Saturday, February 6, 2010

නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා..........


ජනාධිපතිවරණය නිමවී සතියකුත් ඉක්මගොස් හමාරය. නමුත් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා නියෝජනය කරන බල කඳවුරු දෙකම තවමත් උණුසුම්ව පවතී. ඉන් පරාජිත පිළ නියෝජනය කරන ජෙනරාල්, එජාප, ජවිපෙ, මුකො සහ ද්‍රවිඩ ජාතික සංධානය මැතිවරණ ප‍්‍රතිඵල දූෂිතයැයි කියමින් දිගින් දිගටම එය ප‍්‍රතික්ෂේප කරමින් පරාජයේ වේදනාව ඉවතලීමට උත්සහ ගනිති. ජයග‍්‍රාහී පිළ නියෝජනය කරන මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩු පාර්ශවය ජයපැන් බීමට එහා ගොස් මැතිවරණ සමයේ තමා බියගැන්වීමට උපකාර කළායැයි සිතන සියලූම දෙනාගෙන් පළිගැනීමේ ක‍්‍රියාවලියකට පෙළඹී ඇත. මේ අප බැලූ බැල්මට දකින මැතිවරණයේ ජය පරාජයයි. අඩව්ව අද උත්සහ ගන්නේ මේ මැතිවරණ ප‍්‍රතිඵල තුළ සැඟවුණු සැබෑ ජය පරාජය නිශ්චය කර ගැනීමටයි.

තරඟයක් යනු ජය පරාජය යන අන්තයන් දෙකම එකට රැගෙන එන සංසිද්ධියකි. එබැවින් එක් පාර්ශවයක් ජය ලබන තැන ප‍්‍රතිවාදියාට අයත් වන්නේ අවාසනාවන්ත පරාජයකි. ඒ මේ ආකාරයේ තරඟයක් දෙස පටු ඇසකින් බලන්නේකුට නිරීක්ෂණය කළ හැකි ප‍්‍රතිඵලයන් වන්නේය. (ජයග‍්‍රහණයෙන් උමතුවී ශබ්දය වැඩිවූ විමල් හා පරාජයෙන් බියවී ශබ්දය බාලවූ ලාල් කාන්ත යනු මීට ජීවමාන නිදසුන්ය.) නමුත් අඩව්වේ අප මෙය දකින්නේ මීට එහා ගිය පුළුල් අර්ථයකිනි. එනම් මේ තරඟය පැවැත්වුණේ ජෙනරාල් හා මහින්ද අතර නොව, ජනතාව හා පාලකයා අතරය. එක් වරම මෙය ඇසූ ඔබේ මුවඟට සිනහවක් මතුවූවාය කියා අප ඔබ සමග උරණ වන්නේ නැත. මන්ද මෙය තරමක් විග‍්‍රහ කර වටහාගත යුත්තක් බැවිනි.

අප පෙර කී පරිදි මෙය ජෙනරාල් සහ මහින්ද අතර පැවති තරඟයක් වන්නේ පටු අර්ථයෙන් බලන කල්හී පමණි. එනම් පසුගිය 26 වෙනිදා පැවති ජනාධිපතිවරණය යන විචල්‍යය ස්වායත්තව ගෙන බලන කල්හීය. නමුත් එම මැතිවරණය ඉන් පෙර හා ඉන් පසු මැතිවරණ සමගත්, ශ‍්‍රී ලංකාවෙන් පිටතට ගොස් ලෝකයේ මැතිවරණ සමගත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිවූ දා සිට පැවැත්වී මැතිවරණ සමගත්, ග‍්‍රීකයින් අත උස්සා ඡන්දය භාවිතා කළ ඇතෑන්සයේ මැතිවරණ සමගත් එකට ගෙන නායකත්වය උදෙසා පැවැත්වූ තරඟයක් ලෙස බලන කල්හී මේ වූ කලී හුදෙක් මහින්දට හා ජෙනරාල්ට දවසක් තුළ ඉලක්කම් හරඹයකින් බෙදාගත හැක්කක් නොවන බව ඔබට වැටහෙනු ඇත. ඒ අනුව එය නොපෙනෙන අතීතයක සිට පැවත එන හා නොපෙනෙනා අනාගතයක් දක්වා සිදුවන ක‍්‍රියාවලියක එක් ඉතා කුඩා සිදුවීමක් පමණක් වේ. ඒ අනුව පුළුල් අර්ථයෙන් ගත් කළ මෙය මහින්ද හා ජෙනරාල් අතර තරඟයක් නොවන බව පැහැදිලිය. නමුත් මෙය ජනතාව හා පාලකයා අතර තරඟයක් වන්නේ කෙසේදැයි තව දුරටත් විග‍්‍රහ කරගත යුතු වන්නේය.

වැඩවසම් යුගයට පෙර නායකයා තෝරාගත්තේ ශක්තිය උරගා බැලීමෙන්ය. වැඩවසම් යුගයේදී එය කුල ක‍්‍රමය මත පදනම්ව පාරම්පරික උරුමය තුළින් නායකත්වයට පත්වීමක් බවට පත්විය. පෙර පැවති ශක්තිය උරගා බැලීමට සාපේක්ෂව මේ ක‍්‍රමය සාමකාමී යැයි ජනතාව සිතුවද පාලකයා සිටියේ කිසිවෙකුට අතපෙවිය නොහැකි තරමේ උසකිනි. මේ අතර ආගමික සංස්ථාව මෙයට මැදිහත් වන අතර ඒ හරහා අසහාය පාලකයා ප‍්‍රශ්ණ කිරීමට හැකි තරමේ ඉඩකඩක් (ජනතාවට නැතත්)දෙවියන් වහන්සේට විවර වේ. මෙය ජනතාව හා පාලකයා අතර තරඟයේදී ජනතාව ලද ප‍්‍රථම ජයග‍්‍රහණයයි. එය සමාන කළ හැක්කේ අළුතින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි රටක් දැවැන්ත කණ්ඩායමකට අභියෝගයක් වන තරමේ ළකුණු ප‍්‍රමාණයක් රැස්කිරීමටය. ඒ තුළ ජයග‍්‍රහණය කළේ නැතත් ප‍්‍රබලයා තැතිගැන්මකට ලක්වේ. මෙසේ ජයග‍්‍රහණයේ සුවඳ දැනගත් ජනතාව ආඥදායකත්වයේ පීඩනය දරාගත නොහැකිව ප‍්‍රංශයේ ලූවී රජු හා රුසියාව සාර් රජු වැන්නන් අමුඅමුවේ මරාදමා සෙවූ නිදහසේ ප‍්‍රතිඵලය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එනම් සමස්ථ ජනතාව පිළිබඳවම තනි පුද්ගලයෙක් තීරණ ගන්නවා වෙනුවට බහුතරයේ කැමැත්ත මත ක‍්‍රියාකිරීම යන්නයි. අද වන විට මෙම න්‍යායික සිද්ධාන්තය විවිධ වූ ප‍්‍රමාණයන්ගෙන් ප‍්‍රායෝගිකත්වයට නැගෙන පාලනයන් ලොව පුරා පවතී.

