Saturday, January 16, 2010

නොකී දේ කළ මහින්දයාණෝ........(මහින්ද පරාජය භාරගත යුත්තේ ඇයි ? (2 කොටස))


පෙර ලිපියේදී අප හඳුනාගත් පරිදි 2005 ජනාධිපතිවරණයෙන් පසු මහින්දට වාසිදායකව වෙනස්වූ තත්වයන් වූයේ ‘‘යුධ ජයග‍්‍රහණය, අපේකම පිළිබඳ වූ තර්කය හා සංවර්ධනය’’ පමණි. නමුත් ඒ තුළද අප හඳුනාගත් පරිදි අංගසම්පූර්ණ වාසියක් ඉතිරිව නැත්තේය. එවන් පසුබිමක් තුළ අප මෙම ලිපිය හරහා උත්සහ ගන්නේ මහින්ද කෙරෙහි අවාසිදායකව පැනනැගී ඇති තත්වයන්ගේ බලපෑම හඳුනාගැනීමටයි. ඒ අනුව පසුගිය වසර 4 දෙස ආපසු හැරී බලන ඕනෑම අයෙකුට පහත කරුණු හරහා ගොනුකර ඇති සිද්ධීන් එකිනෙක සිත්හී මැවී පෙනෙනු ඇත.

1. රාජපක්ෂකරණය කළ රාජ්‍යය

ශ‍්‍රී ලාංකික ජනතාව වන අප 2005දී ඡන්දය දී පත්කළ එක රාජපක්ෂ කෙනෙකු වෙනුවට ක‍්‍රමයෙන් ඒ වටා රොක්වූ රාජපක්ෂවරු රොත්තක් රට පාලනය කරන තත්වයක් අපට දැකගත හැකි වන්නේය. ඒ අනුව 2005 දී අප අසා හෝ දැක නොතිබූ බැසිල් රාජපක්ෂ නැමැත්තෙක් ජනාධිපති උපදේශකවරයෙක් වී, ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙක් වී, ගම්පහ වැනි නිදහස් පක්ෂයේ නිජභූමියක සංවිධායක තනතුරෙන් අනාගතයත් පැහැදිලි කරගෙන නැගෙනහිර නවෝදය හා උතුරු වසන්තය නම් ධන උල්පත් වල භාරකාරයාද වී අප ඡන්දයෙන් පත්කළ ජනතා නියෝජිතයන්ට කනට වුවද ගැසීමට හැකි තරමේ රෙස්පට් එකකින් වැජඹෙන්නේය. 2005 දී අපගේ ඇස්මානයේ නොසිටි ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා ආරක්ෂක ලේකම් වී උතුරේ ත‍්‍රස්තවාදය අතුගා දමන අතරම තම ජනාධිපති අයියාට ගේමක් වන්නට ඉඩ ඇති දකුණේ බොහෝ දෙනෙකුට පිටරටවලට සහ දෙවියන් වහන්සේ වෙත යෑමට වීසා පවා ලබාදී සිවිල් සේවයෙන් ආ අමාත්‍යංශ ලේකම්වරු සියල්ලෝම යට කරගෙන (ජනාධිපති අයියාගේ ආශීර්වාදයෙන්) ඔවුන්ගේ දෙවියන් බවටද පත්ව පිදුම් ලබන්නේය. ශෂීන්ද්‍ර රාජපක්ෂ නම් (අයියාගේ) පුතා කතරගම දේවාලයේ බස්නායකකම දරන ගමන්ම ඌවේ පැරිෂුට් මහඇමති කළේ ජනතා ඡන්දයෙන් පත්වූ හිටපු මහඇමතිගේ අපේක්ෂකත්වයටද ෂොට් එක දෙමිනි. නාමල් රාජපක්ෂ නම් ජනාධිපති පුත‍්‍රයා රට වටේ යමින් ශ‍්‍රී ලාංකික තාරුණ්‍යය උකස් කර හම්බකළ මිලියන ගනන් මුදල් විසිකරමින් ‘‘තාත්තාට හෙටක්’’ හදන්නට උරදී සිටින්නේය. එපමණකුදු නොව ශිරන්ති රාජපක්ෂ නම් ජනාධිපති ආර්‍යාවගේ ඥතීත්වය ආදායම් මාර්ගය කරගත් අසන්තද මෙල් හා ඩිල්හාන් වික‍්‍රමසිංහ වැන්නවුන් වමට බර තනතුරු හා කොන්ත‍්‍රාත් ලබා ගැනීම හරහා තම තම නැණ පමණින් පවුලේ සංවර්ධනයට උරදී සිටිති.

2. දූෂණය - වංචාව හා අකාර්‍යක්ෂමතාවය

2005 ජනාධිපති පදවි ලද සැනින් පැරණි ආණ්ඩුවේ වංචා දූෂණ හොයන්නට පත්කළ කෝප් කමිටුවේ වාර්ථාව හරහා හෙළිවූ රුපියල් බිලියන ගණනක වංචා දූෂණ ගොණුව සාටකෙන් හංගා ගත් ජනාධිපතිතුමා ඒවාට පියවර ගනු වෙනුවට කළේ වංචා කළ ඇමතිවරුන් බිය වද්දා පාර්ලිමේන්තුව තුළ තම ගොඩ වැඩිකර ගැනීම පමණකි. එහි අනිසි ප‍්‍රතිඵලය වූයේ වංචා හෙළිකළ කෝප් කමිටුවේ සභාපතිතුමා වූ විජේදාස රාජපක්ෂ මහතාට තම ඇමතිකමත් දන්දී විපක්ෂයේ වාඩි වීමට සිදුවීමයි. මෙලෙස ආරම්භ වූ දූෂණයට හා වංචාවට උඩගෙඩි දෙන මහින්දගේ සම්ප‍්‍රදාය තුළ අතීත හෙල්පින් හම්බන්තොටට නොදෙවෙනි වූ හෙජිං වංචාව, මිහින් එයාර් පාඩුව, මිග් වංචාව පමණක් නොව උතුරු වසන්තය හා නැගෙනහිර නවෝදය හරහා කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් හූරාගත් 10% බැගින් බැසිල් මල්ලිගේ සරම අස්සේ ගසාගැනීම්ද දක්නට ලැබේ. මහා පරිමාණ සංවර්ධන කටයුතු බැසිල් මල්ලීගේ හා චමල් අයියාගේ භාරයේ තබා පොඩි පොඩි කුට්ටි ගසා ගැනීමට දීම හරහා අන් අයගේත් කටවල් වැසීමට වගබලාගත් ජනාධිපතිතුමන්ගේ ‘‘ඒහි ඇමති භාවයෙන්’’ ඇමතිපදවි ලද සියල්ලෝම ඉඩ ලද සැනින් තම තමන්ගේ අත්වලට අසුවෙන දෑ හකුලා ගන්නට අමතක නොකළහ.

