් හමාරය. ඔහු සිංහල කියවන අප වෙනුවෙන් ලියූ කාලය නිමාකර ඉංග‍්‍රීසියෙන් බ්ලොග්කරණය කරයි. මේ තත්වයට වගකිව යුත්තේ ඔබ යැයි අප ඍජුව ඇඟිල්ල දිගු කරන්නේ නැතත් ඒ පාපයේ කොටස්කාරයෙක් බවට ඔබේ සිත ඔබට වදදෙනු ඇත. අනෙක් අතට ශ‍්‍රී ලංකාවේ සිවිල් සංවිධානයන්ගෙන් තැන් කිහිපයකම බ්ලොග් පවත්වාගෙන යන අතර ඒ සංවිධාන වල සිටින්නන්ද බ්ලොග් කියවනය බැලීම පුරුද්දක් කරගෙන සිටිති. නමුත් ඒ තාක්ෂණික ලිපි කියවීමට නොව. දේශපාලන අර්ථයක් ඇති දෑ බැලීමටය. නමුත් දැන් ඔවුන්ගේද උනන්දුව වියැකී ගොස්ය. ”ඉතිං මල්ලි දේශපාලන ලිපි අපි වෙනම තැනක දානවනේ” යැයි ඔබ අපට දීමට පිළිතුරක් ගොනු කරගත්තත් එහි අසාධාරණත්වය ඔබට පෙනෙනු ඇත්තේ දේශපාලන ලිපි මුල් පිටුවේ තිබියදී තාක්ෂණික ලිපි වෙනමම පිටුවක් වෙත යොමු කළානම්ය.

අඳෝනාව මෙයයි. නමුත් මෙය පොදුවේ අපගේ අඩවිය බලන්නන් ගණන වැඩි කර ගැනීම වෙනුවෙන් යැදීමක් නොවන්නේය. අප ලියන ලිපි වෙත වැඩි කමෙන්ට් ගණනක් බලාගෙන ඔබ වෙතින් අභය දානයක් ඉල්ලීමක් නොවන්නේය. නමුත් අඩව්වේ අප වසරක් පුරා ගොඩනගා ගත් අනන්‍යතාවයට එල්ල කළ මුග්ධ ප‍්‍රහාරයට එරෙහිව හඬ නැගීමක් වන්නේය. දේශපාලන ලිපි ලියන්නන් ඔබගේ බෝ පැල වන් තාක්ෂණික ලිපි ලියන්නන්ට දැවැන්ත අභියෝගයක් වූ බව සැබෑවකි. ඒ අන් කිසිවක් නිසා නොව. එක්කෝ දේශපාලන ලිපි ලියන්නන්ගේ හැකියාව නිසාය. නැතිනම් තාක්ෂණික ලිපි ලියන ඔබගේ සාධු මිතුරු රැළගේ නොහැකියාව නිසාය. මේ දෙකෙන් නිවැරදි පිළිතුර තෝරා ගැනීම ඔබ සතුය.

අනෙක් අතට වත්මන් දේශපාලන තත්වය දෙස බලා ඔබ විසින් මේ තීරණය ගත්තා විය හැකිය. මන්ද සිදුවෙමින් පවත්නා මාධ්‍ය මර්ධනය හමුවේ ඔබ කෙරෙහි එල්ල වෙතැයි අපේක්ෂා කළ හැකි බලපෑම් නිසා මෙය කළා විය හැකිය. එය එසේ නම් අප එයට නොබියව අභියෝග කරමු. මන්ද මේ වූ කලී තර්ජන එල්ල වන්නට පෙර ඔබ විසින්ම කොල් එකක් දමාගෙන නෝර්වේ එම්බසියෙන් වීසා ලබාගෙන රට පැනීමක් වන්නේය. එසේම සමහර ප‍්‍රගතිශීලී ජනතාව මෙන් උපන්දිනයට කෝල් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනාධිපතිතුමා වෙත ඔබගේ උපන්දිනය ඊමේල් කිරීමක් වන්නේය.

.

Wednesday, February 17, 2010

දේශද්‍රෝහී චීවරධාරීන් දෙනමගේ මහා සංඝසම්මේලනය.


ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමානන් විසින් පාර්ලිමේන්තුවේ සිට සිංහල-බෞද්ධ අතිබහුතරයට ඇසෙන්නට කුංචනාදයක් කළේය. ඒ අනුව එදා සිට ශ‍්‍රී ලංකාවේ තිබූ ත‍්‍රස්තවාදීන් සහ රණ විරුවන් යන දෙපාර්ශවය විසුරුවා හැර දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් යන දෙපාර්ශවය ස්ථාපිත විය. මෙලෙස බිහිවුණු දේශපේ‍්‍රමීන්ගේ පිළ ඒ අවස්ථාවේදී නියෝජන කළවුන් අතර ජවිපෙ සහෝදරවරු, හිටපු යුධ හමුදාපති සහ උභය විහාරික මහනායක හිමිවරුන් දෙනමද ඉහළින්ම වැජඹුණි.

යුද්ධය නිමවී මාස කිහිපයක් යන තැන දේශපාලනිකව ඍජු තීන්දු තීරණ ගන්නා ජවිපෙ සහෝදරවරු දේශද්‍රෝහීන්ගේ ගොන්නට තල්ලූ වී යන්නේය. යුද්ධය ආරම්භ කළ යුගයේ මහින්දගේ ආසන 106 අස්ථාවර ආණ්ඩුවට ශක්තියක් වෙමින්ද, තමන්ට පයින් ගසා එජාප මන්ත‍්‍රීවරුන් බදා ගත්තද හදිසි නීතියට සහ යුද්ධයට අවශ්‍ය සහයෝගය විපක්ෂයේ සිට වුවද නොමදව දෙමින්ද, හමුදාවේ ක‍්‍රියාකාරීත්වයට අවශ්‍යය මතවාදීමය පදනම රටේ ජනතාව අතර නිර්මාණය කර දෙමින්ද ජවිපෙ ගෙන ගිය මහින්ද හිතවාදී වැඩ පිළිවෙල කරන තාක් දේශපේ‍්‍රමීන් ගොඩට අයත් වූ සහෝදරවරු ටික බිමේ දේශපාලනය හඳුනාගෙන අවස්ථාවෝචිතව ගත් දේශපාලනික තීන්දුව නිසා දේශද්‍රෝහීන් ගොඩට විසිකර දමයි. එපමණක්ද නොව, ජවිපෙ සතු එකම ප‍්‍රාදේශීය සභාව වන තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව සීල් කරයි. ලංකා පත්තරය සීල් තබා චන්දන සිරිමල්වත්ත මාධ්‍යවේදීයාව කුදලාගෙන යයි. ලංකා ටෲත් වෙබ් අඩවිය විකාශනය නවතා දමයි. මේ තරම් කුහක වන මහින්දවාදීන් ජවිපෙ තමන් සමග සිටි යුගයේ අඩුම තරමින් විජය කුමාරතුංගගේ උපන්දිනයවත් සිහි නොකරන්නට වග බලාගත් බවත් අප දැනගත යුතුය.