ඒ අනුව පැහැදිලි වන්නේ ජනතාව හා පාලකයා අතර තරඟයේ විවිධ අවධි වලදී ජනතාව ලද ජයග‍්‍රහණ හරහා අද ලොව පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිව ඇති බවයි. එසේම ඒ හරහා නොකියා කියැවෙන දෙය වන්නේ අනාගතයේදී ජනතාව දිනාගන්නා දේවල් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතිහාසයට එක්කරමින් දියුණු පාලන ක‍්‍රමයක් සොයාගන්නා බවයි. තත්වය එසේ නම් අප දැන් ශ‍්‍රී ලංකාව දෙසට හැරී බලමු. චීනය වෙනිසියුලාවෙ මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමකින් වැසුණු ඒකාධිපතියෙක් නැතත් ශ‍්‍රී ලංකාවත් සුදු හුණු ගෑ කළු බළලෙක් බව අමතක නොකළ යුතුය. මන්ද 1978 ව්‍යවස්ථාව යනු ප‍්‍රජාතන්ත‍්‍රීය මුහුණුවරක් ගත් ඒකාධිපති ආඥදායකත්වයක් ගැබ්වූ විධායක ජනාධිපති ක‍්‍රමයේ ත‍්‍රිපිටකයයි. 1977 දී ජේ.ආර් ලද 5/6ක නාහෙට නාහන බලයේ නාමයෙන් බිහිවූ 78 ව්‍යවස්ථාව ඒකාධිපතියෙක් බිහිකළද අඩව්වේ අප දක්නා පරිදි ඒ තුළද ජනතාව පරාජය වී නැත. මන්ද එතෙක් ජනතාවට හිමි නොවූ මූලික අයිතිවාසිකම් හා උපරිමාධිකරණයේ ආරක්ෂාව ඒ තුළින් ජනතාවට දායාද විය. නමුත් මෙය ඒකාධිපති ව්‍යවස්ථාවක් යැයි කීම අප කිසිසේත්ම බැහැර කරන්නේ නැත. එබැවින් ජනතාව දැන් ඉතිං මොනවා කරන්නද කියා සිටියේ නම් අද වන විට ශ‍්‍රී ලංකාවේද ජුලියස් සීසර් වැන්නෙක් රාජ්‍යය විචාරනු ඇත. නමුත් එයට ඉඩ නොතබා අවධියෙන් සිටි ජනතාව මධ්‍යගත පාලනයක් සහිත ඒකාධිපති ව්‍යවස්ථාවේ අනවශ්‍ය බලතල දියකර හැරීමට තරම් ධෛර්‍යවන්ත වූහ. ඒ අනුව 1987 ඉන්දු ලංකා ගිවිසුම ප‍්‍රකාරව 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් 2001 දී ගෙනා කොමිෂන් සභා සහිත 17 වන ව්‍යවස්ථා සංශෝධනයත් ජනතා ජයග‍්‍රහණයන් විය. මේ තුළින් වරම් ලද ඒකාධිපතියෙක් බිහිවීම වලක්වා ඊට එරෙහිව නැගී සිටීමට සදාචාරාත්මක වූත් නීත්‍යානුකූල වූත් අයිතිය ජනතාව වෙත පවරා ගන්නා ලදි. අප මෙහිදී සිහියට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙය මැතිවරණයක් තුළින් නොව ජනතාවගේ සක‍්‍රීය මැදිහත්වීම තුළින් ලබාගත් ජයග‍්‍රහණ වන බවයි.

අප දැන් විමසා බලමු මෙවර මැතිවරණය තුළින් ජනතාව ජය ලැබුවේ කෙසේද කියා. සැබෑවටම මෙවර මැතිවරණ වේදිකාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, 17 හා 13, දූෂණය - වංචාව වැනි මාතෘකා බඩුමිල, ජීවන වියදම සමග කරට කර නැගී සිටියේය. එය ශ‍්‍රී ලංකාවේ ජනතාව ලද දැවැන්ත ජයග‍්‍රහණයකි. මන්ද තහඩු, උළු, පොත්පත්, බෙදා ඡන්දය ලබාගැනීමට පෙළඹුණු දේශපාලනඥයන් මේ තත්වයට වෙනස් කරගැනීමට හැකිව ඇත්තේ ජනතාවයට. එබැවින් බත් පැකට් එකට හා අරක්කු කාලට ඡන්දය කළ කාලය අවසන් වන ළකුණු පහළ වී ඇත. අනෙක් අතට ප‍්‍රභාකරන්ට පින්සිද්ධ වෙන්න මැතිවරණ දිනූ කාලයත් අවසන්ව ඇත. මේ සියල්ල මෙවර ජනාධිපතිවරණය හරහා ජනතාව ලද ජයග‍්‍රහණයන් ලෙස දැක්විය හැකිය. නමුත් විශේෂ අවධානයක් යොමු නොකර බැරි කාරණයක්ද තිබේ. එනම් මැතිවරණයෙන් පසු ආණ්ඩු පාර්ශවය ගෙන යන දැවැන්ත මර්ධනකාරී ක‍්‍රියාපිළිවෙලයි. මැතිවරණයත් තුළ මාධ්‍ය නිදහස ගැන කතා කළ මහින්ද රාජපක්ෂ ප‍්‍රගීත්ගේ අතුරුදහන්වීම ගැන හෝ චන්දනගේ අත්අඩංගුවට ගැනීම ගැන කතා නොකරයි. යුධ ජයග‍්‍රහණයත් සමග දේවත්වයේලා සැලකූ හමුදා නිලධාරීන් 14 ක් අනිවාර්‍ය විශ‍්‍රාම යැවීම හා නිලධාරීන් 40ක් ස්ථාන මාරුකිරීම් ගැන හා හූවක් වත් නැත. ලංකා පත්තරයට සීල් තැබීම, ලංකා ඊ නිව්ස් හා ලංකා ටෲත් පුවත් අඩවි වසා දැමීම ගැන දන්නා බවක්වත් පෙන්නන්නේ නැත. විපක්ෂ අපේක්ෂකයාගේ ආරක්ෂාව මුළුමනින්ම ඉවත් කරන්නේ ප‍්‍රභාකරන් මරා රට බේරාගත් හමුදාපතිවරයා යන්න නොදන්නා ලෙසය. කරූ ජයසූරිය හා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂාව බින්දුවට දමන්නේ උන්ව මොකට ආරක්ෂා කරනවාද සිතාය. අනෙක් අතට ජැක්සන් ඇන්තනී රූපවාහිනියටත් රේණුකා චිත‍්‍රපට සංස්ථාවටත් සභාපතිවරුන් වී පත්වීමට නියමිතය. තවත් සංස්ථා සභාපතිවරු විශාල ප‍්‍රමාණයක් ඉල්ලා අස්වීමට සලස්වා ඇත. ඒවායින් පුද ලැබීමට මාලනී ෆොන්සේකා, ශ‍්‍රියන්ත මෙන්ඩිස් වැන්නන් සූදානම්ව සිටිති. මේ මොහොත වන විට රටේ උද්ගතව ඇති තත්වය මෙයයි.

දැන් අප බැලිය යුත්තේ මෙවන් ප‍්‍රතිඵල බිහිකළ මෙම මැතිවරණය ජනතාවට ජයක් ලබා දුන්නාද කියාය. සත්‍යය තත්වය නම් මෙහිදී ජනතාව පරාජය වී ඇත යන්නයි. මන්ද ජනතාව ජය ලැබුවේ නම් ඉහත ආකාරයේ ආඥදායකත්වයක් නැවතත් ඇතිවිය නොහැකිය. එනිසා දැන් ජනතාව තේරුම් ගත යුතු දෙය වන්නේ ග‍්‍රීක යුගයේ සිට මුතුන් මිත්තන් ජයලබා ගනිමින් තමන් වෙත උරුම කරදුන් ජනතාවාදී දේශපාලනයට මෙවර මරු පහරක් එල්ල වූයේය යන්නයි. නමුත් එසේයැයි කියා දෑත් හිස මත බැඳ 2015 වන තුරු බලා සිටිය යුතු නැත. සැබෑ පුරවැසියා යනු පාලකයන්ගේ ක‍්‍රියාකලාපය නිතර ප‍්‍රශ්ණ කරමින් රාජ්‍යය නිවැරදි මගකට ගන්නාය. ඒ සඳහා ඔහුට යුතුකමක් නොව වගකීමක් පවතින්නේය. එනිසා සමස්ථ ජනතාවටම (මහින්දට ඡන්දය දුන් ජනතාවට පවා) අඩව්ව මේ ආරාධනා කරන්නේ අපේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න, පෙරට එන්න, නැගී සිටින්න, බිය නොවන්න කියාය. මිනිසුනේ ‘‘නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා’’
.

Wednesday, January 27, 2010

අඩව්ව අඩෙවි සංස්කාරකගේ විශේෂ ප‍්‍රකාශය. (මැතිවරණයෙන් පසු තත්වය)

අඩව්ව විසින් මේ මොහොතේ විශේෂ ප‍්‍රකාශයක් කළ යුතුව පවතී. ඒ අනුව සියළුම බ්ලොග් කියවන්නන් සහ ලියන්නන් අමතා ඉතා වගකීමෙන් මේ ප‍්‍රකාශයක කරන්නෙමු.

අඩව්ව යනු පැහැදිලිවම වෙනසක් වෙනුවෙක් පෙනී සිටි සහ තම අදහස් පල කළ අඩවියකි. අප අඩව්ව මේ මග ගෙනයෑමට තීරණය කළේ රටේ සිදුවුණ සිදුවීම් සහ නිශ්චිතවූත්, භයානකවූත් අනාගත සැලසුම් වලින් ජනතාව බේරාගැනීමටය. එසේ සිතීමට ප‍්‍රමාණවත් සිදුවීම් ගණනාවක් සහ අඳුරු සෙවනැලි ගණනාවක් මතුවෙමින් පැවතිණි. එම තත්වයන් ප‍්‍රශ්ණ කළ පුද්ගලයන් අධම ලෙස නිහඬ කරන්නට තරම් මෙම බල හවුල අත්තනෝමතිකව නැගිටිමින් සිටියේය. මේ තත්වයන් ඇසෙන පෙනෙන අඩව්වේ අප තව තවත් (අතිබහුතර ශ‍්‍රී ලාංකීය බුද්ධිමතුන් මෙන්) නිහඬව සිටීම හරහා අප වෙත ඉබේ තල්ලූවන න්‍යායාත්මක හා සදාචාරාත්මක වගකීම පැහැර හැරීමකැයි අපගේ හදවත් පුන පුනා කියා සිටියහ. එබැවින් පටු ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් කාලෝ ෆොන්සේකාගේ සිට මාලනී ෆොන්සේකා දක්වා විවිධ පුද්ගලයන් තම මතවාදයන්, වටිනාකම්, විශ්වාසයන්, බලාපොරොත්තු ආදී සියලූ දේවල් මහින්ද රාජපක්ෂගේ දෙපා මුල තබා වැඳ වැටෙන කල අඩව්වේ අප උඩුගං බලා පිහිනීම ආරම්භ කළෙමු.