ලොක්කන් උඩ පැන පැන ගසාකනු දුටු රාජ්‍ය සේවකයෝ කාර්‍යක්ෂම සේවයක් වෙනුවට ඇල්මැරුණු විලාසයකින් කටයුතු කළද ඒ ගැන අසන්නට තරම් සුජාතභාවයක් නොමැති ඇමතිවරුද කළේ තම සේවකයන් සමග ඞීල් දමාගෙන එදා වේල ගතකර ගැනීමයි. හිටි හැටියේ මාරුවිය හැකි ඇමති පදවි ගැන වැඩි විශ්වාසයක් නොතැබූ ඇමතිවරුද කළේ ‘‘ඉන්න ටිකේ හොඳින් ඉඳිල්ලා. අපි හෙට යවයිද කියලා දන්නේ නෑ.’’ කියමින් ආතල් ගැනීම පමණක්මය. එහි ප‍්‍රතිඵලය වූයේ විදුලිබල මණ්ඩලය, වරාය, මාර්ග සංවර්ධන අධිකාරිය, ගමනාගමන මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතන සියල්ලම අකාර්‍යක්ෂමතාවය නිසා රුපියල් බිලියන 50කටත් අධික පාඩුවක් පසුගිය වසර තුළ ලැබීමය. (සම්පූර්ණ මහවැලි ව්‍යාපෘතියේම වියදමත් රුපියල් බිලියන 50කි.)

3. මැරකම හා නීතිය බල්ලාට දැමීම

මැච් එකක් දිනන අතරතුර සබන් කෑල්ලේ මිල වැඩි කරන්නා සේම කිලිනොච්චිට අල්ලූ උණුසුමට මුවාවී මාධ්‍යය කරුවන් මරා දමන්නටත් යුධ ජයග‍්‍රහණ වලට මුවාවී තමාට අභියෝගයක් විය හැකි මාධ්‍ය ආයතන ගිනි තබන්නටත් පෝද්දල වැන්නන් රැසකගේ අඬු කඩන්නටත් ජනාධිපතිතුමා වගබලා ගත්තේය. ඒ හරහා ලසන්ත වැන්නවුන්ගේ ඉරණම මහ දවල් අධි ආරක්ෂිත කලාපයක් තුළදී යතුරුපැදි වලින් පැමිණි සූක්ෂම ආයුධ රැගත් මැරයන්ගේ අතින් විසඳුනි. ඒ හරහා සෑම මාධ්‍යය කරුවෙක්ම තැතිගැන්වූයේ තවත් එවැනි ශබ්දය නොනැගෙන (උසාවියේ හා පොලීසියේවත් ශබ්දය නොනැගෙන) උණ්ඩ ඇති බව නොකියා පවසමිනි. ඒ උණ්ඩ වල නෑසෙන බව කෙතරම්ද යත් අද වන විටවත් පොලීසියට එකඳු සැකකරුවෙක්වත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැති තරමිය. ඒ එක මාධ්‍ය කරුවෙකුට හිමිකර දුන් නින්දිත මරණයක් පමණි. මීට අමතරව පෝද්දල ජයන්ත දක්වා පහරදීම් වලට ලක්වූ මාධ්‍යවේදීන්ගේ හා පණ රැකගැනීමට රට හැර ගිය මාධ්‍යවේදීන්ගේත් දේශපාලන ක‍්‍රියාකාරීන්ගේත් ලැයිස්තුව මෙම ලිපිය මෙන් කීප ගුණයක් දීර්ඝය. එපමණකින් නොනැවතුණු සහෝදර ගැන්සිය සිරසට ගිනිතබා කියා සිටියේ ස්වාධීන මාධ්‍යයක පැවැත්මට අත්විය හැක්කේ මීටත් එහාගිය ඉරණමක් බවයි.

ජනාධිපතිතුමන්ගේ කොන්ත‍්‍රාත් කිරීම හරහාම පන්නරය ලැබූ මර්වින් ආචාර්‍යතුමා සිරස කැමරා කුඩුකර ඇරඹූ ප‍්‍රාදේශීය මැර ව්‍යාපාරය නතර වූයේ කැළිණිය විශ්ව විද්‍යාලයටත් පහර දී (පබිලිස් සිල්වා සමග ආචාර්‍යකම ගත්ත මර්වින් විශ්ව විද්‍යාල තියෙන්නේ මොකටදැයි නොදැනීම ගැන කණගාටු නොවෙමු.) කැළණිය පාර දිගේ සාමකාමී පා ගමනක් තියා සැදැහැවතෙකුට කැළණිය පන්සල වඳින්නටවත් ඉඩ නොදීමෙනි. කැළණිය භූමියේ බහිරවයෙකුව ඉපිද සිටින ආචාර්‍යතුමන්ට අද පෙනන බුද්ධ පුත‍්‍රයන් වනුයේ සල්ලාලයෙකු වූ තම පුතා හා කැළණිය නම් පූජනීය භූමියේ සිටින පොලූ මුගුරු රැගත් කුඩුකාරයන් රැලත් පමණි. එහි ප‍්‍රධානම වැරැද්ද ඒ සියල්ල සහිත තමා බුද්ධ පුත‍්‍රයෙකැයි ආචාර්‍යතුමා සිතාගෙන සිටීමයි.) මේ මොහොත වන විටත් ජනාධිපතිවරණයේ පළමු හා එකම මිනිස් බිල්ල බා ගැනීමේ ගෞරවය තමන් සතු කරගෙන සිටින ජනාධිපතිතුමා ඇතුළු පිරිස ගෙනයන අනුකම්පා විරහිතවූත්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීවූත් ජඩ මැතිවරණ ව්‍යාපාරය වසාගෙන පැතිර ඇත්තේ ප‍්‍රචණ්ඩත්වය, මැරකම හා බලලෝභීත්වයයි. මේ බලයට මුවාවී නීතිය කඩන්නන්ගේ කතන්දරයයි.