හිටපු හමුදාපතිතුමන් සම්බන්ධයෙන් තත්වය මීටත් වඩා ඛේදනීයය. යුධ පිටියේදී රණ ශූරයෙකු ලෙස පමණක් නොව ලෝකයේ හොඳම යුධ හමුදාපති ලෙසද හැඳින්වූ ඔවුන් හෙතෙම නායකත්වය දුන්නේ ලොව විනීතම හා නීතිගරුකම හමුදාවට බවත් කියමින් වේදිකාවන් පීරූහ. යුද්ධය නිමවීමත් සමගම හදිසියේ සම්මත කරගත් පනතක් ප‍්‍රකාරව ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ලෙස පත්කළ ඔහුට මාස 4ක් ගත වන තුරුත් තනතුරට අදාල බලතල පවරා තිබුණේ නැත. එම තනතුරෙන් ඉල්ලා අස්වී විපක්ෂයේ ගොඩනැගෙමින් තිබූ පොදු සන්ධානයට නායකත්වය දීමට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා ඒ ක්ෂණයෙන් දේශද්‍රෝහියෙක් විය. එපමණක් නොව, නීතිගරුක හමුදාවේ හිටපු ප‍්‍රධානියා අවි ජාවාරම්කරුවෙකු බවට පත්විය. ලොව විනීතම හමුදාවේ හිටපු නායකයා ස්ත‍්‍රී ලෝලියෙකු බවට පත්වී එම හමුදාවේම සෙබලියන් ගණනාවක් අපයෝජනයට ලක් කළේය. රණ ශූරයෙකැයි කී හෙතෙම පරිපාලන අතින් බෙලහීනයෙකැයි ප‍්‍රකාශ විය. අවසාන වශයෙන් සොරෙක් මෙන් කුදලාගෙන ගොස් බල්ලෙකු මෙන් සිරකර දමන ලදි. සිද්ධිය එසේ නිම වී ගියත් ජෙනරාල් දේශද්‍රෝහියෙක් නම් කරුණා - පිල්ලොයාන්...... හෝ ජෙනරාල්ට සලකන්නේ මෙහෙම ඒත් කේ.පීට ......... වැනි පොදු ප‍්‍රශ්ණයකින් මිදී මෙසේ ඇසීමට සිතන්නෙමු. ‘‘යුධ හමුදාපති මෙච්චර ගහලා නං නාවික හා ගුවන් හමුදාපතිවරු කොහොම ගහලා ඇත්ද? ඔවුන් ගැන හොයන්නේ විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලූවොත් විතරද?’’ මේ ප‍්‍රශ්ණයට පිළිතුර ලෙස විමල් හෝ ඩලස් ‘‘ අපි ඒ ගැනත් පරීක්ෂණ කරගෙන යනවා. ඔවුන්ගේ වැරදි හෙළිවෙලා නෑ.’’ යැයි කියන බවද අඩව්වේ අප ඉරහඳ මෙන් දන්නා දෙයකි.

මීට අමතරව මේ මොහොතේ සිදුවෙමින් පවත්නා තවත් වැදගත් සිද්ධි දාමයක් පවතී. ආගමික් පාර්ශවය මුල්කරගත් මෙම සිද්ධින්හී ආරම්භය සිදුවන්නේ දඹර අමිල හිමියන් සිරගත කිරීමත් සමග ඊට මල්වතු මහනාහිමියන් විරුද්ධත්වය පළ කිරීමත් සමගින්ය. බිහිවෙමින් පවත්නා ඒකාධිපතිවාදී අශිෂ්ට දේශපාලන භාවිතාව වහා නවතා දමන්නැයි ඉල්ලමින් ජනාධිපතිතුමන් වෙත ලිඛිතව දැනුම් දෙන මහනාහිමියෝ පසුව මාධ්‍යය මර්ධනයට සහ මාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම් වලට එරෙහිව තම අඬ අවධි කළෝය. වරක් ප‍්‍රගීත්ගේ බිරිඳ උන්වහන්සේ බැහැදැක තම දුක පැවසීමට ගිය කල්හී උන්වහන්සේ පවසා සිටියේ දැන් සිටින පාලකයන් අප කියන දේ නොඅසන බවය. එසේම පාලක පාර්ශවයට දැඩිව දොස් කී මහනාහිමියෝ දේශපාලනඥන්ට තම පන්සලට නොඑන්නැයි පැවසීමට සිතී ඇති බවද පැවසූහ. ඉන්පසු ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් කැඳවනු ලැබූ මහා සංඝ සමුළුවක් පෙබරවාරි 18 වැනි දින පැවැත්වීමට සූදානම් විය. නමුත් අවසානයේදී පොලීසිය විසින් ආරක්ෂාව නොදීම සහ ආණ්ඩුවේ විවිධ පාර්ශවයන්ගේ බලපෑම මත එය දින නියමයක් නැතිව කල් දමන ලදි. මේ පිළිබඳව ප‍්‍රකාශයක් කරන මහනාහිමිවරුන් පවසන්නේ සංඝයා වහන්සේගේ සහ බෞද්ධ බැතිමතුන්ගේ ආරක්ෂාවත් දළදා මාලිගාවේ ගරුත්වයත් සලකා මෙම තීරණය ගත් බවයි. මෙය ඉතාමත් සුවිශේෂි සිද්ධියක් වන්නේ අන් කිසිවක් නිසා නොව මෙවැනි ප‍්‍රකාශයක් මහනායක හිමිනමක් මුවින් දේශනා කළ පළමු අවස්ථාව මෙය වීමයි. එනම් වත්මන් පාලක පැලැන්තියට ත්‍රෛනිකායික නාහිමිවරුන්ගේ විශ්වාසය සහ ආශීර්වාදය අහිමි වී ඇති බවට වූ හොඳමා සාක්ෂියයි.