අප අපේ පිහිනීම ආරම්භ කළේ කරුණා අම්මාන් දේශපේ‍්‍රමියෙක් වූ දිනයේය. කරුණා අම්මාන් දේශපේ‍්‍රමියෙක් වන්නේ නම් අරංතලාවේදී ඝාතනයට ලක්වූ සිංහලවූද බෞද්ධවූද භික්ෂූන්වහන්සේලා සහ අලිමංකඩ මුලතිව් බංකර් තුළ මියගිය ජාතියේ මුර දේවතාවන් දේශද්‍රෝහීන් වන්නේදැයි අඩව්ව ප‍්‍රශ්ණ කර සිටියේ පාලකයන්ගෙන් සහ පාලිතයන්ගෙනි. එතැන් පටන් යුධ වංචාවන්, ජනතාව මුලා කිරීම්, වැඩවසම් රාජ්‍යත්වය, නීතියේ වල්වැදීම, ඇමතිවරුන්ගේ විගඩම්, රාජපක්ෂ වරුන්ගේ ¥ෂණ හා මාධ්‍යය මර්ධනය ආදී අවස්ථාවලදී අප කටවල් පියාගෙන නොසිටියෙමු. එහිදී අවධිකළ අපේ හඬ පක්ෂපාතීවූවා යැයි යමෙකු තර්ක කළ හොත් අප එයට එකඟ වන්නෙමු. මන්ද යත් එය අපේ අරමුණ කරා යෑමේ අවශ්‍යතාවය මත ගත් තීරණයක් බැවිනි.

ඉන්පසු හදිසියේ ඇති වූ මැතිවරණය තුළදී අප පවත්නා බල හවුලට දැඩිව පහර ගැසූ අතර සාක්ෂි සහිතව කරුණු දක්වා සිටියෙමු. එහිදී අප කිසිවක් හිතේ හිරකරගෙන නොසිටීමට වගබලා ගත්තේ ලසන්ත හෝ පෝද්දල මෙන් අවධානමට ලක්වීමට නොවුනත් 26වෙනි දින හවස ටැබූ වැන්නන් ප‍්‍රසිද්ධියේ නිරුවත් කළ ආකාරයේ අනියත බියගුළුකමක් නැති නිසාවෙනි. එ අනුව අප අඩව්ව අඩෙවියේ කිසිම පළ කිරීමක් ඉවත් කළේ හෝ සඟවා තැබූයේ නැත. අප එදා ලියූ දේ අදටද ඔබට දැකගත හැකිය. ඒ මන්ද යත් අප කළ කී සෑම දෙයකම වගකීම අප පෞද්ගලිකවම දරණ බැවිනි. එය පත්වන පාලකයා දෙස බලා ලිපි සැඟවීමට තරම් ප‍්‍රාථමික දෙයක් නොවන බව අප මේ මොහොතේද ඔබ ඉදිරියේ පවසා සිටිමු.

තවත් අඩවි කීපයක් තමන්ගේ අවසන් ලිපි සටහන් තබා බ්ලොග්කරණයෙන් සමුගන්නා බවක් පවසා ඇත. නමුත් ඔවුන් මෙසේ උත්සාහය අතහැර දමන්නේ ඇයි දැයි අපට නොවැටහේ. ඔවුන්ගේ බ්ලොග්කරණයේ අභිලාෂය ඉටුවූ බවක් පෙනෙන්නට නැති කොට මෙසේ සටන අතහැර දමන්නේ මන්දැයි අප ඉදිරියේ ප‍්‍රශ්ණාර්ථයක් ඉතිරි කරයි. තත්වය කෙසේ වූවද අඩව්ව මේ මොහොතේ වගකීමෙන් කියන්නේ අප ඇරඹූ උඩුගං බලා පිහිනීම කිසිසේත්ම අත්නොහරිමු. මන්ද අප මේ කර්තව්‍යය කරන්නේ සමස්ථ ශ‍්‍රී ලාංකීය ජාතිය වෙනුවෙනි. ඉදින් මෙවර එය සාක්ෂාත් කරගත නොහී අපේ උඩුගං බලා පිහිනීමට බාධා කරමින් සැඩ පහරක් ආ නමුත් ඉන් තරමක් වෙහෙසට පත්වූ හා සිත්තැවුලෙන් වුවද අප නැවතත් අත්පා ගසමින් ගමනට සැරසෙන්නෙමු.

ගැටුමක් ඇති වීම සාමාන්‍ය දෙයකි. මේ මොහොතේ අපේ අභිලාෂයන් සහ යථාර්තය අතර ගැටුමක් ඇති වී ඇත. ඒ හරහා අපේ බලාපොරොත්තු යථාර්තය තුළ බොඳව ඇත. මේ ගැටුම හරහා ඇතිවන සිත්තැවුල හා පශ්චාත්තාපය යනු ගැටුමේ නිශ්පාදනයන් වන්නේය. මේ චෛතසික තත්වයන් වූ කලී අන් කිසිවක් නොව ශක්තියයි. මේ ශක්තිය විවිධ පුද්ගලයන් විවිධ ලෙස භාවිතා කරති. සමහරෙක් මෙය ඍණාත්තමකව ගෙන තමන් කෙරෙහි වෛර්‍යයක් ඇති කරගෙන මේ ශක්තීන් තමන් වෙතට මුදා හරියි. ඔවුන් කරගන්නේ තමන්ට අකටයුත්තකි. තවත් අයෙක් මෙය රටේ ජනතාව කෙරෙහි වෛරී සිතුවිල්ලෙන් ජනතාව වෙත මුදාහරියි. ඒ අරහා ඔවුන් තවදුරටත් මෙහෙම හරක් ටිකකට මොකට දේශනා තියනවාද සිතා මේ සත්කාර්‍යය ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් කරන්නේ ජනතාවට අකටයුත්තකි. අඩව්වේ අප සිතන පරිදි නම් මේ දෙකම සාධනීය නොවේ. මන්ද මේ ගැටුම හරහා උපන් ශක්තිය මේ අවස්ථා දෙකේදීම ඍණාත්මකව භාවිතා වී ඇත. ඒ නිසා අඩව්ව සිතන්නේ මෙම ශක්තිය අප ධනාත්මකව යොදා ගෙන එය ශක්ති ප‍්‍රභවයක් ලෙස භාවිතා කළ යුතුය කියාය. සැබෑ ගැටුම් විපරිවර්ථන ක‍්‍රියාවලිය එයයි. එය නව ගමනකට මග පාදයි. එය අපටත්, ජනතාවටත් අප දෙපාර්ශවයටමත් කළ හැකි හොඳම කාර්‍යය වන්නේය.

මැතිවරණ ප‍්‍රතිපල පිළිබඳව අපගේ ආකල්පය වන්නේ මෙය ඉතාමත් සාමකාමී මැතිවරණයක් යන්නයි. නමුත් අප උපරිම මට්ටමේදී උත්සහ ගත් වෙනස හෝ අවම මට්ටමේදී උත්සහ ගත් ප‍්‍රජාතන්ත‍්‍රීය පාලකයෙක් බිහිකරගැනීම යන කරුණු ද්විත්වයම දෑස් ඉදිරිපිට බොඳවී හමාරය. ඒ අනුව අපේ රටට දැන් වරම් ලද ඒකාධිපතියෙක් පත්වී හමාරය. එහි කරුමය අනාගතයේදී අපට දැකගත හැකි වන්නේය. එය මෙහිදී විස්තර නොකෙරෙන්නේ විග‍්‍රහාත්කව වෙනමම ලිපියක් ලෙස පල කිරීමට අපේක්ෂා කරන බැවිනි.
මේ වූකලී ශෝකාලාපයක් නොවේ. මේ අප හිත් තුළ බුර බුරා නැගෙන වේදනාවයි. එසේම මේ වෙනස වන තුරුම ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට අප මෙහෙයවන ශක්තියයි. එබැවින් අප පරාජයක් ලෙස මෙය කිසිසේත්ම විග‍්‍රහ නොකරන්නෙමු. මන්ද යත් මේ අපේ අනාගත ක‍්‍රියාකාරීත්වගේ ගාමක බලවේගය තනා දෙන ශක්ති ප‍්‍රභවය වන නිසාය. මේ අනුව විවිධ අඩවි විවිධාකාර තීරණයන් ගන්නා මේ තීරණාත්මක මොහොතේ අඩව්ව ගන්නා වෙනස වන්නේ ෆස්ට් එකට දමා ගමන වේගවත් කිරීමයි.ඒ අනුව ඔබට ඊයේ මෙන්ම හෙටටත් අඩව්ව ඉතුරු වන බව සතුටින් ප‍්‍රකාශ කරන්නෙමු. එසේම එදාටත් වඩා හෙට අප මතවාදීමය අතින් තව තවත් ශක්තිමත් වෙමින් මනෝමය නොවූ අපේ (ජනතාව වෙනුවෙන් කරන) අරගලයේ යථාර්තවාදී රූපය දැකීමට ක‍්‍රියාකරන්නෙමු. කාලයේ වැලිතලාවට කිසිදා යට නොවන මැරකම හා අවනීතිය හරහා උදුරාගන්නට තැත් කරන ඔබේත් මගේත් පපුකැනැත්ත තරම් වටිනා ප‍්‍රජාතන්ත‍්‍රීය හෙට දවස වෙනුවෙන් අද දවස කැප කරන්නට සූදානම් බව මෙහිලා සටහන් කර තබන්නේ හද පිරි සන්තෝෂයකින් හා ආඩම්බරයකිනි.