මෙතරම් සිදුවීම් සිදුවෙද්දී ඇස්පියාගෙන ඇමතිවරුන්ගේ හෙන්චයියන් ගානට වැටී ඇති පොලීසිය මේ කිසිත් නොදැක්කා සේ කටවල් ඇරගෙන බුදියගෙන සිටිති. නීත්‍යානුකූල ප‍්‍රචාරණ වැඩවල නිරතවන එජාප හා ජවිපෙ ආධාරකරුවන් එන මග නවත්තන්නට පෙරට එන පොලීසියට පොලූ මුගුරු රැගෙන කැළණියේ රැක සිටින මැරයන් එලවන්නට තරම් ඔළුවක් නැත. පොළොන්නරු කාර්‍යාලයට බලෙන් ගස්සවා ගෙන සැකකරුවන් ලෙස විපක්ෂයේ ක‍්‍රියාකාරීන් පැය කිහිපයකින් අල්ලා සිරගත කරන්නට හැකි පොලීසියට හම්බන්තොට මිනීමැරුම කළ මැරයන් අල්ලන්නට කොන්ද පණ නැත. ලැජ්ජාවක් නැතිව මහින්දගේ නීති විරෝධී රියන් අසූවේ කටවුට් දෙපැත්තට වී ටී 56 තියාගෙන කටවුට් රකින පොලීසියට හම්බන්තොට විපක්ෂ ආධාරකරුවන්ගේ ගෙවල් වලට වෙඩි තියන විට හෝ කොලොන්නාවේ නාගරික මන්ත‍්‍රීගේ ගෙදරම වනසා ඔහුට බල්ලෙකුට මෙන් පහර දෙන විට රකින්නට තියා පසුව ඒ පැත්තට ගොස් විපරම් කර බලන්නටවත් තරම් පිරිමිකමක් නැත. මේ වෙනකක් නොව පසුගිය වසර 4 තුළ මහින්ද පොලීසියට ඉගැන්වූ නීතිය හා සාමය රැකීමේ කාර්‍යයයි. (මහින්ද සිතාගෙන සිටියේ පොලීසියේ ඉන්නේ පොලිස් බල්ලන් විතරක් දැයි කියා සැක සිතේ.) මේ නීතිය රකින්නන්ගේ කතන්දරයයි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පස්ස පෙන්නූ මහින්ද ‘‘ඒහි භික්ඛු භාවයෙන්’’ පත්කරන අගවිනිසුරු ඇතුළු විනිශ්චයකරුවන් ඉදිරියේ නීතියේ සරණ සොයන්නට ගිය තිස්සනායගම්ට අත්වූ ඉරණම තවත් එක් නිදසුනක්ම පමණකි. අධිකරණයේ උත්තරීතරභාවයද සින්නක්කර ලියාගත් විධායක ජනාධිපති බලතල නීතිය පසිඳලීම උදෙසා අත්‍යාවශ්‍යය වන අධිකරණ ස්වාධීනත්වයද කෙලෙසා දමා හමාරය. ඒ වූකලී නීතිය පසිඳලන්නන්ගේ කතාන්දරයයි. නීතිය හදන්නන්ගේ තත්වය කීමට අවශ්‍ය නැතැයි සිතන්නේ මෙම ලිපිය නවකතාවක් නොවී නවත්වා ගැනීමට අවශ්‍ය නිසා හා ඔබ වැනි ඇස් කන් ඇත්තවුන් ගැන අවතක්සේරුවක් නොකළ යුතු නිසාවෙනි.

මේ අනුව අද වන විට තමාට හතුරුවන්නා පොලීසියට ගෙන ගොස් අතහරිනවාද, අධිකරණයට ඉදිරිපත් කර අවුරුදු කීයකට ඇතුලේ තබනවාද, බන්ධනාගාරය තුළදී මොනවා කරනවාද, අයුධ සොයන්නට ගෙන ගොස් අවසන් කර දමනවාද යන්න පවා තීරණය කරන්නේ එකම පුද්ගලයෙක් පමණි. ඒ අනුව පොලීබියස් රෝමයේ තිබූයේ යැයි උදම් ඇණූ ආයතනික පද්ධතියවත් ඒවා අතර වූ සංවරණ හා තුළන ක‍්‍රියාවලියවත් අද ලංකාවේ නැති බව කිවයුතු වනනේ ලැජ්ජාව අල්ලෙන් වසා ගන්නා ගමන්ය. (ගොඩක් දෙනෙක් එළිපිට වැනුවද එසේ නොවනන්නට තරම් අප සදාචාරාත්මක නිසාය.)

මේ අනුව බලන කළ මැරකම, අසාධාරණය වැනි ගංදියේ කරවටක් ගිලූණු ශ‍්‍රී ලාංකිකයා නීතිය රැකීම හා පසිඳලීම යන අයෝමය අත්දෙකෙන් ඔසවා තබා බේරාගන්නවා වෙනුවට සිදු කරනුයේ තව තවත් ඔහුව දිය තුළටම ඇදගෙන ගොස් මරා දැමීමකි.

4. නොමිලේ සෞඛ්‍යය කොමිස්කරණයට ලක්වීම.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිධූරයට පත් අපේ ඇමතිතුමන් ආරම්භයේ සිටම ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සේවක කඩාකප්පල් කිරීමට මහත් සේවක් ඉටු කළේය. ඩෙංගු හා කුරුළු උණ වැනි රෝගී තත්වයන් නිසා දිනෙන් දින අහිංසක ජීවිත බිලි ගන්නා අතරම පාසල් දැරිවියන්ට රුබෙල්ලා එන්නත් හරහා මරුකැඳවීමටද සෞඛ්‍යය අමාත්‍යංශය වගකිව යුතු වන්නේය. දිවයිනේ සතර අතින් හතු පිපෙන්නා සේ වීදුරු කටු සහිත බෙහෙත් කුප්පිත්, ප්ලාස්ටික් කැබලි සහිත සේලයින් බෝතලූත්, අපද්‍රව්‍ය සහිත ෙඖෂධ වර්ගත් බිහිවෙන්නට පටන් ගත්තේය. (ඇමතිතුමා නම් කීවේ දේශද්‍රෝහීන්ට මේවා කිරීමට වුවද හැකි මැජික් බලයක් පවතින බවයි.) ළමා රෝහල් වල දරුවන්ගේ කන් හා ඇඟිලි නිකරුණේ කපා දමන්නටත දකුණු කනේ රෝගයට වම් කනට ශෙල්‍යකර්ම කරන්නටත් තරම් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ජාත්‍යන්තරකරණය විය. (තත්වයෙන් බාල ෙඖෂධ පිළිබඳව රටේ කතිකාව ඇති වන අතරම ඉන්දියාවේ කොමිස් සමාගම් මිත‍්‍රයන් ඇමතිතුමාට සම්මාන පිට සම්මාන පුදන්නට තරම් මානුෂීය වූයේ රෝගීන් ගැන සිතාගෙනද සැතිනම් තමාගේ ටෙන්ඩරය ගැන සිතාගෙනද කියා වෙන්කර හඳුනාගැනීමේ අයිතිය ඔබ සතුය.)

5. නිදහස් අධ්‍යාපනයේ පිරිහීම.