එම විශ්වාසයේ සහ ආශීර්වාදයේ අවශ්‍යතාවය කෙබඳු දැයි අප විමසා බැලීමද වටී. ශ‍්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය වන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි විරුධාවලි ලත් දන්ත ධාතූන් වහන්සේගේ වතාවත් භාරව සිටින දෙපාර්ශවය වන්නේ අස්ගිරි-මල්වතු විහාරස්ථානයන්ය. දළදා වහන්සේගේ භාරකාරත්වය වසරක් පාසා මේ මහනායක හිමිවරුන් අතර හුවමාරුවීමක් සිදුවේ. මේ නිසා සෑම සුභ කටයුත්තකදීම ආරම්භයකට පෙර මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනු වස් ජනාධිපතිතුමන් ඇතුළු සෑම සියලූ දෙනාම උභය විහාරික මහනායක හිමිවරුන් බැහැදැකීම සම්ප‍්‍රදායක් බවට පත්කරගෙන ඇත.

ආගම දේශපාලනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබ සතුව පවතින විවිධ මතවාදයන්ට අඩව්වේ අප ගරු කරන අතරම වත්මන් දේශපාලන කරලිය තුළ ආගම අනවශ්‍යය තරමට පැතිරී තිබීම සම්බන්ධයෙන් අප නැවතත් දොස් පවරන්නේ වත්මන් ආණ්ඩු පාර්ශවයටමය. මන්ද යුද්ධය සාධාරණීකරනය කරනුවස් බෞද්ධ සිද්ධස්ථාන සිසාරා බෝධිපූජා පවත්වමින් රණ විරුවන්ට සෙත් පැතුවේත්, යුද්ධයට අවශ්‍ය මානව සම්පත සොයාගැනීමට පෙළඹවීමක් ලෙස බෞද්ධ තරුණයන් උසිගැන්වූයේත්, දේශපේ‍්‍රමීයැයි ගොඩනැගූ පාර්ශවයේ ප‍්‍රබල කණුවක් ලෙස ආගම තැබූයේත්, මහින්ද ප‍්‍රමුඛ වත්මන් පාලකයන් විසින්මය. එයින්ද නොනැවතී මැතිවරණ දිනයේ දහස් ගණනක් සංඝයා පිරිවරා (තනිවම නිවන් යන්නට මෙන් හිඳගෙන) අවසන් ප‍්‍රචාරක රැලිය පවා පැවැත්වීය. ඒ අනුව බුදු දහමත් භික්ෂූන් වහන්සේලාත් දේශපාලන කරලිය තුළ මේ තරම් ඔසවා තැබුවේ අඩව්වේ අප හෝ මෙය කියවන ඔබ නොව, මහින්ද චින්තනයට කඬේ යන මේ දේශපේ‍්‍රමීන් රැල විසින්මය.

දැන් අප බැලිය යුත්තේ මෙතරම් වැදගත් කමක් ඇති ආගමික සංස්ථාව වත්මන් බල හවුලත් සමග හරහට හිටීම කෙබඳු තත්වයන් අනාගතයේදී බිහිකරලාවිද කියාය. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් රටේ අවශ්‍යතාවය උදෙසා රැස්වීමට අධිටන් කරගත්තද මහින්ද පිල මෙය සදාචාරාත්මක ඇසකින් හෝ සංස්කෘතිකමය දෘශ්ඨියකින් දකින්නේ නැත. අද වන විට මහින්දගේ ආරක්ෂාවට ජාතික හෙළ උරුමය සිටියද උන්වහන්සේලා මුල්වරට වේදිකාගතවූ අවස්ථාවේදී විමල්, ඩලස් හා එස්.බී වැන්නන් තම වේදිකාවලදී උඩ පැන පැන සිවුරු පතුරු ගැසුවෝය. භික්ෂුන් වහන්සේලාට හක්ගෙඩි යැයි අමතන්නට දෙවරක් නොසිතුවෝය. මේ නිසා ඔවුන් උමතුවී සිටින බලය කෙරෙහි යමෙක් අත පොවනවා යැයි දුටුවොත් ඒ කවුරුන්ද, තරාතිරම කුමක්ද යන්න නොබලා පහර ගැසීමට ඔවුන් පෙළඹෙන්නේ පෙර කී උමතු බවම ප‍්‍රදර්ශනය කරමින්ය. එබැවින් මහනායක හිමිවරුන් විසින් පවත්වන සංඝ සම්මේලනයද දේශපාලනිකව ගෙන වේදිකාවල හංවඩු ගසනු ඇත. මහානායක හිමිවරුන්ට ඍජුව පහර ගැසීමට නොහැකි නිසා ජෙනරාල්ට කීවාක් මෙන් දේශද්‍රෝහීන් විසින් උන්වහන්සේලා නොමග යවා ඇති බව කියනු ඇත. එපමණකුදු නොව, ජෙනරාල්ට මෙන් ගැහැණුන් සහ ගල්බෝතල් ගාවමින් කටකතා පතුරුවනු ඇත. මහනාහිමිවරුන්ගේ කුටිවල සේවය කළ භික්ෂූනීන් වහන්සේලාට වූ අතවර ගැන කෙටිකතා ගණනාවක් ජාතික රූපවාහිනියේ නිතර නිතර කියවෙනු ඇත. මහනායක හිමිවරුන්ට ආයුධ ගෙනෙන්නට බැරි නිසා බුදුමැදුරු ඉදිකිරීමේදී කෝටි ගණන් මුදල් වමට ගැසූ බව ස්වාධීන රූපවාහිනියේ පුන පුනා කියනු ඇත. ඉන්පසු මහනායක හිමිවරුන්ගේ පවුලේ කවුරුන්ගේ හෝ බැංකු ගිණුම් පරීක්ෂා කර බලා පවුල් පිටින් කුදලාගෙන ගොස් කොහේ හෝ මුල්ලක බැඳ දමනු ඇත.

