Thursday, March 18, 2010

මැතිවරණ කොමසාරිස්ගේ දෙකේ ........ අයිස්


අප ව්‍යවහාරයේදී බබා යැයි කියන්නේ කුඩා දරුවන්ටය. ඔවුන් දැනුමෙන් මෝරා ගොස් නැත. ඉතාමත් ලපටිය. කෙතරම් ලපටිද යත් බින්දුවක් වත් කපටි නැත. ඒ නිසාමදෝ ඔවුන්ව රැවට්ටීම ඉතාමත් ලේසිය. සාමාන්‍යයෙන් බබාලාව වැඩියෙන්ම රවට්ටන්නේ අම්මලාය. පාරේ යන විට සෙල්ලම් බඩු දකින බබාලා අම්මලාගේ අතේ එල්ලි එල්ලී අඬන්නේ එකක් ඇරන් දෙන්න කියාය. නමුත් අම්මලා ඒවාට සිය ගණන් වියදම් නොකර ෂේප් වීමට හොඳ හැටි දනිති. අම්මලා කරන්නේ එතරම් පිරිවැයක් නැති වෙනත් ලාභ දෙයක් දී දරුවා රැවැට්ටීමයි. ඒ අනුව සෙල්ලම් බඩු ඉල්ලන බබාලාගේ කටේ දෙකේ අයිස් එකක් ගහන අම්මා කරන්නේ අර අහිංසක බබා රැවැට්ටීමක් පමණක් නොව, මෙම ලිපියේ කියැවෙන පිරිසට ආදර්ශයක්ද ලබා දීමකි.

අඩව්ව අද අල්ලන්නට යන්නේ බබා අඩව්වක් දැයි ඔබ සිතන්නට පුළුවන. නැත. අප අද අල්ලන්නේ ජනතාව බබාලාට අන්දන්න මහන්සි වෙන මැතිවරණ කොමසාරිස්ගේ නිරුවත දිගහරින අඩව්වකි. මැතිවරණ කොමසාරිස් සිතන්නේ රටේ ජනතාව අප පෙරකී බබුන් මෙන් දෙක හතර නොතේරෙන ජීවීන් විශේෂයක් කියාය. එනිසා ආණ්ඩුවේ රෙදි හෝදන මැතිවරණ කොමසාරිස් විසින් රටේ බබාලාට රස කර කර උරන්නට දෙකේ අයිස් ලබා දීම මැතිවරණ කාලයේදී යස අගේට කරගෙන යයි.

අප මෙම තත්වය මැතිවරණ සමයේ ජනතාවගේ හැසිරීම හා මැතිවරණ කොමසාරිස්ගේ ආතති තත්වයන් සමග සමපාත කර බැලිය යුතුය. සාමාන්‍යයෙන් මැතිවරණ උණුසුමක් දැනෙන්නට වන් විට රටේ ජනතාව පක්ෂ අනුව බෙදීම දක්නට ලැබෙන දෙයකි. මෙම පක්ෂ අනුව බෙදීමේදී අනෙකාගේ පාර්ශවය කරන වැරදි නිතර නිතර පෙනෙන්නේ ඔවුන් බුද්ධිමත් ඡන්දදායකයන් වීම නිසාම යැයි කියන්නට නොහැකි වුවත් එය නීතියේ හා සදාචාරයේ පැවැත්මට රුකුලක් වන තැනට පත්ව ඇත්තේය. එනිසා ජනතාව වැරදි දැකීම ගැන යමෙක්ට ප‍්‍රශ්ණ කරන්නට ඇති හිඩස අප අහුරවාලන්නෙමු. මැතිවරණ සමයක් එළඹෙන විට එතෙක් පැවති ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ ප‍්‍රධානම පක්ෂය ආදී වූ කොටස් දෙකකට ජනතාව බෙදී වෙන්වීම, දැකිය හැකි පැහැදිලිම ධ‍්‍රැවීකරණය වන්නේය. මෙලෙස පක්ෂ වලට බෙදෙන ජනතාව ඒ ඒ පක්ෂ වල ආධාරකරුවන් වී මැතිවරණ ප‍්‍රචාරණයට සහය දක්වති. නමුත් ආණ්ඩු පක්ෂයට මෙම ආධාරකරුවන්ට අතරව තවත් විශේෂ ආධාරකරුවන් පිරිසක් සිටිති. ඒ අනුව සමෘද්ධි නිලධාරීවරුන්ගේ සිට අමාත්‍යංශ ලේකම්වරු දක්වා සමස්ථ රාජ්‍ය සේවයේ නියුතු වූවන්ම ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉත්තන් ලෙස භාවිතා වීම තවමත් වලක්වාගත නොහැකි වූ කාරණයක්ය. (සමහර විට එය වලක්වන්නට උත්සහ නොගත් කාරණයක් වන්නටත් බැරි නැත.) එය භයානක තත්වයක් වන්නේ රාජ්‍ය සේවකයන් වන මැතිවරණ කොමසාරිස්ගේ සිට පහළට සිටින මැතිවරණ රාජකාරි කරන පිරිසටත් ඉන් මිදීමට නොහැකි වූ විටය. මැතිවරණ ක‍්‍රියාවලියේ මෙහෙයවන්නාගේ භූමිකාව රඟපාන මැතිවරණ කොමසාරිස්තුමා සහ සමස්ථ මැතිවරණ කටයුත්ත දියත් කරන්නාවූ නිළධාරීන් පිරිසත් රාජ්‍ය සේවකයන් බව නම් සත්‍යයකි. නමුත් ඔවුන්ද පොදු රාජ්‍ය සේවකයාගේ ගොඩටම වැටුණු කළ ස්වාධීන මැතිවරණ මෙහෙයවීමක් ගැන ජනතාවට දැකිය හැක්කේ සිහිනක් පමණක් වන්නේය.