කලට වෙලාවට පොත් ටික බෙදාගන්නට තරම් කාර්‍යක්ෂම නොවන සුසිල් ඇමතිතුමාගේ පෙළපොත පාසලට යන්නේ වසර අවසාන විභාගයද නිමවූ පසුය. එවිට පොතේ පින්තූර ටික හා සුවඳ බලා ආපසු භාරදීමට සිදුවන ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයේ තරම ගැනනම් කතා කරන්නේ කුමටද? නමුත් අමාත්‍යංශයේ සමහර පොත් දුටු විට ඒවා ලැබෙනවාට වඩා නොලබීම හොඳයැයි දෙමාපියන් හිතහදා ගන්නේ සුසිල් ඇමතිතුමාගේ පොත් වලට අනුව නවඅරහාදී බුදුගුණ පවා දහයක් තිබෙන නිසාය. ඒ පොත් වල තත්වයයි. වාර විභාග ප‍්‍රශ්ණ පත්තර දෙස බැලූවොත් තත්වය මීට වඩා ඉදිරියෙන් තිබේ. ඇමතිතුමන් ප‍්‍රශ්ණ පත්තර සමග දරුවන්ට කුණුහරප පන්තියක්ද දමා තිබූ අතර සමහර අවස්ථා වලදී දරුවන් ගැන අනුකම්පා සිතී පිළිතුරු ටිකත් ප‍්‍රශ්ණ පත්තරේම පැත්තක සටහන් කරන්නට තරම් ඔහු මානුෂික විය. එසේම සමහර ප‍්‍රශ්ණ පත්තර කුඹුරු වල පවා දමා තිබුණෙ මේ වැරදි සහිත ප‍්‍රශ්ණ පත්තර හදන්නේ පඹයන් විසින් යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට දෝ කියා විටෙක සිතෙයි.
මේ ගැන මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ අනුර ඇමතිතුමා කීවේ මෙතෙක් හැදූ ප‍්‍රශ්ණ පත්තර එකසිය ගණනකින් වැරදි ඇත්තේ 26ක පමණක් බවයි. එතුමාට මෙහි බරපතල කම නොතේරුණද අපගේ පශ්චාත්භාගයෙන් පවා සිනායන මෙවැනි ප‍්‍රකාශ කිරීම දුටු විට අපට සිතුනේ බල්ලාගේ වැඬේ බූරුවා කිරීමට යෑම කෙතරම් නම් විනෝදජනක දසුන් මවනවාද යන්නයි.

ඉහත කරුණු 5 ඔස්සේ අප පෙළ ගස්වන්නට උත්සහ කළේ මහින්ද යුගයේදී වුනා යැයි නිශ්චිතවම දක්වන්නට හැකි කරුණු රැසක් විවිධ වූ මාතෘකා හරහා ගොණුකර දක්වන්නටය. මෙහිදී තවත් බොහෝ දේ නොකියවුණේ යැයි ඔබ අප සමග අමනාප නොවෙනු ඇතැයි අප විශ්වාස කරමු. එසේම එවැනි අදහස් දැක්වීමට ඔබටද අවස්ථාව ඇතැයි මතක් කරමු.

අප දැන් තේරුම් ගත යුත්තේ මේ හැම සිදුවීමක් හරහාම නිරුවත් වනුයේ නැවතත් අප ඉදිරියට විත් ජනාධිපතිධූරය අයැද සිටින වත්මන් ජනාධිපතිතුමාගේ යටතේම බවයි. මෙය රටේ ජනතාවට අමතක නොවනු ඇත යන්න අපගේ දැඩි විශ්වාසයයි. ඒ හරහා අප පළමු ලිපියේදී විස්තර කළ පරිදි මහින්දට වාසිදායකව ලබාගත හැකි ඡන්ද ප‍්‍රමාණය මෙම අවාසිදායක තත්වයන් දකින ජනතාවගේ ඉවත් වීම හරහා නිශේධනීය තත්වයකට එහා ගිය ඍණාත්මක තත්වයත් මහින්දට උදාකරනු ඇත යන්න අපගේ තර්කයයි.

ශ‍්‍රී ලාංකික ඡන්දදායකයාගේ හැසිරීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. අද වන විට සමස්ථ ඡන්ද ප‍්‍රමාණයෙන් 15% - 20% ත් අතර ප‍්‍රමාණයක් පාවෙන ඡන්ද ලෙස පවතී. ඒ අනුව අපගේ පළමු ලිපි දෙකෙහි ගණනය කිරීමට අදාල වන්නේ මෙම ඡන්ද ප‍්‍රමාණයන් පමණක් වන බවද තේරුම් ගත යුත්තේය. මන්ද පවතින තත්වය හා අතීත අනාගත තත්වයන් සසඳා තම මනාපය වෙනස් කිරීමට තරම් ශක්‍යතාවයක් ඇත්තේ මොවුන්ට පමණි. (ඒ අනුව මීට අමතරව පවතින අනෙක් කොටස අප මීළඟ ලිපියේදී විග‍්‍රහ කරන්නට යොදාගනු ඇත.) අප පළමු ලිපියෙන් පෙන්වූ පරිදි මහින්ද කෙරෙහි වාසිදායකව පවත්නා කරුණු හේතුවෙන් ඔහු කෙරෙහි නැඹුරුව පවතින්නේ මෙම පිරිසෙන් කොටසකි. එසේම අප දෙවැනි ලිපියෙන් පෙන්වා දුන් පරිදි මහින්දගේ අවාසිදායක තත්වයන් හමුවේ ඔහු කෙරෙන් බිඳී විපක්ෂයට එකතු වන්නේත් මේ පිරිසෙන් කොටසකි. එය හරියටම 10% බැගින් පවතිනවා යැයි අප කියනනේ නැත. නමුත් මේ පිරිස නියෝජනය කරන්නේ පක්ෂ බදාගෙන දේශපාලනය නොකරන දේශපාලනික වශයෙන් සවිඥනික ජනතාවක් බව අප අමතක නොකළ යුතුය. එබැවින් ඔවුන් යුධ ජයග‍්‍රහණය හා දූෂණ-වංචා-ප‍්‍රජාතන්ත‍්‍ර විරොධීත්වය-පවුල් පෝෂණය ආදිය එකට ගෙන සලකා බලන කල්හී නිසැකවම මහින්දට විපක්ෂව සිටගනු ඇත. ඒ අනුව එම 20%ම නැතත් අති බහුතරය විපක්ෂව ඡන්දය භාවිතා කරනවා ඇත යන්න අපගේ විශ්වාසයයි.

සමස්ථ ඡන්ද වලින් 20% ක් අතරින් 15% ක් මේ මොහොත වන විටත් මහින්දට අහිමි වී ඇත.

21 comments:

  1. හශාන් ඔබ කියන දෙ නිවැරදියි. මා විශ්වාස කරන අන්දමට ජෙනරල් ගෙ ජය නියතය.