මහනායක හිමිවරුනි,
‘‘අඩව්වේ අපට මේ තත්වය වැටහේ. නමුත් ශ‍්‍රී ලංකාවේ අතිබහුතර ජනතාවක් වත්මන් පාලකයන්ගේ රැවටීම් වලට අන්ධව සිටිති. එබැවින් ඔබ වහන්සේලාගේ අනුශාසනාව ඔවුන්ට අවශ්‍යව ඇත. පාලකයා අනුශාසනා පිළිපදින්නේ නැතිනම් ඒ බව ජනතාව වෙත අනුශාසනා කිරීම වටී. එබැවින් ඔබ වහන්සේලා මුදලට හෝ මැරබලයට යට නොවී ඉතා පිරිසිදු යැයි ශ‍්‍රී ලාංකික බෞද්ධයා විශ්වාස කරන මහා සංඝ සමාජය අවධි කොට අප වෙත අනුශාසනා කරන තෙක් සුවහසක් ප‍්‍රගතිශීලීන්ගේ දෑස් මගබලා සිටියි.’’


.

Tuesday, February 9, 2010

ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අඩව්වේ දැඩි විරෝධය



දින කීපයකට පෙර නිමාව දුටු ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මීට පැය කීපයකට පෙර හමුදා පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම සිදුවීම ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කර තිබුණේ පහත පරිදිය.

‘‘මීට ස්වල්ප වේලාවකට ඉහතදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොළඹ 07 රාජකීය මාවතේ පිහිටි සිය කාර්‍යාලයේ දේශපාලන පක්‍ෂ නායකයින් පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදී එම ස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදුණු යුද හමුදා පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව Lanka news web වෙත වාර්තා වේ.

මෙම අවස්ථාවේදී ජෙනරාල්වරයා සමග විපක්‍ෂ සන්ධානයේ නායකයින්වන ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, සුනිල් හදුන්නෙත්ති, මුස්ලිම් කොංග‍්‍රස් පක්‍ෂයේ නායක රවුෆ් හකීම් සහ බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් සාකච්ඡාකරමින් සිටි අතර එසේ අත්අඩංගුවට ගැනීමට ජෙනරාල්වරයා සිය දැඩි විරෝධය දැක්වූ විට යුද හමුදා පොලීසියේ නිලධාරීන් ඔහුට පහරදී බිමදිගේ ඇදගෙන ගොස් වාහනයකට නංවාගත්බව සිද්ධිය සියැසින් දුටු විපක්‍ෂ සන්ධානයේ නායකයින් Lanka news web වෙත වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.’’
(උපුටා ගැනීම ලංකා නිව්ස් වෙබ්)

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ ප‍්‍රකාශය ලංකා ටෲත් අඩවියේ සටහන් වූයේ මේ ආකාරයට.

අද රාත්‍රියේ අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණය හමුවට පමුණුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ෆොන්සේකා මහතාට යුද හමුදාපති සහ මාණ්ඩලික ප්‍රධානී තනතුරු දරන කාළය තුළ විපක්ෂය සමඟ එකතුවී රජයට විරුද්ධව සහ ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණ සිදුකළා යැයි චෝදනා එල්ලවී ඇති බවයි.

"එබැවින් ජනරාල්වරයාගේ එම ක්‍රියා සම්බන්ධයෙන් හමුදා අධිකරණය හමුවේ සාක්කි විමසීමට බලා පොරොත්තුවන බව හුලුගල්ලේ මහතා පවසයි."(
උපුටා ගැනීම ලංකා ටෲත්)

මුලින්ම මේ මතුවී ඇති තත්වය සම්බන්ධයෙන් අඩව්වේ කණගාටුව මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරන්නෙමු. එසේම ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදය අතුගා දමමින් ආණ්ඩුව ගෙනයන අත්තනෝමතික මර්ධන ක‍්‍රියාකලාපයන් සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධයද මෙහිලා පළ කරන්නෙමු.
මේ වන විට තත්වය මේ ආකාරයේ පවතී. මින් ප‍්‍රකාශ වන පරිදි ජෙනරාල් අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමටය. නමුත් මේ සිදුවීම හරහා විද්‍යාමාන වන වත්මන් ශ‍්‍රී ලංකාවේ තත්වය ඉතාමත් ඛේදනීය එකකි. මන්ද විපක්ෂ අපේක්ෂකයෙක්ට පවත්නා බල හවුලට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඉදිරිපත් වීමට ඇති අවස්ථාව මේ හරහා අහුරන්නේ ඉතාමත් සූක්ෂමවය. මෙය සරළ තත්වයක් නොව. මන්ද රටතුළ යමෙකුට පවත්නා බල හවුලෙන් පිට මතවාදයක් දැරීමට සහ ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට අයිතියක් නැති වීම යනු ඉතාමත් බැරෑරුම් තත්වයකි. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රීය වෙස් මුහුණක් පැළඳ ගත් ඒකාධිපතියෙක් රටට අරක් ගෙන ඇති බව ඕනෑම තොත්ත බබෙකුට වුවත් වැටහේ.