විශේෂ දැනුම් දීමයි.
මැතිවරණය සම්බන්ධ අපගේ අදහස් දැක්වීම් හා ස්ථාවරයන් පිළිබඳව ඔබට ප‍්‍රශ්ණ කිරීමට ඇති අයිතියට අපි අවස්ථාව සලසා දෙමු. ඔබගේ චෝදනා හෝ අදහස් මෙහි පළ කරන්න. ඉදිරි ලිපයේදී අප හැකි ඉක්මනින් ඔබේ ප‍්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නෙමු. අඩව්ව කිසිදා ඔබව මුලා නොකරන බවත් අප කළ කී සියලූ දේ සම්බන්ධව සම්පූර්ණ වගකීම ගන්නා බවත් කරුණාවෙන් සලකන්න.

.

Tuesday, January 26, 2010

විමල්ගේ විනාඩි පහළොවේ බොරුව හා ඡන්ද පොළේ රඟපෑ නාට්‍යය.


ජෙනරාල්ට ඡන්දහිමි නාමලේඛණයේ නම නොතිබීම හරහා ඔහුට රටේ ජනාධිපති වීමට හැකියාවක් නැතැයි විමල් වීරවංශ විසින් අද සැන්දෑවේ මාධ්‍යය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළේය. නමුත් සත්‍යය ඊට සුළු මොහොතකට පසු පහදා දුන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාය. එම පැහැදිලි කිරීමට අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ලබා ගැනීමට සහ ජනාධිපති ලෙස පත්වීමට ඇති මූලිකම සුදුසුකම් දෙකකි.

1. ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
2. වයස අවුරුදු 35 ඉක්මවා තිබීම.

නමුත් විමල් වීරවංශට අයත් වන ව්‍යවස්ථාවේ එය වෙනස් තත්වයක් ගනී. ඔහු ප‍්‍රකාශ කළේ එ් සඳහා ඇති එකම සුදුසු කම වන්නේ ඡන්දහිමියෙක් විසින් සැපිරිය යුතු සියලූ සුදුසුකම් සපුරාතිබිය යුතු බවයි. එහිදී ඔහු කියන්නේ ලියාපදිංචි ඡන්දදායකයෙකු වීම අත්‍යාවශ්‍ය බවයි.

නමුත් ඊට සුළු මොහොතකට පසු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමසාරිස් මේ තත්වය නිරාකරණය කරදෙයි. ඔහුගේ ප‍්‍රකාශයට අනුව ලියාපදිංචි ඡන්දදායකයෙකු වීම අත්‍යාවශ්‍ය නොවන බව කියැවේ. එසේ මැතිවරණ කොමසාරිස් මෙයට ඉක්මනින්ම මැදිහත්වීමට හේතුව වූයේ මේ හරහා එතුමා විසින් භාරගෙන මැතිවරණයට යොමු කළ ජෙනරාල්ගේ අයදුම් පත ගැන මේ හරහා ප‍්‍රශ්ණ කෙරෙන බැවිනි. එ් අනුව අතේ පත්තුවන බොරුව කී විමල් වීරවංශගේ විනාඩි පහළොවේ බොරුව මැතිවරණය සම්බන්ධ සියලූ බලතල සහිත කොමසාරිස් වරයාම අවලංගු කර දමන ලදි.

නමුත් මෙම සිද්ධිය පිටුපස ඇති සිනහ උපදවන කාරණය වන්නේ ජෙනරාල්ගේ ලියාපදිංචි වීම ගැන ප‍්‍රශ්ණ කරන විමල් වීරවංශ යනුද මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවක් නැති පුද්ගලයෙකු වීමයි. විමල් වීරවංශ කී පරිදි ජෙනරාල් විසින් කර ඇත්තේ මෙලොව කිසිම අපේක්ෂකයෙක් නොකළ බොරුවක් බවයි. නමුත් එසේ කී විමල් තවමත් තමන්ගේ ඡන්දදාවයක් නොමැති වීම ගැන හෝ තමන් මාධ්‍යයන්ට පේන්නට බොරුවට ඡන්ද පොළක් වෙත ගොස් පැමිණි බවවත් තාමත් මාධ්‍යය වෙත නොකීම සැබෑ දේශපේ‍්‍රමීත්වයදැයි අපට ප‍්‍රශ්ණයක් මතුවේ.


විමල්ගේ විහිළුව පිළිබඳව ලංකා ටෲත් වෙබ් අඩෙවියේ පහත පරිදි දැක්වා ඇත.

//නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප්‍රකාශ කර නැත. හේතුව ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශටද මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමයි. පසුගිය දිනක පිට්ටුගල ග්‍රාම නිලධාරීවරයා හමුවී ඇති විමල් වීරවංශ තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට මාරු කර ගෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අවස්ථාවේදී අදාල ග්‍රාම නිලධාරීවරයා ඡන්ද නාම ලේඛණය පරීක්ෂා කොට පවසා ඇත්තේ විමල් වීරවංශට මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැති බවයි. අද අචල සුරංග ජාගොඩ සමඟ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විමල් වීරවංශ එහි නිලධාරීන් සමඟ කතාබහේ යෙදී රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද නිකුත් කළේය. නමුත් ඡන්දය භාවිත නොකළේය.


එහෙත් ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවී නැති බව පවසමින්, ඔහුට ලංකාවේ පුරවැසිභාවය නොමැති බව රාජ්‍ය මාධ්‍ය හමුවේ පැවසුවේද තමන්‍ටද ඡන්ද අයිතිය නැති විමල් වීරවංශය. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ නීති විශාරදයෙකු පෙන්වා දුන්නේ අනුන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්නේ තමන්ටත් ඡන්ද අයිතිය නොමැති බවවත් නොදන්නා අයෙකු බවයි.//


නිවුස් වෙබ් හී මෙය දක්වා ඇත්තේ මේ ආකාරයටය.

//ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්දය පාවිච්චි කර නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේදී විමල් වීරවංශට පංචිකාවත්ත ප‍්‍රදේශයේ ඡන්දය ලියාපදිංචිව තිබූ අතර, පසුව කඩුවෙල, තලාහේන, පිට්ටුගල ඡන්දය ලියාපදිංචිව සිටියේය.

නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප‍්‍රකාශ කර නැත. හේතුව ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශටද මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමයි. පසුගිය දිනක පිට්ටුගල ග‍්‍රාම නිලධාරීවරයා හමුවී ඇති විමල් වීරවංශ තමාගේ

ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට මාරු කර ගෙන ලෙස දක්වමිනි.

ඒ අවස්ථාවේදී අදාල ග‍්‍රාම නිලධාරීවරයා ඡන්ද නාම ලේඛණය පරීක්ෂා කොට පවසා ඇත්තේ විමල් වීරවංශට මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැති බවයි. පසුව අද අචල සුරංග ජාගොඩ සමඟ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විමල් වීරවංශ එහි නිලධාරීන් සමඟ කතාබහේ යෙදී රාජ්‍ය මාධ්‍ය වෙත ප‍්‍රකාශයක්ද නිකුත් කළේය.

නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද නාමලේඛණයේ නම ලියාපදිංචි නැති බව ප‍්‍රයෝජනයට ගෙන ඔහුට ලංකාවේ පුරවැසිභාවය නොමැති බව රාජ්‍ය මාධ්‍ය හමුවේ විමල් වීරවංශ පැවසූ අතර, ජනතාව පවසන්නේ අනුන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්නේ තමන්ටත් ඡන්ද අයිතිය නොමැති බව පවා නොදන්නා අයෙකු බවයි.//

ජෙනරාල්ට ජනාධිපතිකම අහිමිද? - කෙටිපණිවුඩ වලට පිළිතුර



අද දහවල් වන තුරුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා ඡන්දය ප‍්‍රකාශ කර නැතැයි යන්න මාධ්‍යය හරහා කියැවුණි. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන් හා මැති ඇමතිවරුන් ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරයන් දැකගත හැකි වුවද සරත් ෆොන්සේකා ඡන්ද පොළට එනතුරු රැකසිටි මාධ්‍ය වේදීන්ට හැරී එන්නට සිදුවිය. ඒ මන්ද යත් එතුමාගේ නම 2008 ඡන්දහිමි නාමලේඛණයේ නොවූ බැවිනි. එනිසා ඡන්ද පොළ වෙත නොගිය ජෙනරාල්වරයා ඡන්ද කටයුතු සාමකාමීව අවසන් වනතුරු සිට තම ප‍්‍රකාශය නිකුත් කළේය. ඒ අනුව තමන්ගේ ඡන්ද අයදුම් පත ඉදිරිපත් කළද ඡන්ද හිමි නාමලේඛණයේ නම නොතිබූ බව එතුමා කියා සිටියේය.

නමුත් මෙම තත්වය මේ වන විට කෙටිපණිඩුට හා රාජ්‍ය මාධ්‍යය යොදාගනිමින් වැරදි විදිහට අර්ථකතනය කරන ආණ්ඩුවේ නින්දිත ක‍්‍රියාව ගැන පළමුවෙන්ම පිළිතුරු දිය යුතුය. ආණ්ඩුව කියන ආකාරයට එතුමාට ජනාධිපති වීමට බැරිය. නමුත් ජනාධිපතිවරණයට ඉල්ලීම සහ ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කිරීම යන්න ක‍්‍රියාවලි දෙකකි. ඒ අනුව එතුමාට මෙවර ඡන්දය නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නොවිණි. ඒ අනුව පසුගිය මාසයේ එතුමා විසින් ඉදිරිපත් කළ අයදුම් පත මැතිවරණ කොමසාරිස් වරයා භාරගනියි. එයින්ම පැහැදිලි වන්නේ ජනාධිපතිවීමට එතුමා සතු නීත්‍යානුකූලභාවයයි. ඒ අනුව මේ වන විට රටපුරා සීඝයෙන් පැතිර යමින් තිබෙන ආණ්ඩුවේ අමනෝඥ පණිවුඩය බොරුවක් බව අඩව්ව කියා සිටියි.

ඒ සමගම පැණ නගින ගැටළුව වන්නේ ජෙනරාල් මේ බව කලින් නොකීවේ ඇයි යන්නයි. එයට සාධාරණ හේතු තිබේ. ආණ්ඩුවේ පාර්ශවයෙන් ඔහු කෙරෙහි ගෙනා අභූත චෝදනා හමුවේ මෙවන් අදහසක් ආරංචි වූයේ නම් ඔවුන් නිසැකවම මෙය හොඳ මඩක් ලෙස භාවිතා කිරීමත් ගම් බද ජනතාව වෙත වැරදි මතයක් පැතිරවීමටද ඉඩ තිබිණ. එනිසා නීත්‍යානුකූලත්වය තුළ කිසිඳු ප‍්‍රශ්ණයක් නැති මේ තත්වය හෙළි නොකිරීම සාධාරණයැයි කිය හැකිය.

නමුත් අඩව්ව ඔබට පොරොන්දු වූ පරිදි කාවවත් සුද්ද නොකර මේ තුළ ඇති වැරැද්දද මෙසේම දකිමු. එනම් රටේ අනාගත නායකයා නායකත්වයට ඒමටත් පෙර ජනතාව රැවටීමට කටයුතු කිරීමේ ඛේදනීය තත්වයයි. (අප ජෙනරාල්ට විරුද්ධ වන පළමු අවස්ථාව මෙය වන අතර ඉදිරියේදී ජනාධිපති පදවි ලදහොත් ඔහුගේ පාර්ශයේ නොඇලී ජනතාව නියෝජනය කරන තැන සිටීමට අඩව්ව කටයුතු කරනු ඇත.) මන්ද ඔහු මෙය නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ප‍්‍රකාශ කර සිටියේ නම් එතැනදී එය විසඳෙන අතර ඒ හරහා ආණ්ඩුව මේ ගෙනයන ප‍්‍රචාරයේ පදනම් බිඳ දමන්නට හැකියාව තිබුණි. නමුත් එය නොකළ නිසා අඩව්ව තම අප‍්‍රසාදය ජෙනරාල් වෙත පළ කරන්නේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගෙන් මෙවැන්නක් වසං කර තැබීම ගැනය.

නමුත් යමෙකුට මෙසේද කිවහැක ‘‘මෙහෙමනේ. ඕක කොහෙදිවත් කියන්න ඕනේ වුණේ නෑනේ. කවුරුත් ඇහුවෙත් නෑනේ. ඇහුවනං කියනවා. ඇහුවේ දැංනේ.’’ එවැන්නන්ට කියන්නට ඇත්තේ අඩව්ව ඔබට වඩා වෙනස් බව පමණි.


පසුව සටහන් කළ දෙයක් බව සිතන්න.
ඡන්ද හිමියෙක් කියන එකයි ඡන්ද හිමි නාමලේඛණේ නම තියෙනවා කියන එකයි දෙකක්. ඡන්ද හිමියෙක් කියන්නේ අවුරුදු 18ට වැඩි ඡන්දයට සුදුසුකම් තියෙන කෙනෙක් කියන එකයි. එ්කනේ 18ට වැඩි අයට විතරක් ඡන්දෙ ඉල්ලන්න පුළුවං. එයාලට ඡන්දෙ එන්න කලිං වුනත් ඡන්දෙ ඉල්ලන්න පුළුවංනේ. දන්නවාද 2009 ඡන්දෙදි එස් බීටත් ඡන්දෙ තිබ්බේ නෑ. එ් එයා 2008 හිරේ හිටපු නිසා ඡන්දහිමි නාමලේඛනේ නම දාගන්න බැරි වෙලා. එ්ත් මහඇමති වෙන්න ප‍්‍රශ්ණයක් වුණේ නෑනේ. එ් නිසා මේ වෙනස තේරුම් ගන්න. බොරු ප‍්‍රචාර යවන්න එපා. මැතිවරණ කොමසාරිස් පවා කියපු ඇත්ත මේකයි. කරුණාකරලා අසත්‍යය දේවලට ඉඩ දෙන්න එපා.

ටැබූ කමෙන්ටුවක් ලෙස දැක්වූ හේතු දැක්වීම පහත දැක්වේ.

මම සරත් ෆොන්සේකා වෙනුවෙන් කිසි විටෙක පෙනී නොසිටියෙමි. නමුත් මේ සිද්ධිය හා සම්බන්ධව ඔහු 100% ක් නිර්දෝෂී බව කිව යුතුය.

හමුදාවේ, පොලීසියේ ඇත්තන් සාමාන්‍යයෙන් තමන්ගේ නිවෙස පිහිටි ප්‍රදේශය අනුව ලියා පදිංචි වන සිරිතක් නැත. හේතුව ඔවුන්ට (අනිවාර්යයෙන්ම මැතිවරණ රාජකාරි වලට සහභාගි විය යුතු නිසා) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම වඩා පහසු නිසාය. ෆොන්සේකා මේ අනුව හමුදාවේ ලැයිස්තුවේ දිගටම ලියා පදිංචිව සිටින්නට ඇත.

ෆොන්සේකා හමුදවෙන් 2009 දෙසැම්බරයේ විශ්‍රාම යයි. එනිසා ඔහුට හමුදාවේ ලියා පදිංචිය නැත. විය යුතුව තිබුණේ එසැණින්ම ඔහුගේ නම පදිංචි ප්‍රදේශයේ ලැයිස්තුවකට මාරුකිරීමය. අපේ යල් පැණ ගිය සිස්ටම් වලට මෙවැන්නක් මාස දෙකකින් කිසිසේත්ම කළ නොහැකිය. අලි මදිවාට කොටි කීවාක් සේ අපේ ඔලමොට්ටල මැතිවරණ කොමසාරිස් පාවිච්චි කරන්නේ 2008 ලැයිස්තුවලු! එය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මිස ෆොන්සේකාගේ වරද නොවේ. (වෙනත් විදියකින් කිව්වොත් ෆොන්සේකාට විතරක් නොව ගිය අවුරුද්දේ 18 පිරුණු තරුණ තරුණියන් දහස් ගණනකට මැතිවරණ කොමසාරිස් තම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා ඡන්ද අයිතිය අහිමි කරයි.)