මෙය මැතිවරණ කොමසාරිස්ගෙන් ඉවතට ගෙන පොලීසිය දෙස බැලූවද දක්නට ලැබෙන පොදු ධර්මතාවයකි. මැතිවරණ සමයේදී පොලීසිය සතුව විශාල වගකීමක් පවතින අතර අදවන විට එම දෙපාර්තමේන්තුවද ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කටවුට් ආරක්ෂා කරන්නාවූ බල්ලාගේ රාජකාරි භාරව කටයුතු කරති. පැවති ජනාධිපතිවරණයේදී නීති විරෝධී පෝස්ටර් ඉවත් කිරීම වෙනුවට පොලිස් ස්ථානාධිපතිගේ අනුග‍්‍රහයෙන් පොලීසියේ තාප්පයේම කටවුට් ගැසූ මේ දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේම ජනාධිපතිතුමාට ඡන්දය දෙන ලෙස සඳහන් කළ ලිපි පවා හුවමාරුවී තිබුණි. ඒ අනුව මේ පොලිස් දෙපාර්තමේන්තුව කෙතරම් හොඳින් රාජ්‍ය සේවකයාගේ පොදු භූමිකාව රඟපෑවේද යත් මැතිවරණයේ අවසානයේදී මැතිවරණ කොමසාරිස්ගේ කතාවේදී විශේෂ ස්තූතිය පුද කරමින් පොලිස්පතිතුමාව අගයීමට ලක් කළේය. මෙය අප ඉදිරිපිට මැවෙන්නාවූ හිරිකිත දනවන විහිළුවක් වූ නමුත් රටේ ජනතාවගේ මනෙදාළ පිනෙන ආකාරයෙන් පාර්ශව කීපයක්ම ඇඟ බේරාගන්නා ඉතා උපක‍්‍රමික ක‍්‍රියාන්විතයක් වී හමාරය. එබැවින් අප මෙය මනාව හඳුනාගත යුතු යැයි අඩව්ව කල්පනා කරයි.