    ReplyDelete
  2. ඔබගේ ලිපියේ අරමුණ අනුව ඉහත ලිපිය ඉතා නැවැරදි වුවත් මම පහත දේ ලියා යන්නේමි.

    1. රාජපක්ෂකරණය කළ රාජ්‍යය
    රටතුල වු කැරැල්ල මැඩපැවැත්විමට හැකිවිමම රාජ්‍යයය හොදින් විචාල බවට සාක්කියකි. එලෙසම විදේස් බලවේග කලමණාකරනය කල අයුරැ ඔබට පුදුම වනු ඇත. මම හිතන්නේ ඔබ ද්නනේ නැති දෙය්ක් තමයි බැසිල් යනු එකල දේශපාලනයේ සිටි අයුක මෙන්ම ගොඨාද යුද හමුදාවේ සිටි අයේකි. හැටපු පාලකයන්ගේ පවුල් සාමජිකයන් එකමුතු නොවුනත් දකුනේ ආ ගමේ මිනාසාගේ පුවුල් අතර එකමුතවක් හා පුවුල් බලයට ඇදිල්ලක් ඇත. මතක තියගන්න සහෝදරයාට සලකන එකා රටට ගැන බලතැයි දශමයක හෝ විශ්වාසයක් තබාගත හැක. තමුන්ට පවුල් බලයක් නැති තරහට මහින්දට මෙවිදිහට ගැසිම සුදුසු නැති බව ඉතා ඔනැකම්න කියා සිටියි.

    2. දූෂණය - වංචාව හා අකාර්‍යක්ෂමතාවය
    දැන් දැන් කරලියට විත් තිබෙන මහිනදගේ දුෂන අපි හරියයි කයමු. දැන් එසදහා විපක්ෂයෙන් දාමා ඇති සරත් ඊට නොදෙවිනි බව මටත් දැන් දැන් පෙන් යන්නේය

    3. මැරකම හා නීතිය බල්ලාට දැමීම
    ඔක ඉතින් සරත් ආවත් ඔහොම තමයි. දැක්කානේ තමුන්ට උදව් කරපු එකකේනාට සරත් විසිනම කතා කරපුවදිහ.

    4. නොමිලේ සෞඛ්‍යය කොමිස්කරණයට ලක්වීම.
    ඔබ හා එකග වෙමි.

    5. නිදහස් අධ්‍යාපනයේ පිරිහීම.
    ඔබ හා එකග වෙමි

    ReplyDelete
  3. @රවා

    ඔබට ස්තූතියි. අපේ මේ උත්සාහයත් එ් උදෙසාය.

    @නුවර පාර

    ඔබට එහෙම කියන්න බෑ. මාගේ http://adawwa.blogspot.com/2010/01/blog-post_06.html ලිපිය කියවා බලන්න. පවුලටද රටටද මහින්ද සලකන්නේ කියලා. අනික ජෙනරාල් ඔච්චර වංචා කලා නං කරන්නාගොඩ කොහොම ගහලා ඇද්ද? තව විමල් ගැන එහෙම කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete
  4. @හරෂ
    ඔව් මම කැමතිය කරන්නාගොඩ විමල් ගැහව්වා කියලා පිලිගන්න. එත් ඔයා කැමති නැහැ සරත් එමෙහ කලා කියලා පිලිගන්න. හැම තිස්සෙම කියන්නේ මහින්ද විතරක්ම ගැහැව්වා කියන එක. අපි මෙතනදි බලන්න ඔනා සරත් හා මහින්දගේ චරිත පමණයි. එහිදි මහිනද් අවු 40 රටේ මිනිස්සු එක්ක ඉදලා දැන් තමයි දුෂන චෝදනා එනනේ එත් දවස් 40 ක එකකේනාගේ දුෂනය එලි කරන්න තව කල් යයි.

    ReplyDelete
  5. @ නුවර පාර.

    ඔබ පිළිගන්නවා මහින්ද වමට ගහනවා කියලා. ඔබ පිළිගන්නවා විමල් සල්ලි වලට ආණ්ඩුවට කඬේ යනවා කියලත්, අනික් අය ගැනත් ඔබ තර්ක කරන්න යන්නෑ. ඉතිං කැන්ඩි මේ ආණ්ඩුව ගෙදර යවන්න ඒ හේතු ඔබට හොඳටම ඇති නේද? ජෙනරාල් ඇවිල්ලා හොරකම් කරයි කියන බයට ඔබ ඔහුව පරද්දන්න හැදීම වැරදියි නේද? ඔහු ආවත් මේ කට්ටියට වඩා ගොඩක් වෙනස් වුණ හා ඔය කියන තරම් පරම පිවිතුරු කෙනෙක් වෙන්නෙ නෑ කියලා මමත් ඉර හද වගේ දන්නවා. ඒත් මම කියන්නේ එයාට එතෙන්ට යන්න දෙන්නෙ නැතුව ඔහුව වලක්වා ගැනීමේ වගකීම ඔබ මම වගේ දේශපාලනිකව සවිඥනික පුද්ගලයන් සතු වගකීමක් කියලයි. ඒ හින්දි මෙන්න අපි මහින්ද පැරැද්දුවා ජෙනරාල් දිනුවා කියලා ඒ ආණ්ඩුවට කඬේ ගිහිල්ලා අද විමල් කරන දේ හෙට අපි කරමු කියලා මම කියන්නේ නෑ. මම කියන්නේ අපිට හැමදාම විපක්ෂයේ තමයි ඉන්න වෙන්නේ කියලයි. (එහෙම කියන එක හරිද මන්දා) ජෙනරාල් දිනුවත් අපිට හෙට වුනත් ජෙනරාල්ගේ වැරදි පෙන්නලා කෙලිං කතා කරන්න පුළුවං වෙන්න ඕනේ. එදාට මහින්දයි විමලූයි අපිත් එක්ක ඉන්නත් පුළුවං. ඒත් මම ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. මේ ක‍්‍රියාවලිය හරහා තමයි ටික ටික මේ රට හරි පාරට ගෙනියන්න අපිට පුළුවං වෙන්නේ.

    ReplyDelete
  6. @හෂාන්
    ඔය කොයික තිබුණත් මහින්ද එකිය රටක් පිලිගන්නවා. එත් සරත් තාම එගැන වෙදිකා වල හෝ තම පුතිප්තිකයේ පුකාශයේ කියන්නේ නැහැ. මටත් ඔයාටත් මෙරට ගැන ආදරයක් තියනවා. එත් ඔයා කතා කරන්නේ හොරකම මම කතා කරන්නේ එකිය බාවය. එහින්දා ඔයාම හිතන්න ඔයදෙකේන් එකක් තොරගන්න උනෝත් ඔයා තොරගන්නේ?