අවසාන වශයෙන් ෆොන්සේකා මේ කාරණය රටින් වසන් කළේ ඇයිදැයි ඔබ අසයි. ඔහු වැරදීමකින් හෝ එය හෙළි කළේ නම් බොරු ප්‍රචාර මැවීමෙන් ආණ්ඩුව විසින් කොයිතරම් අවාසියක් ඔහුට හිමි කරද්නු ඇත්දැයි සිතා බලන්න. මේ ලංකාවේ ඡන්ද දායකයින් මෝඩයින් වීමේ වරදය. ඊට ෆොන්සේකාට බැණ වැදී ඵලක් නොවේ.

දවල් එක වෙද්දි ඡන්දෙ තත්වය.


මෑත කාලය තුළ කිසිඳු මැතිවරණයකදී වාර්තා නොවූ පරිදි ඉතා විශාල ජනසහභාගීත්යක් හා ඉතා ක‍්‍රියාශීලී ජනතා මැදිහත් වීමක් සහිතව 2010 ජනාධිපතිවරණය මේ වන විටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. යාපනය හා කිලිනොච්චියේ සිදුවූ සිදුවීම් දෙකක් හැරෙන්නට අනෙකුත් සියලූම පලාත් වල ඉතාමත් සාමකාමී මැතිවරණයක් දියත් වෙමින් පවතී.

අද දින දැකගත හැකි වූ සුවිශේෂීම සිදුවීම නම් උදෑසන 7 සිට 10 දක්වා කාලය තුළ ඡන්ද පොළ වල් වල අධික පෝලිම් දැකගත හැකි වීමේ තත්වයයි. සාමාන්‍යයෙන් පැය එක හමාරක පමණ දිගු පෝලිම් මහනුවර මාතලේ හා නුවරඑළිය ප‍්‍රදේශවල දැකගත හැකි වූ අතර අනෙකුත් සමස්ථ ශ‍්‍රී ලංකාවේම උදේ වරුව තුළ ඡන්ද පොළවල් වල පොදුවේ විශාල පෝලිම් තිබූ බව ප‍්‍රකාශ විය.

දහවල් 12 වන විට මාතලේ හා මහනුවර හා රත්නපුර දිස්ත‍්‍රික්ක වල බොහෝ ඡන්ද පොළවල් වල 60% ක ඡන්ද ප‍්‍ර‍්‍රකාශ වී තිබූ බවත්, ගම්පහ දිස්ත‍්‍රික්කයේ 60% ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණයක් ප‍්‍රකාශ වී තිබීමත්, ජා ඇල එක ඡන්ද පොළක 1200ක් පමණ තිබූ ඡන්ද පොළකින් තවත් ඡන්ද 129ක් පමණක් ප‍්‍රකාශ වන්නට තිබීමත් හරහා ජනතාව තිබූ උනන්දුවේ තරම කෙතරම්දැයි පැහැදිලි වනු ඇත.

යාපනයේ නල්ලූර් පිහිටි නගරාධිපති කාර්‍යාලය අසල ඊයේ රාත‍්‍රියේ පෙට්ට‍්‍රල් බෝම්බ පිපිරවීම නිසා 1000කට ආසන්න ඡන්ද සහිත එම ඡන්ද පොළේ මෙතෙක් ඡන්දය ප‍්‍රකාශ වී ඇත්තේ 50 පමණක් බව වාර්ථා වේ. තවද කොළොම්බුතුරෙයි හා පේදුරුතුඩුවේද බෝමබ පුපුරවා ඇත. මීට අමතරව අද උදෑසන වාර්ථා වූ අනෙක් සිද්ධිය වන්නේ ජෙනරාල්ගේ නියෝජිත විජිත හේරත් මන්ත‍්‍රීතුමාව ඉරට්ටකුලම් මාර්ග බාධකයෙන් නවතාගෙන පැයකට පසුව මුදා හැරීමේ සිද්ධියයි. එය ඉහළින් පැමිණි නියෝගයකට අනූව සිදුකරන ලද්දක් බව පොලිස් නිලධාරීන් පවසා ඇත. මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේද සුළු සුළු සිදුවීම් කීපයක් සිදුවී ඇති අතර මේ වන විටත් මේ සියල්ල මැතිවරණ කොමසාරිස් වෙත ලිඛිතව දන්වා ඇත.

කෙසේ වුවද අඩව්වේ අපේක්ෂාව වන්නේ උපරිම ජනසහභාගීත්වයක් සහිත සාමකාමී සාධාරණ මැතිවරණයකි. එ් වෙනුවෙන් අපි සැම කැපවෙමු.

Monday, January 25, 2010

ඇතුගල මහින්දට කෙලියි. ඉඩි අමීන් උඩ පැන පැන සිනාසෙයි.


මහියංගනේ ඉදලා බිබිල බස් එකේ හැතැප්ම දාහතරක් ගොස් ආඳාඋල්පතින් බැස පස්පාරක් දිගේ තවත් හැතැප්මක් විතර ගොස් ගෙට ගොඩවෙන සිරිපාල කරේ තබාගෙන ආ බැටරිය රූපවාහිනියට සවිකර පුතාත් තුරුළු කරගෙන බංකුවට පහත් වෙයි. මුළුතැන්ගෙයි සිට පැමිණි කුසුමාවතීද අසලින් හිඳගන්නීය.

සිරිපාල - ඕං .... දැං බලාගනිං පුතේ ඉඩි අමීන් මාමාගේ කතාන්දරය.

පුතා - ඒ මොකෙක්යෑ තාත්තේ ?

සිරිපාල - පැහිච්ච කං ඕන්නෑ. කටවහගෙන බලාපිය.

තාත්තාගේ තග වෙනකක් නිසා නොව, තාත්තාද නොදන්නා නිසා බව නොවැටහෙන දරුවා වාචාලකමට නොකියවන්නට හිතාගෙන රූපවාහිනිය දෙස බලා සිටියි. නමුත් උපසිරස කියවා ගන්නටවත් නොහැකි දරුවාට කම්මැලිකමක් දැනේ. තාත්තාව කතාවට අසා ගන්නට සිතූ දරුවා

පුතා - තාත්තේ ඇයි අර මාමාට හමුදාවේ අයයි, රටේ අයයි උතුමාණෙනි කියන්නේ.

සිරිපාල - එහෙම තමයි රටේ නායකයට. දැං බලාපංකෝ අපේ ජනාධිපතිතුමාට අපි රජ්ජුරුවෝ කියන්නේ. එහෙත් එහෙම වෙන්ටෑ.

පොට වරද්දා ගත් තාත්තා මීට පෙර රූපවාහිනියට අරහංව තිබූ හිට්ලර්, පොල්පොට්, ඉඩි අමීන් (කරට අත දාගෙන සිටි නිසා නොපෙන්නන ගඩාෆි) වැන්නන් එක වරම වෙන්කර හඳුනාගත නොහැකි වුවත් රූපවාහිනියේ කවදාවත් ජනාධිපතිතුමාගේ කට්ටිය හැර අන් කිසිවෙකු පෙන්නන්නැතැයි යන විශ්වාසය උඩ පුතාට තේරුම් කර දුන්නේය.

පුතා - මොකක්ද තාත්තේ ඒ මාමා කතාවක් පවත්වනවා වගේ කියන්නේ ?

සිරිපාල - අප‍්‍රිකාවේ කළු බලවේගය වෙනවැයි කියන්නේ.

පුතා - ඇයි තාත්තේ ඒ මාමාට කළු මදිලූද ?

සිරිපාල - නෑ යකෝ..... ඔය අපේ ජනාධිපතිතුමා කියන්නේ ආසියාවේ ආශ්චර්‍යය වෙනවාය කියලා. ඒ වගේ තමා බං එහෙත්.

එහෙනං එහෙත් මැතිවරණයක් ළඟ ඇතැයි සිතින් සිතාගත් පුතා නිහඬවම ජනාධිපතිතුමන්ගේ මල්ලී බඳු යැයි තාත්තා පුරසාරම් දොඩන අමීන් මාමාගේ පැටිකිරිය රස කරමින් බලා සිටියි. මිනිසුන් මරන, ලේ ගලන සිදුවීම් දකින සිරියාවතීගේ මුහුණ නොරොක් වී යයි. ටික වෙලාවක් සිට තිත්ත වෙන සිරියාවතී ‘‘නිදිමතයි’’ කියමින් ඇඳ වෙත පියමනියි.

පුතා - ඇයි තාත්තේ අර සුදු මාමා කුදලං යන්නේ ?

(සුද්දෙකු බංකරයක් වෙත පැමිණ මිනිසුන් අතුරුදහන් වීම පිළිබඳ ඇසූ විට ඔහු අල්ලාගෙන යනු දුටු පුතා අසයි.)