මැතිවරණ කාලයේදී සුවිශාල බලතල හිමි වන්නේ මැතිවරණ කොමසාරිස්ටය. එනිසා ජනතාව වෙනුවෙන් ස්වාධීන වූත් සාධාරණ වූත් මැතිවරණයක් පවත්වා නිවැරදි මහජන මතය එළිදැක්වීමේ භාරධූර වගකීම පැටවෙන්නේ ඔහුගේ කරේමය. වත්මන් ව්‍යවස්ථාව ප‍්‍රකාරව නියමිත මැතිවරණ කොමිසම පත් නොකළ අවස්ථාවක එම වගකීම නිතැනින්ම මැතිවරණ කොමසාරිස්ට පැවරෙන්නේය. ඒ අනුව මැතිවරණ සමයේදී සියළු අපේක්ෂකයන් මැතිවරණ නීතියට පටහැනිව ක‍්‍රියාත්මක වන්නේ නම් ඊට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගැනීමේ අයිතියත්, මාධ්‍යයන් හා මැතිවරණ ප‍්‍රචාරයන් නීතිවිරෝධීව ක‍්‍රියාත්මක වන්නේ නම් ඒවා වැලැක්වීමේ අයිතියත් ඔහු සතුව පවතින්නේය. නමුත් අප දක්නා දෙයක් නම් මැතිවරණයක් ආසන්නයේදී මැතිවරණ කොමසාරිස් කරලියට පිවිසෙන අතර හෙතම ජයසූරිය මෙන් පළමු ඕවරයේදී හයේ පහරවල් දෙක තුනක් වනයි. ඒ අනුව මුල් සතියේදී මහා පෞරුෂයක් ආරූඩ කරගන්නා හෙතෙම පොර ටෝක් පිට පොර ටෝක් දෙයි. අපේක්ෂකයන් වත්කම් හෙලිකළ යුතු බවටත් අනවසර මැතිවරණ ප‍්‍රචාරණයන් නොකළ යුතු බවටත් හෙතෙම උඩ පැන පැන කෑගසයි. මෙය දකින ජනතාවට මාර ජොලියක් යයි. මන්ද යත් දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් නැටුම් නටන්නට නොහැකි වන බව සිතති. නමුත් ජනතාව නොදන්නවා වුණාට මෙය මැතිවරණයට පෙර ජනතාවට දුන් දෙකේ අයිස් එකකි. ඒ මන්ද යත් මෙලෙස ජනතාවගේ සිත් දිනාගත් කොමසාරිස්තුමා ටික දිනකින් ආණ්ඩුවට අවශ්‍යය කාර්‍යය නොපිරිහෙළා ඉටුකරන බැවිනි. නමුත් කොමසාරිස්තුමා හරි හොඳ යැයි සිතා සිටින ජනතාව ඔහු විසින් ඉන් පසුව සුද්ද කරන්නට යෙදෙන ආණ්ඩුවේ කුණු පිළිගන්නේ මැකෝගේ මේ දෙකේ අයිස් එකේ බලයෙන්ය.

මුලින් මෙවන් නීති රීති පනවන කොමසාරිස්තුමා ඉන්පසුවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ පෝස්ටර් කටවුට් භාවිතා කරන අපේක්ෂකයන්ට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි. මේ කතා අසන ජනතාව තම සිහිනය දවල්ට පවා දකින්නට තරම් අඥන වන්නේ ආණ්ඩුව හා කොමසාරිස් අතර මහා ගැටුමක් ඇතිවී ඒ හරහා සැබෑ මැතිවරණ ප‍්‍රතිඵලයක් බිහිවේවි සිතාය. නමුත් සිදුවන්නේ අනෙකකි. ජනතාවගේ අතට දෙකේ අයිස් එකක් දී පෙර මෙන්ම පෝස්ටර් හා කටවුට් රටපුරා ඇලවී ඇත. ඉන්ද නොනවතින මැකෝ පොලිස්පති වෙත ලිපියක් යවමින් කියා සිටින්නේ සියළුම පෝස්ටර් හා කටවුට් ගලවා ඉවත් කරන්න කියාය. ඉන්පසු කරලියට එන පොලිස්පති මාධ්‍යයන් ඉදිරියේ මැකෝට නොදෙවෙනි පොරටෝක් දෙන්නට පටන් ගනියි. නමුත් අවසානට සිදුවන්නේ ජනතා සිහින බොඳවීමකි. පෝස්ටර් ගලවනවා වෙනුවට පොලිස් භටයෝ ආණ්ඩුවේ ප‍්‍රභලයින්ගේ කටවුට් දෙපසට වී තුවක්කු අමෝරාගෙන ගැලවිය යුතු කටවුට් බහිරවයන් සේ රකිති. මේවා දකින ජනතාව අනේ අපොයි කියා බොඳවූ සිහිනය (දෙකේ අයිස් එක අවසානයේ ඉතුරු වූ පොලිතීන් පැකට්ටුව) ගුලිකර දෝතින්ම විසිකර දමා හිතහදාගන්නේ ”අර අහිංසක නාකි මනුස්සයා මොනවා කරන්නද මුන්ගේ බලූකං වලට” කියා ආණ්ඩුවේ උපක‍්‍රමික ක‍්‍රියාන්විතය මල්ඵල ගන්වමිනි.