    හොරැ එලවන එකද?
    එකීය රටක්ද?

    අපිට නායකයන් හොයා ගන්න පුලුවන්. එත් අපිට රටක් හොයාගන්න බැහැ.


    තව වැදගත් දෙයක්
    සරත් ඇවිත් මාස 6 න් බලය පර්ලිමෙන්තුවට පවරනවනම් එයාට පුලුවන්ද මාස 6 කින් රටේම දුෂනය නැතිකරන්න?

    අනික දුෂනය නැතිකරන්න එන්න ඔනා දුෂනය නොකරපු කට්ටියක් එක්ක. එකේදි එජාපය කියන්නේ ඔබත් හොදට දන්නා හොරැ රැලක්. මෙතනදි ජවිපේ පිලිබද මට හොද විශවාසයක් තියනවා. එත් රනිල් ගැන ඔයාට විශ්වසා කරන්න පුලුවන්ද? රනිල් කියන්නේ රටේ මිනිස්සු එපා කියපු නායකයෙක්. එයට අයිත් රට දේනන මට බැහැ

    ReplyDelete
  7. @හෂාන්
    අපිට රටට දෙන තිරණ ටෙස්ට් කර කර ඉන්න බැහැ. එත් ජවිපේ කරන්නේ අද එක එක්කේනා ටෙස්ට් කරන එක. එයා වැරදිනම් වෙන එක්කෙනේක්. හෙට සරත් රට බෙදන්න ගියොත් ජවිපේ තමයි මුලින්ම එලියට බහින්නේ. එත් වැඩක් තියනවද? එත කොට වෙන්නේ රට තුල අර්බුද ඇතිවිම. එහෙම තත්වයකට රට ඇදගෙන යනවද?

    2005 දි සමහර විට ඔයත් මහිනදට දේනන ඇති. මම එහෙම හිතුවේ ඔයා ලියන හා අදහස් එකක් ඔයත් රට ගැන හිතන හින්දා... එත් එදා මහින්ද අවේ නැත්නම් මොකද වෙන්නේ? අද මට පුද්ගලිකව සතුටුයි මගේ චන්දේ අපතේ ගියේ නැහැ කියලා. ඔයටත් සතුටු ඇති. දැක්ක නේද මිනිස්සු තිරණ ගද්දි එක කොපමණ අසිරැ උනත් රට වෙනුවේන් අපි නැවැරදි තීරණය ගමු.

    ReplyDelete
  8. @ නුවර පාර.

    ඔබ මගේ ගැන කළ අනුමාන කිරීම හරි. මම මේක කිසිම දවසක බ්ලොග් සගයෙකුට කියලා නෑ. ඒත් ඇත්ත මම 2005දී මහින්දට ඡන්දය දුන්නා. ඒ එදා තිබුණ පසුබිම අනුව. ඒත් මම අද හිතනවා මේ වැඬේට මහින්ද හරියන්නේ නෑ කියලා. ඒ තීරණේ මම ඉන්නේ මෝඩ විදිහට නෙමෙයි. මම අද මේ තීරණේ ගන්නේ දේශපාලන විද්‍යාව පශ්චාත් උපාධියකුත් තියෙන, ක‍්‍රියාකාරී දේශපාලනයේ වසර කිහිපයක පළපුරුද්දත් එක්කයි. (පොර ටෝක් දෙනවා කියලා හිතන්න එපා. අනික මම මේ හරහා කියන්නේ නෑ දේශපාලන විද්‍යාව ඉගෙන ගත්ත අයට විතරයි දේශපාලනය තේරෙන්නේ කියලත්. මම හිතනවා ඔබ මාව ඊට වඩා හොඳට තේරුම් අරන් ඉන්නවා කියලා.අනික ක‍්‍රියාකාරී දේශපාලනේ කිව්වේ මම පක්ෂයක ඡන්දෙ ඉල්ලන හෝ කිසිම දේශපාලන පක්ෂයකට කඬේ යන්නෙක් වත් නොවන බවත් කරුණාවෙන් සලකන්න.)

    ඔබ ජවිපෙ ගැන හොඳ විනිශ්චයක ඉන්නවා. එයාලා 94 දී චන්ද්‍රිකා අහෝසි කරනවා කිව්ව නිසා ගලප්පත්ති නම් තම ජනාධිපති අපේක්ෂකයාව ඉවත් කරගත්තා. 2005 දී මහින්දට උපරිම සහයෝගය දීලා ආපහු උත්සහ කළා. එ්ත් එයාලට එයාලගේ දේශපාලන අවශ්‍යතාවය වුන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරගන්න කවුරුත් උදව් කළේ නෑ. ඒ නිසයි එයාලා නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ගෙනාවේ. ඉතිං මම නං දකින්නේ එයාලා එයාලගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් මැතිවරණයෙන් මැතිවරණයට නොසැලී මේ කාර්‍යයට හොඳම මාර්ගය හොයා ගැනීම නිවැරදියි කියලා විතරයි.

    ඔබ එක තැනකදී කියනවා වගේ ජනාධිපතිවරයා ඡන්දයෙන් ඡන්දයට මාරුවුණාය කියලා රට අරාජික වෙන්නේ හෝ වියවුල් තත්වයක් ඇතිවෙන්නේ නෑ කියන එකයි මගේ අදහස. මොකද එහෙම නං මේ ව්‍යවස්ථාව විතරක් නෙමෙයි ලෝකේ ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යයන් රැසක ව්‍යවස්ථාත් වැරදියි. මම නං දකින්නේ එකම පිරිසක් අත හැමදාම බලය තියෙන්න ඕනේ නෑ කියලා. (ඒකෙන් මම කියන්නේ නෑ හැම ඡන්දෙදිම මේක වෙනස් විය යුතුමයි කියලා.) ඒත් දේශපාලනයේදී "change" කියන එක නව්‍යතාවය, සජීවී භාවය, ආකර්ෂණය, ජීවය, පිබිදීම යන සියල්ලගේම උල්පත විදිහටයි මම දකින්නේ. මම මේ මොහොතත් දකින්නේ නැවත අපේ රටට "change" එකක් අවශ්‍ය මොහොතක් විදිහටයි.

    ReplyDelete
  9. @හෂාන්
    ඔබගේ දැනුමට මම ගව්වරව කරමි. එලේසම ඔබගේ අදහස් පල කිරිම තුලින්ම මට ඔභ උගත් බව එත්තු ගිය කාරනවකි. එමනිසා ඔබ ඔබ ගැන කියා ඇති සියල්ල, ඔබ ඔබවම ඉස්මතු කරගැනිමක් ලෙස නොදකිමි.