එපමණක් නොව. මේ හරහා නොකියා කියැවෙන ඉදිරි මැතිවරණයේ තත්වයද කිසිසේත්ම ප‍්‍රජාතන්ත‍්‍රීය නොවනු ඇත. එනම් ඉතා දූෂිත ලෙස වුවද තමන්ගේ තුනෙන් දෙකේ සිහිනයට පාර්ලිමේන්තුව දක්කාගෙන යන බව මහින්ද මේ හරහා ජනතාවට පෙන්නා ඇත. එවන් විශ්වාසයක් තමන් සතු බැවින් මහමැතිවරණයක් කටඋඩ තිබියදී වුවද මෙවන් දෙයක් බිය නැතුව කරන්නේ එබැවිනි. ඒ අනුව තම ගණන් හිලව් අනුව අනිවාර්‍ය ජයක් (ජනතා ඡන්දය නැතත් ජිල්මාට් හරහා හෝ) නියත බැවින් මේ ඔවුන් උත්සහ ගන්නේ ජෙනරාල්ව මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වා පාර්ලිමේන්තු ඒම වැළැක්වීමටයි. එපමණක්ද නොව, හැකිනම් ජීවිතාන්තය දක්වා සිරගත කරන්නට හැකිවේ නම් එයද මහත් පිටිවහලක් වනු ඇත.

අප දැන් බලමු මේ හරහා උද්ගත විය හැකි තත්වයන් ගැන. සත්‍ය ලෙසම මේ සිදුවීමට රටේ බහුතර ජනතාවක් පිළිකුල් කරනු ඇත. එසේම විපක්ෂයට ලැදි ජනතාව මීට විරුද්ධව වීදි බසිනු ඇත. ජෙනරාල් සමග දිගටම සිටි පක්ෂය වන ජවිපෙ තම තරුණ ජවයද යොදා මේ වෙනුවෙන් මතවාදීව සටනක් අරඹනු ඇත. මැතිවරණය ඉතා ආසන්න බැවින් ජවිපෙ මෙය ආණ්ඩුවට පහර ගැසීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කරන්නට සිතනු ඇත. නමුත් සිදුවන්නේ එය නොවේ. අනිවාර්‍යයෙන් ආණ්ඩුවේ ලැට් කටවල් ටික වන විමල්, ඩලස්, රෝහිත අබේගුණවර්ධන හා සිරිපාල සිල්වා වැනි අය ජනතාවගේ හිත්තුළට මෙම ප‍්‍රජාතන්ත‍්‍රීය මැදිහත් වීම් කැරැල්ලක් ලෙස කාවද්දනු ඇත. ඒ හරහා ජවිපෙ නායකයන් සහ තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගනු ඇත. අවි ලඟ තබා ගත්තා යැයි කියා පොලීසියේ පුරුදු රාජකාරිය දිගටම කරගෙන යනු ඇත. නමුත් එය පාතාලයට කළ රාජකාරිය තරම් දරුණු නොකරනු ඇතැයි අපි අඩමානෙට මෙන් විශ්වාස කරමු. ප‍්‍රමාණය කෙසේ වුවද සිදුවීමට නියමිත දෙය මෙයයි.

මෙවන් දෙයක් කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ඇයි දැයි යමෙකුට අසන්නටද බැරි නැත. එම ප‍්‍රශ්ණය තවත් ටිකක් හර බර කරන්නේ නම් ඔහු අසන්නේ ‘‘මෙච්චර ජයග‍්‍රහණය පෙනි පෙනී තිබියදී මොකටද ජෙනරල්ව අත්අඩංගුවට ගන්නේ. ඔන්න 82 වගේ තිබ්බනං පිළිගන්නවත් තිබ්බා.’’ පිළිතුර ලෙස කියන්න දේවල් දෙකක් ඇත.

‘‘ පළවෙනි එක තමයි විජයග‍්‍රහණයක අවශ්‍යතාවය. ඒ කියන්නේ තුනෙන් දෙක. ඒකට කීයටවත් යන්න බෑ කියලා පේනවා. ඒ නිසා ආණ්ඩුව එක්ක හිටියම ඡන්ද ගන්න බැරිනිසා ඩග්ලස් තනියම දාන එක ටී.එම්.වී.පී එක තනියම දාන එක වගේ දේවල් කරන්න පුළුවං. ඒත් ඇත්ත දෙය නම් ඒත් තුනෙන් දෙකට යන්න බෑ කියන එකයි. අනික ජනාධිපතිවරණයේදී තරං ඡන්ද ගානක් මේ පාර කීයටවත් හම්බෙන්නෑ. මොකද මේ පාර ඡන්දෙ ඉල්ලන්නේ කෝප් හොරු හෙජිං හොරු වසංගත සිල්වා වගේ අයනේ. ඒ නිසා ගියපාරටත් එහා ඡන්ද ජිල්මාට් එකක් දාන්න ඕනේ. මෙයාලා දැන්ම ඒකට ලෑස්ති වුණොත් ගේම ලේසි වෙන්නෑ. ඒ නිසා මේ කට්ටිය පාලනය කරන හොඳම ක‍්‍රමේ මේක. කරදරයක් වෙන ඕනේ කෙනෙක් ඇතුලට දාලා කටවල් වහලා තියන්න පුළුවං.’’

‘‘අනික් හේතුව තමයි. ආණ්ඩුවේ මීළඟ කාල සීමාව මේක ඇදගෙන යන්න නං ජනතාවට යකෙක් පෙන්නන්න ඕනේ. අපේ රටේ මිනිස්සුන්ට හුරු ප‍්‍රභාකරන්ගේ ආතතිය මත ජීවත් වෙලා. ඉතිං දැන් ප‍්‍රභාකරන් කෙනෙක් නැති නිසා මිනිස්සුන්ට ආණ්ඩුව බෝරිං වෙන්න ඉඩ තියෙනවා. ඒකට කරන්න පුළුවං හොඳම දේ තමයි දකුණේ කොල්ලො කෙල්ලො ටික අවුස්සලා උන් ටික මර මර ආණ්ඩුව ගෙනියන එක. එතකොට කොටි මැරුවා වගේ ආරක්ෂක ලේඛම්ටත් කරන්න දෙයක් තියෙනවානේ.’’