සිරිපාල - එහෙම තමයි. මාධ්‍යවේදීන් වුනාම ඒ විදිහට ඉන්න දැනගන්න ඕනේ. තක්කෙටම ඕකා ඔය අනවශ්‍ය ප‍්‍රශ්ණ අහන්න ඇත්තේ අපේ විමල් මහත්තයා වගේ කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. ඒකයි ඔය බඩු හම්බෙන්න යන්නේ.

ටික වේලාවකින් ඒ සුද්දාම නැවත උසාවි පසුබිමක නඩු කාරයෙක් ඉදිරිපිට සිටින ආකාරයක් තිරයේ දිස්වෙයි. ඔහු නිදහස් වී උසාවි භූමියෙන් පිටතට පැමිණෙන අයුරුද පෙන්වයි. (එළියෙන් ඇසෙන කොල්ලන්ගේ කටවල් වල හඬට) ජනේලයෙන් පිටත බලා නැවත තිරය දෙස බලන දරුවාට පෙනෙන්නේ සුද්දා වෙනුවට නඩුකාරයාට වදදී රැගෙන යන බවකි.

පුතා - ඇයි තාත්තේ..... නඩුව අහපු මාමාව අරං යන්නේ. එයා සුද්දව නිදහස් කරලා තමන්වම වැරදිකාරයා කරගත්තද?

සිරිපාල - ඕං බලාපං......
ඒ රටෙයි අපේ රටෙයි වෙනස.
උංගෙ නඩුකාරයෝ රටේ නායකයා කෝල් එකක් දුන්නම පඬේකට ගනන් ගන්නෑ.
ඒකට අපේ උසාවි.....
තීන්දුව ගෙදරදිම ලියාගෙන ඇවිල්ලා අවුරුදු 20කට කිව්වොත් තක්කොටම 20කටම හිරේ දානවා.
ඕකට තමයි පුතේ කියන්නේ ශක්තිමත් නායකත්වයක් තියෙන්න ඕනේ කියලා.
කලාකාරයෝ ඕවා කියන්නේ කට කහනවට නෙමෙයි.

දෙතුන් පාරක් එහා පැත්තට මෙහා පැත්තට පෙරළෙමින් හිඳ නින්ද නොයන කළ සිරියාවතී තම හඬ අවදි කළාය. ‘‘මේ ...... තාත්තලා පුතාලා සද්ද නැතුව ඔය මගුල බලනවද.... නැත්තං මං ඕක පොළවේ ගහන්නද ?’’ නොදැනුවත්වම හඬ පාලනයේ සීමා බිඳී ඇති බව වටහා ගත් සිරිපාල පුතාට හෙමින් කියයි

සිරිපාල - කොහොමද බං අපේ ජනාධිපතිතුමාගේ හොඳම යාලූවා පෙන්නද්දී කට පියාගෙන ඉන්නේ. අනික මේවා අපේ ජනාධිපතිතුමාගෙන් කොපි කරපුවානේ.

පුතා - තාත්තේ.. මේ මාමානං ෂුවර් එකටම අපේ මහින්ද මාමාගෙන් කොපි කරනවා තමයි.
අර බලන්නකෝ ............ අර....... අර......
මගේ යාලූවා කියලා කියන්නේ.

සිරිපාල - අන්න හරි..........
ඔන්න මේ යකාත් අපේ මහින්ද මහත්තයාගෙන් ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කොරනවා.
ලසන්ත කවුදෝ මැරුණමත් එතුමා කිව්වේ ඕකමනේ.

පුතා - හොඳ වෙලාවට නේද තාත්තේ අපි මහින්ද මාමාව අඳුරන්නේ නැත්තේ. ?

සිරිපාල - නෑ බං ඕකට තමයි කියන්නේ නායකයාට අවුරුදු 40ක පළපුරුද්ද ඕනේ කියලා.

වෙළඳ දැන්වීම් සඳහා කාලය වෙන්වන අතර තුර මුළුතැන්ගෙට රිංගා ගත් සිරිපාල නැවත පැමිණෙන්නේ එක් අතකින් කහට කෝප්පයක්ද අනික් අතින් සීනි ඇට දෙක තුනක් ද රැගෙනය. සීනී ඇටෙන් ඇටේ ලෝභ කමට මෙන් හපන තාත්තා දෙසබලා පුතා ප‍්‍රශ්ණයක් අසයි.

පුතා - තාත්තේ තාත්තේ මෙන්න හොඳම හරිය.
අමීන් මාමා සුද්ෙදාන්ට පලූයන්ට බනිනවා.

තානාපතිවරයෙක්ට දරුණු විදිහට බැණ එළවා ගන්නා ආකාරය දකින දරුවා තාත්තා ඉක්මනින් කැඳවාගන්නට උත්සහ ගන්නේ තමන්ට නොතේරෙන දේවල් තාත්තා රසකරමින් කියන අයුරු විඳගන්නටය.

සිරිපාල - ඔය බංකුවෙන් ටිකක් එහාට වෙනිංකෝ. මටත් ඈඳිගන්ට.
ඔය ...... ඔවුන් තමයි පුතේ රටවල් කන්නේ.
උන්ට තමයි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරයෝ කියන්නේ.
ෂුවර් එකටම ඔහොම කරන්ට කියලා එතුමට උපදේස දෙන්ට ඇත්තේ අපේ විමල් මහත්තයා හරි පරිසර ඇමතිතුමා හරි වෙන්ට ඕනේ.

මෙලෙස රූපවාහිනියේ මැවෙන හැම සිදුවීමක්ම ජනාධිපතිතුමාගේ වසර 4ක කාලය සමග උපරිමයෙන්ම සමපාත වෙන බව දකින සිරිපාල ඇසිපිය ගසන්නවත් සිතෙන්නේ නැති තරම්ය.

සිරිපාල - ආ ........ ආං ........ ආං ....... දැක්කද මොකක්ද වුණේ කියලා.

පුතා - ඒ කාර් එකක් පෙරළෙනවානේ.

සිරිපාල - නෑ යකෝ. ඒ නාහෙට අහන්නේ නැති මාධ්‍යවේදීන් කියන එවුන් දෙන්නෙක්ට පාඩමක් උගන්නනවා.

පුතා - කවුද තාත්තේ ඒ පාඩම උගන්නන්නේ.

සිරිපාල - වෙන කවුද බං. ඔය තමයි අමීන් රජතුමා ළඟ ඉන්න ආචාර්‍ය ඇමතිතුමා. එතුමා නං අපේ මර්වින් ඇමතිතුමාගේ පෙනුමමයි තියෙන්නේ. ෂුවර්.... මල්ලි වෙන්න ඇති. ඔය ..... ඔය ඉන්නේ ඒ ආචාර්‍යතුමා තමා.

ඉඩි අමීන් පොඩි කාකි ඇඳුමක් ඇඳගත් පොඩි කොළුවෙකු සමග එනු දැක පුතා මෙසේ අසයි.

පුතා - මරු නේද තාත්තේ අමීන් මාමාටත් මං වගේම පොඩි එකෙක් ඉන්නවා නේද ?

සිරිපාල - ආං ..... බලාපං
අමීන් මහත්තයා පුතාට පදක්කමක් දෙනවා.
හරියට මහින්ද මහත්තයා පුතාට හමුදා සන්දර්ශනේදී තෑගි දුන්නා වගේමයි.
දරු සෙනෙහස උතුරනවා.
මිනිහා කළු හින්දා නපුරුවට පෙනුනට හරි සංවේදී නායකයෙක් වෙන්ටෑ. අපේ මහින්ද මහත්තයා වගේ.

තාත්තගෙයි පුතාගෙයි සද්දේ වැඩි කමට ඇඳෙන් බැස ආ සිරියාවතී ‘‘දෙන්නටම පිස්සු’’ යැයි කියමින් රූපවාහිනිය ක‍්‍රියාවිරහිත කර ගස්සාගෙන ගොස් මිදුලට බැස ඇසිලිංගේ ගෙවල් පැත්තට යන්නට ගියේය. ඒ තගෙන් තරමක් තැතිගත් පිය පුතු දෙදෙනා වැඩි සද්දයකින් තොරව අවසාන හරිය බලා ඉවර කළහ.

පසු දින උදෑසන. කඩමණ්ඩිය අසලදී

සිමියොං - ඈ බං සිරිපාලේ...... උඹ බැලූවද ඊයේ චිත්තරපටිය.

සිරිපාල - ඔව් බං.

සිමියොං - ඔන්න බලහං අර දේශද්‍රේහියා ආවෙත් අපිට වෙන වැඬේ.