ඉහතින් දක්වා ඇත්තේ අප මැතිවරණ කාලයේදී අත්විඳින සත්‍යය. නමුත් මේ කියන තරම් මැකෝ අහිංසක නාකියෙක්ද යන්නත් පොලීසිය ඔය තරම්ම නෝන්ජල්ද යන්නත් නැවතත් විමසා බැලිය යුතු කරුණකි. මැතිවරණ සමයේදී සිදුවන මැතිවරණ නීති කඩ කිරීම් වන්නේ අපට හැමදාම පෙන්වන වත්කම් හෙළි නොකිරීම හෝ පෝස්ටර් ගැනීම නොව ඊට එහා ගිය තවත් දහසක් දේවල් තිබේ. එයට සමෘද්ධි නිලධාරීන්ට කියා ගම්මට්ටමින් රැස්වීම් පැවැත්වීමේ සිට ඇමතිවරුන් ගම්වලට ගොස් උළු බෙදීම දක්වා කරන්නාවූ සියළු විගඩං අයත් වන්නේය. නමුත් ජනතාව මේ පිළිබඳව අවධි නොකරන මැකෝ ඇතුළු නිලධාරීන් ඒ වෙනුවට කරන්නේ ඉතාමත් ප‍්‍රාථමික නීති පිළිබඳව සීමා පනවමින් ජනතාවට බොරු ආතල් එකක් දීමයි. නමුත් මෙහි වාසිය නොමදව ලබනා පාලක පාර්ශවය අවසානයේදී තම සිතැඟි ඉටුකරගන්නේ ආතතියෙන් සිටි මැකෝ මහමැතිවරණය පවත්වා මිස ගෙදර නොයන බව කීමට තරම් දිරිගැන්වීමෙන්ය.

මේ අනුව අප කියන්නේ වත්මන් මැතිවරණ නීතිය හෝ මැතිවරණ සම්ප‍්‍රදාය කියන තරම් දුර්වල නැති බවත් එය නිවැරදි ලෙස ක‍්‍රියාවට නොනගන හෙන්චයියන් විසින් ජනතාවට දෙකේ අයිස් දී පාලකයන්ට විශාල වාසියක් අත්කර දෙන බවත්ය. නමුත් පොර ටොක් දෙන මැතිවරණ සමයේ බලය ලත් නිලධාරියා වන මැකෝ පළමු සතියේදී ජයසූරිය මෙන් දිගට හරහට වනන්නටත් අවසාන සතියේදී නිසිබලධාරියෙක් වත් පත්කරගන්නට බැරි අහිංසක නාකියෙක් වන්නටත් හේතුව අප පැහැදිලි කරගත යුතු වන්නේය. ඒ අනුව අප තේරුම්ගත යුතු අනෙක් වැදගත්ම කරුණ වන්නේ වත්මන් මැතිවරණ ක‍්‍රමය තුළදී සමස්ථ රාජ්‍ය සේවකයාම පාලකයන්ගේ ඉත්තන් වන විට අඩුම තරමින් ඉන් මිදීමට මැතිවරණ කොමසාරිස් නම් නිලධාරියාටවත් නොහැකි බවයි. මෙම තත්වය තේරුම් නොගන්නා තාක් අපට සිදුවන්නේ මැකෝගේ දෙකේ අයිස් ලෙවකකා උඩබලාගෙන ඉන්නටය.

9 comments:

  1. මැතිවරන කොමසාරිස් රැජිනි කාන්ත්නම්, තමාගේ තනි ව්‍යායාමයෙන් සියලූම වැරදි වැඩ අතුගාලා තමන්න තිබුනා. හරි හමන් පොලීසියක් නැති රටක මැතිවරන කොමසාරිස් කියලා මක්කා කොරන්නද?

    ReplyDelete
  2. @ kOLU

    නෑ. ඒක ඒ විදිහට සාමාන්‍යකරණ කරනවාට අපි එකඟ නෑ. මොකද මැතිවරණ සමයේදී සිදුවන සියලූ දේ සම්බන්ධව ක‍්‍රියාකිරීමේ බලය කොමසාරිස් සතුයි. එය නියමාකාරව ඉටු නොකරන නිලධාරියෙක් නිවැරදි කිරීමට පොලීසියේ නෝන්ජල්කම ආදී හේතු දැක්වීම වැරදියි. අපි කියන්නේ මැකෝ විසින් ගෙනයන ජනතාව ඇන්දවීමේ ක‍්‍රියාකලාපය ඡන්දදායකයන් ලෙස අප විසින් මනාව තේරුම්ගෙන හෙළාදැකිය යුතු බවයි.

    ReplyDelete
  3. හෙළාදැකිය යුතු බවනම් ඇත්ත. හෙළාදකිනවාට වඩා අපි වෙන මොනවා කරන්නද.

    අනේ කූබියනේ, තොපටනම් නීතියක් පොලීසියක් ඇත්තේ, කියලා කවුදෝ කියලා තියෙන්නේ. ඕන් අපිටත් නීතියක් පොලීසියක් ලැබුනු දවසක හෙලා දකිනවාට වඩා වැඩක් කොරන්න පුලුවන්.