    මුලන්ම 2005 ගත් තිරණය කිම පිලිබදු ස්තුති පුර්වක වෙමි. එතන ඔබ කියා තියනවා "මෙ වැඩේට මහින්ද හරියන්නේ නැහැ කියලා" මට දැනගන්න පුලුවන්ද මොකක්ද ඔයා එයින් අදහස් කලේ කියලා.

    මට අනුව 2005 චන්දය මම මහින්දට දුන්නේ, රට තුල වු කැරැල්ල මැඩලිම සදහා පමණි. එය ඔහු ඉටු කලා. එම නිසා ඔහුව එලවා දැමිමට තමරම් මට මහත් වු කාරනා නැත

    ජවිපේ
    හරි ඔබගේ පැහැදිලි කිරිම නැවැරදියි. ජවිපේට ඔනා විධයකය අහෝසි කරන්න. ඔක 94 / 99 / 2005 යොදාගත්තා. එත් මිනිසුන් අතරට ඔක ගියේ නැහැ. මිනිස්සු 94 චන්දේ දුන්නේ, එජාප යට විරද්දව මිසක් චන්දිකාට ඇති කැමැත්තට නෙමෙයි.99 දි නොනා දින්නේ බෝම්බේ හින්දා. එත් 2005 දි මහින්ද දැන්නනේ කොටියව පරද්දන්න.

    දැන් 2010 මිනිස්සුන්ට චිධයකය කියන කාරනාව බරපතලව දැනේනනේ මෙපාර. මොකද මෙවර තමයි මෙක මුල්ම සටන් පාටය උනේ. එනිසා මිනිස්සු විධයකයට කැමතිද නැද්ද කියලා මෙපාර තිරණය කරයි.

    ජවිපේ අරමුණ වෙන අයකුගේන් ඉෂ්ට වෙන්නේ නැතිනම් එයාලට තියෙන්නේ තනියම ඉල්ලන්න. එත් යතාර්තය, මිනිස්සු ඔවුන්ව බලයට පත් කරන්නේ නැහැ. එම යතාර්තය නිසා ජවිපේ, රනිල් එක්ක එකට හිටගෙන සරත්ව දිනවිම හරිද? මහින්ද කලේත් නැහැ / නොනා දෙපාරක් කලේත් නැහැ එහෙව් එකේ සරත් ගැන විශ්වාස කරන්න පුලුවන්ද? මොකද එයම කියනවා එයා කැමති නැහැ කියලා විලිම් ගොපල්ලව වෙන්න. එ එකක්ම කියනවා. ඇමතිවරැ හරියට වැඩ කරන්නේ නැතිනම්, අයිත් ඇමතිකම් පවාර ගැනිමේ බලය තියෙන්න ඔනාලු. එතකොට කොහොද පර්ලිමෙනුතුවකට වග කියනවා...


    ජනාදිපති මාරැ කිරිම.
    ඔව් අනිවර්යයේනම අපිට අලුත් අදහස් තියන නායකයෝ ඔනා. එකනේ නොනා ගේ එක්සත් රට අයින් වෙලා මහිනදගේ එකිය රට එදා ජය ගත්තේ.

    ඔව් ඔබ ඔය කියන අලුත් සමාජ දැක්ම සරත් ලග තබුණා. එත් දැන් එක නැහැ එයත් දැන් එක්තාරා දේශපාකයෙක් විතරයි. එහෙම අලුත් දේයක් එක්ක එයා එනවනම්...

    ඇයි - පුද්ගලිකව මඩ ගහන්නේ / තනියෙන් යුද ජය බක්ති විදින්නේ / ගෝඨා හා ශවේන්දුට පහාර ගහන්නේ?

    සරත්ට තනියම ජවිපේ සාහායේන අවානම් ඔක කිසි ගැටලුවක් නැහැ. මෙතනට එජාපය එකතුවිමයි ගැටලුව. එජපයේත් රනිල් තමයි මං වගේ අයට තියන ගැටලුව. දැක්කනේ රනිල් ගේ කතාව ස්වර්ණවාහිනියේ ගිය.

    ReplyDelete
  10. හරි කැන්ඩි.

    ඔබට මගේ පසුබිමත් ටිකක් හරි එළි කරන්න වෙනවා. ඇත්තටම විපක්ෂයට බය නැතුව විධායක මාතෘකාව ගන්න අපි පහුගිය කාලේ ලොකු කැපකිරීම් කළා. ඒ හින්ද මම ප‍්‍රායෝගිකත්වය තුළම ඉගෙන ගත්තා විධායකය ඇයි මෙච්චර හෙනයක් වෙලා තියෙන්නේ කියලා. ඉතිං මම කියන්නේ ඒක අහෝසි කරන්න මහින්ද හරියන්නේ නෑ කියන එකයි. ඒත් මම තාමත් ගේම අතඇරලා නෑ. ලංකාව වගේ රටවල් වල මේ වගේ දේශපාලකයන් එක්ක හැප්පෙන්න නං ගේම අතඅරින අයට කොහොමත් බෑ. ඒ හින්දා මැඩම් නොකළා හෝ මහින්ද නොකළා නොකළා කියලා ජෙනරාල්ගෙන් මේ වැඬේ කරගන්න උත්සහ ගන්නැතුව එ්ක හීනයක් විතරයි කියලා හිතහදාගන්න මම ලෑස්ති නෑ.

    මේකට උත්තරෙත් මම කලිං කිව්ව කතා වලම ගැබ්වෙලා තියෙනවා. ජෙනරාල් ආවා කියලා එයා කීයටවත් පඹයෙක් විය යුතු නෑ. අනික අපි එහෙම හිතාගෙන හිටියට ඒක කීයටවත් වෙන්නෙත් නෑ. ඒත් මේ තියෙන ඒකාධිපති බවට වඩා ගොඩක් නිදහස් වූ ව්‍යවස්ථාවකට අපිට යන්න පුළුවං වෙයි. ඇත්තටම මෙතනදී වැදගත් වෙන්නේ ඒක. ජෙනරාල්ට මේ මාතෘකාව ගන්න උදව් වුණ අපිට මේ අළුත් ව්‍යවථාව හදද්දි ලොකු කේවල් කිරීමේ බලයක් තියෙනවා කියන එකනම් මට විශ්වාසයි. (ඒ කියන්නේ ඔබව ඉවත් කරලා නෙමෙයි. ඔබටත් රටේ පුරවැසියෙක් ලෙස මට හිමි අයිතියම හිමිවෙනවා.) ඉතිං අපි ජෙනරාල් හරහා ඒ ව්‍යවස්ථාව හදා ගත්තොත් ඊලඟ නායකයෙක්ට තියෙන්නේ එතනින් එහා ටික කරන්නයි. ඒක අනාගතයට භාරයි. මම හැමවෙලාවෙම කියනවා වගේ මේක ක‍්‍රියාවලියක්. අපි ඒ ගමනේ එක තැනකදි සම්බන්ධ වුණ තීරකයෝ විතරයි. අපි මෙතනදි හරි දේ නොකළොත් අනාගත ලෝකය අපිට ෙදාස් කියයි.