සැබෑ තත්වය මෙයයි. සිදුවෙමින් පවතින ක‍්‍රියාවලිය ඉතාමත් දරුණු ප‍්‍රතිඵලයන් බිහිකරලිය හැකි වන්නේය. එබැවින් මේ මොහොතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ආධාරකරුවන් ස්වකීය ආරක්ෂාව සලසා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේය. විශේෂයෙන්ම රටේ ජනතාව හැටියට අඩව්ව ඔබෙන් ඉල්ලන්නේ රට ආපස්සට තල්ලූ කරන මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි ක‍්‍රියාවලිය නැවත හැරවීමට ඔබට හැකි ආකාරයෙන් වචනයෙන් හෝ දායක වන ලෙසයි. නැතහොත් මේ ඔබේත් මගේත් අප හැමගේත් අවසානය වනු නොඅනුමානය.

Sunday, February 7, 2010

නරුමයෙක් වටකරං එන උන් උස්සලා බිම ගසාපල්ලා ...............


අතේ කරගැට හිතේ දුක්ගැට
පුතේ ඉවසන් රොද බඳිල්ලා.

නෙතේ නිදිගැට සුනු විසුණුකර
මව් කිරෙහි සවි සිතට ගල්ලා.

නුඹේ දරුවන් උන්ගෙ පැටවුන්
මරං කන්නට වරම් ඉල්ලා.

නරුමයෙක් වටකරං එන උන්
උස්සලා බිම ගසාපල්ලා ...............



කුසට අහරක් හිසට වහලක්
උරුම නැති වග වටහා ගල්ලා.

හදට ඉකියක් නෙතට කඳුලක්
උරුම වන බව දැනගනිල්ලා.

කුෂව වැහැරුණු දෑස් ගිල්වුණු
අතකටින් දරු පැටවු එල්ලා

මහමගට බැස සිඟා කන්නට
වැටෙන්නට පෙර නැගිටපල්ලා ............



තනා මන්දිර දිනා රජසැප
උන්ගේ දරුවන් අම්මාපල්ලා.

ඌරු පැටවුන් සිහිකරාවී
බලාපල්ලා බලාපල්ලා.

කන්න බත්පත බොන්න දියපත
අහිමි උඹෙ පුතු මරු ගෙනිල්ලා.

නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා .....................

Saturday, February 6, 2010

නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා..........


ජනාධිපතිවරණය නිමවී සතියකුත් ඉක්මගොස් හමාරය. නමුත් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා නියෝජනය කරන බල කඳවුරු දෙකම තවමත් උණුසුම්ව පවතී. ඉන් පරාජිත පිළ නියෝජනය කරන ජෙනරාල්, එජාප, ජවිපෙ, මුකො සහ ද්‍රවිඩ ජාතික සංධානය මැතිවරණ ප‍්‍රතිඵල දූෂිතයැයි කියමින් දිගින් දිගටම එය ප‍්‍රතික්ෂේප කරමින් පරාජයේ වේදනාව ඉවතලීමට උත්සහ ගනිති. ජයග‍්‍රාහී පිළ නියෝජනය කරන මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩු පාර්ශවය ජයපැන් බීමට එහා ගොස් මැතිවරණ සමයේ තමා බියගැන්වීමට උපකාර කළායැයි සිතන සියලූම දෙනාගෙන් පළිගැනීමේ ක‍්‍රියාවලියකට පෙළඹී ඇත. මේ අප බැලූ බැල්මට දකින මැතිවරණයේ ජය පරාජයයි. අඩව්ව අද උත්සහ ගන්නේ මේ මැතිවරණ ප‍්‍රතිඵල තුළ සැඟවුණු සැබෑ ජය පරාජය නිශ්චය කර ගැනීමටයි.

තරඟයක් යනු ජය පරාජය යන අන්තයන් දෙකම එකට රැගෙන එන සංසිද්ධියකි. එබැවින් එක් පාර්ශවයක් ජය ලබන තැන ප‍්‍රතිවාදියාට අයත් වන්නේ අවාසනාවන්ත පරාජයකි. ඒ මේ ආකාරයේ තරඟයක් දෙස පටු ඇසකින් බලන්නේකුට නිරීක්ෂණය කළ හැකි ප‍්‍රතිඵලයන් වන්නේය. (ජයග‍්‍රහණයෙන් උමතුවී ශබ්දය වැඩිවූ විමල් හා පරාජයෙන් බියවී ශබ්දය බාලවූ ලාල් කාන්ත යනු මීට ජීවමාන නිදසුන්ය.) නමුත් අඩව්වේ අප මෙය දකින්නේ මීට එහා ගිය පුළුල් අර්ථයකිනි. එනම් මේ තරඟය පැවැත්වුණේ ජෙනරාල් හා මහින්ද අතර නොව, ජනතාව හා පාලකයා අතරය. එක් වරම මෙය ඇසූ ඔබේ මුවඟට සිනහවක් මතුවූවාය කියා අප ඔබ සමග උරණ වන්නේ නැත. මන්ද මෙය තරමක් විග‍්‍රහ කර වටහාගත යුත්තක් බැවිනි.

අප පෙර කී පරිදි මෙය ජෙනරාල් සහ මහින්ද අතර පැවති තරඟයක් වන්නේ පටු අර්ථයෙන් බලන කල්හී පමණි. එනම් පසුගිය 26 වෙනිදා පැවති ජනාධිපතිවරණය යන විචල්‍යය ස්වායත්තව ගෙන බලන කල්හීය. නමුත් එම මැතිවරණය ඉන් පෙර හා ඉන් පසු මැතිවරණ සමගත්, ශ‍්‍රී ලංකාවෙන් පිටතට ගොස් ලෝකයේ මැතිවරණ සමගත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිවූ දා සිට පැවැත්වී මැතිවරණ සමගත්, ග‍්‍රීකයින් අත උස්සා ඡන්දය භාවිතා කළ ඇතෑන්සයේ මැතිවරණ සමගත් එකට ගෙන නායකත්වය උදෙසා පැවැත්වූ තරඟයක් ලෙස බලන කල්හී මේ වූ කලී හුදෙක් මහින්දට හා ජෙනරාල්ට දවසක් තුළ ඉලක්කම් හරඹයකින් බෙදාගත හැක්කක් නොවන බව ඔබට වැටහෙනු ඇත. ඒ අනුව එය නොපෙනෙන අතීතයක සිට පැවත එන හා නොපෙනෙනා අනාගතයක් දක්වා සිදුවන ක‍්‍රියාවලියක එක් ඉතා කුඩා සිදුවීමක් පමණක් වේ. ඒ අනුව පුළුල් අර්ථයෙන් ගත් කළ මෙය මහින්ද හා ජෙනරාල් අතර තරඟයක් නොවන බව පැහැදිලිය. නමුත් මෙය ජනතාව හා පාලකයා අතර තරඟයක් වන්නේ කෙසේදැයි තව දුරටත් විග‍්‍රහ කරගත යුතු වන්නේය.