    ReplyDelete
  4. @ kolu

    ඔබ කියන කතාව ඇත්ත තමයි. එ්ත් අපි කියන්නේ නීතියක් හෝ නීතිය රකින ආයතන නිසියාකාරව ක‍්‍රියාත්මක වෙන්නේ නැත්තං එ්කට බලපෑම් කරන්න පුළුවනුත් ජනතාවටම කියලයි. එ් නිසා අපි කරන්න දෙයක් නෑ කියලා බලා ඉඳලා වැඩක් නෑ. අපි මේ වෙනුවෙන් ක‍්‍රියාකරන්න ඕනේ කියලයි අපි යෝජනා කරන්නේ.

    ReplyDelete
  5. මම මේක දකින්නේ වත්මන් මැතිවරණ ක්‍රමයට හා යුගයට නොගැලපෙන නීති පද්ධතියක් පවතින තත්වයක් ලෙසයි. වත්කම් එලි නොකිරීම චන්ද අපේක්ෂකත්වය අවලංගු වීමට හේතුවක් නොවේනම් බොහෝ දෙනෙක් එය එලි නොකර සිටීමට වග බලා ගනිති.

    ReplyDelete
  6. හැමදෙම වල් වැදිලා තියද්දි හෂාන් කොමසාරිස් මක් කරන්නද.... බලය තියන මිනිස්සු මිට වඩා කල්පනා කරන්න ඔනා රට ගැන. අපි හැමොම අනිත් පැත්තට යන්නෙ.. සදිප ලක්ෂාන්ගෙන් පස්සෙ දරු කිදෙනෙක් ද...? දැන් අමිල සදරුවන් ව කලු ගඟට දාලා එයාගෙ අම්මා... රටෙ මිනිස්සු මිලියන 20 ත් හරි මෙ අම්මාත් හරි... අපි හැමොම බොරුවක් නෙ මෙ කරන්නෙ කියලා හිතෙනවා.....

    ReplyDelete
  7. @ Any,

    අපි කියන්නේ වත්කම් එළි කිරීම ගැන හෝ පෝස්ටර් ගැසීම ගැන නෙමෙයි. මැකෝ ගෙනයන ජනතාව රවට්ටන වැඩ පිළිවෙල ගැනයි. වත්කම් එළි කිරීම වැනි පොඩි නීතීන් අල්ලගෙන පොරටෝක් දුන්නට අන්තිමට අපේක්ෂකයෝ වත්කම් එළි කරන්නෙත් නෑ. එ් විතරක් නෙමෙයි. අපිට එ් වගේ පොඩි දෙයක් පෙන්නලා අනෙක් පැත්තෙන් මැතිවරණ නීති පමණක් නෙමෙයි සාමාන්‍ය නීතියත් ඉතා දරුණු විදිහට කඩන්න ආණ්ඩුවට පාර කපලා දෙනවා. අපි මැකෝ දුන්න පොඩි ආතල් එකක් දිහා බලාගෙන ඉන්න අතරේ අනික් පැත්තෙ වෙන්න ඕනේ දේවල් සියල්ල වෙලා ඉවරයි.

    ReplyDelete
  8. පොල්ල හංගාගෙන ඇටදෙකින් කෙළීම ලෙස මෙම ක්‍රමය හදුන්වනු ලබයි. එ‍සේත් නැත්නම් ටැබූට අනුව මට කෙළින් වෙන්නේ නෑ වෙන කෙනෙක්‍කුට කියලා කරගන්න කිව්වා වගේ වැඩක්.

    ආතතිනන්ද ගැන අපට සිතන්න වෙලා තියෙන්නේ එසේය.

    එසේ නැත්නම් ආතතිනන්ද අපට "බබාහුකුම් පාට්" දමනවා විය යුතුය.

    සමාවෙන්න, මේ කතා මැතිවරණ වේදිකාව තරම් අසභ්‍ය නෑ.

    ReplyDelete
  9. @ Tharu

    ඔබ කියන කතාවට අඩව්වේ අපි එකඟයි. සත්‍යය එ්කයි. මේ සත්‍යය නොතේරෙන පිරිස ලංකාවේ බහුතරයකි. මෙය තේරෙන අතලොස්සක්ද මෙහි වෙති. නමුත් මේ සත්‍යය දකින අපි එ් දෙස බලා එය මනාව තේරුම්ගෙන ඔහේ සිටීම නිවැරදිදැයි සිතිය යුතුය. අප දකිනා ආකාරයට නම් මෙම වැරැද්ද නිවැරදි කිරීමේ අනාගත වගකීම අප සතුව පවතී.

    ReplyDelete

Related Posts with Thumbnails