සිරිපාල - හිහ් ........ හිහ් ......... හී
අනේ බං සිමියොං.
ඔන්න උඹලගේ මොළේ තරම.
එ් පෙන්නුවේ අපේ ජනාධිපතිතුමාගේ හොඳමා යාලූවා කියන අමීන් මහත්තයා ගැන.
එතුමා අපේ ජනාධිපතිතුමා කරන වැඩ දිහා බලලා ඉගෙන ගෙන තමයි එයාගේ රට හදාගෙන තියෙන්නේ.

ඇයි බං චිත්තරපටිය අන්තිමේට අමීන් මහත්තයා අත මිට මොළවලා කිව්වේ
''අපේ සංවේදී පළපුරුදු ජනනායකයාට ඔබේ ඡන්දයත් දෙන්න.
ඔබේ ඡන්දයෙන් මවුබිම දිනවමු"
කියලා.

සිමියොං - ආ ........ එහෙම කිව්වද ?
එහෙනං ඉඩි අමීන් වුනත් මක්කෙයියෑ.

.

Saturday, January 23, 2010

පර්සිගේ මුදලට යට වුණ මම සරත්ය........


මම,

යුධ හමුදා සෙබළියන් දූෂණය කර නැත.

තම බිරිඳට පිසූ සර්පයෙකුගේ සෙවළ රස කරන්නට බලකර නැත.

කෝකියාට බිත්තර ආප්පයකින් දමා ගැසුවේද නැත.

කරණවෑමියාගේ කණ කැපුවේද නැත.

නමුත් මම සරත්ය.

තිරය පිටුපසින් තටමමින් මෙන් රැව්දෙන හඬට නොගැලපෙමින් බට්ටා පනිමින් ඉදිරියට එන, ප‍්‍රධාන නළුවාගේ යැයි සිතිය හැකි මට්ටමේ රූපයකි. ගැලරියේ පුටුවට බරදී හරි බැරි ගැසී වාඩි වූ පේ‍්‍රක්ෂකයා තොල කට ලෙවකා මේ ‘‘වැඩිහිටියන්ට පමණයි’’ යනුවෙන් දමා තිබූ චිත‍්‍රපටයට වියදම් කළ මුදලින් උපරිම තෘප්තියක් ගන්නට සිතා ගත්තේය. ගිනි දැල් මැදින් කෝට් එකකුත් දමාගත් නීතීඥයෙක් (ධර්මරාජයේදී හෝ ආනන්දයේදී කිසි දිනෙක ආචාර පෙළපාලියේවත් ගියා යැයි සිතිය නොහැකි ගමනකින්) වේදිකාව වෙත පිවිසෙයි. (අදුරු පසුබිම නිසා පේ‍්‍රක්ෂකයා තම මුවඟට ආ සිනහව මුළුමනින්ම පිටකර දැමුවේ කාටත් නොපෙනෙන බව දන්නා නිසාය.)

මේ සරත් පිටුපස ඇවිලෙන ගිනිදැල් අන් කිසිවක් නොව (කොහෙත්ම යුධ ගිනිදැල් නොව) ෆීලික්ස් පෙරේරා හොරෙන් ඉස්සූ හරක් නිසා මිනිසුන් දැමූ නඩු වල ගිනි දැල් බව වම් අත පැත්තේ පුටුවේ සිටින පේ‍්‍රක්ෂකයා තමන්ගේ හිතවතාට/හිතවතියට විස්තර කරනු අප පේ‍්‍රක්ෂකයාගේ කණ වැකෙයි. ෆීලික්ස් පෙරේරා බේරාගත් නීතීඥයාට එම ගිනි දැල්වල අයිතිය ඇති නිසා හිතහදාගන්නා අප පේ‍්‍රක්ෂකයාට එසැනින් මතුවන ගැටළුව වන්නේ හරකෙක්ගේ මුහුණක් වෙනුවට පිටුපසින් සිංහයෙකුගේ මුහුණක් දිස්වීමයි. ඉදිරි අසුනේ සිටි කොලූ රෑනෙන් එකෙක් චිත‍්‍රපට ශාලාව දෙවනත් කරමින් විසිල් එකක් පිම්ඹේය. ‘‘සිංහයෙක් වගේ කේප්ප හරකෙක් නේද අන්කල්’’ ඒ කොලූවාගේ දැනුමේ තරමයැයි අප පේ‍්‍රක්ෂකයා හිත හදාගනී.

තිරය පිටුපසින් බිරිඳ පිළිබඳ යම් දෙයක් කියනු පේ‍්‍රක්ෂකයාට ඇසෙයි. ඔහු තම අසුනට එහා අසුනේ වාඩිවී සිටින තම බිරිඳගේ වූද, දැනටමත් තම අතමත තබාගෙන උණුසුම් කරමින් සිටින්නා වූද සිනිඳු අත ටිකක් තදින් මිරිකයි. ඒ ක්ෂණයෙන්ම මේ අසුනේම හිඳ මීට වසර 4කට පෙර තම පෙම්වතිය සමග ‘‘සළුපට අහසට’’ බැලූ දිනයට දිව ගිය සිත යළි ස්ථානගත කර ගනී. ඌයි අනේ..........ඔයාට මොකක්ද මතක් වුණේ.... (උත්තරය කට කොනටම ගෙන නැවත ගිලින පේ‍්‍රක්ෂකයා අඳුරේම තම නලලට අල්ලෙන් ගසාගෙන ‘‘තව ඩිංගෙන් කට වරදිනවා.’’ කියා හිතින් කියා ගත්තේය.)

මේ ක‍්‍රියාව නිසා තිරයෙන් ඇස් ඉවත් කරගන්නා පේ‍්‍රක්ෂකයාට නොපෙනී සරත්ගේ මුහුණේද පොඩි කොමළ හිනාවක් මැවෙන්නේ කටුගස්තොට රූගත කිරීම් අතරතුර ගඟ පැත්තට උස්සන් ගිය තිස්ස අබේසේකරගේ බිරිඳ වූ සුවිනීතා අබේසේකරගේ (පසුව කෝන්ගහගේ) මිරිකූ තැන් මතක් වීමෙන්ය. නමුත් පේ‍්‍රමයෙන් මුසපත් වී සිටින අප පේ‍්‍රක්ෂකයාට මෙය පෙනෙන්නේ නැත.

තවත් අඩි දෙක තුනක් ඉදිරියට එන අතර මගදී රෙදි ගැලවී යන ඔහු නැවත ශාන්තිනී අතින් මසා දෙන සුදු රෙද්දෙන් විලිවසා ගෙන විත් අපේ පේ‍්‍රක්ෂකයා අභිමුවේ හිටගනී. ස්ත‍්‍රී දූෂණ, බිරිඳගේ කතාන්දර වැනි වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපටයේ දසුන් හරහා ෆෝම් වන අප පේ‍්‍රක්ෂකයා තම අසුනෙන් නැගිට ටිකට් දෙකක් ගත්තේ අපරාදෙ යැයි සිතමින් ඉඩ ලද සැනින් දකුණු පස අසුනේ සිටින තම බිරිඳ සමග සිප වැළඳගෙන ඔවුන්ගේ ලෝකයක ගොස් අතරමං වෙයි. එබැවින් අප පේ‍්‍රක්ෂකයාගේ කන් වලට නෑසෙන මේ සරත්ගේ සැබෑ පාපොච්චාරණය මෙසේ තිරය මත දිග හැරෙයි.

මම,

කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත්තේ නැත.

මගේ ජීවිතෙන් වසර 40ක් රට වෙනුවෙන් කැපකර නැත.

අර සරත් යුද්ධය අවසන් කරන තුරු මම වැඩිය නුවර ටවුමටවත් ගියේ නැත.

රට වෙනුවෙන් මම මැරී ඉපදුනේද නැත.

අර සරත් ඉලක්ක කර බෝම්බ ගැසුවද මම රතිඤ්ඤයක් පුපුරණ තැනකවත් ළඟදී සිට නැත.

අනික මට බෝම්භ ගසන්නට තරම් ප‍්‍රභාකරන්ට ඔල්මාදයක්ද නැත.

එක පාරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය මට නුවර එජාප ඡන්ද කඩන්නට හැකියාවක්
නැත.

එසේම මම කිසිඳු ඡන්දයක් බලාපොරොත්තු වන්නේද නැත.

අඩුම ගානේ මගේ බිරිඳවත් (සුවිනීතා නොව ශාන්තිනීය) මට ඡන්දය දෙන්නේත් නැත.

ඇය පමණක් නොව මමවත් මට ඡන්දය දාගන්නේ නැත.

ඒ මන්ද යත් මාව මිලට ගත් පර්සිට මම ද්‍රෝහි වන්නේ නැත.

ද්‍රෝහි වුනොත් මගේ උපදේශක කම පමණක් නොව ජීවිතයවත් ඉතුරු වන්නේද නැත.

ඒ නිසා මට කරන්නට දෙයක්ද නැත.

එහෙත් මමත් සරත්ය.
.
Related Posts with Thumbnails