වැඩවසම් යුගයට පෙර නායකයා තෝරාගත්තේ ශක්තිය උරගා බැලීමෙන්ය. වැඩවසම් යුගයේදී එය කුල ක‍්‍රමය මත පදනම්ව පාරම්පරික උරුමය තුළින් නායකත්වයට පත්වීමක් බවට පත්විය. පෙර පැවති ශක්තිය උරගා බැලීමට සාපේක්ෂව මේ ක‍්‍රමය සාමකාමී යැයි ජනතාව සිතුවද පාලකයා සිටියේ කිසිවෙකුට අතපෙවිය නොහැකි තරමේ උසකිනි. මේ අතර ආගමික සංස්ථාව මෙයට මැදිහත් වන අතර ඒ හරහා අසහාය පාලකයා ප‍්‍රශ්ණ කිරීමට හැකි තරමේ ඉඩකඩක් (ජනතාවට නැතත්)දෙවියන් වහන්සේට විවර වේ. මෙය ජනතාව හා පාලකයා අතර තරඟයේදී ජනතාව ලද ප‍්‍රථම ජයග‍්‍රහණයයි. එය සමාන කළ හැක්කේ අළුතින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි රටක් දැවැන්ත කණ්ඩායමකට අභියෝගයක් වන තරමේ ළකුණු ප‍්‍රමාණයක් රැස්කිරීමටය. ඒ තුළ ජයග‍්‍රහණය කළේ නැතත් ප‍්‍රබලයා තැතිගැන්මකට ලක්වේ. මෙසේ ජයග‍්‍රහණයේ සුවඳ දැනගත් ජනතාව ආඥදායකත්වයේ පීඩනය දරාගත නොහැකිව ප‍්‍රංශයේ ලූවී රජු හා රුසියාව සාර් රජු වැන්නන් අමුඅමුවේ මරාදමා සෙවූ නිදහසේ ප‍්‍රතිඵලය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එනම් සමස්ථ ජනතාව පිළිබඳවම තනි පුද්ගලයෙක් තීරණ ගන්නවා වෙනුවට බහුතරයේ කැමැත්ත මත ක‍්‍රියාකිරීම යන්නයි. අද වන විට මෙම න්‍යායික සිද්ධාන්තය විවිධ වූ ප‍්‍රමාණයන්ගෙන් ප‍්‍රායෝගිකත්වයට නැගෙන පාලනයන් ලොව පුරා පවතී.

ඒ අනුව පැහැදිලි වන්නේ ජනතාව හා පාලකයා අතර තරඟයේ විවිධ අවධි වලදී ජනතාව ලද ජයග‍්‍රහණ හරහා අද ලොව පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිව ඇති බවයි. එසේම ඒ හරහා නොකියා කියැවෙන දෙය වන්නේ අනාගතයේදී ජනතාව දිනාගන්නා දේවල් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතිහාසයට එක්කරමින් දියුණු පාලන ක‍්‍රමයක් සොයාගන්නා බවයි. තත්වය එසේ නම් අප දැන් ශ‍්‍රී ලංකාව දෙසට හැරී බලමු. චීනය වෙනිසියුලාවෙ මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමකින් වැසුණු ඒකාධිපතියෙක් නැතත් ශ‍්‍රී ලංකාවත් සුදු හුණු ගෑ කළු බළලෙක් බව අමතක නොකළ යුතුය. මන්ද 1978 ව්‍යවස්ථාව යනු ප‍්‍රජාතන්ත‍්‍රීය මුහුණුවරක් ගත් ඒකාධිපති ආඥදායකත්වයක් ගැබ්වූ විධායක ජනාධිපති ක‍්‍රමයේ ත‍්‍රිපිටකයයි. 1977 දී ජේ.ආර් ලද 5/6ක නාහෙට නාහන බලයේ නාමයෙන් බිහිවූ 78 ව්‍යවස්ථාව ඒකාධිපතියෙක් බිහිකළද අඩව්වේ අප දක්නා පරිදි ඒ තුළද ජනතාව පරාජය වී නැත. මන්ද එතෙක් ජනතාවට හිමි නොවූ මූලික අයිතිවාසිකම් හා උපරිමාධිකරණයේ ආරක්ෂාව ඒ තුළින් ජනතාවට දායාද විය. නමුත් මෙය ඒකාධිපති ව්‍යවස්ථාවක් යැයි කීම අප කිසිසේත්ම බැහැර කරන්නේ නැත. එබැවින් ජනතාව දැන් ඉතිං මොනවා කරන්නද කියා සිටියේ නම් අද වන විට ශ‍්‍රී ලංකාවේද ජුලියස් සීසර් වැන්නෙක් රාජ්‍යය විචාරනු ඇත. නමුත් එයට ඉඩ නොතබා අවධියෙන් සිටි ජනතාව මධ්‍යගත පාලනයක් සහිත ඒකාධිපති ව්‍යවස්ථාවේ අනවශ්‍ය බලතල දියකර හැරීමට තරම් ධෛර්‍යවන්ත වූහ. ඒ අනුව 1987 ඉන්දු ලංකා ගිවිසුම ප‍්‍රකාරව 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් 2001 දී ගෙනා කොමිෂන් සභා සහිත 17 වන ව්‍යවස්ථා සංශෝධනයත් ජනතා ජයග‍්‍රහණයන් විය. මේ තුළින් වරම් ලද ඒකාධිපතියෙක් බිහිවීම වලක්වා ඊට එරෙහිව නැගී සිටීමට සදාචාරාත්මක වූත් නීත්‍යානුකූල වූත් අයිතිය ජනතාව වෙත පවරා ගන්නා ලදි. අප මෙහිදී සිහියට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙය මැතිවරණයක් තුළින් නොව ජනතාවගේ සක‍්‍රීය මැදිහත්වීම තුළින් ලබාගත් ජයග‍්‍රහණ වන බවයි.