    ඔබට ජවිපෙ එක්ක ලොකු අවුලක් තියෙනවා කියලා මට තේරෙනවා. ඒ ත් මම නං කියන්නේ ජවිපෙ ගරු කරන ඔබට මේ වෙලාවේ විශයබද්ධව හිතන්න කියලයි. ඒ කියන්නේ වෙන්න ඕනේ දේ මොකක්ද ඒ වෙනුවෙන් තමන්ගේ පැත්ත තෝරගන්න. අනික් අය දිහා බල බල අපිට තීරණ ගන්න බෑ. (වැරදියට හිතන්න එපා. මම කීයටවත් ඔබට ඡන්දය මෙයාට දෙන්න කියලා බලපෑම් කරන්නේ නෑ)

    ReplyDelete
  11. @හෂාන්
    ඔව් ඔව් නිකන්ම ඉන්නවාට වඩා උත්සාහ කිරිම වැදගත්.

    චන්දය
    නැත නැත. ඔබ බලපැම් කරනවයි මට කිසිසේත් නොසිසේ. අනික මම චන්දය දෙන්නේ එකිය රටක් තවදුරටත් ඇවැසි නිසාම බැවැන්, මට ඔය චිධයය තිබුනත් නැතත් වැඩක් නැත. ඔබ කියන ආකරයට සරත් දිනුවොත්, කෙවල් කිරමේ බලය ඇතිනිසත් පුලුවන්නම් එකිය කියන කාරනව අලුත් විවස්තාවට එක්කරනන. සමහරවිට එදාට මාත් එකක් මෙකරන ලද සංවාදයත් ඔබට මතක් වනු ඇත......


    ඔබ හා සාකච්චාව මෙසේ දිර්ගව කරගැනිමට හැකිවුයේ, මඩින් / හා පැවති තත්වයන්ම කතා කල බැවින්, මම ඉමහත් සතුටක් ලැබුවෙමි.

    ReplyDelete
  12. නිවැරිද කිරිමක්
    ඔබ හා සාකච්චාව මෙසේ දිර්ගව කරගැනිමට හැකිවුයේ, මඩින් තොරව / හා පැවති තත්වයන්ම කතා කල බැවින්, මම ඉමහත් සතුටක් ලැබුවෙමි.

    ReplyDelete
  13. මටත් එහෙමමයි. මං ඔබගේ මතවාදයට පරස්පර මතයක් දැරුවත් ඔබගේ සුහදශීලී සාකච්ඡාවට ඉතාම කැමතියි.

    ReplyDelete
  14. මම දකින විදිහට ඔබට මතයක් තියෙනවා. එ් ත් ඔබ අන්තගාමී කෙනෙක් නෙමෙයි. ඉතිං දිගටම අපි කතා කරමු. මේ කාලය කැපකිරීම් වලට ස්තූතියි.

    ReplyDelete
  15. @හෂාන්
    ඔව් මමත් කැමතිය. ඊලග ඔබේ ලිපියේන හමු වෙමු. එක්කම ඔබත් සමග කල සාකච්චාව දුර දිග ගියතරම කොපමණද කිවතොත් මම අලුත් ලිපයක් නුවරපාර බ්ලොග් එකකට එකතු කලේමි...

    ReplyDelete
  16. Hi Hashan,

    Great blog. I thank you for the duty you do for the nation. It is our responsibility to educate others and save this country from a dictator who has nothing but the welfare of his own family in mind. The competition will get tough within the last week. We need more and more posts. Give a strong hand to Gen. Sarath Fonseka. He will take care of the rest of the things after 27th.

    Ajith P. Perera
    Provincial Councillor – Western Province
    Chief Organiser UNP, Bandaragama
    Bandaragama.wordpress.com

    ReplyDelete
  17. Thanks ajith,

    in this situation I agree with your suggestion. first of all I need to shut the mahinda and his family behavior .

    ReplyDelete
  18. @Ajith P. Perera
    මම දැක්ක ඔබ එදා, ස්වරණවාහිණයේ විවාදයකට සහබාගිවෙනවා. මම සතුටුවන කාරනයනම්. ඔබ වැනි අය, සිංහල බ්ලෝග් කරලියට පැමණිමයි. මෙය තමයි සිදුවිය යුත්ත. එවිට ඔබට වැනි ජනතා නියොජිතයන්ට, යම් කිසි පණිවිඩයක් ලබාගැනිමට පුලුවන් මිනිදසුන් සිතන අකාරය පිලිබදව. මටගේ අදහසට පරස් පරවුවත්. මමත් ඔබගේ බ්ලොග් අඩවිය බලන්නෙමි.

    ReplyDelete
  19. ඇත්තටම කැන්ඩි ඔබ වැනි විසම්මුතික මතයක් ඉවසිය හැකි පුද්ගලයෙක් මහින්ද පාර්ශවයෙන් දකින්නට ලැබීමත් සතුටට කරණයක්. මේ වන විටත් විරුද්ධ මත දරන්නන් තිදෙනෙක් මරා ගනිමින්ද, තවත් එවැන්නෙක් මරන්නට තබාගත් බෝම්භයකින් තමන්ගේම සහයකයෙක් මරු තුරුළට විසි කරමින්ද සියගණනක් විපක්ෂ කාර්‍යාල කඩා දමමින්ද, විපක්ෂ රැලි වලට යන්නන්ට පහර දෙමින්ද (පොලීසිය යොදවා පහර දුන් අවස්ථාද ඇතුලත්ව) මහින්ද සගයන් ගෙනයන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී මැතිවරණ ව්‍යාපාරය දුටු විට මාගේ සිතට ඇති වන්නේ නම් දුකක් මිස තරහක් නොවේ.

    ReplyDelete
  20. අපට මහින්දගෙ ගැහිලි වලින් වැඩක් නෑ. සංවර්ධනයයි සාමයයි තියනවා කියලා ඔබම ලිපියෙ මුලදි පිළිගත්තනෙ ඉතිං ඒ මදැයි. සරත් ආවම දූෂණය නැතිවෙයි කියල හිතන්න එපා. ඔතනට එන්න වලි කන්නෙ ඕකට නෙ. එයාගෙ ආණ්ඩුව මොකද්ද? යූන්පීය නෙ. ඉතිං උං හොරු නෙවෙයිද. කම්බ හොරු.

    ReplyDelete

Related Posts with Thumbnails