අප දැන් විමසා බලමු මෙවර මැතිවරණය තුළින් ජනතාව ජය ලැබුවේ කෙසේද කියා. සැබෑවටම මෙවර මැතිවරණ වේදිකාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, 17 හා 13, දූෂණය - වංචාව වැනි මාතෘකා බඩුමිල, ජීවන වියදම සමග කරට කර නැගී සිටියේය. එය ශ‍්‍රී ලංකාවේ ජනතාව ලද දැවැන්ත ජයග‍්‍රහණයකි. මන්ද තහඩු, උළු, පොත්පත්, බෙදා ඡන්දය ලබාගැනීමට පෙළඹුණු දේශපාලනඥයන් මේ තත්වයට වෙනස් කරගැනීමට හැකිව ඇත්තේ ජනතාවයට. එබැවින් බත් පැකට් එකට හා අරක්කු කාලට ඡන්දය කළ කාලය අවසන් වන ළකුණු පහළ වී ඇත. අනෙක් අතට ප‍්‍රභාකරන්ට පින්සිද්ධ වෙන්න මැතිවරණ දිනූ කාලයත් අවසන්ව ඇත. මේ සියල්ල මෙවර ජනාධිපතිවරණය හරහා ජනතාව ලද ජයග‍්‍රහණයන් ලෙස දැක්විය හැකිය. නමුත් විශේෂ අවධානයක් යොමු නොකර බැරි කාරණයක්ද තිබේ. එනම් මැතිවරණයෙන් පසු ආණ්ඩු පාර්ශවය ගෙන යන දැවැන්ත මර්ධනකාරී ක‍්‍රියාපිළිවෙලයි. මැතිවරණයත් තුළ මාධ්‍ය නිදහස ගැන කතා කළ මහින්ද රාජපක්ෂ ප‍්‍රගීත්ගේ අතුරුදහන්වීම ගැන හෝ චන්දනගේ අත්අඩංගුවට ගැනීම ගැන කතා නොකරයි. යුධ ජයග‍්‍රහණයත් සමග දේවත්වයේලා සැලකූ හමුදා නිලධාරීන් 14 ක් අනිවාර්‍ය විශ‍්‍රාම යැවීම හා නිලධාරීන් 40ක් ස්ථාන මාරුකිරීම් ගැන හා හූවක් වත් නැත. ලංකා පත්තරයට සීල් තැබීම, ලංකා ඊ නිව්ස් හා ලංකා ටෲත් පුවත් අඩවි වසා දැමීම ගැන දන්නා බවක්වත් පෙන්නන්නේ නැත. විපක්ෂ අපේක්ෂකයාගේ ආරක්ෂාව මුළුමනින්ම ඉවත් කරන්නේ ප‍්‍රභාකරන් මරා රට බේරාගත් හමුදාපතිවරයා යන්න නොදන්නා ලෙසය. කරූ ජයසූරිය හා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂාව බින්දුවට දමන්නේ උන්ව මොකට ආරක්ෂා කරනවාද සිතාය. අනෙක් අතට ජැක්සන් ඇන්තනී රූපවාහිනියටත් රේණුකා චිත‍්‍රපට සංස්ථාවටත් සභාපතිවරුන් වී පත්වීමට නියමිතය. තවත් සංස්ථා සභාපතිවරු විශාල ප‍්‍රමාණයක් ඉල්ලා අස්වීමට සලස්වා ඇත. ඒවායින් පුද ලැබීමට මාලනී ෆොන්සේකා, ශ‍්‍රියන්ත මෙන්ඩිස් වැන්නන් සූදානම්ව සිටිති. මේ මොහොත වන විට රටේ උද්ගතව ඇති තත්වය මෙයයි.

දැන් අප බැලිය යුත්තේ මෙවන් ප‍්‍රතිඵල බිහිකළ මෙම මැතිවරණය ජනතාවට ජයක් ලබා දුන්නාද කියාය. සත්‍යය තත්වය නම් මෙහිදී ජනතාව පරාජය වී ඇත යන්නයි. මන්ද ජනතාව ජය ලැබුවේ නම් ඉහත ආකාරයේ ආඥදායකත්වයක් නැවතත් ඇතිවිය නොහැකිය. එනිසා දැන් ජනතාව තේරුම් ගත යුතු දෙය වන්නේ ග‍්‍රීක යුගයේ සිට මුතුන් මිත්තන් ජයලබා ගනිමින් තමන් වෙත උරුම කරදුන් ජනතාවාදී දේශපාලනයට මෙවර මරු පහරක් එල්ල වූයේය යන්නයි. නමුත් එසේයැයි කියා දෑත් හිස මත බැඳ 2015 වන තුරු බලා සිටිය යුතු නැත. සැබෑ පුරවැසියා යනු පාලකයන්ගේ ක‍්‍රියාකලාපය නිතර ප‍්‍රශ්ණ කරමින් රාජ්‍යය නිවැරදි මගකට ගන්නාය. ඒ සඳහා ඔහුට යුතුකමක් නොව වගකීමක් පවතින්නේය. එනිසා සමස්ථ ජනතාවටම (මහින්දට ඡන්දය දුන් ජනතාවට පවා) අඩව්ව මේ ආරාධනා කරන්නේ අපේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න, පෙරට එන්න, නැගී සිටින්න, බිය නොවන්න කියාය. මිනිසුනේ ‘‘නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා’’
.
Related Posts with Thumbnails